
මෙරට පොදු ජනතාවගේ සමීපතම සහ විශාලතම සිල්ලර වෙළෙඳ අලෙවි ජාලය වන ලංකා සතොස, පසු ගිය ජනවාරි මාසයේ සිට ජුනි දක්වා කාලය තුළ රුපියල් මිලියන 17.62 ක වාර්තා ගත ආදායමක් උපයා තිබේ. එසේ බලද්දී, 2019 සිට 2020 දක්වා වසර තුළ, සතොස පෙන්නුම් කළ විකුණුම් වර්ධන වේගය 23%කි. ලංකා සතොස ඉතිහාසයේ අත්පත් කරගත් වාර්තාගත ආදායම සහ මෙතෙක්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයක් අත්පත් කරගත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස, එය හැඳින්විය හැකි බව සතොස සභාපති, නුෂාඩ් එම්. පෙරේරා පවසයි.
කොවිඩ් වසංගත සමයේ ආරම්භ වූ මෙම වර්ධනීය අවස්ථාව, පියවරෙන් පියවර අද දක්වාම පවත්වාගෙන ඒම විශේෂත්වයකි. price advantages හෙවත්, 'මිල වාසිය..', අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ප්‍රමුඛතාව සහ අඩුම මිලට ගුණාත්මක බවින් යුතු භාණ්ඩ ලබා දීම යන, සංකල්ප දිගින් දිගටම ක්‍රියාත්මක කළ නිසා, අද වන විට සතොස වටා රොද බැඳී පාරිභෝගික පිරිස කිහිප ගුණයකින් වැඩිවී ඇති බවත්, ඒ නිසාම පාරිභෝගිකයාට වඩාත් අවශ්‍ය දේ අඩුම මිලට ලබා දීමේ සංකල්පය තව තවත් පුළුල් කළ බවත්, සභාපතිවරයා පවසයි.
"උදාහරණවලින් කිව්වොත්, නාඩු හාල්, පාලන මිල රුපියල් 90ක් ව පවතිද්දී අපි දුන්නේ, රුපියල් 85ට. වෙළෙඳපොළේ සුදු සීනි රුපියල් 145ක් ව පවතිද්දී, සතොස මිල රුපියල් 127යි. ගෙවුණු දුෂ්කර කාලය පුරාමත්, ඉදිරියටත් අපි මිල වාසිය දෙන්නේ, අනවශ්‍ය භාණ්ඩවලට නෙවෙයි, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට.
ඒ වගේම, අපි සතොස හරහා අලෙවි කරන ආහාර ද්‍රව්‍යවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය පිළිබඳ විශේෂ වැඩපිළිවෙළක් සකස් කළා.
![]() |
සභාපති - නුෂාඩ් පෙරේරා |
ඒ අනුව, අපේ පරිප්පු ගෙන්වන්නේ කැනඩාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන්. කවුපි, රුසියාවෙන්. ලූනු සහ සීනි ඉන්දියාවෙන්. ඒ සීනි කැටවල ප්‍රමාණය පවා අපි අධීක්ෂණයට ලක් කරනවා. අඩුම මිලට දෙනවා කියා අපි දැන් තත්ත්වයෙන් බාල ආහාර ද්‍රව්‍ය කිසිවක් සතොසට මිලදී ගන්නේ නැහැ.
ඒ නිසාම,මේ දිනවල සතොසේ හාල්මැස්සන් හිඟයි. හේතුව, තායිලන්ත හාල්මැස්සන් සාම්පල පෙන්වා, ඉරානයෙන් ගෙන්වන දුඹුරු පැහැති, බෙලිකටු ගල් සහ රොඩු සහිත දිරා ගිය හාල් මැස්සන් විශාල වශයෙන් සතොසට දී තිබුණා. ඒ නිසා, අපි වහාම හාල්මැස්සන් මිල දී ගැනීම නැවැත්වූවා. දැනට සතොසේ තිබෙන්නේ, පැකට් කළ හාල්මැස්සන් පමණයි.
ඒ වගේමයි ලොකු ලූනුත්. ඕලන්දයෙන් ගෙන්වන ලොකු ලූනු කහ පැහැතියි. රසයෙන් අඩුයි. නමුත් මිලෙන් අඩුයි. හොඳ ලූනූ පොතු ගැලවෙන ආකාරයෙන් සොයා ගන්නට පුළුවන්. ඒවා රෝස පැහැයෙන් යුක්තයි. මිල තරමක් වැඩි වුවත් රසයෙන් යුක්තයි. ඒ නිසා, ඉන්දියාවෙන් ගෙනෙන ලොකු ලූනුවලටයි අපි දැන් ප්‍රමුඛතාව දෙන්නේ.
සමහර සතොසවල මේ කියන තත්ත්වයෙන් නොවන ලූනු තිබෙනවා නම්, පාරිභෝගිකයන්ට පුළුවන්, ඒ බව අපිට දැනුම් දෙන්න. මොන තරම් ටෙන්ඩර් පටිපාටි ක්‍රියාත්මක කළත්, ටෙන්ඩරයේදී එක සාම්පලයක් පෙන්වා, භාණ්ඩ භාර දෙන විට, බාල තත්වයේ ඒවා දෙන සැපයුම්කරුවන් කොතෙකුත් සිටිනවා. මින් ඉදිරියට ඒ කිසිවකුටත් සතොසේ ඉඩ නැහැ. අවුරුදු ගණනක් රුපියල් 800 ක්ව එකම ආකාරයකට තිබුණු පාරිභෝගිකයන්ගේ භාණ්ඩ මිල දී ගැනීමේ උපයෝගීතාව හෙවත්, basket price එක, දැන් රුපියල් 1,100 දක්වා ඉහළ ගිහින් තිබෙනවා. එය විශාල සාධනීය පියවරක්. එයට බලපෑ හේතු අතර, සතොස ආහාර ද්‍රව්‍යවල ගුණාත්මක භාවය දක්වන්නට පුළුවන්.
මේ සාධනීය තත්ත්වයන් දිගටම පවත්වාගෙන යෑම සඳහා, සහල් මිලදී ගනිද්දි, නවීන තාක්ෂණය ඇසුරෙන් ඒවායේ තෙතමනය පවා පරීක්ෂාවට ලක් කරනවා. මොකද, තෙතමනය වැඩි නම් ඒ සහල් පුස් කෑමේ සම්භාවිතාව වැඩියි.
ඉස්සර අපගේ අලෙවිසල් වෙත බඩු භාණ්ඩ රැගත් ලොරි ගියේ සතියට වතාවයි. දැන් අවශ්‍යතාව අනුව, දින දෙකෙන් දෙකට ලොරි පිටත් වෙනවා. රාජ්‍ය අංශයේ ප්‍රගති දර්ශක සඳහා පූර්වාදර්ශයක් වෙමින් ලංකා සතොස ඉතිහාසයේ, අපි තවත් සුවිශේෂී සලකුණක් සටහන් කළා. එනම්, www.lankasathosa.lk වෙබ් අඩවියෙන් පාරිභෝගිකයන්ට අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කිරීමට අවස්ථාව සැලැස්වූවා.
![]() |
සතොස ගබඩා සංකීර්ණයන්හි සේවකයන් ගේ කැපවීම |
ඒ වගේම ලංකාවේ වේගයෙන් වර්ධනය වන ඔන්ලයින් සේවා වෙළෙඳපොළ තුළ තරඟකාරීත්වය ජයගනිමින් පාරිභෝගිකයන්ට කාර්යක්ෂම සේවාවක් සැපයීම අරමුණු කරගෙන ලංකා සතොස මෑතකදී ඔරුගොඩවත්තේදී, නවතම අංග සම්පූර්ණ ගබඩා සංකීර්ණයක් ද විවෘත කළා."
සභාපතිවරයා පවසන පරිදි, සතොස නව පිබිදීමත් සමඟ පසුගිය ජනවාරි මාසයේ සිට නව ශාඛා 16ක් විවෘත කොට තිබේ. ඉදිරියේදී තවත් ශාඛා 25ක් විවෘත කිරීමට නියමිත අතර, ඒවා දුෂ්කර ගම්මාන පවතින ප්‍රදේශවලට අදාළව විවෘත කෙරෙන බවද සභාපති වරයා පවසයි.
" හුඟ දෙනෙක් මගෙන් අහනවා, ඇයි මේ, ප්‍රධාන සුපර් මාර්කට් දෙක තුන එක්ක තරග නොකරන්නේ කියලා. ඇත්තටම මට තියෙන්නේ ඊට වඩා ලොකු අභියෝගයක්. ජාතික වගකීමක් ඉටු කිරීම සඳහා වන කාර්ය භාරයයක්. සුපර් මාර්කට් වෙත යා නොහැකි පහළ මැද පන්තියේ මිනිස්සුයි, මේ රටේ මිලියන ගණනක් සිටින්නේ. අපේ ඉලක්කය වන්නේ ඔවුන්.
ඔබ හිතන්න, හෙට සිට ලංකාවේ සතොස ජාලයක් නැහැ කියලා. පුළුවන් මිනිස්සු සුපිරි වෙළෙඳසල්වලට යාවි. ඒත් දුප්පතුන් මොකද කරන්නේ. පිටකොටුවට සිල්ලර කඩවලට විතරක් නෙවෙයි, ඕනෑම වෙළෙඳසලකට පුළුවන් හිතූ හිතූ මිලට බඩු විකුණන්න. බඩු මිල ඉහළ දමන්න. කවුද අභියෝග කරන්නේ. අපිව අභියෝගයක් නිසා තමයි, අනෙක් අයට කළු කඩ මිලට බඩු විකුණන්න බැරි.
සතොස නිසා තමයි, තවමත් මේ රටේ පාලන මිලක් ඇතිව, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටිකවත් අලෙවි වන්නේ. අපි ජනාධිපතිතුමා ගේ රට නංවන දැක්මට අනුගත වූ නිලධාරීන්. ඒ නිසා, නිවැරැදි දේ කරන්න අපි බැඳී ඉන්නවා. එතුමා අපිට අවශ්‍ය තරම් බලය සහ නිදහස දී තිබෙනවා. සතොස තිබෙන්නේ මහජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන්. අපි ඇවිත් ඉන්නේ, ඒ ජාතික වගකීම ඉටු කරන්න..."
ඒ නිදහස හා බලය තුළ,ගත යුතු දැඩි තීන්දු තීරණ ගන්නට සතොස සභාපතිවරයා දෙවරක් සිතා නැත.
මෙතෙක් සිදුවෙමින් පැවතුණා වූ, සතොස මහා පරිමාණයේ වංචා දූෂණ සඳහා, ඔහු නෛතික වැට බඳින්නට පියවර ගෙන තිබේ. අවුරුදු ගණන් හොඳින් පදම් ව, විවිධ පුද්ගලයන් කරගෙන ගිය ඒ වාංචනික සහ දූෂිත ක්‍රියා මුලිනුපුටා දැමීම මේ වන විට ඔහු ආරම්භ කොට තිබේ.
ඒ අනුව, සෑම සතොස ශාඛාවකමත් විශේෂයෙන් මූල්‍ය අංශය වැනි වැදගත් අංශ ආවරණය වන පරිද්දෙන් සතොස මූලස්ථානයේත් සෑම මහලක් ම ආවරණය වන පරිදි සී සී ටීවී කැමරා සවි කිරීම ආරම්භ කොට තිබේ. අමාත්‍යවරයා විසින් සියල්ල සෘජුව අධීක්ෂණය කරනු ලබයි.
එතෙකින් නොනැවතී, ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදා ගන්නා සියලුම ලොරි, භාණ්ඩ පැටවීමෙන් පසු සීල් තබන අතර, ප්‍රදර්ශනාගාරවලට නැවත බඩු බාන අවස්ථාවේදී සියලුම කිරුම් මිණුම් කටයුතු ඩිජිටල් තරාදි මගින් සිදු කරයි. ලොරි රථ සීල් තැබීම සහ තරාදි ඩිජිටල්කරණය කිරීමෙන් විශාල වශයෙන් සිදුවූ වංචා දූෂණ අවම කරගන්නට හැකියාව ලැබුණු බව සභාපතිවරයා පවසයි.
‘මහජනතාවට වඩාත් සමීප, සිල්ලර අලෙවිසල් ජාලය ලෙස ක්‍රියාත්මක වන්නේ, ලංකා සතොසයි.1949 පාර්ලිමේන්තු පනතින් පිහිට වූ සතොස, එකල ලක්සෙට කොඩි දැමූ රාජ්‍ය ආයතනයක්. සළුසල, ලංකා මිල්ක් ෆුඩ්ස් CWE ලිමිටඩ් හෙවත් ලක්ස්ප්‍රේ,රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව (STC) සහ ඔබරෝයි හෝටලය යන එකල අතිශය ලාභ ලැබූ ව්‍යාපාර බිහි වුණේ, සතොස මව් සමාගමේ ලාභයෙන්.
විවෘත ආර්ථිකයට කලින් ලංකාවට අවශ්‍ය සෑම ආහාර ද්‍රව්‍යයක්ම ආනයනය කොට බෙදාහැරීමට බලය තිබුණේ සතොසට පමණයි. විවෘත ආර්ථිකයේ පැමිණීමත් සමග සතොස ට තිබූ බලය සහ ඉල්ලුම ටිකෙන් ටික අඩු වුණා. සළුසල වැහිලා ගියා. ලක්ස්ප්‍රේ සමාගම පුද්ගලික අංශයට විකිණුනා.
ඔබරෝයි හෝටලයේ අයිතියත් ගිළිහී ගියා. ඒත්, සතොස කියන්නේ, යුගයක් එකලු කළ දැවැන්ත ව්‍යාපාරයක්. මේ ස්වර්ණමය යුගයම නැති වුණත් අදත් සතොස සේවකයන් 4,000 කගේ බඩවියත රකිනා දැවැන්ත ආයතනයක්.
අලෙවිසල් 400ක් හරහා, රටේ පහළ මධ්‍යම පාන්තික ජනතාවගේ කුසගින්න නිවනා ඔවුන්ගේ ම ආයතනයක්. තවමත් සම්පත් ඉතිරිව තිබෙන ආයතනයක්. සතොස සතුව ලොරි 87ක් තිබෙනවා. පන්නෙගමුව සහ හිඟුරක්ගොඩ එදා සහල් කෙටූ දැවැන්ත හාල් මෝල් දෙකත් නිරූපද්‍රිතව තිබෙනවා.
මේ තරම් කාලයක් මේ හාල් මෝල් දෙක, සහල් මාෆියාකරුවන් මුදල් දී වසා දමා තිබූ බවයි, මට දැනගන්නට ලැබුණේ.ඒ මෝල් දෙක පටන් ගන්න හදනකොට මටත් විවිධ බලපෑම් ආවා. නමුත් මම සැලුණේ නැහැ.
අක්කර තිහක භූමියක යකඩ ගොඩක් වගේ තිබූ ඒ මෝල් දෙක දැන් වැඩ. වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගෙන, අපි දැන් ඒ මෝල්වල සහල් කොටනවා. දැන් මෝල් දෙකක්ම තියෙන නිසා, දිසාපතිවරු හරහා, ඍජුවම කුඩා පරිමාණ සහල් මෝල් හිමියන්ගෙන් සහ ගොවීන්ගෙන් වී මිල දී ගැනීමේ වැඩපිළිවෙළකුත් අප ක්‍රියාත්මක කර තිබෙනවා. දැන් අපිට අතරමැදියන් අවශ්‍ය නැහැ. දවසකට මෙට්‍රික් ටොන් විස්සක ධාරිතාවක් ඇති මේ මෝල් දෙක, 1997 ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු තෑග්ගක්. අවුරුදු හතරක්වත් යන්න කලින් 2001 වන විට මේක වසා දමලා. නමුත් වසා දමන්නට ඕනෑ මේ සහල් මෝල් නෙවෙයි.
කිසිදු සොයාබැලීමකින් හෝ ක්‍රමවේදයකින් තොරව පහුගිය කාලයේ විවෘත කොට තිබූ, අලෙවිසල් විශාල ප්‍රමාණයක් තිබුණා. ඒවා මෙපමණ කලක් තිබුණේ පාඩු පිට. සමහර අලෙවිසල් කුලී පදනම මත අරගෙන, කවදාවත් විවෘත නොකරපු ඒවා. නමුත් මුදල් ගෙවමින් පැවතුණා. අපි ඒ සියල්ල වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූවා. ඒ අනුව, නැගෙනහිර පළාතේ සතොස අලෙවිසල් 14ක් මං වසා දැමුවා. මින් ඉදිරියට,අලෙවිසල් ආශ්‍රිත සියලු ඉදිරි සැලසුම් ක්‍රියාත්මක වන්නේ, අප පත් කළ නව ගොඩනැගිලි කමිටුව හරහායි. "