
ගලහ දෙල්තොට වත්තේ පදිංචි දෙදරු පියෙකු වන සින්නවේළු සෙල්වරාසු සුපුරුදු පරිදි පසුගිය 10 වැනිදා පස්වරුවේ ගලහ නගරයට ගියේ අතොරක් නොමැතිව වැටුණු වැසි මැද්දේය. බ්ලොක් ගල් වැඩපොළක කම්කරුවකු ලෙස සේවය කරන ඔහු සේවය නිම කිරීමෙන් පසු පුරුද්දක් ලෙස ගලහ නගරයට ගියේ නිවසට අවශ්‍යය අඩුම කුඩුමද රැගෙන මත්පැන් පොදක්ද තොල ගෑමටය. වැස්ස තරමක් තූරල් වූ පසු නිවෙසට යමින් සිටියදී සීතලේ ගැහෙමින් කුඩා බලු පැටවකු තමන් පසුපසින් එන බව සෙල්වරාසු දුටුවේය. ගමන නවතා මඳක් නැවතුණු සෙල්වරාසු බල්ලා එළවා දැමීමට උත්සහ කළේය. ඔහු වෙතින් මඳක් ඈතට ගොස් නැවතුණු බලු පැටවා සෙල්වරාජ් ගමන් ආරම්භ කළ පසු යළිත් ඔහු පසුපසින් එන්නට පටන් ගත්තේය.මේ සුනඛ පැටවා පසුපසින් තමන්ගේ මාරයා පැමිණෙතැයි මොහොතකට හෝ නොසිතූ සෙල්වරාසු දෙවරක් නොසිතා ඌ වඩා ගත්තේ නිවසට රැගෙන යෑමේ අදහසිනි.
පසුදින හිරු නැඟ එද්දීම නිවස ඉදිරිපිටට පැමිණි අයකු මහ හයියෙන් කතා කරනු ඇසී සෙල්වරාසු නිවසින් පිටතට පැමිණියේ ඒ කවුදැයි බලන්නට ය. බලු පැටවාගේ හිමිකරු යැයි පැවසූ ඔහු දිගින් දිගටම සෙල්වරාසුට බැණ වඳින්නට පටන් ගත්තේය. ඉන් අනතුරුව සිදුවූයේ කිසිවකුත් අපේක්ෂා නොකළ දෙයකි. බලු පැටවාගේ හිමිකරු යැයි කියාගත් පුද්ගලයා වෙතින් පහර පිට පහර කෑ සෙල්වරාසු බිම ඇද වැටිණි. බල්ලා ද රැගෙන උගේ හිමිකරු පැමිණි යතුරු පැදියේ නැගී නිවස බලා යද්දී සෙල්වරාසුට සිදුවූයේ දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල කරා යෑමටය. ගලහ රෝහලට රැගෙන ගිය ඔහුගේ තත්ත්වය බරපතළ වූයෙන් මහනුවර ජාතික රෝහලට මාරුකර යැවුවේය. එහි ප්‍රතිකාර ලබමින් සිටි සෙල්වරාජ් 12 දින පෙරවරුවේ සඳහටම දෙනෙත් පියා ගත්තේය. බලු පැටවකු නිසා මිනිස් ජීවිතයක් අහිමි වූ මෙම සිදුවීම පිළිබඳ ගලහ ප්‍රදේශයේ පමණක් නොව රටේම අවධානය යොමුවීම නිසා අපි එහි වැඩි විස්තර සොයා එම ප්‍රදේශයට ගියෙමු.
මාස දෙකක් පමණ වයස වූ සිද්ධියට මුල් වූ සුනඛයා ගමේ භාෂාවෙන් කියන්නේ නම් වල් බල්ලෙකි. සත්ත්වයකුට ආදරය කරුණාව දැක්වීමට උගේ වර්ගය කුමක්ද යන්න ප්‍රශ්නයක් කර ගැනීම යහපත් ගුණයක් නොවූවද ගම්වාසීන් පැවසුවේ රට බල්ලෙක් නම් හොරකම් කළා හරි කියන්න තිබුණා යනුවෙනි. දඩාවතේ යන සුනඛයින් එකවර පැටව් හය හත්දෙනා දැමූ පසු මහ මඟ ගමන් ගන්නා වාහන වලට අසුවී පැටවුන් මියයන අවස්ථා අපි කොතෙකුත් දැක ඇත්තෙමු. එවැනි සතුන්ට වසදී මරා දැමූ අවස්ථාද පසුගිය කාලයේ මාධ්‍ය මගින් වාර්තා විය. එසේ වුවත් මේ ආකාරයට වල් බල්ලකු වෙනුවෙන් පුද්ලගයකු ඝාතනය කළ සිද්ධියක් පිළිබඳ මෑත කාලයේ අප මතකයේ නැත. ලයින් කාමරයක දිවිගෙවන සෙල්වරාසු දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවූවෙකි. ඔහුගේ දරු දෙදෙනාද විවාහවී පදිංචිව සිටින්නේ එම නිවසේමය.
‘අපේ අම්මා නැතිවෙලා. තාත්තා තමයි හැමදේම කරන්නේ. එදා හවස 7.00 ට විතර තාත්තා වැස්සෙම ගෙදර අවා. මගේ පස්සෙන් බලු පැටියෙක් ආවා. එළෙව්වාට ගියේ නෑ. අයිතිකාරයෙක් නැති නිසා මම බල්ලව ගෙනාවා. පව් ඌ හොඳටම තෙමිලා කියලා තාත්තා කිව්වා. මම ගිහින් ඌව ගේ ඇතුළට ගෙනල්ලා රෙදි කෑල්ලකින් පිහලා පාන් කන්න දුන්නා. පහුවෙනිදා උදේ කවුදෝ ගේ ඉස්සරහා කෑගහනවා ඇහුණා. තාත්තා එළියට ගිහින් ඇයි කියලා ඇහුවම තමසේ මගේ බල්ලා අරන් ආවද කියලා එයා ඇහුවා. වැස්සේ තෙමි තෙමී බල්ලෙක් පාරේ හිටියා, ඌ මගේ පස්සෙන් ආවා, ඒ නිසා මම ඌව අරන් ආවා කියලා බල්ලා ඉන්නවා අරන් යන්න මහත්තයා කියලා තාත්තා කිව්වා. ළමයි රෑ තිස්සේ බල්ලා නැතුව අඬනවා, තමුසේ මොකටද බල්ලා ගෙනාවේ කියලා එයා තාත්තගේ කම්මුලට පාරක් ගැහුවා. ඒත් එක්කම එයා කකුලෙන් තාත්තගේ යටිබඩ පැත්තට ගැහුවා. එතකොට තාත්තා බිම ඇදගෙන වැටුණා‘
![]() |
සිද්ධියට මුල්වූ සුනඛයා |
සෙල්වරාසුගේ දියණිය සත්‍යප්‍රියා (23) සිද්ධිය විස්තර කළේ එසේය.
මියගිය සෙල්වරාසුගේ පුතා වන ගනේෂ් (20) ද සිද්ධිය වූ අවස්ථාවේ නිවසේ සිටියේය. ඔහු සිද්ධිය මෙසේ විස්තර කළේය.
‘අපි ඉන්නේ ලයින් කාමරයක. අපේ අම්මා අවුරුදු පහකට විතර කලින් මැරුණා. තාත්තා තමයි එදා ඉඳන් අපි බලා ගත්තේ. එදා උදේ කවුදෝ කෙනෙක් අපේ ගේ ඉස්සරහා කෑ ගහනවා ඇහුණා. ටික වෙලාවකින් එළියේ කලබලයක් වගේ ඇහුණා. මම යනකොට තාත්තට කෙනෙක් හොඳටම ගහනවා. තාත්තා බිම වැටුණට පස්සේ එයා බල්ලව අරන් බයිසිකලේ නැගලා ගියා. අපි තාත්තව උස්සගෙන ගේ ඇතුළට ආවා‘
පහර කෑමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් සෙල්වරාසු කඩිනමින් රෝහල්ගත කරන්නට කටයුතු කළේ අසල්වැසියකු වූ පී. සංජීව ය. ‘සද්දේ ඇහිලා මම එනකොට සෙල්වා අයියට හොඳටම ගහනවා. මම ගිහින් පහර දෙන කෙනාව අල්ලගන්න ගියාම එයා මටත් ගහන්න ආවා. සෙල්වා අයියා බිම වැටුණට පස්සේ එයා අපිටත් බැණලා බල්ලා අරන් ගියා. මම 1990 කතා කරලා ඇම්බියුලන්ස් එක ගෙන්න ගෙන ඒකෙන් සෙල්වා අයියව ගලහ රෝහලට අරන් ගියා. එතනින් මහනුවරට මාරු කළා. ගොඩක් ආමාරුවෙන් හිටපු එයා පහුවදා මැරුණා‘
![]() |
සෙල්වරාසුගේ දියණිය සත්‍යප්‍රියා |
මෙම පහරදීමට සම්බන්ධ සැකකරු ගලහ පොලීසිය මගින් සිද්ධිය වූ දිනයේම අත්අඩංගුවට ගනු ලැබීය. තිදරු පියකු වන ඔහු 43 න් හැවිරිදි වියේ පසුවෙයි. කොන්ත්‍රාත්කරුවකු වන සැකකරු පොලීසියට පවසා ඇත්තේ බලු පැටියා නොමැති වීම නිසා තම ළමුන් රැය පුරා නිදිවර්ජිතව අඬමින් සිටි බවයි. සෙල්වරාසු නැමැත්තා බලු පැටවා රැගෙන ගිය බවට තොරතුරක් ලැබුණ නිසා තමන් ඌ රැගෙන ඒමට උදෑසනම ඔහුගේ නිවසට ගිය බවද ඔහු පවසා ඇත. මේ සියල්ලට හේතුව වූ සුනඛ පැටවා සිදුවූ කිසිවක් ගැන වගක් නොමැතිව වල්ගය වනමින් සතුටින් සිටින්නේය. දරුවන් පස් දෙනෙකුට පිය සෙනෙහස දැන් අහිමිව තිබේ. ඌ ඉල්ලා පෙරදින හඬා වැළපුණු දරුවෝ තිදෙනාගේ හැඬුම තවත් නතර වී නැත. ඒ බලු පැටවා පැමිණියත් පියා ගෙදර නොපැමිණි නිසාය.
සින්නවේළු සෙල්වරාසුගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශිව සුබ්‍රමනියම් විසින් සිදුකරනු ලැබීය. මොට බලයක් යෙදීමෙන් බඩවැල් පිපිරීම නිසා විෂබීජ රුධිරයට එක්වීමෙන් මරණය සිදුව තිබෙන බව ඒ මහතා වෛද්‍ය වාර්තාව මගින් දක්වා තිබණි.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ කොට්ඨාසභාර පොලිස් අධිකාරී ශ්‍රියන්ත පීරිස් හා සහකාර පොලිස් අධිකාරී ඕ.පී අමරබන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත ගලහ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් මහගෙදර, අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රත්නායක, තල්වත්ත ස්ථානීය අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර, උප පොලිස් පරීක්ෂක අබේරත්න,පොලිස් සැරයන්වරුන් වන අලහකෝන්(7393),රත්නායක (12642),කුමාර (161220) යන නිලධාරීන් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූහ. සැකකරු ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ඡායාරූප- ගම්පොළ සමූහ සහ ගලහ සමූහ
![]() |
සෙල්වරාසුගේ දරු දෙදෙනා හා ඔවුන් විවාහ වී සිටින අය |
![]() |
සෙල්වරාසුගේ නිවස |