අත­ටම හසු කර­ගත් කෝටි හයේ වාල­ම්පුරි ජාවා­රම | සිළුමිණ

අත­ටම හසු කර­ගත් කෝටි හයේ වාල­ම්පුරි ජාවා­රම

වාලම්පුරි ගැන අපි අසා ඇත්තෙමු. වාලම්පුරියක් නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ තැබීමෙන් එම ස්ථානයට යස ඉසුරු හා වාසනාව කැන්දාගෙන එන බව අපේ ඇත්තන් අතර මතයක් පවති. ඒ විතරක් නොව ඇතමුන් විශ්වාස කරන්නේ වාලම්පුරියක් තිබීමෙන් යස ඉසුරු පමණක් නොව තමන්ට සිතු සිතු සැපසම්පත් ලැබෙන බවය. හක්බෙල්ලන් විශේෂයන් වන වාලම්පුරි වර්ග රැසකින් සමන්විත වේ. කොටින්ම කිවහොත් මහ මුහුදේ රජ්ජුරුවෝ වන්නේ වාලම්පුරියයි.

වාලම්පුරි කෝටිපති ව්‍යාපාරිකයන් අතර ඉතා ජනප්‍රියත්වයට පත්ව තිබේ. වාලම්පුරි ජාවාරමක්ද ක්‍රියාත්මක වන අතර එම ජාවාරම ක්‍රියාත්මක වන්නේ ඉතා සුක්ෂම අයුරිනි. මෙය ක්‍රියාත්මක වන්නේ ජාලයක් ලෙසිනි. වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ 31 වගන්තියට අනුව වාලම්පුරි වර්ග 30ක් එ්වායේ සජිවී හෝ අජිවී කොටස් කිසිවක් ඇල්ලීම, එක්රැස් කිරීම, ළඟ තබා ගැනීම, ප්‍රවාහනය මෙන්ම අලෙවියද සපුරා තහනම් වේ. අපි මේ කියන්නට යන්නේ කෝටි 06කට අලෙවි කිරිමට සුදානම් වූ ට්‍රයිටෙන් වර්ගයේ වාලම්පුරි 02ක තොරතුරු අනාවරණය කරගත් ජාවාරම ගැනය.

වාලම්පුරි 02ක් විකිණීමට තැත් කළ සැකකරුවන් සිව් දෙනෙකු කළුතර විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින් විසින් ඉමදුව කෝදාගොඩ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගනු ලැබීය.

ජාවාරම්කරුවන් කොටුකරගැනීමේ මෙහෙයුම දියත්වන්නේ පොලීසියේ අනුදැනුමෙනි. මෙකී මෙහෙයුමේ මහ මොළකරු නොඑසේ නම් උපාය දූතයාගේ චරිතයට රඟපෑවේ පොලිස් පරික්ෂක අංජනය. වාලම්පුරි ජාවාරම් ගැන පොලිස් පරික්ෂක අංජන නිරතුරුව සෝදිසියෙන් සිටියේය. ඔහුට සිය පුද්ගලික ඔත්තුකරුවන් මගින් මේ ගැන තොරතුරු රැසක් ලැබී තිබුණි. වාලම්පුරි අලෙවි කිරීමේ ඇත්තේ එක්තරා ජාලයකි. මේ අතරතුර එම ජාලයේ අයකු දැනහැඳින ගැනීමට පොලිස් පරික්ෂක අංජනට හැකි විය. පොලිස් පරික්ෂක අංජනට වාලම්පුරි 02ක ඡායාරූප දෙකක් සිය ජංගම දුරකතනයට ඔහුගෙන් ලැබී තිබුණි. ඔහු හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අංජන උපාය දූතයකු ලෙස ඔහුත් සමඟ ගනුදෙනු කළේය. මෙකී පුද්ගලයා බණදහම් දන්නා ආගමට ළැදි අයෙකි. හේ මෙකී ජාවාරම කරගෙන ගියේ ධර්මයෙනි. කොටින්ම කිවහොත් ආගමට මුවාවීගෙනය.

“මහත්තයා වමට කැරකුණු වාලම්පුරියක් තියෙනවා රුපියල් කෝටි හතර හමාරක් වෙනවා. අනිත් වාලම්පුරිය කෝටි එකහමාරකට දෙන්න පුළුවන්“ ජාවාම්කරු කීවේය. “නැහැ මට අවශ්‍ය කෝටි පහමාරක පමණ වටිනා වාලම්පුරියක් උපාය දූතයාගේ චරිතයට පණ දෙන පොලිස් පරික්ෂක අංජන කිවේය. ඔහු එසේ කියමින් මෙකී ජාවාරම්කරු සමඟ විශ්වාසය ගොඩනඟා ගත්තේය..

පොලිස් පරික්ෂක අංජන විසින් සැලසුම් කළ මෙහෙයුම ටක්කයට ක්‍රියාත්මක වී තිබුණි. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පැමිණ ප්‍රධාන ජාවාරම්කරු හා අනික් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා විට තමන් උගුලකට හසුවී ඇති බව වාලම්පුරි ජාවාරමේ මහ මොළකරුට අවබෝධ වන්නට වැඩිවෙලාවක් ගත නොවීය. තමන් සමග දින ගණනාවක් තිස්සේ මෙම වාලම්පුරි විකිණීමේ ගනුදෙනුව ගැන කතා කොට ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරික්ෂකයකු බවට දැන ගත්තේ ඔවුන් පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමඟය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වැඩතහනමකට ලක්වු පාසල් ගුරුවරයකු, ගුවන් හමුදාව හැරගොස් සිටින සෙබළකු ද සිටින බව පොලිසිය පවසයි.

විශේෂ කාර්ය බළකයේ අණ දෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ උපදෙස් මත කළුතර පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ ප්‍රධාන පොලිස් පරික්ෂක දයාරත්න, ඉමදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල්කුමාර, පො. පො. අංජන, පොලිස් කොස්තාපල්වරුන් වන 85517 දිසානායක. 86975 අත්තානයක 81379 සම්පත් හා 35615 ජයරත්න යන නිලධාරින් විසින් වැටලීම කරනු ලැබීය.

පෞරාණික වටිනාකමින් යුතු වාලම්පුරි 02ක් ළඟ තබාගෙන විකිණීමට තැත් කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් සිව් දෙනා ගාල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් සෝමසිරි උඩුවැල්ල වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඔක්තෝබර් 06 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Comments