
ආසියානු රටවල කෑම පිසීමේ දී පොල්තෙල් සුලබව යොදා ගනී. එහෙත් මේ වන විට විවිධ විෂ සහිත දෑ කලවම් වූ හා කලවම් කරන ලද තත්ත්වයෙන් බාල පොල්තෙල් වෙළෙඳපොළ තුළ සුලබ ව අලෙවි වීම නිසා ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු මතු වෙමින් තිබේ.
මේ වන විට මෙරට වෙළෙඳපළේ අලෙවි කෙරෙන පොල්තෙල්වලින් සියයට හැත්තෑවක්ම නිසි ප්‍රමිතියෙන් තොර බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. දැනට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන පොල්තෙල්වලින් සාම්පල එකසිය දාහතක් පරික්ෂා කිරීමෙන් ඒ බව හෙළි වී ඇත. මෙම තත්ත්වය පාලනය කිරීමට පාරිභෝගික ජනතාවට ප්‍රමිතිගත ගුණාත්මක තත්ත්වයෙන් යුතු පොල්තෙල් ඉතා පහසුවෙන් හඳුනා ගැනීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහයෝගය ඇතුව තරු පහකින් යුතු නව ලාංඡනයක් හඳුන්වා දීමට පොල් සංවර්ධන අධිකාරිය කටයුතු යොදා තිබේ. මෙම තරු පහ ලාංඡනය ලබා දීමේ දී පොල්තෙල් නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන ක්‍රමවේදය, නිෂ්පාදන පරිශ්‍රයේ තත්ත්වය ආදී කටයුතු පරීක්ෂාවට ලක් කෙරෙන අතර එකී ලාංඡනය සහිත පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් කිරීමෙන් පසුවද නිරතුරු පරීක්ෂාවට ලක් කෙරේ.
වෙළෙදපොළේ ඇති බාල පොල්තෙල් භාවිතය නිසා ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාවට එල්ල වී ඇති තර්ජන හමුවේ ප්‍රමිතියෙන් යුතු පොල්තෙල් නිෂ්පාදන හඳුනා ගැනීමට එම තරු පහේ ලාංඡනය උපකාරී වන ආකාරය පිළිබඳ සොයා බැලීමට අප අදහස් කළෙමු.
හැම විටම භාවිත කළ යුත්තේ ප්‍රමිතියට අනුව නිෂ්පාදනය වන පිරිසුදු පොල්තෙල්
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න
රසායන විද්‍යා අංශය- කැලණිය විශ්වවිද්‍යාලය
“හොඳ පොල්තෙල් එහෙමත් නැතිනම් ප්‍රමිතියෙන් හා ගුණාත්මකභාවයෙන් යුතු පිරිසුදු පොල්තෙල් ලෙස හඳුන් වන්නේ සෞඛ්‍යයට අහිතකර කිසිදු ද්‍රව්‍යයක් එකතු වීමට ඉඩ නොදෙමින් සෞඛ්යාරක්ෂිත තත්ත්ව යටතේ නිපදවන පොල්තෙල්. පොල්තෙල් මිලදී ගැනීමේදී ප්‍රමිතිය, ගුණාත්මක භාවය හා සෞඛ්යාරක්ෂිත බව තහවුරු කරමින් විධිමත් ලෙස ලබා දෙන සහතිකයක් නිකුත් වී තිබේදැයි සොයා බලා මිලදී ගැනීමට උනන්දු වීම ඉතා වැදගත්. වෙළෙදපොළ තුළ අලෙවි වන විවිධාකාර පොල් තෙල් වර්ග අතර කොප්පරා භාවිත කර නිපදවන අලුත් පොල්තෙල් වගේම පාවිච්චි කරන ලද පොල් තෙල් නැවත පිරිපහදු කර අලුත් තෙල් ලෙස විකුණන බවත් හෙළි වී තිබෙනවා.
කෝප්පරාවලින් නිපදවන පොල්තෙල් සෞඛ්යාරක්ෂිත ලෙස පිරිසුදුවට සකස් නොකළහොත් විවිධ රසානික ද්‍රව්‍ය එකී පොල්තෙල්වලම නිෂ්පාදනය වී ඒවා ශරීරයට අහිතකර ප්‍රතිඵල ගෙන දෙන බවත් තහවුරු වී තිබෙනවා. හොඳ පිරිසුදු පොල්තෙල් කියන්නේ ශක්තිය ජනනය කළ හැකි මේද අම්ලයක්. එය අප ශරීරයේ අවශෝෂණ ක්‍රියාවලිය වැඩි දියුණු කරන්නත් උපකාරී වෙනවා. පොල් තෙල්වල ඇති මධ්යමදාම මේද අම්ල සෞඛ්‍යට හිතකරයි. ඒ වගේම පොල්තෙල් ඉතා ඉහළ උෂ්ණත්වයකට රත් කරද්දී පවා ගුණය වෙනස් නොවී පවතින අතර එළවළු තෙල් හා වෙනත් තෙල් වර්ග ඉහළ උෂ්ණත්වයේදී සෞඛ්‍යයට අහිතකර දේ නිෂ්පාදනය කරනවා. ඒ නිසා පොල්තෙල් ශරීරයට සුදුසුම ගුණාත්මක දෙයක් ලෙස හැඳින්විය හැකියි.
මේ නිසා හැම විටම ප්‍රමිතියෙන් හා ගුණාත්මකභාවයෙන් යුතු පිරිසුදු පොල්තෙල් නිෂ්පාදනය සඳහා නිෂ්පාදකයන් දිරි ගැන්විය යුතුයි. වෙළෙඳපොළෙන් පොල්තෙල් මිලදී ගන්නා පාරිභෝගිකයන් පොල් සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති තරු පහේ ලාංඡනය සහිත සහතිකය තිබේදැයි බලා මිලදී ගැනීමට කටයුතු කළ යුතුයි”
තරු පහේ ලාංඡනය සහිත පොල්තෙල් ම මිලදී ගන්න
පී. එදිරිමාන්න
අධ්‍යක්ෂක සැලසුම් හා සංවර්ධන පොල් සංවර්ධන අධිකාරිය
“අපේ රටේ ආහාර සහ කර්මාන්ත සඳහා යොදා ගන්නා වාර්ෂික පොල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 1,80000ක් පමණ වෙනවා. මේ ප්‍රමාණයෙන් සියයට 50ක් පමණ තමයි තවමත් නිෂ්පාදනය කර ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතිරි පොල් හා පොල්තෙල් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට සිදුව ඇත්තේ ආනයනික නිෂ්පාදනවලින්. මේ වන විට විවිධ මිල ගණන් යටතේ ආදේශක තෙල් වර්ග ලංකාවට ඇවිත් තියෙනවා. කෙසේ වුවත් විදේශ රටවලින් ආනයනය කෙරෙන බොහොමයක් නිෂ්පාදන අපේ රටේ නිපදවෙන තරම් උසස් නිෂ්පාදන නොවන බව ඉතාම පැහැදලියි. ඒ වගේම ඒවා මිලෙනුත් අධිකයි. ඇතැම් ජාවාරම්කාර දේශීය වෙළෙන්දොත් ලාභය පසුපස හඹා ගොස් විවිධ දේ මිශ්‍ර කර බාල තත්ත්වයේ පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් කරනවා. මේ නිසා පාරිභෝගිකයන් රෝගවලට ගොදුරු වනවා පමණක් නොවෙයි අවසානයේදී එවැනි ලෙඩරෝග නිසා මරණය පවා ළඟා කර ගන්නවා.
පොල් සංවර්ධන අධිකාරිය හැටියට අපි මෙම කටයුතු නිරන්තරයෙන් ගැඹුරින්ම නිරීක්ෂණය කළා. ඒ අනුව මේ ගැටලුවලට ස්ථිරසාර විසදුමක් ලබා දෙන්නට අපි සකස් කළ සැලසුම්වල ප්‍රතිඵලයක් විදිහට තමයි ප්‍රමිතිය, තත්ත්වය, උසස් බව, ගුණාත්මකභාවය හා සෞඛ්යාරක්ෂිත බව යන සියලු සාධක තහවුරු කළ ප්‍රමිතියෙන් යුතු බව කියැවෙන තරු 05කින් සමන්විත සහතිකයක් ඇති ලාංඡනයක් හඳුන්වා දුන්නේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතියද මෙම තරු පහේ සහතිකය සඳහා හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාවේ තිබෙන සෑම පොල්තෙල් නිෂ්පාදන ආයතනයක්ම පොල් සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි විය යුතුයි. මෙ වනවිටත් නිෂ්පාදකයන් 250 ක පමණ පිරිසක් අප අධිකාරිය තුළ ලියාපදිංචි වී තිබෙනවා. දේශීය පොල්තෙල් නිෂ්පාදනයේ නිරත වී සිටින සියලුම ආයතන ඉදිරියේදී මේ වැඩසටහන හරහා නියාමනය කිරීමත් අපගේ අරමුණක්. මෙරට පොල්තෙල් නිෂ්පාදනයේ ගුණාත්මක භාවය ඉහළ නංවන දිගුකාලීන වැඩපිළිවෙළක් ලෙස මෙම තරු පහ සහතිකය ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.”
ප්‍රමිතිය නොමැතිනම් පාරිභෝගික අධිකාරිය නීතිමය පියවර ගන්නවා
තාරක විදානගමාච්චි
සහකාර අධ්‍යක්ෂක පාරිභෝගික සේවා අධිකාරිය
“2017දී ගැසට් එකක් නිකුත් කර තිබෙනවා ආහාර සඳහා යොදා ගන්නා පොල්තෙල් නිෂ්පාදනය කළ යුතු ආකාරය හා එම පොල්තෙල් බෝතල් ලේබල් කරන්නේ කොහොමද යන කාරණා පැහැදිලි කරමින්. පොල් සංවර්ධන අධිකාරිය,පාරිභෝගික කටයුතු අධිකාරිය හා සෞඛ්‍ය අමාත්‍යාංශය යන ආයතන මෙරට නිෂ්පාදනය කෙරෙන පොල්තෙල්වල ප්‍රමිතිය සොයා බලන කණ්ඩායමට අයත්. එම ප්‍රමිතිය තහවුරු වූ පසු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පිරිසුදු පොල්තෙල් තෝරා ඒවාට සහතිකයක් නිකුත් කරන්නට කටයුතු කරනවා. පාරිභෝගික සේවා අධිකාරිය හැටියට මේ කියන කාරණයේදී අපගේ ප්‍රමුඛතම වගකීම වී තිබෙන්නේ මෙලෙස සහතික කරන ලද නිෂ්පාදන වෙළෙඳපොළට ආවම ඒ පිළිබඳව පැමිණිල්ලක් ආවොත් ඒ ගැන සොයා බලා තියෙන ප්‍රමිතියට නොමැතිනම් ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීමයි.
මෙම තරු පහේ ලාංඡනය පොල් සංවර්ධන අධිකාරියේ නිර්දේශයකින් තොරව ව්‍යාජව හදාගෙන ඇත්නම් ඒ සම්බන්ධව පියවර ගැනීමටත් අප කටයුතු කරනවා. දැනට වෙළෙඳපොළේ විකුණන්නට තිබෙන බෝතල් නොකර අලෙවි කරන (ලූස්) පොල්තෙල් ගැනත් අප ඉතා විමසිලිමත්. කොප්පරා භාවිත කර හදන පොල්තෙල්වල පුස් හැදෙන්න තියෙන සම්භාවිතාව ඉතාම වැඩියි. පොල්තෙල් නිෂ්පාදනයේදී කොප්පරා කියන්නේ යල් පැන ගිය ක්‍රමයක්. මේ වන විට අලුත් තාක්ෂණය භාවිත කර පොල්තෙල් නිපදවන ක්‍රම ඕනෑ තරම් තියෙනවා. මේ සියලු කරුණු පිළිබඳ විමසිලිමත්ව ප්‍රමිතියෙන් යුතු පොල්තෙල් නිෂ්පාදන සඳහා තරු පහේ ලාංඡනය සහිත පොල්තෙල් නිෂ්පාදන ම මිලදී ගන්නා ලෙස අප සියලු පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
පිරිසුදු පොල් තෙල් කියන්නේ ඉතා හොඳ ඖෂධයක්
වෛද්‍ය ලසන්ත විජේසේකර වෛද්‍ය නිලධාරී
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය
පොල්තෙල්වල මේදය අඩංගු නිසා ආහාර පිසීමේදී පොල්තෙල් හොඳ නැහැ කියා මතයක් තිබුණා.එහෙත් සැබෑවටම පොල් තෙල් හොඳයි කියන එක තමයි කියන්න තියෙන්නේ. විශේෂයෙන්ම පොල්තෙල්වල තාපයට ඔරොත්තු දීමේ හැකියාව වැඩියි. තාප ස්ථායිතාවය වැඩි නිසා බැඳුම් හා ඉවුම් පිහුම් සඳහා භාවිතයට හොඳයි. පොල්තෙල්වල සංතෘප්ත මේදය වැඩි හරියක් ඇවිත් තියෙන්නේ මාධ්යදාම මේද අම්ලවලින්. එය සෞඛ්‍යයට අහිතකර නැහැ. ශරීරයට හිතකර ලක්ෂණ පෙන්වනවා. සෞඛ්‍යයට අහිතකර කොලෙස්ට්‍රෝල් අඩු කරනවා වගේම හදවතට හොඳ කොලෙස්ට්‍රෝල් තියාගන්නත් පොල්තෙල් උදවු වෙනවා. විශේෂයෙන් ම මවුකිරිවල පවතින රෝග බෝ නොවන ගුණය පොල්තෙල්වලත් පවතිනවා. ඒ අනුව පොල්තෙල් යනු ඉතා හොඳ ඖෂධයක්.
පිටරටවල වෙනත් තෙල් වෙනුවට පොල්තෙල්වල සුවිශේෂ ගුණය පිළිබඳව පරීක්ෂා කර ඒවා භාවිත කිරීම සඳහා ජනතාව හුරුකර තිබෙනවා.ජනතාව බහුල වශයෙන් ගොදුරු වී සිටින කොලොස්ට්‍රෝල් තත්ත්වයට විසඳුමක් වශයෙන් දිනකට පොල් තෙල් හැන්දක් පානය කරන්නත් ඔවුන් අනුමත කරලා තියෙනවා. ඒ වගේම මහලු වියට පත්වීමේදී සිදුවන මතකය නැති වීමේ තත්ත්වය පොල්තෙල් භාවිතයෙන් වළක්වගන්න හැකියාව තිබෙන බවද මේ වන විට පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. පිටරටවල එවැනි තත්ත්වයක් තිබියදී දේශීය දෙයක් ලෙස අපි පොල්තෙල්වලට මීට වඩා පිළිගැනීමක් ලබා දිය යුතු වගේම තවදුරටත් පිරිසුදු පොල්තෙල් භාවිතය මෙරට තුළ ජනප්‍රිය කරන්නත් කටයුතු කළ යුතුයි.