ජීවිතය සිල්ලර කළ මහමඟ අනතුරු | සිළුමිණ

ජීවිතය සිල්ලර කළ මහමඟ අනතුරු

- අනතුරු නිසා දිනකට මෙරට පුද්ගලයන් පස්දෙනකු මහ මඟදී මරුට බිලිවේ 
- රිය අනතුරු නිසා ලොව පුරා දිනකට සිදුවන මරණ ගණන 3,400 ඉක්මවයි

සෞඛ්‍ය තොරතුරු තාක්ෂණය පිළිබඳ මහාචාර්ය අචල ජයතිලක 
වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය - කොළඹ විශ්වවිද්‍යාලය

කුත් මාසයේ තුන්වැනි සෙනසුරාදා විසි හතර පැය තුළ දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරු හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව එකොළහකි. රිය අනතුරු හේතුවෙන් වසරකට ලොව පුරා වෙසෙන පුද්ගලයන්ගෙන් මිලියන එකසිය විසි හතරක් මරණයට පත්වද්දී දිනකට එසේ මිය යන සංඛ්‍යාව තුන්දහස් හාරසියය ඉක්මවයි. ලොව පුරා සිදුවන මරණවලට හේතු වන ප්‍රධාන කරුණු අතර රිය අනතුරුවලට හිමිවන්නේ නව වැනි ස්ථානයයි. මැලේරියාවෙන් හා දියවැඩියාවෙන් මිය යන සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් වාහන අනතුරු හේතුවෙන් මියයන අතර එය ලොව පුරා ඒඩ්ස් රෝගය නිසා සිදුවන මරණ සංඛ්‍යාවට ආසන්නය.

රිය අනතුරක් සිදුවූ විට හදිසියේ නින්දෙන් අවදි වූවන් සේ ඒ ගැන කම්පා වී නිහඬ වීමට වඩා රිය අනතුරු අඩු කර ගැනීමට සියලු දෙනා අවධානය යොමු කළ යුතුය. ඒ සඳහා රථවාහන අනතුරුවලට බලපාන හේතු පිළිබඳව දැනුම්වත් විය යුතුය. රථවාහන අනතුරුවලට බලපාන සැබෑ හේතු පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සෞඛ්‍ය තොරතුරු පිළිබඳ මහාචාර්ය අචල ජයතිලක මහතා මෙසේ අදහස් දැක්වීය.

“ 2020 වසර වනවිට රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩකින් අඩුකර ගැනීම එක්සත් ජාතීන්ගේ තිරසර ඉලක්කයන් අතර එක් ඉලක්කයක් වූවත් ලෝකයේ කිසිදු රටක් එම ඉලක්කයට ළඟාවීමේ සලකුණක් හෝ දක්නට නැහැ. 2018 හා 2019 දෙවසර තුළ රිය අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාව කිසිදු ආකාරයකින් පහත බැස නොතිබීම මෙයට හොඳම නිදසුනක්. පසුගිය මාස කිහිපය තුළ COVID අවදානම මත ප්‍රවාහනය සීමා වීමෙන් රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩු වුවත් සාමාන්‍ය තත්ත්වය නම් අනතුරු හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයන් පස්දෙනකු මහමඟදී ජීවිතක්ෂයට පත්වේ.

මෙම වසරේ මාර්තු මස සිට මේ වනතෙක් COVID හේතුවෙන් ගමනාගමනයට සීමා පැනවුණ අතර ඒ තුළින් අපට අපූරු පාඩමක් ඉගෙන ගැනීමට හැකි වුණා. එනම්, තොරතුරු තාක්ෂණය හා පරිගණක යොදාගෙන කටයුතු කිරීම අප සිතා සිටි තරම් ගැටලු සහගත දුෂ්කර වෙහෙසකාරී කාර්යයක් නොවන බවයි‍. COVID වසංගතය ආරම්භ වනවිටත් ලෝකයේ ඇතැම් රටවල් (Online) ‘අන්තර්ජාලය’ මගින් වැඩ කටයුතු කිරීමට හුරු පුරුදුවී සිටියත් අප රටෙහි මිනිසුන් අතර එවැනි හුරුවීමක් හෝ ඒ පිළිබඳ දැනුවත්කමක් තිබුණේ නැහැ‍. බොහෝ දෙනකු සිතුවේ එය ඉතාමත් ‘අසීරු’ කාර්යයක් හැටියටයි. නමුත් ඒ සිතුවිලි මිත්‍යාවක් බවට පත්කරමින් මසක් වැනි කෙටි කාලයක් තුළ සමාජ දුරස්ථභාවය තබා ගනිමින් සියල්ල අන්තර් ජාලය (Online) හරහා කරන්නට හැකි බව අවබෝධ කර ගැනීමට සමත් වුණා.

රටම වසා තිබීම (Lock Down) එක් අතකින් ආර්ථික වශයෙන් විශාල පසුබැසීමකට හේතු වූ අතර මෙම කාලය තුළ සැලකිය යුතු මට්ටමේ වාහන අනතුරු සංඛ්‍යාවක් වැළකුණේ ප්‍රවාහනයට සීමා පැනවී තිබීම නිසයි. ඒ හේතුවෙන් ප්‍රවාහනය සඳහා යොදවනු ලබන වාහන සංඛ්‍යාව අඩුවීම රිය අනතුරු සංඛ්‍යාව පහත බැසීමට හේතුවක් ලෙස දැක්විය හැකියි.“

ගමනක් යන්නට සූදානම් වී පාරට බසින විට තමනට එම ගමන ගොස් ආපසු එන්නට හැකිවේදැයි සිතන්නේ කවුරුන්ද? එහෙත් දිනකට පාරට බසින සිය දහස් ගණනක් පුද්ගලයන් අතරින් අට දෙනෙකු ආපසු නිවසට නොපැමිණෙන අතර ඉන් එක් අයෙකු ළමයකු බව ඇසුවහොත් ඇතැම් විට ඔබ මවිත වනු ඇත.

මේ අන්දමින් දිනකට ලෝකය පුරා වෙසෙන දරුවන් අතරින් නිවසින් පිටව යන දරුවන් සංඛ්‍යාවෙන් පන්සියයක් අනතුරුවලට ගොදුරුවී මරණයට පත්වීම හේතුවෙන් ආපසු නිවසට නොපැමිණීම මොන තරම් ඛේදවාචකයක්ද?

පසුගිය කාල සීමාව පිළිබඳ විමසිල්ලෙන් බැලුවහොත් අවමංගල අවස්ථාවන්ට සහභාගි වී ආපසු එමින් සිටියදී මාරක රිය අනතුරුවලට මුහුණ පෑවේ සුළු සංඛ්‍යාවක් නොවන බව පැහැදිලි කරුණකි. බොහෝ විට මළ ගෙවල් පිළිබඳ සිදුවීම් දැනගැනීමට ලැබෙන්නේ හදිසියේය. එබැවින් මළ ගෙදර තිබෙන්නේ මන්නාරමේද? මඩකලපුවේද? යාපනයේ ද? යන්න පිළිබඳ සිතා, සැලසුමක් සහිතව මළ ගෙදර යෑමට වඩා බොහෝ දෙනෙකු උනන්දු වන්නේ රැකියාව නිම වී එතැනින් ම මළගෙදර යෑමටයි. දවස පුරා වෙහෙස මහන්සි වී එසේ මළගෙදර ගොස් ඇතැම් විට මත්පැන් පවා ගෙන පැය කිහිපයක් අල්ලාප සල්ලාපයෙහි යෙදී හිඳ රාත්‍රියෙහි නිදිමත දැනෙන ‍වේලාවෙහි මෙසේ දුර ගමන් යෑම ඉතා අවදානම් සහිතය. ඇතැම් විට එය මාරක අනතුරකට මුහුණ පෑමට ඉඩ ඇති ගමනක් යැයි කිසිවකු සිතන්නේ නැත.

වාහන අනතුරුවලට හේතු වන්නේ ‘වාහන’ නම් රිය අනතුරු සාර්ථකව මැඬ පවත්වන ස්වීඩනය, ඩෙන්මාර්කය, කැනඩාව, පින්ලන්තය මෙන් ම ආසියාතික රටක් වූ ජපානය වැනි රටවල් ගැන බැලිය හැකිය. මෙම රටවල වාහන සංඛ්‍යාව අඩු නොවන අතරම ඇතැම් විට එකම පවුලකට වාහන දෙක තුනක් තිබෙන අවස්ථාද දැකගත හැකිය. වාහන අනතුරකදී ගැටලුව වාහනය වුවත්, සැබෑ ගැටලුව වාහනය නොව, වාහනයේ තත්ත්වය සහ වාහනය පාවිච්චි කරන ආකාරයයි. මෙරට වැඩි වශයෙන් අනතුරට පත්වන්නේ ත්‍රිරෝද රථ, මෝටර් සයිකල්, පාපැදි හා පදිකයින් ය. එහිදී බාහිර ආවරණයක් නොමැති බැවින් අනතුරකදී ශරීරයට හානි සිදුවීමට මෙන් ම මරණයට පත්වීමට ඇති අවදානමද ඉහළය.

වාහන අනතුරු බහුල වීමට බලපාන කරුණු අතර වාහන පිළිබඳව පවත්නා නීති ක්‍රියාත්මක කරන ආකාරය ගැන ද විමසා බැලිය යුතුය. නීති සම්පාදනය වී තිබුණත් එම නීති පිළිපදින්නේද යන්න ගැටලු සහගතය. බොහෝ විට පොලිස් නිලධාරියකු මාර්ගයෙහි සිටින විට නීති ගරුකව පාරේ යෑමට සහ රිය පැදවීමට බොහෝ දෙනකු උනන්දු වූවත් පොලිස් නිලධාරියකු පෙනෙන්නට නොසිටින විට සමාජයෙහි හැසිරීම ඒ ආකාරයෙන් සිදු නොවන බව ප්‍රසිද්ධ කාරණාවකි. රථ වාහන පැදවීමේදී මාර්ගවල තත්ත්වය ගැනද සැලකිලිමත් විය යුතුය.

වැඩිහිටියන් වශයෙන් අප උත්සාහ කරන්නේ වඩා හොඳම දේ ඔවුනට ලබාදීමටයි. එසේ දරුවන්ට හොඳම දේ දෙන්නට සිතුවද වාහනයක ළමුන් රැගෙන යද්දී හොඳම ආරක්ෂාව සපයා දීම පිළිබඳව කල්පනා නොකිරීම ගැටලුවකි. ළමයෙකු මෝටර් රථයක ගමන් කළ යුත්තේ කෙසේද? යන්න පිළිබඳව තවමත් බොහෝ දෙනෙකු කටයුතු කරන්නේ අනවබෝධයකින් මෙන් ම නොසැලිකිමත්ව යැයි පැවසුවහොත් එහි වරදක් නැහැ.

වාහනයක් පදවන විට දරුවා වම්පස ඉදිරි අසුනෙහි වාඩිවී සිටින හැටි දක්නට සුලබ සිදුවීමකි. එහෙත් වාහනයක ඉදිරිපස අසුනෙහි දරුවන් අසුන් ගන්වා ගෙන රිය පැදවීම ඉතා භයානක, අවදානම් සහිත වූවකි. වේගයෙන් ගමන් ගන්නා රථයක් අනතුරට පත්වුණ විගස වේගය බින්දුව වී නැවතුණද ඒ වනවිට වාහනයේ ගමන් කරන පුද්ගලයන් වාහනය පැමිණි වේගයෙන් ම ඉදිරියට ඇදී යයි. වාහනයක සීට් බෙල්ට් පැලඳීමෙන් සිදුවන්නේ අනතුරකදී සිදුවිය හැකි හානිය අවම කර ගැනීම වන අතර, එයින් වාහනය සමඟ එහි ගමන් ගන්නා මගීන් ඉදිරියට යෑම නැවතෙයි. නමුත් වයස අවුරුදු 14 – 15 ට වඩා අඩු දරුවන් උසින් අඩු බැවින් ඔවුනට වාහනයේ ඇති ‘සීට් බෙල්ට්’ පැලඳීමට නොහැකි වීම ගැටලුවකි. එවැනි දරුවකු ඉදිරි අසුනෙහි හිඳගෙන සීට් බෙල්ට් පැලඳ සිටියදී අනතුරක් සිදුවුවහොත් ඉන් සිදුවන හානිය වැඩිය. එම නිසා වාහනයක කුඩා දරුවන් රැගෙන යන විට ළමා ආරක්ෂක අසුන් තිබෙන භාවිත කිරීම හෝ පසුපස අසුනෙහි එම ආරක්ෂක අසුන මත දරුවා වාඩි කරවීම අනුමත කළ හැකිය. මෝටර් සයිකල්වල ගමන් කිරීමේදී පැලඳිය යුතු ආරක්ෂිත හිස් වැසුම් ද අවධානය යොමු කළ යුතුම අංගයකි. දරුවන් සමඟ ගමන් කරන වැඩිහිටියන් තම අවධානය ජංගම දුරකථනය වෙත යොමු කිරීම හේතුවෙන් දරුවාගේ ආරක්ෂාවට ගැටලු ඇති වන්නා සේම දරුවාට එයින් ලබාදෙන ආදර්ශයද කොතරම් අහිතකර දැයි ඔවුහු කල්පනා නොකරති. ත්‍රිරෝද රථ පදවන අතරතුර කුඩා දරුවන් ඔඩොක්කුවෙහි හිඳවාගෙන යෑමේදී ත්‍රිරෝද රථයක් අනතුරට පත්වූ විට දරුවා එළියට විසිවීමට ඇති අවදානම වැඩිය.

ජපානයේ ටෝකියෝ නගරයෙහි සිටින බොහෝ පුද්ගලයන් ගමනාගමනය සඳහා තමන්ගේ පෞද්ගලික වාහනය වෙනුවට පොදු ප්‍රවාහන සේවා පහසුකම් භාවිතයට හුරුවී සිටිති. රටක පොදු ප්‍රවාහන සේවා හොඳ මට්ටමක පවතින විටෙක ජනතාව තම පෞද්ගලික වාහන වෙනුවට පොදු ප්‍රවාහන පහසුකම් භාවිතයට උනන්දු වනු ඇත. රටක් ලෙස බලා‍පොරොත්තු වන තිරසර සංවර්ධන ඉලක්කයට ළඟා වීමට රටෙහි රථ වාහන අනතුරු අවම කරගත යුතුය. ඒ සඳහා මිනිසුන් තුළ ආකල්පමය හා චර්යාමය වෙනසක් ඇතිවිය යුතුය. බොහෝ විට පාසල් දරුවන් රැගෙන යන වෑන් රථවල සහායිකාවක යෑම අනිවාර්ය යැයි නීතියක් තිබුණද ඇතැම් වෑන් රථ හිමියෝ ඒ පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදක්වති. මෙහිදී ‘නීතිය’ට වඩා දරුවන්ගේ රැකවරණය සැලසීම තම අවශ්‍යතාව ලෙස සලකා සහායකයකු නොමැතිව දරුවෝ ප්‍රවාහනය නොකිරීමට වෑන් රථ රියදුරන්ට බලකර සිටීමට දෙමවුපියන්ගේ අවධානය යොමුවිය යුතුය. ඒ සියල්ල අතරේ මිනිසුන් අතර ආරක්ෂාව පිළිබඳ වූ සංස්කෘතියක් (safety culture) හැදිය යුතුයි. එය කෙටිකාලීන මෙන්ම දිගුකාලීන සැලසුම් ඇතිව සැකසීම තුළින් වාහන අනතුරු වළක්වා ගැනීම අසීරු කටයුත්තක් නොවනු ඇත.

 සකස් කළේ - නිලංකා ජයසූරිය

Comments