දහ­සින් බැඳි පියලි නැති ගුරු දින­යක් සම­රමු! | Page 3 | සිළුමිණ

දහ­සින් බැඳි පියලි නැති ගුරු දින­යක් සම­රමු!

ලොව වෙනස් කිරීම උදෙසා මානව සංවර්ධනයේ අති දැවැන්ත කාර්ය භාරයක් උසුලන්නේ ගුරුවරුය. මේ කර්තව්‍යයේදි ඇවැසි අධ්‍යාපනය සමාජගත කිරීමේ මහා යුග මෙහෙවර ගුරුවරු අතින් සිදුවන අතර එහි පෙර ගමන් කරුවෝ වන්නේද ගුරුවරුය.

 

මේ නිසාවෙන් එදත් අදත් ගුරුවරු සලකන්නේ ගුරු දෙවිවරු වශයෙනි. ගුරු භූමිකාවේ යම් යම් වෙනස්කම් කාලයත් සමඟ සිදු වුවද ගුරුවරු ජීවිත කාලය පුරාවටම සිය සිසු දරුවන්ගෙන් සැලකුම් ලබන්නට පිං කර ඇත. ගුරු පිදුම එක් දිනයකට පමණක් සිමා නොවූවද වසරක් පාසා ගුරු දිනයද අප රටේ සමරන්නේ ලංකාවේ 246,000 ක් වන ගුරුවරුන්ගේ විශිෂ්ඨ සේවය අගයනු වස්ය.

හෙට තවත් ලෝක ගුරු දිනයක් සමරන්නේය. එක්‌සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්‌කෘතික සංවිධානය විසින් ලෝක ගුරු දිනය ලෙස ප්‍රථම වරට සැමරූයේ 1994 වසරේ ඔක්‌තෝබර් මස 05 වන දින දීය. ඒ 1966 ඔක්‌තෝබර් මස 05 වන දින ප්‍රංශයේ පැරිස්‌ නුවර පිහිටි යුනෙස්‌කෝ ප්‍රධාන මධ්‍යස්‌ථානයේ දී එක්‌සත් ජාතීන්ගේ සාමාජික රටවල නියෝජිතයින් එක්‌ව පවත්වන ලද මහා සමුළුවේදී ගුරු භූමිකාව, එහි අගය, ගුරුවරයාගේ සමාජයීය හා ගෝලීය මෙහෙවර, මෙන් ම ගුරු සේවයේ අභිවෘද්ධිය උදෙසා ඉතා වැදගත් සුවිශේෂ තීරණ තීන්දු රැසක්‌ ගත් දිනය එදින වන නිසාය.

2016 ඔක්‌තෝබර් 05 වන දින ලෝක ගුරු දිනය ලොව බොහෝ රටවල උත්කර්ෂවත්ව සැමරූ අතර ලංකාවේ ගුරු ඇගැයිම සිදු වන්නේ ඔත්තෝම්බර් මස 6 වැනිදාය. පසුගිය කාලය පුරාවටම ගුරු දිනය සැමරූයේ සියල්ල දහසින් බැඳි පියලි මත තීරණය කරමිනි. මිල අධික භාණ්ඩ ලබා දීමෙන් එසේත් නැතිනම් මුදල් වවුචර් පත් ලබා දිමෙන් ගුරුවරුන් පිනවීම හා ගුරු පඩුරු පිරිනැමීම පසුගිය කාලයක් පුරාවටම දැකිය හැකි වූ අතර මේ සියල්ල ඉතා තරඟකාරි මට්ටමින් සිදුවීමද තවත් කනගාටුදායක සිදුවිමකි. මුදලේ ප්‍රමාණය තීරණය කරමින් මිල අධික වටිනාකමින් වැඩි තෑගි ලබා දීමෙන් ගුරුවරු පිනවන විට මුදල් නොමැති දෙමවුපියන්ට සිදුවූයේ බුලත් අතක් හෝ නිවසේ පිපුණු මලක් වැනි දෙයක් ලබා දි ගුරුවරු දෙපා නම දින්නටය. විලාසිතාවක් වූ මේ ගුරු දිනයේ තෑගි ලබා දීමෙන් ඇතිවන ඇති- නැති භේදය දරුවන් අතර පමණක් නොව ජනප්‍රිය නාගරික පාසල් අතරද පැහැදිලි බෙදුමක් නිර්මාණය විය.

ගුරුවරු වනාහි සිය මව පියා හා සමාන ගරුත්වයකින් සැලකිය යුතු පිරිසකි. එහෙත් මේ විලාසිතාව නිසා ගුරුවරුන්ගේ භූමිකාව හා ගරුත්වය කෙලෙසුනු අවස්ථාද ගුරු දිනයේ ඕනැ තරම් දැකිය හැකි විය. ගුරු දිනය වෙනුවෙන් යැයි සඳහන් කරමින් දෙමවුපියන් අධික ලෙස පීඩාවට පත් කරමින් මුදල් ලබා ගැනීම් පසුගිය කාලයේ මහත් පීඩාවක් බවට පත් වූ කරුණකි. අධ්‍යාපන අමාත්‍යාංශ පසුගිය කාලයේ චක්‍රලේඛ නිකුත් කරමින් දැඩිව සඳහන් කළේ අනුමැතියකින් තොරව දෙමවුපියන්ගෙන් කිසිදු මුදලක් අය කර ගැනිම සම්පූර්ණයෙන්ම තහනම් වූ කටයුත්තක් බවයි. එහෙත් මේ පිළිබඳ සමාජගත වූ යම් යම් දෙමවුපිය පිරිස් ගුරු දිනය වෙනුවෙන් ගුරුවරුන් පිනවීමට මුදල් ලබා ගැනීම නිසා බොහෝ නැති බැරි දෙමවුපියන්ට සිදුවූයේ ණය වී හෝ තම දරුවාගේ නම්බුව ආරක්ෂා කිරීමටය.

මේ හේතුවෙන් 2016 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයට සිදුවූයේ ගුරු දිනය සැමරීම වෙනුවෙන්ම නීති ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කරන්නටය. 33/2016 දරන චක්‍රලේඛය එවකට අධ්‍යාපන ලේකම්ව සිටි සුනිල් හෙට්ටිආරච්චි විසින් නිකුත් කළේ ගුරු දිනය වෙනුවෙන් ත්‍යාග ප්‍රදානය කිරීමේ දැඩි සිමා තහංචි පනවමිනි. මේ ආකාරයෙන් මුදල් එකතු කරමින් විවිධ තෑගි හෝ පිරිනැමීම ආර්ථික අපහසුතාවලින් පෙළෙන දෙමවුපියන්ට විශාල ප්‍රශ්නයක් මතුව ඇති බවත්, දරුවන්ට පාසල් තුළදි ඇතිවන එම මානසික පීඩනයක් ඇතිව ඇති බවත් මෙහිදි දැඩිව අවධාරණය විය. මේ නිසා මේ චක්‍රලේඛය හරහා එවැනි තෑගි එකතු කිරීම, මුදල් එක්රැස් කිරිම හෝ එවැනි ත්‍යාගයක් ලබා ගැනීම දැඩි ලෙස විනයානූකූල වරදක් බවත් සඳහන් කර ඇති අතර සෘජුව හෝ වක්‍රව එවැනි කටයුත්තක් සිදු කිරීම ආයතන සංග්‍රහ පනත අනුව හා අල්ලස් හෝ දූෂණ පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් කොට තිබේ. මෙම චක්‍රලේඛයෙන් අනතුරුව පසුගිය වසර තුනක කාලයේදි සැරසිලි ලත් එවැනි ගුරු දින දක්නට

නොමැති විම එක් අතකට අධ්‍යාපන පද්ධතියේ සැනසුම් සුසුමක් විය.

වර්තමානයේ ගුරු වෘත්තිය සම්බන්ධයෙන් විවිධ ගැටලු මතුවිම නිතර අසන්නට ලැබෙන පුවතකි. ගුරු දිනයේ තුටු පඩුරින් ගුරුවරුන් පිනවිමට වඩා ඔවුන්ගේ ගැටලු වලට මුල් තැන ලැබිම අනිවාර්යයෙන් සිදුවිය යුත්තකි. ගුරු සේවයේ තෘප්තිමත් බව පිළිබඳව යම් යම් ගුරු සංගම් කතා කරන නිසාවෙන් ඵලදායි ගුරු සේවයක් ලබන්නට නම් ගුරු වෘත්තිය සඳහා සතුටුදායි පරිසරයක් නිර්මාණය විය යුතුය. ගුරුවරුන්ගේ දැනුම ප්‍රතිපෝෂණය වන ක්‍රියාමාර්ග ඇති කළ යුතු අතර ගුරුවරුන්ට තෘප්තිමත් වැටුපකට උරුම කම් කියන්නට සැලැස්විය යුතුයි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පෙන්වා දෙන පරිදි දකුණු ආසියාවේ අඩුම වැටුප් ලබන ගුරුවරු ඇත්තේ ලංකාවේ බවය. හිටපු අධ්‍යාපන ඇමැතිවරයෙකුද වරෙක පවසා සිටියේ කොත්තු බාස්ටත් වඩා අඩු වැටුපත් රජයේ ගුරුවරු ලබන බවකි. ඔවුන්ට 2019 /2020 වැටුප් අරගල කරන්නටද සිදුවූයේ මේ හෙයිනි. ගුරු සංගම් විසින් කරන තවත් චෝදනාවක් වන්නේ වර්තමානයේ ගුරු භූමිකාව කොළ පිරවීමකට සීමා වී ඇති බවකි. පදනම් විරහිතව සිදුවන එම කොළ පිරවීම් නිසා ගුරුවරයාට සිය අපේක්ෂිත ඉගැන්වීමේ කාර්යය සිදු කරන්නට අද නොහැකි වි ඇත. ගුරුවරයාට තෘප්තිමත් ගුරු සේවයක් ලැබුණේ 1994 වසරේදීය. ඒ ශ්‍රි ලංකා ගුරු සේවය ඇති වීමෙනි. නමුත් බී.සි පෙරේරා වැටුප් කොමිසම හේතුවන් යළිත් ප්‍රශ්න මතුවූ අතර මේ වන තෙක් ඒ සම්බන්ධව වරින් වර මතුකළ යෝජනා ක්‍රියාත්මක නොකළ බව ගුරු සංගම් චෝදනා කරති. මේ පිළිබඳ අදහස් මතුකරන ගුරු සංගම් නිරන්තරයෙන් ඉල්ලීම් කරන්නේ ගුරු සේවය සඳහා වෘත්තික සභාවක් ඇති කරන ලෙසය. ගුරුවරුන්ගේ යහපත සඳහා රජය පුළුල් ක්‍රියාමාර්ග රාශියක් ගත්තද ගුරු සංවර්ධනයේ මෙන්ම ගුරු ප්‍රතිපෝෂණ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වීම තවමත් ඇත්තේ පහළ තලයකය. ඒ සඳහා කරන්නාවු ආයෝජනයේ ඵල දැයේ දරුවන්ටය. අද ගුරුවරුයාට පශ්චාත් අධ්‍යන හෝ කළමනාකරණ පුහුණු සඳහා ඇත්තේ ඉතා අඩු අවස්ථා වන අතර මේ සඳහා අය කරන මුදලද ගුරුවරුන්ට දැරිය නොහැකිය. මේ නිසා රජයේ වගකිම වන්නේ ඒ සඳහා අවස්ථාව සැපයීමය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාතමක කරන්නා ගුරුවරයා හා විදුහල්පතිවරයාය. නමුත් වර්තමානයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හමුවේ ගුරුවරයාගේ හෝ විදුහල්පතිවරයාගේ ඇත්තේ අඩු නියෝජනයකි. වර්තමානයේ මේ කර්තව්‍යයේදි ඔහුගේ භූමිකාව වී ඇත්තේ ප්‍රේක්ෂකයකු පමණක් වීමය. මේ තත්ත්වය වෙනස් විය යුතුය. ගුරුවරයා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විෂයයේ ප්‍රධාන කොටස්කරු විය යුතුය.

ලොව අනිකුත් රටවල් හා සන්සන්දනයේදි හොඳම ගුරු සිසු අනුපාතයක් ඇති රටක් වන්නේ ලංකාවයි. ඒ සිසු ගුරු අනුපාතය 20 : 1 කි. නමුත් මේ ගුරු සිසු අනුපාතය නිවැරදිව තුලනය නොවීම තවත් ගැටලුවකි. වර්තමානයේ 20,000 ක ගුරු ඌණතාවයක් තිබුණද, දුෂ්කර ගුරුවරු සිය දුෂ්කර සේවය නිමකර නගරයේ පාසලකට යාමට නොහැකි වි ඇත්තේ නිසි ස්ථාන මාරු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම නිසාය. ගුරු තුලනයක් ඇති කරන්නට නම් නිසි බඳවා ගැනීම් හා ස්ථාන මාරු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතුය. වර්තමානයේ කලාප අධ්‍යාපන කාර්යාල 98 ක් තිබුණද මේවායේ සේවය ලබා ගැනිමට යාමේදි බොහෝ ගුරුවරු අපහසුතාවයට පත්වන වාර අනන්තය. අද විශ්‍රාම යන ගුරුවරුයාට සිය විශ්‍රාම වැටුප ලබා ගැනීමට වසරක කාලයක් ගෙවන්නට සිදුවෙයි. ඊට හේතුව මේ කලාප කාර්යාල සමහරක්ගේ ඇති අකාර්යක්ෂම තාවයයි. ගුරු ගැටලු පිළිබඳ සාකච්ඡාවේදි ඔවුන් කරන එක් ඉල්ලිමක් වන්නේ ගුරු විදුහල්පති සේවය සංවෘත සේවාවක් බවට පත් කිරීමටය. කෙසේ වෙතත් ගුරු දිනය අර්තවත්ව සැමරීමේදි ගුරුවරුන්ගේ මේ ගැටලු කෙරෙහිද අවධානය යොමු කිරිම රජයේ එක් වගකිමක් වන්නේය.

අද අප සිටින්නේ වියපත් වියෝය. අපට සිප්කිරි පෙවූ ඔවුහුද අද වියපත්ව ජිවිතයේ සැදැ සමයේ ගෙවන්නෝ වෙති. සමහර විට ඔවුන් තමන් අකුරු කළ සිසු දරුවන්ගේ හපන්කම් දකිමින් මේ මගේ ගෝලයෙක් යැයි උදම් අනමින් සතුටු කඳුළු වගුරනාවා විය හැක. ඒ ගුරුවරුද අපේ දෙවිවරුය. අද අප යම් තැනක සමාජයේ දිවි ගෙවන්නේ නම් එහි වැඩි ගරුත්වයක් හිමිවිය යුත්තේ ඔවුන්ටය.

අපට පාර කියාදුන් ඒ ගුරුවරු සාදා අගයන්නට අපට හැකිනම් එය මිනිසත්කමේ උතුම්ම වටිනාකමකි. හෙට ඇරඹෙන ලෝක ගුරු දිනයදා දහසින් බැඳි පියලි නැති වුවද ලිපියකින්, දුරකතන ඇමතුමකින් ,කෙටි පණිවිඩයකින් හෝ වැඩිහිටි ඔවුන් අමතන්නට අපට හැකිනම්, බුලත් හුරුල්ලක් දි , මලක් දී තම දරුවාගේ ගුරුවරුන්ගේ දෙපා නමැද වන්නට ඔබගේ දරුවා හුරු කරන්නට ඔබට හැකිනම් සැබෑ ගුරු දිනයක් ඔබටත් අපටත් සමරන්නට හැකිවේවි!

 

Comments