
නෙත්සර පුතු පස් දෙනෙකුගෙන් යුත් පවුලේ බඩපිස්සා ය. පවුලේ එකම පිරිමි දරුවා ය. මේ නිසා මවුපියන් මෙන්ම වැඩිමහල් සහෝදරියන් දෙදෙනාද නෙත්සරට පණමෙන් ආදරය කළහ. ගවේෂ් නෙත්සර අකුරු කරන්නට ගියේ මාපලගම සිරිසුනන්ද විද්‍යාලයේ 08 ශ්‍රේණියටය. මීට මාස එකහමාරකට පමණ ඉහතදී නෙත්සර පුතු උපකාරක පන්තියකට සහභාගි වීමට පාපැදියෙන් මාපලගම දෙසට යමින් සිටියේය. අයාලේ යමින් සිටි සුනඛයකු මාර්ගයේ ගමන් කරමින් සිටි ගැහැනු ළමයකුගේ ඇඟට පැන්නේය. ඒ සමඟ ඇය නෙත්සර පුතුගේ පාපැදියේ ගැටුණු අතර නෙත්සර පුතුද බිම ඇද වැටුණේය. අයාලේ යමින් සිටි සුනඛයා නෙත්සර පුතුගේ පාදයක් යාන්තමට සීරුවද එය එතරම් ගණන් නොගත් නෙත්සර උපකාරක පංතියට සහභාගි වීම සඳහා ගියේය.
“අක්කේ මාර වැඩක් නේ වුණේ. ගෑනු ළමයෙක් බල්ලෙක් හපන්න ඇවිත් මගේ සයිකලේ උඩට වැටුණා. බල්ලා මගේ දකුණු කකුල යාන්තමට සීරුවා. සීරුණු තැන මම සබන් ගාලා සේදුවා”
මෙම සිද්ධිය සිදු වී දින 04කට පසු නෙත්සර තම සහෝදරියට කීවේය. නෙත්සර ගේ සහෝදරිය වන වරුණි නිසංසලාද එය එතරම් ගණන් ගත්තේ නැත. “කෝ බලන්න හුරපු තැන” වරුණි නෙත්සර ගේ පාදය දෙස විපරම් කොට බැලුවේය. ඒ වනවිට පාදයේ සීරිම් තුවාලයක් පවා දක්නට නොවීය.ටික දිනක් යනවිට මේ සිද්ධිය නෙත්සර ට මෙන්ම පවුලේ අයටද අමතක වී ගියේය.
දිනය ඉකුත් 26 වැනිදාය.
“අක්කේ මගේ දකුණු කකුලට උඩින් තුනටිය පැත්ත රිදෙනවා. වේදනාව ඉවසන්න බැහැ” නෙත්සර සොහොයුරිය වරුණි නිසංසලාට කීවේය. ඒ අනුව උඩුගම රෝහලට ඇතුළත් කළ නෙත්සර ට මූලික ප්‍රතිකාර සිදුකෙරුණද ඔහුගේ කොන්දේ ඇති වී තිබු වේදනාව එන්න එන්න ම වැඩි වන්නට විය. නෙත්සර පුතු කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කළේ ඒ නිසාය. නෙත්සර ළඟ නතර වී ඔහුට සාත්තු සප්පායම් කළේ සහෝදරිය වන වරුණි නිසංසලා ය.
“අනේ අක්කේ මගේ ඇඟ හීතලයි. මට හුස්ම ගන්න බැහැ.” දත් මදින්නට ගිය නෙත්සර තම සහෝදරියට කීවේය. පසුව නෙත්සර ඇඳට විත් හාන්සි වී සිටියේය.
“අනේ අක්කේ මට වතුර ටිකක් දෙන්න බොන්න”. නිසංසලා වතුර කොප්පය නෙත්සර ට දෙන විට ඔහුගේ අත වෙවුලන්නට විය.
“අනේ අක්කේ මට හුස්ම ගන්න බැහැ” නෙත්සර යළිත් කීවේය. නිසංසලා ඒ ගැන වාට්ටුවේ සිටි හෙදියන්ට කීවාය.
“මෙයාට ඒතරම් අමාරුවක් නැහැ. භයවෙලාද කොහෙද” ඔවුහු නිසංසලාට කීහ.
ටික වේලාවකට පසු වාට්ටුව භාරව සිටි විශේෂඥ වෛද්‍යවරිය නෙත්සර පුතු අසල පැමිණියාය.
“පුතා බය වෙන්න එපා. ඔයාව යාන්තමට හෝ පුසෙක් හෝ බල්ලෙක් සීරුවාද?“ වෛද්‍යවරිය නෙත්සර පුතුගෙන් ඇසුවේය. නෙත්සර පුතුට මීට මාස එකහමාරකට පමණ ඉහතදී වූ සිද්ධිය මතක් විය. හේ අකුරක් නෑර සිද්ධිය වෛද්‍යවරියට කීවේය. නෙත්සර පුතු එම වාට්ටුවේ කාමරයක් තුළ වෙන ම රඳවා තබන ලෙස වෛද්‍යවරිය උපදෙස් දුන්නාය. කෙමෙන් ඔහුගේ රෝගී තත්ත්වය දරුණු වන්නට වූ අතර ඔහුට හුස්ම ගැනීමට අපහසු විය. අතට හසුවන ඕනෑම දෙයක් පොළවේ ගසා කුඩු කරද්දී නිසංසලා ඒ ගැන වාට්ටුවේ සිටි හෙදියන්ට කීවාය. පසුව නෙත්සර පුතුට එන්නතක් විද ඔහුගේ අත් පා ගැට ගැසීමට කටයුතු කරනු ලැබීය. ඉන්පසු නෙත්සරපුතුට නින්ද ගියේය. ටික වෙලාවකට පසු ඔහු අවදි විය.
“අක්කේ ඔයා අඬන්න එපා. මම මැරිලා ඉපදුණා. මම මැරෙනවා. ඔයා අඬන්න එපා. අනේ මගේ අත් දෙක ලිහන්න” නෙත්සර පුතු මරු විකාරයෙන් මෙන් කීවේය.
“මල්ලි මොනවාද ඔය කියන විකාර කතා. ඩොක්ටර්ස්ලා කියලා තියෙන්නේ ලිහන්න එපා කියලා.”
නිසංසලා හඬමින් කීවාය. ඒ අතර දැඩි අසාධ්‍ය තත්ත්වයට පත්වූ නෙත්සර රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කළේය. එහෙත් ඔහුගේ දිවි බේරා ගැනීමට හැකි වූයේ නැත.
මේ අයුරින් අවාසනාවන්ත ලෙස ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදු වුයේ හොරගස්තුඩුව අලුත්පහල මාපලගම ප්‍රදේශයේ පදිංචිව සිටි කහවගුරුගේ ගවේෂ් නෙත්සර නැමති වයස අවුරුදු 12ක් හා මාය හයක් වියැති පාසල් සිසුවෙකි. නෙත්සර පුතුගේ මව වන හිරිමතුගොඩගේ චිත්‍රා නන්දනී (48) දරාගත නොහැකි සොවින් වැලපෙමින් මෙසේ කීවාය.
“අනේ මගේ එකම පුතා මට නැති වුණා. මීට මාස එකහමාරකට පෙර ගණිතය විෂය සඳහා උපකාරක පන්තියකට යන විට බල්ලෙක් පාපැදියට පැනලා කකුල සීරුවා කියලා අක්කලාට කියලා තියෙනවා. ඒ සඳහා බෙහෙත් කරන්න ගියේ නැහැ. මාස එකහමාරකට පමණ පසු පුතාගේ තුනටිය රිදෙන්න ගත්ත නිසා තමයි රෝහල් ගත කළේ.”
නෙත්සර පුතු ජලභිතිකා රෝගය වැලඳීමෙන් මිය යන්නට දින තුනකට පෙර ඒ ආසන්නයේ ම පදිංචි අයකුද ජලභිතිකා රෝගය වැලඳීමෙන් මිය ගියේය. ඔහු නියාගම ලොකුගමගේ සරත් (54) නැමති ඉහල පිටිටනිය යටලමත්ත ප්‍රදේශයේ පදිංචි අවිවාහකයෙකි. ඉකුත් 25 වැනිදින මොහු මාර්ගයේ වැටී සිටියදී 1990 හදිසි ගිලන් රථ සේවාවට අයත් ගිලන් රථයකින් උඩුගම රෝහලට ඇතුළත් කර තිබූ අතර මොහු ඒ අවස්ථාවේ හැසිරී ඇත්තේ උන්මත්තකයකු ලෙසට ය. මීට සතියකට පමණ ඉහතදී සුනඛයකු විසින් ඔහු සපා කා තිබුණි.
නෙත්සර පුතු මෙන්ම සරත් නැමති පුද්ගලයාද නිසි අයුරින් වෛද්‍ය ප්‍රතිකාර නොගැනීම තම ජිවිතවලින් වන්දි ගෙවීමට සිදු විය. ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කංචිත සමරරත්න ඒ පිළිබඳ මෙසේ කීවේය.
“සුනඛයන් හා පූසන් සපා කෑ අය සිටී නම් වහාම රෝහල් වෙත වාර්තා කර නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස ඉල්ලා සිටිනවා. පසුගිය සතිය තුළ මාපලගම හා යටලමත්ත යන ප්‍රදේශවලින් ජලභීතිකා රෝගීන් දෙදෙනකු වාර්තා වෙලා තියනවා. එම රෝගීන් දෙදෙනා ම මියගොස් තිබෙන නිසා මේ තත්ත්වය සරලව ගන්න එපා. සුරතල් සතුන් සපා කා ඇත්නම් සුළුවෙන් තැකීමක් කරන්න එපා. එහිදී වෙන තුවාල ලොකු ද පොඩි ද කියලා බලන්නේ නැතිව වහා ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න. පසුගිය සතිය තුළ මියගිය එක් සිසුවෙක් පුද්ගලික පන්තියකට ගොස් පැමිණෙමින් සිටියදී බල්ලෙකු සපා කා තියෙනවා. එය සුළු තුවාලයක් නිසා ගණන් නොගැනීම නිසා තමයි ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ. එම නිසා සුරතල් සතුන් සපා කා ඇත්නම් වහාම ළඟම රෝහලට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
ඒ වගේම එසේම සුරතල් සතුන් ඇති කරන අය අදාළ එන්නත් කිරීම නිසි කාලයට සිදු කරන්න. විශේෂයෙන්ම පිස්සු බලු එන්නත වාර්ෂික ව ලබා දිය යුතු නිසා එක්වරක් ලබා දුන්නා කියා එය මඟ හරින්න එපා. සැක සහිත සතුන් සම්බන්ධයෙන් වඩාත් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. දැනට බලපෑමට ලක්ව ඇති උඩුගම ප්‍රදේශ ආශ්‍රිතව ඉදිරි දින කිහිපය තුළ එන්නත් කිරීම සිදු කරනවා. ඒවා සහභාගී වී එන්නත් කිරීම සිදුකර ගන්නා ලෙස ද ඉල්ලා සිටිනවා.”
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ජලභිතිකා ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය ගිංතාජලි ගුණරත්න ද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූවාය.
“වවුලා ඇතුළු ක්ෂිරාපායි සියලුම සතුන්ගෙන් ජලභිතිකාව බෝවෙන්න පුළුවන්. ඒ නිසා එම සතුන් සපාකැවොත්, සිරුවොත් ලෙව කෑවොත් රෝහලකට ඇතුළු වී වෛද්‍ය ප්‍රථිකාර ලබාගත යුතුයි. සියලුම සුරතල් සතුන් එන්නත් කරගත යුතුයි. ගවයාගෙන් ද ජලභිතිකාව වැලඳෙන්න පුළුවන්. ඇතැම් අය ගවයා ලෙව කෑවත් ගණන් ගන්නේ නැහැ.කරාපිටිය රෝහලේ පරීක්ෂණාගාරයක් තියෙනවා. පැය 24 පුරාම එය විවෘතයි. ක්ෂිරපායි සතකු මියගිය විට ඒ සතාගේ හිස අපිට ගෙනත් දෙන්න පුළුවන්. එයින් පරික්ෂණවලදී අපිට තහවුරු කරගන්න පුළුවන් මේ සතාට ජලභිතිකාව වැලඳිලා නැද්ද කියලා. එන්නත් කිරීමේදී එය පහසුවක් වෙනවා”
වසරකට මෙරට ජලභීතිකා මානව මරණ 20-30 අතර ප්‍රමාණයක් සිදුවන බව ජලභිතිකා මර්දන ඒකකය පවසයි. ඉන් වැඩිපුර මරණ සංඛ්‍යාවක් සිදු වන්නේ සුනඛ සපාකෑම් හේතුවෙනි. ශ්‍රී ලංකාවේ ජලභීතිකා රෝගයට ප්‍රධාන හේතුව වන්නේ එම රෝගයට එරෙහිව සුනඛයන් එන්නත් සිදු නොකිරීම සහ රෝගීන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොකිරීම බවද ජලභීතිකා මර්දන ඒකකය පවසයි.
නිසි පරිදි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නේ නම් ජලභීතිකා රෝගය සියයට සියයක්ම වළක්වා ගත හැකි රෝගයකි. ජලභීතිකා රෝගය වැළැක්වීම සඳහා ප්‍රතිකාර රජයේ රෝහල් මඟින් නොමිලේ ලබා ගත හැකිය. ජලභීතිකා රෝගය මර්දනය සදහා වාර්ෂිකව සුනඛයන් එන්නත් කිරීම ශ්‍රී ලංකාව තුළ නිර්දේශිත ය. 1975 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ ජලභීතිකා රෝග මර්දන ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස මානව ජලභීතිකා රෝගය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇත. වැඩි ම ජලභීතිකා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ 1973 වර්ෂයේදීය. ඒ සංඛ්‍යාව 377 කි. කෙසේවුවද 2019 වර්ෂය වන විට එම සංඛ්‍යාව 26 දක්වා අඩු වී ඇත.