
අපේ රටේ නීතිය අනුව තම වත්තේ ඇති කොස් ගසක් කපා ගන්නට පවා අවසර ගත යුතුය. පාරිසරික වශයෙන් මෙන්ම ස්වභාවිකත්වය ඉහළින්ම අගය කරන විදේශිකයන්ගේ පවා ඇගැයීමට ලක් වුණු තුරුලතා ගහන රටක් වන ශ්‍රී ලංකාවේ එවන් නීතියක් පනවා ඇත්තේ ශාක රැක ගැනීමට මෙන්ම එම ශාකයන්ගේ පැවැත්මෙන් මිනිසාට සිදුවන යහපැවැත්ම ගැන දන්නා නිසාය.
අපේ රටේ පරිසර පද්ධතිය අනුව පැය කිහිපයක් ඇතුළත කර්කශ දැඩි වියළි කාලගුණය පවතින ශුෂ්ක කලාපයේ සිට තෙත් බිම් කලාපයටත් තවත් පැය කිහිපයකින් අධික සිසිලසක් ගෙන දෙන උඩරට කලාපයටත් ළඟා විය හැකිය. මුහුදින් වට වූ දිවයිනක් වන රටේ පරිසර පද්ධති තුළ සංවේදී පරිසර කලාප රැසක් තිබේ. රක්ෂිත වනාන්තර මෙන්ම වනෝද්‍යානද වෙන් කර ඇත්තේ ඒ නිසාය. මීට අමතරව පරිසර සංවේදී කලාපයන්හි පවත්නා පෞද්ගලික ඉඩම්ද රටේ පවත්නා විවිධ පාරිසරික පනත් හා නීති රීති අනුව එම භූමිය හා සම්බන්ධිතව සිදු කළ හැකි හා කළ නොහැකි කාර්යයන් පැහැදිලිව දක්වා තිබේ.
උදාහරණයක් ලෙස දිය ඇලි ආශ්‍රිතව ඇති පෞද්ගලික වතු සමාගම්වලට අයත් ඉඩම්වල තේ වගාවට අදාළ බිම් සකස් කිරීම් හැරෙන්නට වෙනත් මහා පරිමාණ භූමි සකස් කිරීම් කළ නොහැකිය. එමෙන්ම කන්ද උඩරට බොහෝ දෙනාගේ සිත් ගත් ස්ථානයක් වූ හන්තාන කඳුවැටිය ආශ්‍රිතවද රක්ෂිත කලාපයක් ලෙස නම් කර තිබේ. හන්තාන යනු බහුතර පෞද්ගලික ඉඩම් රැසක් ඇති සංවේදී පරිසර කලාපයකි. එහි විවිධ භූමි මට්ටම් අනුව පෞද්ගලික වශයෙන් භූමිය හා සම්බන්ධව කළ හැකි හා කළ නොහැකි කාර්යයන් දක්වා ඇත. විශේෂයෙන්ම පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් වන හෙයින් එහි යම් ඉදි කිරීමක් හෝ භුමියේ යම් හෝ වෙනසක් කරන්නේ නම් අනිවාර්යෙන්ම මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ගත යුතුමය. ඒ 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුවය. මේ කටයුතු සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ ශාඛා කාර්යාලයක් මහනුවර ස්ථාපිත කර තිබේ.
හන්තාන යනු අනෙක් පළාත්වල මෙන්ම පෞද්ගලික වැඩි භූමි ප්‍රමාණයක් ඉඩම්වලින් පිරි අක්කර 2,933ක ප්රදේශයකි. ඒ අනුව එහි පෞද්ගලික ඉඩම් කට්ටි කර විකිණීම පවා කළ හැකිය. යම් යම් වගාවන් ද කළ හැකිය. නිවාස හෝ වෙනයම් ඉදි කිරීම්ද කළ හැකිය. එහෙත් සාමාන්‍යයෙන් ප්‍රාදේශීය සභාවකින් ගන්නා අනුමැතියට අමතරව මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන්ද අවසර ගත යුතුය. වෙනසකට ඇත්තේ එයයි.
මේ වන විට හන්තාන වැටි වශයෙන් පිරි ඇත්තේ මානා හා තණකොළවලින් වන අතර බොහෝ දෙනා සිදු කරන්නේ මේ මානා හා තණකොළ කැපීමය. එහෙත් ඒ සඳහා වුවද මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය හෝ අවසරය ලබා ගත යුතුය.
හන්තාන යනු පාරිසරික ආරක්ෂක ප්රදේශයකි. ඒ බව ගැසට් පත්‍රයකින්ම ප්‍රකාශ කර තිබේ. එම නිසා කුමන ආකාරයේ පෞද්ගලික භූමියක් වුවද එය අනිවාර්යෙන්ම පනතට යටත් වනු ඇත.
හන්තාන පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් ලෙස 2010. 02. 17 වන දින අංක 1641/28 දරන අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශ කර තිබේ. එහි ඇති විශේෂ පරිසර සාධක මත එය රක්ෂිතයක් ලෙස ද නම් කෙරිණි. විශේෂයෙන්ම මුහුදු මට්ටමින් අඩි 3000ට ඉහළ හා ඉන් පහළ ඛාණ්ඩ 3 ක් යටතේ හන්තාන භූමිය තුළ යම් යම් කාර්යයන් සඳහා සීමා පනවා ඇත.
එසේ වුවත් 2011 වසරේ එහි ඉදි කිරීමක් අවභාවිත කරමින් එක්තරා දේශපාලඥයෙක් නාන තටාක සහිත ගොඩනැගිල්ලක් ඉදි කර ඇත. හන්තාන විනාශය වේගවත් වූයේ එතැන් සිට බව පෙනේ.
2014 වසරේදී ආරක්ෂාව සම්බන්ධව සිටි නීතිඥවරයකු වූ තවත් දේශපාලඥයකු තමන් සතු කරගෙන සිටි ඉඩමක් නැඟෙනහිර පළාතේ දේශපාලන කණ්ඩායමක නායකයකුට අලෙවි කර ඇත. ඔහුද ඉඩම් අවභාවිත කර ඇති අතර පාරිසරික පනත් උල්ලංඝණය කරමින් සංවර්ධන කටයුතු සිදු කර තිබේ.
ඒ අතර ඉඩම් සම්බන්ධව සිටි තවත් දේශපාලඥයකු විසින් දකුණු පළාතේ කාරියවසම් නැමැත්තකුට තවත් භූමි කොටසක් පවරා දී තිබේ.
හන්තාන වතුයායේ සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය වෙත ලබා දීමට සූදානම් වන අක්කර 7 - 8 පමණ භූමිය කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කොට ඇත. මෙම ක්‍රියාව හේතුවෙන් අදාළ ප්‍රදේශය තුළ වූ පාරිසරික වටිනාකම විනාශයට පත් ව ඇත.
අධි සංවේදී පරිසර පද්ධතියක් තුළ අද සිදුව ඇත්තේ එවන් කනගාටුදායක තත්ත්වයකි. හන්තානේ ජෛව විවිධත්වය පමණක් නොව ඉදිරියේදී ‘හන්තාන‘ යන්න නමට සීමා වන ලකුණුත් ජල මූලාශ්‍ර පවා සිඳී යාමේ තත්ත්වයක ලකුණුද මේ වන විට පහළව ඇත. විවිධ පාරිසරික සංවිධාන ගණනාවක් තිබුණද හන්තාන ගැන විශේෂයෙන්ම අවධානය යොමු කරන පාරිසරික සංවිධානයක්ද ඇත. ඒ හන්තාන සුරැකීමේ සංවිධානයයි. ඔවුන් නිරතුරුවම මේ සම්බන්ධව අවධානයෙන් සිටින අතර මධ්‍යම පරිසර අධිකාරියද මේ සම්බන්ධව නිරතුරුවම දැඩි සෝදිසියෙන් හා අවධානයෙන් සිටින්නේ එහි ඇති විශේෂ වැදගත්කම දන්නා නිසාය.
අපි පසුගිය සතියේ සිළුමිණ ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කෙළේ ‘හන්තාන ඉඩම් වැනසුවාට ප්‍රබල මන්ත්‍රී දියණියට නඩු‘ යන්නයි. එය පසුදිනම එනම් 14 වැනි සඳුදාම සත්‍යයක් බවට පත්විණි.
ඒ අනුව හන්තාන ඉඩම් එළි පෙහෙළි කළ චමින්දනී බණ්ඩාර කිරිඇල්ල හේරත් යන අයට විරුද්ධව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ 14 වැනි සඳුදා නඩු පවරා ඇත. ඒ අංක 29014/20 දරන නඩු අංකය ඔස්සේය. අදාළ සැකකරුවන්ට ඔක්තෝබර් 8 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.
ඇය විසින් එළි පෙහෙළි කර ඇත්තේ ස්ප්‍රිංහිල් එස්ටේට් නැමැති ඉඩමේ කොටසකි. අක්කර 19ක භූමි භාගයකින් ඇය විසින් ඉඩම් කොටසක් අනවසරයෙන් එළි කිරීම පිළිබඳව පසුගිය අගෝස්තු මස 30 වන දින මධ්‍යම පරිසර අධිකාරියට වාර්තා වී ඇති අතර එම අවස්ථාවේම ක්‍රියාත්මක වූ අධිකාරිය විසින් එම ක්‍රියාව නවත්වා තිබේ.
මීට අමතරව හන්තාන උඩවෙල එළි කිරීමක්ද සිදුව ඇති අතර ඒ පිළිබඳව පසුගිය 10 වැනිදා අධිකාරියට වාර්තා වී ඇති අතර එදිනම අධිකාරිය විසින් එම එළි පෙහෙළි කිරීම නවත්වා ඇත.
ඒ අක්කර 30ක පමණ වූ භූමි භාගයකින් කොටසකි. එය පාරිසරික ආරක්ෂක ප්‍රදේශයට අයත් නොවන නිසා හිමිකරු වන කාරියවසම් නැමැත්තාට දන්වා ඇත්තේ මින් ඉදිරියට යම් සංවර්ධන කටයුත්තක් කරන්නේ නම් අධිකාරියෙන් පූර්ව අනුමැතියක් ලබා ගතයුතු බවයි.
එසේම හන්තාන හුළං පිට්ටනිය ප්‍රදේශයට ඉහළින් ඇති ප්‍රදේශ එළි කිරීම හා ගිනි තැබීමට විරුද්ධව ද මධ්‍යම පරිසර අධිකාරිය විසින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබේ. අක්කර 18ක භූමි ප්‍රමාණයකින් යුක් එම ප්‍රදේශයේ අයිතිය භික්ෂූන් වහන්සේ දෙනමකට වන අතර එම ප්‍රදේශය එළි කර ගිනි තබා ඇත. ස්වාමීන් වහන්සේ දෙනමක් සිටින හෙයින් කුමන හිමිනම විසින් එය සිද කළාද යන්න මේ වන විට පරීක්ෂණ පවත්වන බව අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා සිළුමිණට කීවේය. කෙසේ වෙතත් හන්තාන පාරිසරික ආරක්ෂක ප්‍රදේශයේ යම් අකටයුත්තක් ගැන වාර්තා වී පැය කිහිපයක් ඇතුළත ඒ වෙනුවෙන් පියවර ගැනීමට අධිකාරිය කටයුතු යොදා ඇතැයිද සභාපතිවරයා පවසයි. හන්තානට අයත් භූමි රජයේ හෝ පෞද්ගලික හෝ වේවා එය විශේෂ පාරිසරික ආරක්ෂාවක් යටතේ පවතින බැවින් එම පරිසර සාධක පවත්වා ගැනීම පිණිස කටයුතු කළ යුතු බව සභාපතිවරයා අවධාරණය කෙළේය.
එමෙන්ම හන්තානට සම්බන්ව විවිධ ආයතන හන්තානට ඇතුළු වන්නන්ගෙන් මුදල් අය කරන බව හන්තාන සුරැකිමේ සංවිධානයේ ප්‍රධාන ලේකම් අමිත් සේනානායක අපට පැවසීය. එය නීති විරෝධී කටයුත්තක් බවද ඔහු පවසයි. එම මුදල් ගිණුම් ගත වන්නේ කුමන ගිණුම්වලටද යන්න විමසා බැලිය යුතු බවද ඔහු පෙන්වා දෙයි.
ඊට අමතරව විවිධ අංශ මඟින් හන්තාන පරිසරය ගැන නොතකා විවිධ කාර්යයන්හි නියැළෙන බවද එම සංවිධානය චෝදනා කර සිටී.
කෙසේ වෙතත් මේ සමබන්ධව අපට අදහස් දක්වන මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. හේමන්ත ජයසිංහ පැවසුවේ හන්තාන පරිසර කලාපය ගැන මේ වන විට වැඩි අවධානයක් යොමු කර ඇකි බවත් ඒ සම්බන්ධයෙන් පැවරී ඇති බලතල අනුව නීත්‍යානුකූලව කටයුතු කිරීම අනිවාර්යෙන්ම සිදු කරන බවයි. හන්තාන එළි කිරීමට කිසිදු ලෙසින් කළ නොහැකි බවත් ඒ සඳහා අනිවාර්යෙන්ම අනුමැතියක් ලබා ගත යුතු බවද ඔහු පෙන්වා දෙයි. හන්තාන යනු සංවේදී පාරිසරික ආරක්ෂක ප්රදේශයකි. එහි භූමිය අයත් වන්නේ රජයටද පෞද්ගලික අයවළුන්ටද යන්න මෙහිදී වැදගත් නොවන අතර අවශ්‍ය වන්නේ එහි ඇති ජල මූලාශ්‍ර ඇතුළු පාරිසරිකත්වය ආරක්ෂා කර ගැනීමය.
හන්තාන අභයන්තරයේ හුනුගල් තට්ටුවක්ද ඇති බව මේ වන විට සොයා ගෙන ඇත.
හන්තාන සුරැකීම වෙනුවෙන් මහනුවර දිසාපතිවරයා ඇතුළු පිරිසකගෙන් සමන්විත ‘හන්තාන පාරිසරික ආරක්ෂක කළමනාකරණ කමිටුව‘ පිහිටුවා ඇත්තේද එහි වැදගත්කම නිසාමය. එම නිසා හන්තානේ පෞද්ගලික හිමිකරුවන් පවා හොඳින් දන්නා එහි පාරිසරිකත්වයට හානි නොකර ආරක්ෂා කර ගැනීම රටේ මෙන්ම තමන්ගේ පෞද්ගලිකත්වයටද හිතකර බව පෙන්වා දිය යුතුමය.