පිළිතුරු සැපයීම :- කායික රෝග
විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක
දියණියගේ සැරපරුෂ බව ගැටලුවක්
ප්‍රශ්නය :- මගේ දියණිය 26 හැවිරිදි අවිවාහක තරුණියකි. ඈ කාර්යාලයක පරිගණක අංශයේ රැකියාවක නිරත වී සිටියි. මෑතක සිට ඇයට නිවසේ අය රුස්සන්නේ නැත. විශේෂයෙන් මම සහ මගේ බාල දියණිය සමඟ නිතරම අඬදබර කරයි. සැමියා සමඟ නම් ඒ තරමටම රණ්ඩුවට යන්නේ නැත. අපි කෑම කන්න කීවත් වැරදිය. නොකීවත් වැරදිය. අප දන්නා පරිදි ඇයට ප්‍රේම සම්බන්ධයක් ද නැත. අප විවාහ යෝජනා ද ගෙනෙන නමුත් තවමත් යෝජනාවක් ස්ථිර වී නැත. දියණිය ඇගේ නැඟණිය සහ මා සමඟ කලහකාරි ලෙස හැසිරෙන නිසා දියණියව මනෝ වෛද්‍යවරයකුට යොමු කිරීමට සිතුවත් ඈ පිටස්තරයන් හා මිතුරියන් සමඟ ඉතා විනෝදයෙන්, සහයෝගයෙන් කල් ගෙවන නිසා ඊට මඳක් පසුබා සිටිමි. දියණියගේ දබරය තිබෙන්නේ බාල දියණිය සහ මා සමඟ පමණි. මා කළ යුත්තේ කුමක්ද? උපදෙසක් බලාපොරොත්තු වෙමි.
කයිකාවල - සුභාෂිණි යශෝධා ලබුතලේ
පිළිතුර :- ඔබේ දියණියට තිබෙන්නේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු රෝගයක් නොවේ. නිවසේ සමීපතමයන් සමඟ ඇති ගැටලුවකි. ප්‍රථමයෙන් ඔබේ දියණියට ඔබ හා බාල දියණිය සමඟ ඇති ගැටලුව හඳුනාගත යුතුය. එය කතා කර දැන ගැනීමට අපහසු නම් ඔබේ සැමියා මාර්ගයෙන් දියණියගෙන් දැනගන්න. එසේ දැන ගැනීමට නොහැකි නම් හොඳම මිතුරියකගෙන් දැනගෙන ගැටලුව විසඳාගන්න.
ඇඳේ සිටීමට සිදුවේදැයි බියෙන්
ප්‍රශ්නය :- මම 68 හැවිරිදි කාන්තාවක්මි. අධි රුධිර පීඩනය සහ ඔස්ටියෝපොරොසිස් රෝගවලින් පෙළෙමි. මීට වසර 5කට පමණ පෙර මගේ වම් තට්ටම් ප්‍රදේශයෙන් කැක්කුම හට ගෙන ඇවිද ගැනීමට අපහසු විය. එය දරුණු වූ විට MRI ස්කෑනින් පරීක්ෂණයකට වෛද්‍යවරයා විසින් මා යොමු කරනු ලැබීය. එහෙත් මගේ දරුවන් සහ මා ශල්‍යකර්මයක් සිදු කිරීමට කැමති නැත. ඉන්පසුව මට ප්‍රතිකාර කළ රක්තවේද හා පුනරුත්ථාපන විශේෂඥ වෛද්‍යවරයා මා ව්‍යායාම සඳහා යොමු කළේය. ඉඳහිට කකුලේ වේදනාවක් ඇති වුවද සාමාන්‍ය තත්ත්වයෙන් මම කාලය ගත කරමි. එහෙත් මගේ වම් කකුල ක්‍රමක්‍රමයෙන් සිහින් වේ. කකුලේ පැහැය ද වෙනස් වී ඇත. පය බිම තබා ඇවිදින්නේ අමාරුවෙනි. කොඳු ඇට පේළියේ සැත්කම සිදු නොකළොත් මට ඇවිදීමට නොහැකිව ඇඳට වී සිටින්නට සිදු වේදැයි බියෙන් පසුවෙමි. මා කළ යුත්තේ කුමක්ද? වෛද්‍ය උපදෙසක් බලාපොරොත්තු වෙමි.
තලංගම - රෝහිණි සෝමලතා
පිළිතුර :- සපයා ඇති විස්තරය අනුව ස්නායු තෙරපුමක් නිසා රෝගි තත්ත්වයන් උත්සන්න වී ඇති බව පෙනේ. එය නිට්ටාවට සුව කර ගත හැක්කේ ශල්‍යකර්මයක් මගිනි. වෛද්‍යවරයා සැත්කමට භාජනය කළ යුතු බව ඔබට දන්වා ඇත්තේ එමනිසාය. ඔබේ ස්නායු තෙරපුමෙන් රුධිර සැපයුම අඩු වී කකුලේ පේශි දියවීම, පාදයේ පැහැය වෙනස් වීම ඇතිවේ. කකුලේ වේදනාව සහ හිරි වැටීම ඇතිවේ. කාලයත් සමඟ ඔබේ රෝගි තත්ත්වය උත්සන්න වී ඇත. ශල්‍යකර්මය සිදු නොකිරීමෙන් ඔබට ඇඳට වී සිටින්නට සිදු වේ දැයි නිශ්චිතව පැවසීමට නම් ඔබව පරීක්ෂා කළ යුතුය. ඔබේ රෝගි තත්ත්වයේ ඔබ පසුවන අවධිය කුමක්දැයි නිශ්චිතව හඳුනා ගත යුතුය. එබැවින් ඔබේ ප්‍රශ්නයට පුවත්පතින් පිළිතුරු දිය නොහැකිය. එහෙත් ඔබේ රෝග ලක්ෂණ සමනය කර සහනදායි ආකාරයට ජීවත්වීමට යම් යම් ක්‍රමවේදයන් වෛද්‍ය විද්‍යාවේ පවතී. වේදනා නාශක ඖෂධ භාවිතය, ව්‍යායාම කිරීම වැනි ක්‍රමවේද ගණනාවක් තිබේ. ඒ මඟින් ඔබට පීඩාකාරි තත්ත්වය පාලනය කර ගත හැකිය. කෙසේ නමුදු ඔබ ප්‍රතිකාර ගෙන තිබෙන්නේ රක්තවේද හා පුනරුත්ථාපන විශේෂඥ වෛද්‍යවරයකුගෙන් නිසා ඔබ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු හමු වී උපදෙස් ගැනීම අත්‍යවශ්‍ය දෙයකි.
පීනස දරුණු වීමෙන් ගැටලු රැසක්
ප්‍රශ්නය :- මම 52 හැවිරිදි විවාහක පිරිමියෙක්මි. කාර්යාලයක පරිපාලන අංශයේ නිලධාරියකු ලෙස සේවය කරමි. මා කුඩා වියේ පටන් සෙම රෝගයෙන් පෙළුණෙමි. වයස අවු: 16, 17 වන විට පීනස් රෝගයට ගොදුරු වූවෙමි. ඊට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලැබුවෙමි. නැවතත් වයස අවු: 30 ඉක්මවූ විට පීනස දරුණු විය. මට නාසයෙන් සොටු දියර ගැලීම හෝ කිවිසුම් යෑම නැත. මට තිබෙන්නේ නළල දෙපස සමඟ හිස කැක්කුම සහ උගුරේ සෙම ඇති වීමයි. කතා කරන විට උගුර පාදා සෙම බුරුල් කර කතා කිරීමට සිදුෙව්. සමහර දිනවල මුහුණ තඩිස්සි වේ. මේ දිනවල නැවතත් මගේ සෙම තත්ත්වය වැඩි වී හිස කැක්කුම ඇති වේ. කන් දෙපස, බෙල්ල පිටුපස හා උරහිස්වල වේදනාව පවතී. වාෂ්ප ඇල්ලූ විට හිස කැක්කුම අඩු වුවත් කන් දෙපස, බෙල්ල පිටුපස කැක්කුම විටින් විට ඇති වේ. කාර්යාලයේ වායු සමීකරණ යන්ත්‍රය ද මීට හේතුවක් විය හැකි බව මම අනුමාන කරමි. සමහරවිට සමබරතාව නැති වී හිසේ කරකැවිල්ල පවා ඇති වේ. මගේ සෙම තත්ත්වය නිට්ටාවට සුව කළ නොහැකිද? වෛද්‍ය උපදෙසක් බලාපොරොත්තු වෙමි.
හෙයියන්තුඩුව - සංජය මාධව ගුණසිංහ
පිළිතුර :- ඔබ කෝඨරක ප්‍රදාහයෙන් පෙළෙන බව පෙනේ. කෝඨරක ප්‍රදාහයන් එක් ස්ථානයක හෝ ස්ථාන 2ක පමණක් නොව ස්ථාන කීපයක ඇති බව ඔබ එවා ඇති විස්තර අනුව අනුමාන කළ හැකිය. එය කාලයක් මුළුල්ලේ පවතින රෝගි තත්ත්වයක් නිසා කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගත යුතුය. ඇතැම්විට ප්‍රතිජීවක ඖෂධ පවා භාවිත කිරීමට සිදු විය හැකිය. ඔබ ආහාර සහ චර්යා රටාවන් අනුව රෝගය පාලනය කර ගැනීමට උත්සාහ කිරීම වරදක් නැත. එහෙත් කෝඨරක ප්‍රදාහයේ ඖෂධ ගැනීමේ තත්ත්වයේ ඔබ සිටින නිසා ප්‍රතිකාර ගැනීම අනිවාර්යයෙන් කළ යුතුය. මෙය සුළු කොට සැලකීමෙන් ආසාදන තත්ත්වයන් වැනි අතුරු ආබාධ ඇති වී තත්ත්වය දරුණු විය හැකිය. ඔබේ කන පිටුපස සහ උගුරේ ද සෙම ඇති බව පවසන හෙයින් ළඟම පිහිටි රජයේ රෝහලේ උගුර - කන - නාසය සම්බන්ධ සායනයට ගොස් වෛද්‍යවරයකු හමුවීම සුදුසුය.