
රටේ ජනතාවට අත්‍යවශ්‍ය සියලුම ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කළ යුතු බවට රජය තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරි වසර 05 ක කාලය ඇතුළත මෙම ඉලක්කය ජයගැනීම සෞඛ්‍ය බලධාරීන්ගේ අරමුණයි. ඖෂධ නිෂ්පාදන හා සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරන අන්දමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට අනුව මෙලෙස මෙම ඖෂධ මෙරට තුළදීම නිපදවීම සිදුවනු ඇත. එහි ඇති විශේෂත්වය වන්නේ පිළිකා වැනි රෝග සඳහා අවශ්‍ය ඖෂධ වර්ග මෙරට තුළදීම නිෂ්පාදනය කිරීමට කටයුතු යෙදී තිබීමයි.
පසුගිය කාලය පුරාම මෙරට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවා ලීමට අවශ්‍යය කෙරුණු ඖෂධ වර්ග විදෙස් රටවල් රැසකින් ම මෙරටට ආනයනය කිරීම සිදු විය. ඒ සඳහා අතිවිශාල මුදලක් ද වැය කෙරුණු අතර පැහැදිලිවම රටේ ජාතික ධනය විදේශ රටවලට ගලා යන එක මාර්ගයක් බවට එලෙස ඖෂධ ආනයනය කිරීම පත් විය. ඇස්තමේන්තු කර ඇති අන්දමට එලෙස ඖෂධ ආනයනය කිරීමට වසරකට රුපියල් බිලියන 60 ක පමණ මුදලක් මෙරටට වැය වී තිබේ.
මෙරට ඖෂධ නිෂ්පාදනය ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කිරීම සඳහා ජනාධිපතිවරයා තුළ ඇති දැක්ම පැහැදිලිව පෙන්නුම් කළ මුල්ම සාක්ෂිය වූයේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ නව රාජ්‍ය අමාත්‍යාංශයක් ද බිහි කිරීමට කටයුතු කිරීමයි.
මෙලෙස මෙරට ඖෂධ නිෂ්පාදන කර්මාන්තය සවිබල ගැන්වීම උදෙසා තීරණාත්මක පියවරක් ලෙස ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවීමට ගත් පියවර පිළිබඳව ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය ද උද්දාමයට පත්ව සිටියි. අත්‍යවශ්‍ය ඖෂධ මෙරට ජනතාවට ලබාදීම සඳහා දේශීයව බටහිර ඖෂධ නිෂ්පාදනය කරන නිෂ්පාදකයින් දක්වන දායකත්වය පිළිබඳව සැලකීමේදී මෙවැනි අමාත්‍යාංශයක් පිහිටුවීම අතිශය වැදගත් පියවරක් බවත් එමගින් මෙරට අනාගතය සුබවාදී කිරීම සඳහා වත්මන් රජය කෙරෙහි සුබවාදී බලාපොරොත්තු තැබීමට හැකිවී ඇති බවත් එම සංගමය අවධාරණය කරන ලදී.
විදෙස් වෙළෙඳපොළ ද ඉලක්ක කරගනිමින් ඉදිරියේදී මෙම ඖෂධ නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට ඖෂධ නිෂ්පාදනය හා සැපයීම නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය දැනටමත් තීරණය කර තිබේ. එයට අනුව විදෙස් වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් ඖෂධ නිෂ්පාදනය සඳහා හම්බන්තොට ප්‍රදේශයේ අක්කර 400 ක ආයෝජන කලාපයක් ඉදිකිරීමට තීරණය කර ඇති බව ද විෂය භාර අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පසුගියදා අනාවරණය කළේ ය. මීට අමතරව දේශීය ඖෂධ නිෂ්පාදන ආයෝජකයන් සඳහා අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ අක්කර 100 ක මධ්‍ය පරිමාණ ආයෝජන කලාපයක් ද පිහිටුවීමට තීරණය වී ඇත. ඉදිරි මාස දෙක තුන ඇතුළත මෙම ස්ථානවල ඖෂධ නිපැයුම් ආරම්භ කරනු ඇත.
හැකි සෑම අවස්ථාවකම විදෙස් රටවලට ගලා යන මෙරට ජාතික ධනය රට තුළම ඉතිරි කිරීම, වත්මන් රජයේ අභිලාෂය බවත් ශ්‍රී ලංකාව තුළට මෙරටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය සඳහා ගනු ලැබූ තීරණයක් සමඟ එතෙර මෙතෙර ඖෂධ සමාගම් රැසක් මෙරට තුළදීම ඖෂධ නිෂ්පාදන කාර්යයන් සඳහා දැනටමත් ඉදිරිපත් වී ඇති බවත් අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි. ඉදිරි මාස 06 ක කාලය තුළ සේලයින්, ප්‍රතිජීවක හා නිර්වින්දන ඖෂධ ශ්‍රී ලංකාවේ නිපදවීම සඳහා අවශ්‍ය සියලු විධිවිධාන මේ වනවිටත් යොදා ඇති බව ද අමාත්‍යවරයා අනාවරණය කළේ ය. මෙතෙක් විදේශ රටවලින් මෙරටට ආනයනය කරන ලද මිල අධික ඖෂධ වර්ග මෙරට තුළදීම වැඩපිළිවෙළ ගැන අදහස් දක්වන ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සංජය ජයරත්න මහතා සඳහන් කළේ මෙය මීට පෙර ක්‍රියාත්මක කිරීමට තිබුණත් පමා වී හෝ ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම අගය කළ යුතු ක්‍රියාවක් බවයි.
මේ පිළිබඳව අදහස් දක්වන රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ඖෂධ වර්ග මෙරට ආනයනය කිරීමේ ක්‍රියාවලිය තුළ දූෂිත හා අක්‍රමිකතා ද නිරන්තරයෙන් ම සිදුවූ බවයි.
පසුගිය කාලය පුරා එලෙස ගුණාත්මක ඖෂධ මෙරටට ගෙන්වීමක් සිදු නොවුණ බවත් ඊට එරෙහිව තම සංගමය සෑම අවස්ථාවකව හඬ නැඟූ බවත්, අරගල කළ බවත් සඳහන් කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා දැනට රට තුළ ඇති ඖෂධ මාෆියාව විනාශ කර දැමීමට මේ නව වැඩපිළිවෙළ මගින් හැකිවන බවත් ප්‍රකාශ කළේ ය.
මේ පිළිබඳව ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහගෙන් ද අප විමසූ අතර එහිදී ඇය ප්‍රකාශ කළේ මෙලෙස අත්‍යවශ්‍ය සියලු ඖෂධ නිෂ්පාදනය කිරීමට කටයුතු කිරීම තුළින් ඉදිරියේදී ඖෂධ මිල පාලනය වීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇති බවයි.