
හෙන්රි ජයසේනයන් ගේ ‘හුණුවටයේ කතාව’ වේදිකා නාට්‍යයෙන් කියවෙන්නේ දරුවකුගේ සැබෑ අයිතිය විනිශ්චය කිරීමේ අපූරු නඩු තීන්දුවකි. ‘මයිකල්’ නම් ළදරු කුමරකුගේ අයිතිය පතා ඔහු වැදූ මව සහ හදාවඩාගත් ගෘෂා නම් තරුණ මෙහෙකාරිය අධිකරණය හමුවට එන අතර දරුවාගේ සැබෑ අයිතිය තීරණය කිරීමට ‘අඩසක්’ නම් විනිසුරු යොදා ගන්නේ අමුතු ක්‍රමයකි. හුනුවලින් සලකුණු කරන ලද වෘත්තයක් තුළ දරුවා තබා දෙපසට අදින ලෙස ඔහු මවුවරු දෙදෙනාට අණ කරයි. එහිදී දරුවාට සැබවින් ම ආදරය කරන ගෘෂා දරුවා වේදනා විඳිනු දකිනු නොහැකිව සටන අතහරිද්දී දරුවා සැබවින්ම අයිති විය යුත්තේ ගෘෂාට බව විනිසුරු තීරණය කරයි.
හුණුවටයේ කතාවේ එන ඒ සංවේදී කතා පුවත යළි සිහි ගන්වමින් දරුවකුගේ සැබෑ මව කවුදැයි සොයන ආන්දෝලනාත්මක කතාවක් මේ වන විට කරළියට පැමිණ ඇත. මේ පුවත වාර්තා වන්නේ අම්පාර සමන්තුරෙයි ප්‍රදේශයෙනි.
ඒ, සුනාමි ව්‍යසනයේදී අතුරුදන් වූ එවකට පස් වසරක් වයසැති පිරිමි දරුවකු වසර 16කට පසු එම දරුවාගේ මව යැයි කියන කාන්තාවක විසින් සොයා ගැනීමේ පුවතක් මාධ්‍ය හමුවේ අනාවරණය වීමත් සමඟ ය. මේ වන විට එම සිදුවීම වඩාත් උණුසුම් වී ඇත්තේ එදා පස් වියැති මේ වන විට 21 වැනි වියේ පසුවන එම තරුණයාගේ සැබෑ මව ඇයම දැයි යන්න සැකයට තුඩු දෙන කරුණක් බවට පත්ව තිබෙන නිසාය. ඒ, මෙතෙක් එම තරුණයා හදාවඩා ගත් බව කියන අම්පාර හොල්මන්ගල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ජුනයිඩ් නූර් ඉන්ෂාන් (42) නමැති කාන්තාවක විසින් සමන්තුරේ පොලිසියට කරන ලද ප්‍රකාශයක් හේතුවෙනි.
අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායකගේ උපදෙස් මත සමන්තුරෙයි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුරුවිට ජයලත් විසින් පොලිසියට කැඳවූ අවස්ථාවේදී ඇය හැඬූ කඳුළින් සිය අවනඩුව ඉදිරිපත් කළාය.
මෙම සිදුවීමේ කථානායකයා බවට පත්වී සිටින මොහොමඩ් රියාස් නමැති 21 හැවිරිදි තරුණයා තමන්ගේම කුසින් උපන් දරුවා බවත් දරුවාගේ පියා තමා සහ දරුවා අත්හැර යෑමත් සමඟ තමන් කුලී වැඩ කරමින්, ගෘහ සේවයේ යෙදෙමින් දහසක් දුෂ්කරතා මැද දරුවා ඇතිදැඩි කළ බවත් ඇය එහිදී විස්තර සහිතව අනාවරණය කළාය. ඇයගේ දුක්ගැනවිල්ලට සාවධානව සවන් දුන් පොලිස් ස්ථානාධිපතිවරයා මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් කිරීමට තම නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවේ එම කාන්තාව සහ මොහොමඩ් ශියාන් නමැති තරුණයාගේ සැබෑ මව තමා යැයි කියමින් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටි කාන්තාව ප්‍රකාශ කළ කරුණු අතර දැඩි පරස්පර බවක් දක්නට ලැබීම හේතුවෙනි.
ඒ සම්බන්ධයෙන් මෙතෙක් පැවැත්වූ මූලික විමර්ශනවලින් අනතුරුව තරුණයාගේ සැබෑ මව කවුද යන්න විද්‍යානුකූලව අනාවරණය කර ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් පැවැත් වීමට පොලිසිය විසින් තීරණය කර තිබේ. ඒ අනුව තරුණයාගේ මවුවරු යැයි කියන කාන්තාවන් දෙදෙනාගේම එකඟත්වය මත ලබන සඳුදා (5දා) ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. සුනාමි දරුවාගේ කතාව ‘හුණුවටයේ කතාවේ’ අලුත්ම ජවනිකාව බවට පත්ව ඇත්තේ ඒ අයුරිනි.
![]() |
සමන්තුරෙයි පොලිසියේදී තම මවුවරු යැයි කියන සිත්ති හමාලියා සහ නූර් ඉන්ෂාන් අතරට මැදිවූ රිස්වාන් |
වසර 16කට පෙර නැතිවූ බව කියන දරුවාගේ සැබෑ මව තමා යැයි කියමින් අම්පාර කරෙයිතිව් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි සිත්ති හමාලියා නම් කාන්තාව පසුගිය 28 වැනිදා මාධ්‍ය හමුවේ පැවසුවේ තම දරුවා මෙතෙක් හදා වඩාගෙන ඇත්තේ සිංහල මවක විසින් බව ය. එහෙත් සමන්තුරේ පොලිසිය හමුවේ දරුවාගේ සැබෑ මව තමා බව පවසමින් ප්‍රකාශයක් කළේ මුස්ලිම් කාන්තාවකි. තම දරුවාගේ නම නසීන් මුහමලේ අස්කර් රිස්කාන් බව සිත්ති හමාලියා පැවසුවද දැන් හමුවී සිටින තරුණයාගේ නම මොහොමඩ් රිස්වාන් ය.
සිත්ති හමාලියා පවසන පරිදි මේ කතාව වසර 16ක අතීතයකට දිවෙන්නෙකි. 2004 දෙසැම්බර් 26 වැනිදා රට ම හැඬවූ දවසක් වූයේ නොසිතූ ලෙස පැමිණි සුනාමිය නිසා ය. රුදුරු සුනාමි ව්‍යසනය නිසා සිය ජීවිතයට අත්වූ ඉරණම අබුසාලි සිත්ති හමාලියා පසුගියදා මාධ්‍ය හමුවේ අනාවරණය කළේ මෙලෙසිනි.
“ඒ කාලේ මම අම්පාර අශ්රෆ් අනුස්මරණ රෝහලේ සුළු සේවිකාවක් ලෙස සේවය කරමින් සිටියේ. සුනාමිය පැමිණි දවසෙත් මම රාජකාරියට වාර්තා කළා. ඒ වනවිට මට අවුරුදු 5ක පුතෙක් හිටියා. සුනාමිය එද්දි පුතා හිටියෙ සමන්තුරෙයි ගෙදර. සුනාමිය නිසා අවතැන් කඳවුරුවල කොටු වුණ මට දරුවා ළඟට යන්න විදිහක් තිබුණේ නැහැ. දවස් තුනකින් මම ගෙදර යද්දි පවුලේ කවුරුත් හිටියෙ නැහැ. මගේ සොයුරියගේ සැමියාට (විශ්‍රාමලත් ප්‍රාදේශීය ලේකම්) පුද්ගලයකු පැමිණ කියා තිබුණා මගෙ පුතා රෝහල් හිටියා කියලා. අපි රෝහලට ගිහින් බලද්දි රෝහලේ රෝගීන් ඇතුළත් කරන පොතේ පුතාගේ නම තිබුණා. නමුත් ඒ වෙද්දිත් දරුවගේ මවුපියන් යැයි කියමින් පුතාව කවුරු හරි අරගෙන ගිහින්.
එදා ඉඳලා මම හම්බවෙන හැම කෙනාගෙන් ම පුතාගේ ඡායාරූපය පෙන්නලා විස්තර අහනවා. පිස්සියක් වගේ දරුවා සොයමින් හැමතැනම ඇවිද්දා. මගේ පුතා කොහේ හරි ඉන්නවා කියලා තොරතුරක් ලැබුණු ගමන් මම ඒ හැම තැනනටම ගිහින් හොයන එක පුරුද්දක් වුණා. මගේ පුතා සොයන්න මගෙ ඥාතීන් ඇතුළු බොහෝ පිරිස් විවිධ උදවු උපකාර කළා. මම මානව හිමිකම් කාර්යාලයටත් ගියා. ඒත් ඔවුන් මට කිසිම උපකාරයක් කළේ නැහැ. පොලීසියත් මට ගැඹුරු හඬින් තර්ජනය කළා. උසස් නිලධාරියකු මාව හිරේ දමන බවටත් තර්ජනය කළා. මා ඔහුට මගේ වේදනාව කීවා. කොළඹ මානව හිම්කම් කාර්යාලයට පැමිණිලි කළත් ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. මම බොහෝ ජනමාධ්‍යවලටත් කතා කළා”
එසේ පුතු සොයමින් රට පුරා ගිය ඇයට 2016 වසරේදී සිය පුතු සිංහල පවුලකට සම්බන්ධ වී සිංහල පාසලක ඉගෙනුම ලබන බව දැනගන්නට ලැබෙන්නේ මිතුරියක ගේ මාර්ගයෙනි.
“මම ඇයගේ උපකාරයෙන් පාසලට ගොස් පුතා දැකීමට උත්සාහ කළත් විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය මට දරුවා බැලීමට අවසර ලබා දීම ප්‍රතික්ෂේප කළා. මම රැකියාවත් අතහැරලා සිංහල කාන්තාවක් වගේ ඇඳුම් ඇඳගෙන දරුවා දැකගැනීමේ ආශාවෙන් බොහෝ කාලයක් පාරක් පාරක් ගාණේ ඇවිද්දා. අලෙවි නියෝජිතයකු ලෙසත් රැකියා ප්‍රවර්ධන නිලධාරිනියක ලෙසත් හිඟන්නියක ලෙසත් වෙස්වලාගෙන ඇවිදිමින් පුතා සෙව්වා. මට විශ්වාසයක් තිබුණා දවසක මාගේ පුතා මා ළඟට එයි කියලා. ඒ වෙනුවෙන් මම බොහෝ අවමාන, කරදරවලට මුහුණ දුන්නා. මේ අතර මගේ සැමියා වෙනත් විවාහයක් කර ගත්තා. නමුත් මම තනියම මගේ දරුවා සොයන කටයුත්ත දිගටම කළා. ජනාධිපතිතුමා දක්වා කියන්න පුළුවන් හැම ආයතනයකටම, නිලධාරියකුටම කිව්වා. කිසි කෙනෙක් ඇහුම්කන් දුන්නෙ නෑ. එක් ආයතනයක් මඟින් මම මගේ දරුවා පදිංචි ස්ථානය දැනගත්තා. රැකියා ලබා දෙන අයකු විදිහට මම පුතාගේ තොරතුරු ලබා ගත්තා.“
ඉන් නොනැවතුණු හමාලියා සිය පුතු යැයි විශ්වාස කළ දරුවා බලන්නට ඔහු ඇතිදැඩි වෙමින් සිටි අම්පාර හොල්මන්ගල ප්‍රදේශයේ නිවෙසටද ගියාය. සිංහල පවුලක් සමඟ හැදී වැඩෙමින් සිටි තම පුතුට දෙමළ භාෂාව කතා කිරීමට හැකියාවක් නොතිබුණු බවත් තමාට ද සිංහල භාෂාව නොතේරීම හේතුවෙන් පුතු සමඟ අදහස් හුවමාරු කර ගැනීමට නොහැකි වූ බවත් ඇය මාධ්‍ය හමුවේ පැවසුවාය.
පසුව නැවත සිය නිවෙසට ගිය ඇය, තම පුතු යැයි සිතාගෙන සිටින 21වැනි වියේ පසුවන රිස්වාන් ට දුරකථනයෙන් කතා කර තිබේ. එහිදී ඇය තම පුතුගේ සිරුරේ ඇති “උපන් ලප සහ සලකුණු” ගැනද විමසා තිබේ.
“ඊට පස්සේ පුතා දැනගත්තා එයාගේ අම්මා මම තමයි කියලා. ඉන් දින කිහිපයකට පස්සේ මගේ පුතා කොළඹ රැකියාවට යන බව ගෙදරට පවසා මාව සොයාගෙන සමන්තුරේ ට ආවා” හමාලියා මාධ්‍ය හමුවේ තුටු කඳුළු සලමින් එසේද කීවාය. රිස්වාන් තමා බිහි කළ මව යැයි පවසන සිත්ති හමාලියා බලන්නට ඇගේ නිවෙසට ගොස් තිබුණේ පසුගිය 28 වැනිදා ය. එහිදී පුතු සමඟ මාධ්‍යයට පෙනී සිටි හමාලියා සිය සතුට ප්‍රකාශ කරමින් මෙසේද කීවාය.
”අවුරුදු 16කට පස්සේ මගේ පුතා මගෙ ළඟට ආව එක ගැන මට ගොඩක් සතුටුයි. සමහරු කිව්වා මගේ පුතා ජීවතුක් අතර කියලා. සමහරු කිව්වා පුතා ජීවතුන් අතර නැහැ කියලා. නමුත් අවුරුදු 16ක් තිස්සේ මම මගේ පුතා හොයන උත්සාහය අත හැරියේ නැහැ. අවුරුදු 5දී නැතිවුණ මගෙ පුතා දැන් හින්දි නළුවෙක් වගේ. මගේ පුතා නැවත හොයාගන්න දෙවියන් මට පිහිට වුණා. පුතා සොයා දෙන ලෙස ඉල්ලමින් මම මක්කමට බාර වුණා. දැන් පුතා ලැබිලා තියෙන නිසා පුතා එක්ක මක්කමට ගිහින් ඉස්ලාමීය චාරිත්‍ර අනුව ඒ බාරය ඔප්පු කරන්නයි මම හිතාගෙන ඉන්නෙ. ඒ වගේම මේ දක්වා පුතාව බලාගත්ත ඒ සහෝදරියටත් හැකි පමණින් උදව් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. පුතාට දෙමළ කතා කිරීමට නොහැකියි. ඒත් සිංහල භාෂාවන් මා කියූ දේවල් විශ්වාස කර මා ළඟට පැමිණීම ගැන සතුටු වනවා.”
සිත්ති හමාලියා විසින් මාධ්‍ය මඟින් කළ එම ප්‍රකාශ පිළිබඳ පොලිස් විශේෂ කාර්යාංශයේත් බුද්ධි අංශවලත් සහායෙන් පැය 24ක් ගතවන්නට පෙර සියලු තොරතුරු එක්රැස් කරගන්නට සමන්තුරෙයි පොලිසිය සමත් විය. දරුවාගේ සැබෑ මව කවුරුන්ද යන පටලැවිල්ල ලෙහා ගැනීම සඳහා දරුවාට හිමිකම් කියන මවුවරු දෙදෙනා දරුවාද සමඟ පසුගිය 1වැනිදා සමන්තුරෙයි පොලිසියට කැඳවා තිබුණේ ඒ අනුව ය. එහිදී දරුවා මේ දක්වා හදාවඩාගත් හොල්මන්ගල පදිංචි මුහමද් ජුනයිද් නූර් ඉන්ෂාන් විසින් දරුවාගේ උප්පැන්න සහතිකය, බර කිරුම් සහතික, පාසල් සහතික ආදී ලේඛන කිහිපයක් ම පොලිසිය වෙත ඉදිරිපත් කළාය.
සුනාමියෙන් අතුරුදන් වූ තම දරුවා රිස්වාන් යැයි සිතන සිත්ති හමාලියා නමැති කාන්තාවද දරුවා සම්බන්ධ ලේඛන කිහිපයක් පොලිසියට ඉදිරිපත් කර තිබුණි. දරුවා සොයමින් වසර ගණනාවක් රට වටා ගොස් ඇති ඇති සිත්ති හමාලියා 2016 වසරේදී මෙම දරුවා පිළිබඳ තොරතුරු ලැබී ඔහු සොයා ගිය බවද පොලිසිය හමුවේ ප්‍රකාශ කොට තිබුණාය.
මෙතෙක් කරන ලද විමර්ශන අනුව පොලිසිය පවසන්නේ සමන්තුරෙයි පදිංචි සිත්ති හමාලියා තම දරුවා සොයා වසර ගණනාවක් දරන ලද උත්සායක ප්‍රතිඵලයක් ලෙස සොයාගත් දරුවා ඇයගේ දැයි නිශ්චිත ව කිව නොහැකි නමුත් ඇය ඒ තමන්ගේම දරුවා යැයි සිතමින් ඔහුට සමීප වී ඇති බව අනාවරණය වී ඇති බවයි. සිත්ති හමාලියා ට පළමු වරට දරුවා මුණ ගැසෙන විට ඔහු පාසල් අධ්‍යාපනය නිම කර සිට ඇති අතර රැකියාවක් සොයාදෙන ලෙස සිත්ති හමාලියාගෙන් ඉල්ලා සිට ඇති බවත් ඒ අනුව ඔහු සමන්තුරෙයි ප්‍රදේශයට පැමිණ ඇති බවත් පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරගෙන තිබේ. ඇය දරුවා හදාවඩා ගත්තේ සිංහල මවක් විසින් යැයි අසත්‍යයක් ප්‍රකාශ කළේ ඇයිද යන්න පිළිබඳවද පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වමින් සිටී. කෙසේ වෙතත් අවසානයේදී පොලිසිය මවුවරු දෙදෙනා ඩී.එන්.ඒ පරීක්ෂණයට යොමු කිරීමට තීරණය කරනු ලැබුවේ මෙය විද්‍යානුකූලව සනාථ කරගත යුතු කරුණක් බවට පත්ව ඇති නිසා ය.
ඒ අනුව එම පරීක්ෂණයෙන් පසු සමන්තුරෙයි රඟ දැක්වෙන හුණුවටයේ කතාවේ අලුත්ම ජවනිකාව තුළ සැඟවී ඇති ප්‍රෝඩාව සහ සැබෑව හෙළි වනු ඇත.
විනාඩි 20ක කාලයක් තුළ ජීවිත 32,000ක් බිලි ගනිමින් බිලියන ගණන් දේපළ විනාශ කළ සුනාමිය මෑත ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව මුහුණ පෑ දරුණුතම ඛේදවාදකයයි. 2004 දෙසැම්බර් 26 වැනිදා රට ම හැඬවූ එම ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 31,289කි. අතුරුදන් වූ සංඛ්‍යාව 4,100කි. පුද්ගලයන් 5,16,150ක් අවතැන් වූ අතර ඒ අතර සුනාමියෙන් මව, පියා යන දෙදෙනාම අහිමි වූ දරුවන් සංඛ්‍යාව 1,071කි. එවැනි ඛේදනීය සිදුවීමක් තුළ රිස්වාන් වැනි දරුවන් ගැන අනුවේදනීය කතා තවදුරටත් අසන්නට ලැබීමද අරුමයක් නොවේ.