
රයිගම් කෝරලයට සේන්දු වූ අප දොඹගොඩ හමුදා කඳවුර අසලින් වැටී ඇති ගුරුපාර දිගේ නිව්චැටල්වත්තට යන විට මොනරුන්ගේ කේකාරාවය ඇසුණේ විලාපයක විලාසයෙනි. රබර් වතු මැද පවතින මඳ අඳුර කියාපාන්නේ දැඩි මූසල ස්වාභාවයකි. එහෙත් එම මූසල නිහඬතාව බිඳ දමමින් නිව්චැටල්වත්තේ මිනිසුන් යුහුසුළුව තම ගවයන් ගස්වල කෙටි කර බැඳ දමා පෙරමඟ බලා සිටියේ පශු වෛද්‍යවරුන්ගේ පැමිණීමේ අපේක්ෂාවෙනි. එළු පැටවුන් වඩා ගත් කුඩා දරුවන් අප ගමන් කළ වාහනය සමීපයට දිව ආවේ පශු වෛද්‍යවරුන්ගේ වාහනය යැයි වරදවා වටහා ගනිමින් විය යුතුය.
නිව්චැටල්වත්තේ වැසියන් ඔවුන්ගේ ගවයන්ට, එළුවන්ට ජලභීතිකා එන්නත් ලබා දීම සඳහා පශු වෛද්‍යවරුන් පැමිණෙන තෙක් බලා සිටියේ නිව්චැටල්වත්තට ජලභීතිකා රෝග ව්‍යාප්තියේ අවදානමක් තිබෙන නිසාය. මෙම අවදානමට ඔවුන් මුහුණ දී සිටින්නේ ජලභීතිකා රෝගයට ගොදුරු වීමෙන් නිව්චැටල්වත්තේ සහ මුවපට්ටියගම පුද්ගලයන් දෙදෙනකු මිය යෑමත් සමඟිනි. ජලභීතිකාව හේතුවෙන් මෙසේ මිය ගියේ මුවපට්ටිය ගමේ පදිංචි 57 හැවිරිදි එන්. ආරියරත්න සහ නිව්චැටල්වත්තේ 8 හැවිරිදි කවිනි නෙත්සරා යන දෙදෙනාය.
ප්‍රථමයෙන් අප කවිනි නෙත්සරා දියණියගේ නිවසට යන විට දැරියගේ මවුපියන් ජලභීතිකා එන්නත් ලබා ගැනීම සඳහා හොරණ රජයේ රෝහලට ගොස් සිටි බැවින් මුවපට්ටිය ගමේ පිහිටි ආරියරත්නගේ නිවසට ගොඩවැදුණේ සුලමුල දැනගැනීමේ අටියෙනි.
“ආරියරත්න කියන්නේ මගේ මහත්තයාගේ අයියා. එයා උපතින්ම මන්ද මානසික කෙනෙක්. ඒ නිසා එක තැනක ඉන්නේ නැහැ. හැමතැනම ඇවිදිනවා. මේ අහල පහළ හැමෝටම උදව් කරනවා. රබර් වත්තට ගිහින් දර කඩලා ගෙනත් දෙනවා. පසුගිය ජූලි 28 වැනිදා දවල් බන්ට් එක ළඟදි නරියෙක් හපා කාලා තිබුණා. අයියා නරියාට ගහන්න ගලක් ගන්න නැමෙන විට ඌ මුහුණම හපා කාලා තිබුණා. අත් දෙකත් කකුලත් කාලා තිබුණ. අයියා ඉන්දු අක්කලාගේ කඩයට දුවගෙන ගිහිල්ලා. එතනින් කට්ටිය අයියාව ත්‍රීවිලරයක දාගෙන ගල්පාත ඉස්පිරිතාලේට ගෙනිහින් තිබුණා. ගල්පාත ඉස්පිරිතාලෙන් හොරණ ඉස්පිරිතාලේට යැව්වා. හොරණින් තුවාලවලට බේත් දාලා වාට්ටුවේ නවත්වාගෙන පිස්සු බලු රෝගයට බෙහෙත් විදලා ඊට පසුවදා ගෙදර එව්වා. බෙහෙත් විදින දවස් වගයක් ලියලා දීලා තිබුණා. ඒ නියමිත දවස්වලට ඉස්පිරිතාලෙට ගිහින් බේත් විද ගත්තා. අයියා හොඳට හිටියා. කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. එක බෙහෙතයි විදින්න ඉතිරි වෙලා තිබුණේ. එහෙම තියෙද්දි තමයි අයියා නැති වුණේ.” යනුවෙන් බී.එස්. සුරංගනි පැවසුවාය.
සුරංගනිගේ සැමියාගේ සොයුරු ආරියරත්න හදිසියේ රෝගාතුර වී තිබෙන්නේ අගෝස්තු 16 වැනිදා රාත්‍රියේය. එනම් නරියා සපා කා දින 20ක් ගත වූ පසුවය. 16 වැනිදා සවස ඔහු උගුර රිදෙන බව පවසා සුරංගනිගෙන් සමහන් පැකට් ඉල්ලා තිබේ. ඈ පස් පංගුව බීමට දුන්නේ එම අවස්ථාවේ නිවසේ සමහන් නොතිබූ නිසාය. රාත්‍රි ආහාර ගැනීමට නොහැකි බව පැවසූ ආරියරත්න උණුසුම් ජලය ඉල්ලා ඇත්තේ උගුරේ වේදනාව හේතුවෙනි. එහෙත් 17 වැනිදා උදෑසන වන විට ආරියරත්නට ජලය කිසිවක් පානය කළ නොහැකි තත්ත්වයක් උද්ගත විය. පිට කොන්දේ හා උගුරේ වේදනාව සමඟ උදරය ද විශාල වී තිබේ. ඔහු වියරුවෙන් මෙන් කෑගසන්නටත් දඟලන්නටත් වූ බැවින් 1990 අමතා ගිලන් රථයක් ගෙන්වාගෙන ඔහුව හොරණ රෝහලට රැගෙන යෑමට කටයුතු කර තිබිණි. ඔහු කොතරම් දරුණු ආකාරයට දැඟලුවේ ද යත්, රෝහලේදී ඔහුට එන්නත් විද තිබෙන්නේ පිරිමින් පස්දෙනකු ඔහුව තදින් අල්ලා ගැනීමෙන් පසුවය. එහෙත් රෝහලට රැගෙන ගොස් පැය 2කට පසුව ආරියරත්න මිය ගියේය. හදිසි මරණ පරීක්ෂක සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ උපදෙස් පරිදි අගෝස්තු 18 වැනිදා දහවල් 1.00ට මෘතදේහය නිවසට රැගෙන’විත් එදිනම සවස 4.00ට අවසන් කටයුතු සිදු කරන ලදී. දේහය සීල් තබා තිබූ අතර නිවස ඇතුළතට නොගෙන තිබුණේ සෞඛ්යාරක්ෂිත උපදෙස්වලට අනුකූලවය. ජලභීතිකාව වැලඳුණු නරියකු සපා කෑමෙන් ආරියරත්නට ජලභීතිකාව වැලඳෙන්නට ඇති බව වෛද්‍යවරුන්ගේ තීරණය විය.
ජලභීතිකාව වැලඳුණු මෙම පිස්සු නරියා බිලි ගත්තේ ආරියරත්නගේ ජීවිතය පමණක් නොවේ. නිව්චැටල්වත්තේ පදිංචි කවිනි නෙත්සරා දියණියව ද බිලි ගෙන තිබුණි. මෙම සිඟිති දියණිය මරණයට පත් වූයේ සැප්තැම්බර් 09 වැනිදාය. එනම් නරියා සපා කා මාසයකුත් දින 12ක් ඉක්ම ගිය පසුවය. නෙත්සරා දියණියව නරියාගේ සපාකෑමට ලක් වූයේ ඉන්දු අක්කාගේ නිවස අසලය. එහෙත් අප යන විට ඉන්දු ද ජලභීතිකා එන්නත් විද ගැනීමට රෝහලට ගොස් සිටියේ ඈ ආරියරත්නගේ තුවාල පිරිසිදු කර ලේ වහනය නැවැත්වීමට අයිස් තබා ප්‍රථමාධාර දී තිබූ නිසාය.
මෙම අතරවාරයේදී කවිනි නෙත්සරා දියණියගේ මිත්තණිය සහ මාමා මුණගැසී කතා බහ කිරීමට අපට හැකි විය. “අනේ, මට දුක මැරෙන්න ඉස්සෙල්ලා එන්න බැරි වුණා. මම එනකොට දුව ඇස්දෙක පියාගෙන.” යනුවෙන් පැවසූ මිත්තණිය වන එස්. වලරිමදී මාතාව හඬා වැටෙද්දි මාමා වන ජීවන් සිය හඬ අවදි කළේ මෙලෙසිනි.
“නෙත්සරා දුව කියන්නේ මගේ අක්කාගේ දුව. අපේ ගම බුලත්සිංහල. අක්කා බැඳලා ඉන්නේ නිව්චැටල්වත්තේ. අම්මාත් අයියාත් මමත් දැන් මීගමුව දංකොටුවෙ පදිංචි වෙලා ඉන්නේ. මම මේ වත්තේ අවුරුදු 2ක් විතර හිටියා. ඒ නිසා දුව ළඟින්ම මම හිටියා. දුව මට හරි ආදරෙයි. ඉස්පිරිතාලෙදිත් ජීවන් මාමාට එන්න කියන්න කියලා කිව්වාලු. සැප්තැම්බර් 07 වැනිදා අක්කා මට කතා කරලා කිව්වා දුවට සනීප නැහැ කියලා. මම කිව්වා ඉක්මනට බේත් අරං දෙන්න කියලා. අක්කා කිව්වා සල්ලි නැහැ කියලා. ඒපාර මම කිව්වා එහේ තියෙන මගේ චේන් එක උගස් තියලා සල්ලි ගන්න කියලා. එදා සල්ලි හොයාගෙන දුවට පුද්ගලික තැනකින් බේත් අරං දීලා තිබුණා. එතනින් මුත්‍රා පරීක්ෂණයක් කරලා කිසිම වැරැද්දක් නැහැ කියලා තියෙනවා. මගේ තාත්තාත් එදා රෑ මෙහෙ ආවා. දුවව හොරණ ඉස්පිරිතාලේට ගෙනිහින් මට එයාලා කතා කරලා කිව්වා. මම අම්මාටයි අයියාටයි පණිවිඩය දීලා දංකොටුවෙ ඉඳලා ආවා හොරණ ඉස්පිරිතාලෙට එනකොට දවල් 1.15යි. මම දුවට කතා කළා. දුව මාව හඳුනා ගත්තේ නැහැ. සෙම පෙරාගෙන දැඟලුවා. මම ඇවිත් විනාඩි 5කින් හරියටම 1.20ට දුවගේ පණ ගියා. මගේ ඇස් ඉස්සරහ දුව නැති වුණ හැටි මට දරාගන්න බැහැ.” නෙත්සරා දියණියගේ මාමා වන සී. ජීවන් පැවසුවේ දැඩි වේදනාවකිනි.
දිවා කාලයේ වුවද මොනරුන්ගේ කේකාරාවයත් නරියන්ගේ හූ හඬත් ඇසෙන නිව්චැටල්වත්තට වඳුරන්ගෙන් ද හිඟයක් නැති බව අපට වැටහුණේ නෙත්සරා දියණියගේ මිදුලේ ඇඹරැල්ලා කඩමින් වහලයෙන් වහලයට පැන යන වඳුරු රංචුව නිසාය.
ආරියරත්නගේ තුවාල පිස දමා රෝහලට යැවූ ඉන්දු, ජලභීතිකා එන්නත විදගෙන නිවසට පැමිණ සිටි බැවින් අප ඈ හමු වූයේ කවිනි නෙත්සරා දියණිය පසුපස නරියා ලුහුබැඳ ගිය අයුරු ඈ දුටු බැවිනි.
“ආරියරත්නව ත්රීවිලරයෙන් ඉස්පිරිතාලෙට පිටත් කරලා අපි එළියෙ කතා කර කර හිටියා. ඒ වෙලාවේ අහල පහළ ගෙවල්වල ළමයි පාෙර් සෙල්ලම් කර කර හිටියා. එකපාරටම කොහෙන් ආවාද මන්දා නරියෙක් දුවගෙන ආවා. නෙත්සරා දුව එයාගේ මල්ලිව වඩාගෙන හිටියේ. ඒ නිසා දිව්වත් දුවගන්න බැරිව පාරේ වැටුණා. අපි නරියාව එළවන්න කෑගැහුවා. මම දැක්කෙ නෙත්සරා දුවයි එයාගේ මල්ලියි නරියයි එක පොදියක් වුණා විතරයි. හපා කනවා දැක්කේ නැහැ. අපි කෑගහද්දි බල්ලො බුරාගෙන ආවා. නරියා වේගයෙන් දිව්වා. නෙත්සරා දුවගේ කකුල දණහිසෙන් පහළ තුවාල වෙලා තිබුණා.” යනුවෙන් ඉන්දු අක්කා යැයි කවුරුත් අමතන ඉන්ද්‍රාණි ගමගේ විස්තර කළාය.
මේ වන විට ජලභීතිකා එන්නත් ලබාගෙන නිවසට පැමිණෙමින් සිටි නෙත්සරා දියණියගේ මව සහ පියා අතරමගදී සම්බන්ධ කර ගැනීමට අපට හැකි විය.
“දුව පාරේ වැටුණු වෙලාවේ මම කුස්සියේ උයඋයා හිටියේ. කෑගහන සද්දෙට මම දුවගෙන ආවා. දුවගේ කකුල තුවාල වෙලා තිබුණා. දුව මට කිව්වා පාරේ වැටිලා තුවාල වුණේ, නරියා හැපුවෙ නැහැ කියලා. නරියා දුවගේ සායේ ගෑවුණ විතරයි කියලා කිව්වා. දුව කිව්වා, අම්මෙ මම මල්ලිව යට කරගෙන බේරා ගත්තා කියලා. දුව මල්ලිව බේර ගත්තා. ඒත් අනේ මගේ දුවට බේරෙන්න බැරි වුණා.” කියමින් දියණියගේ මව වන සී. විජයකුමාරි පැවසුවේ හැඬූ කඳුළිනි.
එදා (ජූලි 28) තුවාල ලැබූ කවිනි නෙත්සරා දියණියව මව විසින් ගල්පාත රෝහලට රැගෙන ගොස් තිබුණි. එහිදී දැරිය වෛද්‍යවරයාට පවසා ඇත්තේ නරියා සපා නොකෑ බවය. එහෙත් තුවාලවලට බෙහෙත් දැමීමෙන් අනතුරුව ගිලන් රථයෙන් ඇයව හොරණ රජයේ රෝහලට යැවීමට කටයුතු කර තිබිණි. එම අවස්ථාවේ ගිලන් රථයෙන් යෑමට නොහැකි යැයි පවසමින් කවිනි නෙත්සරා දියණිය හඬා වැටුණු නිසා ඇයව හොරණ රෝහලට මව විසින් ගෙන ගියේ ත්රීවිලරයෙනි. හොරණ රෝහලේදී ද දියණිය වෛද්‍යවරුන්ට අවධාරණය කළේ නරියා ඇයව සපා නොකෑ බවය. සායේ වැදුණු බව පමණක් පවසා තිබේ. හොරණ රෝහලේ වෛද්‍යවරුන් තුවාල වේළෙන්නට ඖෂධ දීමෙන් පමණක් වෛද්‍ය ප්‍රතිකාරය අවසාන කර තිබෙන්නේ එබැවිනි.
අගෝස්තු 17 වැනි දින නරියා සපා කෑ ආරියරත්න මිය ගිය ද කවිනි නෙත්සරා දියණිය කෙරෙහි කිසිවකු විශේෂ අවධානයක් යොමු නොකළේ දියණිය ඉතා නිරෝගීව කෙළිදෙළෙන් කාලය ගත කළ නිසා බව ඇගේ මව වන විජය කුමාරි සඳහන් කළාය. කවිනි නෙත්සරා සිඟිති දියණිය රෝගි වූයේ පසුගිය සැප්තැම්බර් 07 වැනිදාය. ඒ උණ සමඟ කොන්දේ කැක්කුම හට ගැනීමෙනි. පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් බෙහෙත් රැගෙන දුන් විට උණ අඩු වුවද කොන්දේ කැක්කුම සහ උගුරේ වේදනාව වැඩි වී තිබේ. ඉන්පසුව වතුර පානය කිරීමට නොහැකි බවත් උගුර හිරවන බවත් දියණිය මවට පවසා ඇති අතර 09 වැනිදා දවසට එළිවන ජාමයේ ඇයව හොරණ රජයේ රෝහලට රැගෙන ගියේ ඇගේ රෝගි තත්ත්වය උත්සන්න වූ නිසාය.
“ඉස්පිරිතාලෙට ගියාම දුවව 1 වැනි වාට්ටුවට දැම්මා. දුව හුළං වදිනකොට භයේ හිටියේ. හුස්ම ගන්නත් අමාරු වුණා. වෛද්‍යවරු අපෙන් ඇහුවා දරුවාව බල්ලෙක්, පූසෙක් හෝ නරියෙක් කෑවාද කියලා. මේ ලෙඩේට බෙහෙත් නැති බවත් දුවව බේරා ගැනීමට අමාරු බවත් කිව්වා. දුවට බෙහෙත් බොන්න බැරි වුණු නිසා බෙහෙතක් විද්දා. ඊට පස්සේ සෙම ගියා. ආයේ බෙහෙතක් විද්දා. ඒ පාර ලේ සමඟ වමනය ගියා. දිගටම සෙම ගියා. දුව කෑගහලා ඇඬුවා. උගුර ගැලවිලා යන්න තරම් රිදෙනවා කිව්වා. දුව දඟලන්න වුණා. ඒ දිහෑ බලාගෙන ඉන්න බැරිව මම එළියට ආවා.” යනුවෙන් අප සමඟ පැවසුවේ දියණියගේ පියා වන සමන් විජය කුමාර් ය.
අවසානයේදී සීල් තැබූ පෙට්ටියකින් නිව්චැටල්වත්තට රැගෙන ආ නෙත්සරා දියණියගේ මෘතදේහය පැය කීපයක් ඇතුළත භූමදාන කළේ ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ උපදෙස් පරිදිය.
ආරියරත්නව සපා කා, නෙත්සරා දියණියගේ ඇඟේ හැපී දිව ගිය නරියා නිවෙස් තුළට ද රිංගා තිබේ. කුකුළකු ඩැහැගෙන සපන අතරවාරයේදි ගාමිණි සිල්වා මුගුරකින් පහර දී නරියාව මරා දමා ඇත. එහෙත් මෙම නරියාගේ හිස කපා වෛද්‍ය පර්යේෂණ ආයතනයට රැගෙන ගොස් නැත.” අපි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට කතා කළා. ඒ අය අපිට හිස කපාගෙන එන්න කිව්වා. ඊට පස්සෙ අපේ අත්වල නරියාගේ ලේ, විෂබීජ ගෑවෙනවානේ. නිසි ක්‍රමවේදයකට කපන්න අපි දන්නෙ නැහැනේ.” යනුවෙන් ගම්මු පැවසූහ. මරා දැමූ නරියා වළ දමා තිබෙන්නේ ඉන් අනතුරුවය.
අප යන විට ගාමිණි සතු එළදෙන කටුපොල් වගා කළ වතුයායක කඹ 3ක් දමා බැඳ සිටියේ ඌ සැරපරුෂ වී තණකොළ නොකන බව පවසමිනි. ගම්වාසින්ගේ අදහස එළදෙනට ජලභීතිකාව වැලඳී ඇති බවය. අප සිටියදීම කළුතර දිස්ත්‍රික්කයේ පශු විමර්ශන කාර්යාලයේ නිලධාරිහු එළදෙන පරීක්ෂා කිරීමට පැමිණියහ. ඊට අමතරව ජාතික සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් පැමිණ ගවයන් සහ මීගවයන්ට ජලභීතිකා එන්නත් දීම අරඹා තිබිණි. මේ වන විට මෙම ප්‍රදේශයේ සුනඛයන්ටත් පූසන්ටත් ජලභීතිකා එන්නත් ලබා දී අවසන් කර ඇත. ජලභීතිකාවට ගොදුරු වීමේ අවදානම ඇති ගම්වැසියෝ හයදෙනෙක් එන්නත් ලබා ගනිති.
“දැන් අපිට වත්තේ වැඩට යන්න භයයි. දරුවන්ව ඉස්කෝලේ යවන්න භයයි. කැලෑවෙන් කොයිවෙලාවේ නරි මතු වෙනවාද කියලා කියන්න බැහැ. වැසිකිළියට යන්න වෙන්නේ පොලු මුගුරු අරං. ළඟදි දවසක් හරක් බඳින්න ගිය ගෑනු කෙනෙකුව නරියෙක් කාලා තියෙනවා. අපේ ගෙවල් ශක්තිමත් නැහැ. ඒ නිසා නරියකුට ගෙට පනින එක මහ දෙයක් නොවෙයි.” යනුවෙන් සඳහන් කළේ නිව්චැටල්වත්තේ පදිංචිකරුවන්ය.
මේ වන විට මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයටත් මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයටත් අයත් ප්‍රදේශවලින් ජලභීතිකා රෝගයට ගොදුරු වූ ගවයන් 4ක් වාර්තා වී තිබේ. ඒ, ගවයන්ව නරි සපාකෑමට භාජනය වීමෙනි. මේ අතරින් මිය ගිය එක් නරියකුගේ හිසත් ගවයකුගේ හිසත් වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කිරීමෙන් අනතුරුව මෙම සතුන් ජලභීතිකා රෝගයට ගොදුරු වී ඇති බවට වාර්තා වී ඇත.
“ජලභීතිකාවෙන් මිය ගිය අයගේ තොරතුරු පරීක්ෂා කරන විට නරි කාලා රෝගය හැදුණා කියලා තහවුරු වෙන්නේ අඩුවෙන්. ගිය අවුරුද්දේ රත්නපුරයෙන් එක් මරණයක් වාර්තා වුණා. ගිය අවුරුද්දේ ජලභීතිකාව හේතුවෙන් මිය ගිය 26න් 10 - 15 අතර ගණනක් ඉන්නවා රෝගය හැදුණු හේතුව දන්නේ නැති. සමහරවිට ඒ අයට නරියකු කාලා, එහෙම නැත්නම් නරියකු කාපු ගවයන්ගෙන් රෝගය හැදුණා වෙන්න පුළුවන්. ඒත් ඒ අයට නිශ්චිතව කියන්න මතක නැහැ. එක්කෙනෙක් කියලා තිබුණ රෑ නිදාගෙන සිටින විට දුඹුරුපාට බල්ලෙක් වගේ සතෙක් කාලා දිව්වා කියලා. කොහොම වුණත් නරියන්ගෙන් ජලභීතිකාව වැලඳීමේ අවදානමක් තිබෙනවා. ජලභීතිකාව හැදිලා මිය යන ගවයන් නම් සෑහෙන්න වාර්තා වෙනවා. කැලෑබද ප්‍රදේශවල නිදැල්ලේ යන ගවයන්ට ජලභීතිකාව හැදෙන්න පුළුවන්. ඒ මඟින් මිනිසුන්ට හැදෙන්න පුළුවන්.” යනුවෙන් පැවසූ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය එල්.ඩී. කිත්සිරි, නරියන් වැනි කැලෑ සතුන් ජලභීතිකා රෝගයට ගොදුරු වීම වළක්වා ගැනීමට වන ජීවි දෙපාර්තමේන්තුව කඩිනමින් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව පෙන්වා දුන්නේය.
ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ