මන්නාරම් පුරාවිදු උරුම මැකී යන ලකුණු | Page 2 | සිළුමිණ

මන්නාරම් පුරාවිදු උරුම මැකී යන ලකුණු

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ වයඹ දිගින් පිහිටි මන්නාරම වර්ග කිලෝමීටර් 1996 කින් යුක්ත වූ අතර උතුරින් කිලිනොච්චි දිස්ත්‍රික්කයටත් නැගෙනහිරින් මුලතිව් හා වව්නියා දිස්ත්‍රික්කවලටත් දකුණින් අනුරාධපුර හා පුත්තලම දිස්ත්‍රික්ක වලටත් බටහිරින් මහා සමුද්‍රයටත් සීමා මායිම්ව පිහිටා ඇත. මඩු, මන්නාරම, මාන්තායි බටහිර, මුසලි හා නානාට්ටාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යටතේ ග්‍රාම නිලධාරී වසම් 153 කට බෙදා මන්නාරම් දිස්ත්‍රික්කයේ සිවිල් පරිපාලන කටයුතු සිදු කෙරේ.

මන්නාරම් දිස්ත්‍රික්කයේ පිහිටි උරුමයන් අතර මාතොට පැරණි වරාය හා දිය අගල සුවිශේෂත්වයක් උසුලයි. මන්නාරම - යාපනය මාර්ගයේ කිලෝමීටර් 6 ක් පමණ ගමන් කර මාන්තෙයි හන්දියෙන් තිරුකේෂ්වරම් කෝවිල වටා පිහිටි දිය අගලට පිවිසිය හැකිය. මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තිරුකේතිෂ්වරම් ග්‍රාම නිලධාරී වසමට අයත් තිරුකේතිෂ්වරම් ග්‍රාමයෙහි මාතොට පැරණි වරාය සහ දිය අගල පිහිටා ඇත.

ශිලා ලේඛන හා සාහිත්‍ය ග්‍රන්ථවල දැක්වෙන පරිදි මාතොට විවිධ නම්වලින් ව්‍යවහාර කර ඇත. එනම්, මහතොට, මහවොටි, මහතිත්ත, මහපුටු, මහවුටු, මවතුතොට, මහපටන හා මොඩුතොට යනාදි වශයෙනි. මාන්තොට්ටම් ලෙස දෙමළ භාෂාවෙන් හඳුන්වනු ලබයි.

ආචාර්ය ශිරාන් දැරණියගල ඇතුළු විද්වතුන්ගේ මතය වූයේ විවිධ ජන කණ්ඩායම් මෙරටට සංක්‍රමණය වීමට මූලික හේතුවක් ලෙස වරාය ආශ්‍රිතව ගොඩනැගුණු වෙළඳ නගර බිහිවීමය. ඔවුන් තම ආර්ථික, දේශපාලන හා සමාජීය අවශ්‍යතා මූලික කොටගෙන එම නගර ආශ්‍රිතව ජීවත් විය.

ක්‍රි.ව. දෙවන සියවසේ දී ටොලමි විසින් මද්‍රෙට්ටු (Madouttu) ලෙස මෙම ස්ථානය හඳුන්වා ඇත. පුරාවිද්‍යාඥයින්ගේ අදහස වනුයේ ලංකාවේ පැරණිම වරාය මාතොට හෙවත් මහාතිත්ථ යන්නය. ක්‍රි.පූ. 2 වන සියවසේ සිට ක්‍රි.ව. 13 වන සියවස දක්වාම සක්‍රීයව පැවති යැයි අනුමාන කරන මෙම වරාය අනුරාධපුර රාජධානියට ආසන්නව පැවතිණි. එමෙන්ම මාතොට වරාය එකල ප්‍රධානතම වරාය වූ බව ද සඳහන්ය.

මාතොට පැරණි වරාය හා දිය අගල

1887 දී මාතොට වරාය ආශ්‍රිතව පුරාවිද්‍යා කැණීම් කටයුතු ආරම්භ කර ඇති අතර 1907, 1926-1928, 1950-1951, 1970 හා 1980-1984 යන වර්ෂ වලදී විටින් විට කැණීම් සිදුකොට තිබේ. එම කැණීම් වලින් ලැබූ සාධක අනුව චීනය, අරාබිය, ග්‍රීක, ජපන්, අරාබි හා රෝමය ආදි රටවල් සමඟ වෙළඳ සබඳතා පැවති බවට අනාවරණය වේ.

එමෙන්ම මාතොට ප්‍රදේශයේ ප්‍රාග් ඓතිහාසික ජනාවාස පිළිබඳ සාධක ද මෙහිදී සිදුකළ කැණීම් මගින් සොයා ගැනීමට ආචාර්ය ශිරාන් දැරණියගල සමත් වී ඇත. මෙහිදී අනාවරණය කර ගත් සාධක අනුව මාතොට ක්‍රි.පූ. 1800 වන විට මධ්‍ය ශිලා යුගයට අයත් මානව ජනාවාසයකි. මුහුදු සත්ත්ව අවශේෂ මෙම කැණීම් තුළින් හමු වූ අතර ජ්‍යාමිතික හැඩැති ශිලා මෙවලම් රැසක් ද සොයා ගැනීමට හැකි වී ඇත. මහාචාර්ය චන්දන රෝහණ විතානච්චි මෙම ස්ථානයෙන් හමු වූ සාධක අනුව සඳහන් කරන්නේ ක්‍රි.පූ. 02 වන සියවසේ දී මූල ඓතිහාසික යුගයට අයත් ජනාවාසයක් මෙහි තිබූ බවය. එසේම මෙම කාලවකවානුවට අයත් කාලරක්ත වර්ණ මැටි බඳුන් හා රූලේටඩ් වර්ගයේ මැටි බඳුන් ද සොයාගෙන ඇත.

මෙහි ප්‍රාකාර දෙකක් හා දිය අගල් දෙකකින් වට වූ බළකොටුවක් තිබෙන්නට ඇතැයි යන්න සඳහන්ය. මාතොට වරාය ස්වභාවික වරායක් වූ අතර ඊට නුදුරු මුහුදේ නැංගුරම් ලා එහි සිට කුඩා යාත්‍රා ඔස්සේ විදේශිකයන් තම ගනු දෙනු සඳහා ගොඩබිමට පැමිණෙන්නට මෙහි ඇති දිය අගල් උපයෝගී කරගන්නට ඇතැයි යන්න ද මෙම භූමිය මාතොට ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරන්නට ඇති බව ද විද්වතුන්ගේ මතයයි.

Ancient Ceylon (Vol 5) හි දක්වා තිබෙන්නේ දිය අගල් දෙකකින් යුතු මෙම වෙළඳ නගරයේ බිම් ප්‍රදේශය අශ්ව ලාඩමක හැඩය ගත් බවය. වර්තමානයේ දී පසින් යට වූ නගරයක් ලෙස මෙම වරායට අයත් භූමිය දැක්විය හැකිය යන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකළ ගවේෂණය සම්බන්ධයෙන් ලියවුණු මන්නාරම දිස්ක්‍රික්කය (M.V.G කල්ප අසංග, I.P.S. නිශාන්ත) ග්‍රන්ථයේ වැඩිදුරටත් විස්තර කොට ඇත.

එමෙන්ම තිරුකේතීෂ්වරම් කෝවිල හා ඒ වටා වූ පැරණි ජනාවාස සාධක සහිත දිය අගල් ද්විත්තයෙන් වට වූ භූමිය මාතොට පැරණි වෙළඳ නගරයට අයත් වේ යැයි සඳහන්ය. මෙම ප්‍රදේශයේ බහුල ලෙස චීන මැටි බඳුන් කැබලි, වෙනත් විදේශීය මැටි බඳුන් කැබලි, පබළු හා වළං කැබලි හමු වී ඇත. එමෙන් ම මෙහෙි දී වීදුරු නිෂ්පාදන උඳුනකට අයත් බිත්ති කොටස් සහ උණූ වූ අපද්‍රව්‍ය සමඟ බැදුණු කොටස් හමුවීම සුවිශේෂීය.

අරිප්පු බළකොටුව

අරිප්පු කොටුව මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අරිප්පු බටහිර ග්‍රාම නිලධාරී වසමේ මුක්තරිපුත්තුරය ග්‍රාමයේ පිහිටා ඇත. මැදවච්චිය - මන්නාරම මාර්ගයේ මුරුක්කන් හන්දියට පැමිණ සිලාවතුර අරිප්පු මාර්ගයේ කිලෝ මීටර් 4 ක් ගමන් කිරීමෙන් මෙම ස්ථානයට පිවිසිය හැකිය.

කුඩා ප්‍රමාණයේ බළකොටුවක් වූ මෙය පෘතුග්‍රීසීන් විසින් පළමුව ඉදිකර ඇත. පසුව ලන්දේසීන් විසින් මෙම බළකොටුව අත්පත් කරගත් අතර එහි නවීකරණ කටයුතු සිදුකරනු ලැබීය. දැනට දක්නට ඇති ඉතාම කුඩා බළකොටුව ලෙස මෙය සැලකේ. කාලතුවක්කු බැස්ටියන් (Gun Bastion) දෙකකින් යුක්තය. මුතු කැඩීම ආශ්‍රිත කටයුතු සඳහා මෙම බළකොටුව උපයෝගී කරගත් බවත් එසේ කඩන ලද මුතු එකතු කිරීමට යොදාගත් එකම බළකොටුව ලෙසත් අරිප්පු හැඳින්වේ. සෑම වසරකම මාර්තු- අප්‍රේල් මාසවල මුතු බෙලි කර්මාන්තය සිදු කරනු ලබයි. එසේ මුතු බෙල්ලන් එකතු කොට ගබඩා කිරීමෙන් පසුව මුතුවල වර්ණය, ප්‍රමාණය හා ඔපය අනුව කොටස් වලට බෙදා වෙළඳ පොළට නිකුත් කළ බව සඳහන්ය.

කොරල් ගල්, හුණු ගල් හා පිළිස්සු ගඩොල් භාවිතා කර අරිප්පු කොටුවේ ශේෂව ඇති පල්ලිය ඉදිකොට ඇති බව දැක්වේ. එසේම කොටුව වටා ඇති තාප්පය ද විනාශ වී ගොස් ඇති අතර තැනින් තැන ඇතැම් කොටස් දක්නට ලැබේ. 1878 අප්‍රේල් 14 වැනිදා ලෙසින් සටහන් කරන ලද සොහොන් කොතක් මෙහි දක්නට ලැබේ. එය චාර්ලිස් ලෙයස් නම් ඉංග්‍රීසි ජාතික බැංකු නිලධාරියෙකුගේය. එසේම පැරණි ළිඳක් ද කොටුවට ආසන්නව පිහිටා ඇත.

ඩොරික් මන්දිරය

මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අරිප්පු නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ මුහුදු වෙරළට මායිම්ව ඩොරික් කුලුනු භාවිතාකොට ඉදිකිරීම හේතුවෙන් ඩොරික් ලෙස මෙම මන්දිරය හඳුන්වා ඇත. ක්‍රි.ව. 1798-1805 අතර කාලවකවානුවේ දී මෙරට ප්‍රථම ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ෆ්‍රෙඩ්රික් නෝර්ත් මන්නාරම පෙදෙසේ මුතු කැඩීමේ කටයුතු අධීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේ නවාතැන් ගැනීම සඳහා මෙම ගොඩනැගිල්ල ප්‍රාදේශීය ඉංජිනේරු නාජල් විසින් ක්‍රි.ව. 1802 දී ඉදිකර ඇත. එසේම 1820 දි සර් එඩ්වඩ් බාර්න්ස් විසින් පැරණි පෘතුග්‍රීසි පල්ලිවල අමුද්‍රව්‍ය භාවිතා කරමින් මන්නාරමේ රජයේ ගොඩනැගිලි හා ඩොරික් ගොඩනැගිල්ල අලුත් වැඩියා කළ යුතුය යන්න අණ කර ඇතැයි යන්න සඳහන්ය.

මහල් දෙකකින් යුත් මෙම මන්දිරයේ පහත මාලයේ කුඩා කාමර හතරක් පිහිටා තිබී ඇති අතර වර්තමානයේ දී කාමර දෙකක් පමණක් හඳුනාගත හැකිය. වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අනුව ඉතා අලංකාර ගොඩනැගිල්ලක් ලෙස මෙය වාර්තා වේ. ගොඩනැගිල්ල මධ්‍යයෙහි ඉහළ මාලයට නැගීමට පියගැට පෙළක් දක්නට ඇත. මුහුදු ඛාදනය හේතුවෙන් මෙහි පසුපස කොටස සම්පූර්ණ වශයෙන් මුහුද දෙසට කඩා වැටී තිබේ. ගඩොලින් නිමවා හුණු බදාමයෙන් කපරාරු කර ඇති ගොඩනැගිල්ලෙහි සියලුම දොර ජනෙල් ආරක්කුව සහිතව ඉදිකර ඇත. ආණ්ඩුකාරයාගේ නිදන කුටියත්, භෝජන ශාලාවත්, බටහිර හා නැගෙනහිර දිසාවනට සඳළුතල දෙකකුත් ඉහළ මාලයේ තිබුණු බවට සඳහන් වේ.

ඩොරික් මන්දිරයේ සිට එකල මන්නාරමේ ඉහළ ආදායමක් ලැබු කොන්ඩච්චි පෙදෙසේ මුතු කැඩීම පිළිබඳව ආණ්ඩුකාර විසින් අධීක්ෂණ කටයුතුවල නිරතව සිට ඇත. එසේම එමගින් ලබාගත් මුතු විවිධ රටවලට අලෙවි කිරීම සිදු වූ බව ද වාර්තා වේ.

ජැටිය හා දුම්රිය ස්ථානය

මන්නාරම - තලෙයිමන්නාරම මාර්ගයේ කිලෝමීටර් 28 ක් පමණ ගමන් කිරීමෙන් පසු දුම්රිය ස්ථාන හන්දියෙන් වමට හැරී කිලෝමීටර් 1.5 ක් පමණ වෙරළට පැමිණ මීටර් 600 ක් පමණ වෙරළ තීරය ඔස්සේ ගමන් කළ විට මන්නාරම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕල්ඩ්පියර් ග්‍රාමයේ තලෙයිමන්නාරම් ජැටිය පිහිටි ස්ථානයට පිවිසිය හැකිය.

තලෙයිමන්නාරමේ පිහිටි පැරණිම ජැටිය ලෙස සැලකෙන මෙය වසර 100 කට වඩා පැරණිය. මුහුදු ජලය හා මුහුදු සුළං හේතුවෙන් බොහෝ කොටස් විනාශ වී ඇති මෙම ජැටියේ යකඩ කණු වර්තමානයේදී ද දැකගත හැකිය. මෙහි කණු දෙකක් අතර පරතරය මීටර් 5.8 කි. ජැටියේ පළල මීටර් 7.8 ක් වන අයුරින් සමාන්තරව කණු දෙකක් බැගින් සිටින සේ සිටුවා ඒ මත ජැටිය ගොඩනගා ඇත. මීටර් 1.5 ක ප්‍රමාණයකින් කණුවක වට ප්‍රමාණය ද මීටර් 2.2 කින් එහි උස ද සටහන්ව ඇත.

ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම් ජැටිය සහ ඉන්දියාවේ ධනුෂ්කොඩි අතර ඒකාබද්ධ මෙම ප්‍රවාහන සේවය ආරම්භ කර ඇත්තේ 1914 වසරේදීය. නොගැඹුරු පෝක් සමුද්‍ර සන්ධිය හරහා ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව වෙත පාරු සේවයක් ක්‍රියාත්මකව තිබී ඇති අතර එහිදී එක් නැවතුම්පළක් ලෙස තලෙයිමන්නාරම භාවිතා කොට ඇත. 1964 වසරේ දෙසැම්බර් මසදී දරුණු සුළි කුණාටුවකින් මෙම ජැටිය දැඩි ලෙස හානියට පත්විය. අතිවිශාල ජීවිත සහ දේපොළ හානි සිදුකරමින් ධනුෂ්කොඩි වෙත බලපෑ සුළි කුණාටුව ජීවිත හානි 1,800කට වැඩි ප්‍රමාණයක් බිලිගනිමින් හමාගිය අතර ඒ සුළි සුළඟ හේතුවෙන් ජැටිය පමණක් නොව ධනුෂ්කොඩි දුම්රිය ස්ථානය ඇතුළු සියල්ල විනාශවී ගොස් ඇත. මෙම පාරු සේවය ඉන්දු - ලංකා දුම්රිය සේවයේ කොටසක් ලෙස ක්‍රියාත්මකව පැවැති අතර, පාරුව ඔස්සේ මගීන් තලෙයිමන්නාරම සිට ඉන්දියාවේ රාමේෂ්වරම් දූපතේ ධනුෂ්කොඩි දක්වා රැගෙන යන ලදී. එමෙන්ම ගොඩබිම සිට පැමිණෙන දුම්රියෙන් භාණ්ඩ සහ මගී ජනතාව ෆෙරි යාත්‍රාව වෙත හුවමාරු කරගැනීම පහසු කිරීම වෙනුවෙන් මුහුද මැදට දිවයන විශේෂ ජැටි තලෙයිමන්නාරමේ සහ ධනුෂ්කොඩිහි ඉදිකර ඇත.ශ්‍රී ලංකා රජයේ දුම්රිය සේවයට අයත් දුම්රිය ස්ථානය මගින් ජැටියෙහි මෙහෙයවීම් සිදු කරන ලදී.

මේ අනුව මන්නාරම දිස්ත්‍රික්කය තුළ සැලකිය යුතු පුරාවිද්‍යා වටිනාකමින් යුතු උරුමයන් රැසක් විසිර පවතී. එම උරුමයන් මනාලෙස නඩත්තු කළහොත් අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරගත හැකිය.

Comments