
බෙංගමුවේ නාලක හිමියන් විසින් පසුගියදා රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ‘කංසා’ නීතිගත කිරීම පිළිබඳ කතාව නැවතත් කරළියට ආවේය. මීට ප්‍රථමද ඒ පිළිබඳව කතිකාවන් ඇති වුවද මෙතරම් ධනාත්මක මැදිහත් වීමක් දක්නට නොලැබුණි. පක්ෂ විපක්ෂ බොහෝ දෙනා ඒ පිළිබඳ අදහස් දක්වන්නට වූයෙන් ඒ පිළිබඳ කිසියම් අධ්‍යයනයක් කිරීම කාලෝචිත යැයි අදහස් කළෙමු.
මෙරටේ ‘කංසා’ භාවිතය ආරම්භ වූයේ කවර කලක ද යන්න නිෂ්චිතව කිව නොහැකි නමුත් එය ඖෂධයක් ලෙස භාවිතයට ගත් බවට කිසියම් ඉඟියක් ලැබේ. මෙරට වෛද්‍ය සාහිත්‍යය දෙස අවධානය යොමු කිරීමේදී ලංකාධිපති ශ්‍රී රාවණයන් ගේ කෘති ලෙස සැලකෙන අර්ක ප්‍රකාශය, කුමාර තන්ත්රය, උඩ්ඩීස තන්ත්රය, දඹදෙනි යුගයට අයත් පූජාවලිය කර්තෘ මයුරපාද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ යෝගාර්ණවය, ප්රයෝගරත්නාවලිය, පඥච මූල පරිවේණාධිපතීන් වහන්සේ ගේ භේසජ්ජ මංජුසාව, මෝරගම්මන හිමිපාණන්ගේ සිංහල යෝගරත්නාකරය, යෝගපිටකය, අඥාත කර්තෘක අලි වෙද පොත, අඥාත කර්තෘක වෛද්‍ය චින්තාමනීය, ශ්‍රී රත්නසේකරයන් විසින් ලියන ලද චිකිත්සා පොත, මිදෙල්ලව කෝරාළයන්ගේ රජගෙයි ඇස් වෙද පොත, අඥාත කර්තෘක කැඩුම් බිඳුම් වෙද පොත, අඥාත කර්තෘක වරයෝග සිතුමිණ, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ රාජ වෛද්‍යවරයාගේ වෛද්‍ය චින්තාමනීය, වැලිවිට ශ්‍රී අසරණ සරණ සසරණංකර සංඝරාජ හිමිපාණන්ගේ භේසජ්ජ මංජුසා සන්නය ඇතුළු දේශීය වෛද්‍ය ග්රන්ථ රාශියක් තුළින් කංසා හා මෙරට වෙදකම අතර වූ සම්බන්ධය මනාව පැහැදිලි වේ.
කංසා නැතිනම් ගංජා පාවිච්චිය මෙරට තහනම් කරනු ලැබූයේ ඉංග්‍රීසි පාලන යුගයේදී ය. දුම්කොළ වගාව හා දුම්පානය ප්‍රචලිත කිරීම සඳහා එසේ කළ බව නොරහසකි. එසේ ම ශරීරයට ගුණදායි තෙලිජජ හා රා වෙනුවට මත්වතුරද මෙරටට හඳුන්වා දී ඒවා නීතිගත පානයන් බවට පත් කළේද ඔවුන් විසිනි. බටහිර තාක්ෂණික සමාජය සහ බටහිර වෙදකම අතර ඇති සම්බන්ධය ජීවමය වූ එකකි. මෙම සම්බන්ධය නිසා පාරිභෝගික වූ බහුජාතික වෙළෙඳ ආධිපත්‍යයට අනුබල දෙන ආකාරයෙන් බටහිර වෙදකම ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්රයට ඇතුළු වී ඇත. අද ලොව ප්රබලතම ධන උල්පතක් බවට පත්ව ඇත්තේ ඖෂධ වෙළෙඳාමය. ඉනුත් ස්වභාවික ඖෂධ වර්ග සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් පවතී. එනිසා බටහිර වෙදකම හදාළ අය විසින් කංසා පිළිබඳ නඟන විරෝධය එකී ඖෂධ හා බැඳුණු බටහිර දේශපාලනය සංකේතාමකව දක්වන්නකි.
ලෙස්ටර් ග්‍රීන්ස්පූන් සඳහන් කරන ආකාරයට මිනිසා විසින් කංසා භාවිත කිරීම පිළිබඳ මුල්ම වාර්තාව හමු වන්නේ ක්‍රිස්තු පූර්ව 2737දී ෂෙන් නූං නම් ශාඛ ඖෂධ අධිරාජයාගේ ඖෂධ සංග්රහයකය. කංසා යන්න ඈත අතීතයේදී පවා සමාජය තුළ මතභේදයන්ට පාත්‍ර වූවකි. කංසා පැළයෙන් අපායට යන මග සදන බව සමහරු කියා සිටි අතර, සමහරු කීවේ එයින් සුර ලොව යන මග සලසන බවය. මත්ද්‍රව්‍යයක් වශයෙන් එය භාවිතය චීනයේ සිට ඉන්දියාවට පැතිර ගිය අතර, පසුව දකුණු අප්‍රිකාවටද ගොස් තිබේ. ක්‍රිස්තු වර්ෂ 1800දී පමණ ඊජිප්තුවේ සටන් කර ආපසු පැමිණෙමින් සිටි නැපෝලියන්ගේ හමුදාවේ යුද භටයන් මගින් යුරෝපය කරා පැතිර ගිය බව ඇතැමුන්ගේ විශ්වාසයයි. යුරෝපය සහ ආසියාව පුරා මධ්‍ය නිරක්ෂ ප්‍රදේශවල සිටි ජනයා මුල් ඉන්දු- යුරෝපීයයන් ද ක්‍රි.පූ.5000 සිට කංසා ගැන දැන සිටි අතර ඒවා භාවිත කළහ.
1897 මැයි 15 වැනිදා මානව විද්‍යාව, මානව වංශ ශාස්ත්‍රය සහ ප්රාග් ඉතිහාසය පිළිබඳ බර්ලීන් සංගමයේ සැසි වාරයකදී ජර්මන් පුරාවිද්‍යාඥ හර්මන් බුසේ විසින් තම සොයාගැනීම් ඉදිරිපත් කරමින් කියා සිටියේ ජාත්‍යන්තර වශයෙන් කංසා පැතිර තිබීමත් සමාජය උස් පහත් කොටස් මඟින් ඒවා භාවිත කර තිබීමත් ගැන ඉතා පැරණි කල සිට බහුලව වාර්තා වී ඇති බවය. ජෝර්ජ වොෂින්ටන්ගේ දින පොත්වල තබා ඇති සටහන්වලින් පැහැදිලි වන්නේ කංසා වවන සංකීර්ණ ක්‍රමය හොඳින් හදාරා ඔහු විසින් කංසා වගා කිරීමට පියවර ගත් බවයි. ඇමරිකාවේ සිටි ජනාධිපතිවරයකු වූ බිල් ක්ලින්ටන්ද තමා විසින් කංසා දුම් බී ඇති බව පිළිගත්තේය. 1883 වනතුරු කැනබිස් සැටීවා cannabis sativa හෙවත් කංසා ලොව වගා කළ විශාලතම කෘෂිකාර්මික බෝගය විය.
2016 වසරේ THINKSTOCK සමුළුව සංවිධානය කරන කැනාටෙක් සංවිධානය පවසා සිටියේ ගංජා වගාව වර්තමානයේ ලොව වේගයෙන් ම වර්ධනය වන කෘෂි ආර්ථික වගාව බවයි. වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් කංසා දැනට වඩා භාවිත කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස විශේෂඥයෝ පිරිසක් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට රැස් විය. ඒ අනුව වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් ගංජා ශාකය යොදා ගැනීම ඩොලර් කෝටි ගණනක ගෝලීය ව්‍යාපාරයක් බවට පත්වෙමින් ඇත. ආයෝජකයන්, අවසර ලත් කංසා වගාකරුවන් සහ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් බෙදාහරින්නන් එම සමුළුවට එක්වීම විශේෂත්වයකි. ඇමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවක මෙන්ම ලොව පුරා රටවල් ගණනාවක ද වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් කංසා වගාව නීතිගත කිරීමෙන් අනතුරුව ව්‍යාපාරයේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව නිව්යෝක් ටයිම්ස් වැනි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායලය නීත්‍යානුකූල ගංජා වගාව පුළුල්ව ක්‍රියාත්මක කරන රට වන අතර කංසා වගාවේ නව ප්රවණතා පිළිබඳ පර්යේෂණවලටද ඔවුන්ට ප්රමුඛත්වයක් හිමිව ඇත. 2017 වසරේදී නෙදර්ලන්ත පාර්ලිමේන්තුව ගංජා වගා කිරීම සඳහා අවසර ලබා දීමේ යෝජනාවක් අනුමත කළේය. ඒ ගංජා සඳහා නෙදර්ලන්තය දීර්ඝ කාලයක් තිස්සේ දැක්වූ ලිහිල් ප්‍රතිපත්තියට නීතිමය පසුබිමක් අවශ්‍ය වූ නිසාය. මෙගින් ‘ගංජා කර්මාන්තය’ නෙදර්ලන්තයේ ප්‍රධාන ආර්ථික ප්රවාහයට එක්වනු ඇති බව ඔවුන් පවසයි.නෙදර්ලන්තයේ නීති සංග්‍රහයට අනුව ගංජා තහනම් මත්ද්‍රව්‍යයක් වන නමුත් එරට අවන්හල් තුළ ගංජා අලෙවිය ප්‍රසිද්ධියේ සිදුවේ. ඇමෙරිකාවේ නෙවාඩා පාලන අධිකාරිය බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා අති විශාල ඉල්ලුමකට ගංජා කර්මාන්තය මුහුණ දී ඇතැයි නෙවාඩා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා ස්ටෙෆනි ක්ලැප්ස්ටීන් පසු ජූලි 01වැනිදා පැවසූ බව ‘රෙනෝ ගැසට්’ සඟරාව සඳහන් කරයි. ගංජා අලෙවිය නීතිගත කිරීමෙන් අනතුරුව නෙවාඩා ඖෂධ ශාලා සංගමය ඇස්තමේන්තු කර තිබුණ ආකාරයට පළමු දින හතර ඇතුළත ඩොලර් මිලියන 3ක අලෙවියක් සහ ඩොලර් මිලියනයක බදු ආදායමක් උපයා තිබුණි. ඇමරිකාවේ තවත් ප්‍රාන්ත කිහිපයක ම ගංජා අලෙවිය නීතිගත කර ඇති අතර නෙවාඩා ප්‍රාන්තය එම තීරණයට එළැඹියේ පසුගිය නොවැම්බර් මාසයේදී ය. නමුත් එය ක්‍රියාවට නැංවූයේ පසුගිය ජූලි මස පළමුවැනිදා ය. එසේ වුවත් වසර 2001 සිට ඇමරිකාවේ ඖෂධයක් වශයෙන් ගංජා භාවිතයට අවසර ලබාදී තිබුණි. 2018 ජූලි මාසයේ සිට නිවෙස්වල ගංජා වගා කිරීමට උරුගුවේ රාජ්‍යය අවසර දීමත් සමඟ, එම වගාවන් ඍජුවම ඖෂධ අලෙවි සැල් වෙත ලබාදී තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට එරට වැසියන්ට අවස්ථාව හිමිව ඇත. මීට අමතරව නිවෙස්වල ගංජා වැවීමට හෝ ගංජා වගා කිරීමේ නියුතු පිරිසට සමූපකාර සමාජ හා සම්බන්ධ වීමේ හැකියාවද නීතිය මඟින් ඉඩ ප්‍රස්ථාව විවර කර දී ඇත. 2016 වසරේ පටන් ඔස්ට්‍රේලියාව ඖෂධයක් මට්ටමින් ගංජා පාවිච්චිය නීතිගත කර ලැබ තිබූ අතර, 2018 වසරේ සිට කැනඩාව සහ නෙදර්ලන්තය අනුව යමින් දේශීය වෙළෙඳපොළෙන් ඔබ්බට ගොස් ජාත්‍යන්තර වෙළෙඳපොළට ගංජා විකිණීමේ පරිසරය නිර්මාණය කර ගැනීමට කටයුතු කළේය. මෙම ක්‍රියාමාර්ගයෙන් විදේශිකයන්ට පමණක් නොව දේශීය රෝගීන්ටත් ඵලදායී වනු ඇතැයි ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ඇමති ග්‍රෙග් හන්ට් පවසා තිබුණි.
කංසා කෙඳි ලනු, රෙදි, පහන් දල්වන තෙල් සහ ඖෂධ සඳහා මෙන්ම කඩදාසි සඳහාද භාවිත කරයි. නාවුක ගමන් මාර්ග සිතියම් සහ බයිබල් මෙන්ම ටොම් පේන්ගේ Common Sense, Huckleberry Finn, Alice in Wonderland වැනි ග්රන්ථ ද ඇමරිකානු නිදහස් ප්රකාශනය මුල් පිටපත් කිහිපයක් ම මුද්‍රණය කරන ඇත්තේ කංසා පැළයෙන් තනන ලද කඩදාසිවලින්ය. කංසා වගාව සඳහා පොහොර සහ කෘමිනාශක අවශ්‍ය නොවේ. අද ලොව කඩදාසි කර්මාන්තය විශාල ගැටලුවකට මුහුණ පා ඇත්තේ ඊට අවශ්‍ය ශාක ලබාගැනීමට වනාන්තර කැපීමට සිදු වීම නිසාය. ගස් අක්කරයකින් සකස් කරගන්නා කඩදාසි ප්‍රමාණය මෙන් හතර ගුණයක් කඩදාසි කංසා අක්කරයකින් නිෂ්පාදනය කරගත හැකි ය.
ලෙස්ටර් ග්‍රීන්ස්පූන් සඳහන් කරන පරිදි කෙඳි ලබා ගැනීම සඳහා මූලද්‍රව්‍යයක්, ආගමික උත්සවවලට අවශ්‍ය උත්තේජකයක් සහ රෝගවලට ඖෂධයක් වශයෙන් විශේෂයෙන්ම ඉන්දියාවේ කැනබිස් සටීවා (cannabis sativa) භාවිතයට සම්බන්ධ දීර්ඝ ඉතිහාසයක් ඇත. කැස්ස, තෙහෙට්ටුව, වාතාබාධ ඇදුම ඔල්මාදය, මිග්රේන් හිසරදය සහ වේදනාශීලී ඔසප් වීම් වැනි විවිධ පීඩාවන් සහ අපහසුකම් සඳහා මෙම ඖෂධය ඉතා බහුල වශයෙන් 19 වැනි ශතවර්ෂය තුළදී බටහිර රටවල නිර්දේශ කරන ලදී. බටහිර වෛද්‍ය ග්‍රන්ථවල පැහැදිලිව ම සඳහන් කර ඇති කාරණය නම් එය මානසික වශයෙන් ඇබ්බැහි විය හැකි වුවත් එය කිසි ලෙසකින්වත් ශාරීරික වශයෙන් ඇබ්බැහි නොවන බවයි. මේ පිළිබඳව අධ්‍යයනය කළ අයි. සී. චොප්රා සහ ආර්.එන් චොප්රා පවසන්නේ,“ අප විසින් සොයාගත් කරුණ නම් අනෙකුත් වේදනා නාශක ඖෂධවලට වෙනස් වූ ආකාරයෙන් කංසා ඖෂධ පුරුද්දක් වශයෙන් ගත් අය තුළ එක හා සමාන ප්‍රතිඵල ලබා ගැනීම සඳහා පසුව මාත්‍රාව වැඩි කිරීමේ අවශ්‍යතාවක් දක්නට නොලැබුණු තරම් වන බවයි. එසේ වූවා නම් ඒ ඉතාම කලාතුරකිනි. සතුන් තුළ මෙන්ම මිනිසුන් තුළ ද කංසාවලට ඔරොත්තු දෙන ගතියක් වර්ධනය වූවා නම්, එසේ වැඩි වූයේ සාමාන්‍යයෙන් ඉතා අල්ප වශයෙනි. අනෙකුත් මත්ද්‍රව්‍ය සම්බන්ධව වර්ධනය වූ ඔරොත්තු දීමේ ස්වරූපයට ඒ කිසිසේත්ම සමාන වූයේ නැත. බලා සිටින්නන්ට සහ පිටස්තරයන්ට ද එයින් කිසිම හානියක් හෝ හිංසාවක් සිදුවූයේ නැත.”
ඊ.ජේ.වෝරිං (MD) විසින් 1868 දී පළ කරන ලද ඉන්දියානු ඖෂධ සංග්‍රහයේ කංසාවල ඇති ඖෂධ ගුණ ගැන සඳහන් ආකාරයට පිටගැස්ම, පිස්සු බලු රෝගය, ඔල්මාදය, වලිප්පුව, නහර රුදාව සහ විවිධාකාරයේ අනෙකුත් ස්නායුගත රෝග, කොලරාව, ප්‍රදරය, ගර්භාෂගත ලේ ගැලීම්, හන්දිපත් රුදාව, පීනස් රෝග, ඇදුම, අර්ධ හෘද ක්‍රියාකාරිත්වය, ව්‍යාකූලත්වය වේදනාවෙන් සහ කණ්ඩුතියෙන් යුක්ත වූ චර්ම රෝග යනාදියට එය හොඳ ප්‍රතිඵල දක්වා ඇත. එමෙන්ම දරු ප්‍රසූති අවස්ථාවන්හිදී ගර්භ සංකෝචනය නැති කිරීම සඳහාද භාවිත කර ඇත.
ඉතා අන්තරායකාරී මත්ද්‍රව්‍යයක් වශයෙන් වර්ග කර කංසා නිගරුවට ලක්කිරීමට බටහිර වෙදකම සහ බටහිර සාම්ප්‍රදායික සමාජය මඟින් කෙතරම් උත්සාහ කළද එය හිංසාකාරී දෙයක් බව ඔප්පු කිරීම සඳහා කිසිදු පැහැදිලි සාධකයක් මෙතෙක් සොයාගෙන නැත. ඕනෑම දෙයක් වැරදි ආකාරයෙන් භාවිත කිරීම අයහපත් ප්‍රතිඵල ඇති කරවීමට හේතු විය හැකිය. කංසාවලින් සිදු විය හැකි සත්‍යය වූ අනතුරක් ඇත. ඒ කංසා මඟින් තියුණු බඩගින්නක් ඇති කිරීමයි. එනිසා වැඩිපුර ආහාර ගැනීම නිසා කෙනෙකු මරණයට පත්විය හැකිය. එහෙත් මෙතෙක් සෘජුව කංසාවලට සම්බන්ධව කෙනෙකු මරණයට පත් වූ බවට වාර්තා වී නැත.
අපේ පැරණි දේශීය වෙදකම තුළ කංසා ඉතා කේන්ද්‍රීය වූ කාර්යභාරයක් ඉටු කරයි. ළදරුවන්ට දෙන බොහොමයක් ඖෂධ පදනම්ව ඇත්තේ කංසා මතය. සමහර ඖෂධවල සියයට 400ක් පමණ කංසා අඩංගු වේ. දේශීය වෛද්‍යවරුන් පවසන්නේ කංසා පදනම අපේ ඖෂධවල නොමැති වුවහොත් එම ඖෂධය වේගයෙන් ක්‍රියාත්මක වී සාර්ථක ප්‍රතිඵල ගෙනදීමට අපොහොසත් වන බවය. බොහෝ රෝග සඳහා විශ්මයජනක සුවයක් ඇති කරන්නාවූ ඖෂධයක් ලෙස කංසා සැලකේ. මෙහිදී සිදුවන මූලික ක්‍රියාවලිය නම් කංසා මගින් මනස විවේකී තත්ත්වයට පත්වන නිසා එමඟින් ශරීරය විවේකී සහගත ශාන්ත තත්ත්වයට පත් වීමය. රෝග ඇතිවීමට සහ පවත්වාගෙන යෑමට හේතු වන ප්‍රධාන කාරණය නම් මානසික පීඩනයයි. කංසාවල ආධාරය ලබා ගනිමින් ඖෂධ ශරීරයට ඇතුළු කළ විට එම ඖෂධ ඉතා වේගයෙන් ක්‍රියාකාරී වේ. කංසා අපේ වෙදකමේ පදනම බවට පත් වන්නේ ඒ ආකාරයෙනි.