විදේශ සේවා කාර්යාං­ශයේ සුපිරි ගැහිලි | සිළුමිණ

විදේශ සේවා කාර්යාං­ශයේ සුපිරි ගැහිලි

විදේශ රැකියා ප්‍රව­ර්ධන හා වෙළ­ඳ­පොළ විවි­ධාං­ගි­ක­රණ රාජ්‍ය අමාත්‍ය පියං­කර ජය­ර­ත්නට කමි­ටුවේ වාර්තාව ලබා දුන් අව­ස්ථාව.
විදේශ රැකියා ප්‍රව­ර්ධන හා වෙළ­ඳ­පොළ විවි­ධාං­ගි­ක­රණ රාජ්‍ය අමාත්‍ය පියං­කර ජය­ර­ත්නට කමි­ටුවේ වාර්තාව ලබා දුන් අව­ස්ථාව.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යනු ‘එතෙර වෙළඳපොළ සඳහා නිපුණතාවයෙන් පිරි මිනිස් සම්පත සැපයීමේ ලොව හොඳම තේරීම බවට ශ්‍රී ලංකාව පත්වීම‘ යන දැක්මෙන් යුතුව කටයුතු කරන සේවා ආයතනයකි. එහි මෙහෙවර ප්‍රකාශය වන්නේ ‘දේශීය ආර්ථිකයට දායක වෙමින් හා සියලුම පාර්ශ්වකරුවන්ගේ යහපත සුරක්ෂිත කරමින්, ජනතාවට තම කුසලතාවයන්ගෙන් එතෙර රැකියා වෙළඳපොළෙහි යහපත් ප්‍රතිලාභ ලැබිය හැකි කාර්යක්ෂම හා සමානත්වයෙන් යුතු මාර්ගයන් බිහි කිරීම‘ යන්නයි.

 

එවන් පරමාර්ථයන්ගෙන් යුතුව විදේශ විනිමය මෙරටට ගෙන ඒම පිණිස ස්ථාපිත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පසුගිය ‘යහපාලන‘ සමයේ කෙරුවාවල් දෙස බැලූ විට සිහිවන්නේ අපේ පැරැන්නන් කියනා ‘වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අමාරුව‘ යන වදන් පෙළයි. 2015 වසරේ සිට වසර 4ක් පුරා සිදු කරන ලද මහා පරිමාණ දූෂණ රැසක් හෙළිව තිබේ. මේ කරුණු හෙළි වූයේ දිනේෂ් ගුණවර්ධන කාර්යාංශය බාර ඇමැතිවරයාව සිටි කෙටි කාලයේදීය.

විදේශ විනිමය ගෙනවිත් මෙරට ආර්ථික අතින් ශක්තිමත් කරන්නට ස්ථාපිත වූ කාර්යාංශයේ නිලධාරීන් හා ආයතනය හරහා දේශපාලන අධිකාරිය විසින් මෙරට ආර්ථිකයට කරන ලද හානිය සුළු පටු නොවේ. කාර්යාංශයේ සිදු කර ඇති මේ අතිවිශාල දූෂණය සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා දුෂ්මන්ත තොටවත්ත (වරලත් ගණකාධිකාරී), රඛිත අබේගුණවර්ධන (ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ) ටී.එස්. සූරියආරච්චි (ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ) යන කණ්ඩායම පත් කරන ලදී.

එම කමිටුව විසින් කරන ලද විමර්ශනයේදී කාර්යාංශයේ සිදු කරන ලද බරපතළ වංචා හා දූෂණ අටක් හෙළිව ඇත.

කෝටි 2කට අධික මිල­කට හිටපු සභා­ප­ති­ව­රයා විසින් මිලදී ගත් සුපිරි ජගු­වර් මෝට­ර්ර­ථය

ඒ දූෂණ හා වංචා අතර,

1. රන් පියාපත් නමින් ක්‍රියාත්මක කළ මාධ්‍ය වැඩසටහන (රු.මිලියන 85)

2. සම්මත ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් කැබ් රථ 05 මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ මිලට ගැනීම - (රු.මිලියන 21.780)

3. කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට මැස්ඩා මෝටර් 15ක් මිලට ගැනීම- (රු.මිලියන 140.250)

4. කැබ් රථ 09ක් මිලදී ගැනීම - (රු.මිලියන 85.500)

5. ටෙන්ඩර් පටිපාටියෙන් බාහිරව ජගුවර් වර්ගයේ කාර් රථයක් මිලදී ගැනීම-

(රු.මිලියන 21.9)

6. නිලඇඳුම් ටෙන්ඩරයේ අක්‍රමිකතා

- (රු.මිලියන 29.252)

7. දේශපාලන කටයුතු සඳහා කාර්යාංශයේ නිලධාරීන් 05 දෙනකු යොදවා ගැනීම හා ස්ථාන මාරු කිරීම.

8. හිටපු අධීක්ෂණ මන්ත්‍රීවරයා විසින් කාර්යාංශයේ ගාල්ල ශාඛාව දේශපාලන කාර්යාලයක් ලෙස පවත්වාගෙන යාම. යන කරුණු අඩංගු වේ.

මේ බරපතළ වංචා හා දූෂණ නිසා කාර්යාංශයට සිදුව ඇති පාඩුව මිලියන 138ක් බව මේ වන විට කරන ලද විමර්ශනයන්ගෙන් හෙළිව ඇත. එහිදී කාර්යාංශයේ සභාපතිවරයාගේ පෞද්ගලික පරිහරණය පිණිස රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමක් ඇති (රු.21,900,000/-) අතිසුඛෝපභෝගී ජගුවර් මෝටර්රථයක් මිලට ගෙන ඇත්තේ නිසි ටෙන්ඩර් පටිපාටියෙන් තොරවය. ටෙන්ඩර් අංක - PR/02/14-3(III) යටතේ එස්.එම්.එල්. ෆ්‍රොන්ටෙයර් ඔටෝමොටිව් පුද්ගලික සමාගමෙන් අදාළ මෝටර් රථය මිලට ගෙන ඇත.

ප්‍රසම්පාදන කමිටුව සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත විය යුතු අතර එයින් එක් සාමාජිකයෙකු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හෝ සමාන නිලධාරියෙකු විය යුතුය. එහෙත් කමිටුව සමන්විතව ඇත්තේ කාර්යාංශයේ සභාපති, සාමාන්‍යාධිකාරි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි හා අමාත්‍යාංශ නියෝජිතවරයෙකුගෙනි. ඒ අනුව ප්‍රසම්පාදන උපදෙස් උල්ලංඝනය වී ඇත.

Bidding Data Sheet (BDS) යටතේ සුදුසුකම්ලත් ලංසුකරුවෙකු වීමට බලයලත් නියෝජිත (Authorized Agent) විය යුතුය. නමුත් SML Frontier Automotive (pvt)Ltd ආයතනයේ ලිපිගොනුව අනුව බලයලත් නියෝජිත තහවුරු කිරීමට සහතිකයක් නොමැති අතර Land Rower සිංගප්පූරු ආයතනය සමඟ මිලදීගැනීම් ගිවිසුමක් ඇතිබව හැඟවෙන ලිපියක් 2017.04.04 දින ඉදිරිපත් කර ඇත. ඒ අනුව මෙම ආයතනය ලංසු ඉදිරිපත් කිරීමට සුදුසුකම්ලත් ආයතනයක් නොවේ.

‘රන් පියාපත්‘ නමින් දීප ව්‍යාප්ත මාධ්‍ය ආවරණ වැඩසටහනක් පවත්වා ඇති අතර එහි වටිනාකම මිලියන 58කි.

2018.08.03 දිනැති කළමනාකරු(ප්‍රචාරණ) විසින් මාධ්‍ය වැඩසටහනක් මඟින් ජනතාව දැනුවත් කිරීමට යෝජනා කර සභාපතිවරයාට ඉදිරිපත් කර ඇත. ඊට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියද ලැබී ඇත.

අදාළ කාර්යය වෙනුවෙන් Media Mind (pvt)Ltd ආයතනය ලංසුපත් ඉදිරිපත් කර නොමැති අතර ඒ සඳහා එම ආයතනය පෙන්වා ඇත්තේ Air Supply Production (Pvt)Ltd ආයතනයේ සම්පත් සහ අනෙකුත් පහසුකම්ය‍. තවද, Air Supply Production (Pvt)Ltd ආයතනය Media Mind ආයතනයේ මව් සමාගම බවට සඳහන් කර ඇතත් එයද සාවද්‍ය බව ලේඛන අනුව පැහැදිලිවී තිබේ. එසේ වුවත්, Air Supply Production (Pvt)Ltd සහ Media Mind (pvt)Ltd ආයතන වෙනම ආයතන 2ක් වන අතර Media Mind ආයතනයට ලංසුපත් ඉදිරිපත් කිරීමේදී වෙනත් සමාගමක තොරතුරු ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැත.

මෙම ලිපි ඉදිරිපත්කර ඇත්තේ ලංසු විවෘත කළ දිනට පසුදින වීම තවත් ගැටලු මතු කරවන්නකි. ලංසුකරුවකු ලංසු ඇගයීම සඳහා සුදුසුකම් ලැබීමට ටෙන්ඩර්කරුවන්ගේ උපදෙස් අංක 2.1 යටතේ කරුණු7ක් සපුරාලිය යුතු වුවත් එහි සඳහන් 2,3,6 සහ 7 Media Mind (Pvt)Ltd ආයතනය විසින් සපුරා නොමැත. එහෙත් එම ආයතනයට මෙම ටෙන්ඩරය ලබා දීම විශාල දූෂණයකි.

2020 වසර සඳහා රුපියල් මිලියන 29.25ක වටිනාකමින් යුත් නිල ඇඳුම් කොන්ත්‍රාත්තුවද නිසි ලෙසින් ක්‍රියාත්මක කර නොමැත. 2019.02.08 දින නිල ඇඳුම් මිලදී ගැනීම සඳහා 6 දෙනකුගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත්කර ඇත.

නිල ඇඳුම් මිලදී ගැනීමට ප්‍රථම ඒ සඳහා වැයවන මුදල ඇස්තමේන්තු කළ යුතු වුවත් එවැන්නක් සිදුකර නොමැත. මේ හේතුව නිසා අදාළ ටෙන්ඩර් මිලගණන් තීරණය කිරීමටත්, අයවැය ප්‍රතිපාදනවල ප්‍රමාණවත්බව පිළිබඳව සෑහීමකට පත්වීමටත් හැකියාව ලැබී නොමැත.

2020 වසර සඳහා කාර්යාංශ නිලධාරීන්ට ලබාදෙනු ලබන නිලඇඳුම් වලට අමතරව ටී-ෂර්ට් 02ක් ලබාදීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පරිපාලන හා මානව සම්පත්) 2019.02.26 දින නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු) වෙත දන්වා ඇත.

අදාළ මිලගණන් අනුව ඉහළම මිලගණන් ඉදිරිපත් කර ඇති S.L.R.Holdings ආයතනයට සෑම වර්ගයකම සාම්පල් 1 වර්ගයේ සාරියක් රු.5425/- බැගින් රු.18,88,150/-ක වටිනාකමකට කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත. නමුත් මෙම මිලගණන් කාර්යාංශය ඉදිරිපත් කළ මිලගණන්වලට වඩා අධික වන අතර සෙසු ආයතන ලංසු ලේඛන වල සඳහන් පිරිවිතර වලට එකඟ නොවන බව පවසා ඉවත්කර ඇත.

එම ආයතන ඉදිරිපත් කර ඇති මිලගණන් වනුයේ සාරියක් රු.4000/- ක් ලෙසිනි. ඒ අනුව කාර්යාංශයට රු.4,956,150/- ක මූල්‍යමය පාඩුවක් සිදුකොට ඇත.

ගාල්ල ශාඛා කාර්යාලය දේශපාලන කාර්යාලයක් බවට පත් කරගෙන එහි දේශපාලන කටයුතු සිදු කර ඇති අතර එම කාර්යාලයට අදාළ ගෙවීම් සිදු කළ ආකාරයද ඉතා අපැහැදිලිය. එමෙන්ම නීති විරෝධීය.

2016.01.01 දින සිට 2016.08.01 දින දක්වා බදුකරු සමඟ එකඟ වී ඇති බදු ගිවිසුමක් ගැන ලිපිගොනුවේ සඳහන් නොවේ.

නමුත් ගෙවීම් සිදු කර ඇත. 2016 වසරේ මසකට ලක්ෂ 4ක් හා 2017 ලක්ෂ 5ක් 2018 ලක්ෂ 6ක් 2019 ලක්ෂ 7ක් (පසුව ගෙවීම නවතා ඇත)

සම්මත ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් ලබාගෙන ඇති කැබ්රථ 5ක් සඳහා ගිවිසුම්ගත වීමද තවත් වංචාවකි.

අමාත්‍යාංශය විසින් මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ Pasan rent a car & tours ආයතනයෙන් කැබ්රථ 5ක් 2017.02.13 දින සිට මාස 60 කට ලබාගෙන ඇත. මේ සඳහා අමාත්‍යාංශය සහ එම ආයතනය අතර ගිවිසුමක් අත්සන් කර ඇත. ඒ අනුව WPPH 5766, WPPH 6144 , SPPH 7225, SPPH 8040, හා WPPI 6006 යන Toyota Hilux වර්ගයේ කැබ් රථ ලබා ගෙන ඇත.

ගිවිසුම අනුව මාසිකව රු.825,000 ක මුදලක් සියලුම වාහන සඳහා ධාවනය කරන කි.මි. 3000 සීමාව තුළ මාසිකව ගෙවීමටත් කි.මි. 3000 ඉක්මවන වාහනයක් සඳහා අතිරේක කි.මි. 1ක් සඳහා රු.55.00 බැගින් වැට් රහිත මිලක් ගෙවීමටත් එකඟ වී ඇත.

රුපියල් මිලියන 85.5ක් වටිනා ඩබල් කැබ් රථ 09ක් මූල්‍ය කල්බදු ක්‍රමය යටතේ මිලදී ගැනීම හා මිලියන 140.25 මැස්ඩා මෝටර් රථ 15ක් මූල්‍ය කල්බදු ක්‍රමයට මිලට ගැනීම නිසි ලෙසින් සිදුව නොමැති නිසාද කාර්යාංශයට විශාල පාඩුවක් සිදුව ඇත.

මෝටර් රථ මිලදී ගැනීමේදීද ආයතන 6ක් ලංසු ඉදිරිපත් කර ඇතත් එයින් 4ක් ප්‍රතික්ෂේප කර ඇත්තේ පිරිවිතරවල අඩුපාඩු පෙන්වමිනි.

තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් Colonial Motors Cey Ltd ආයතනය මෝටර් රථ මිලට ගැනීම සඳහා තෝරාගෙන ඇති අතර ඒ සඳහා මැස්ඩා වර්ගයේ මෝටර්රථයක් රු.9,350,000/- ක මුදලකට මිලට ගෙන ඇත.

එමෙන්ම ප්‍රචාරණ හා මහජන සම්බන්ධතා අංශයේ සිදුකරන ලද ස්ථාන මාරුවීම් හුදෙක් දේශපාලන හා පළිගැනීම් උදෙසා කරන ලද මාරුකිරීම් බවද මේ වන විට අනාවරණය වී තිබේ. මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇත්තේ මැතිවරණ කාලසීමාවකය.

මේ සියලු වංචා මෙන්ම තවත් වංචා රැසක් ඇතුළත් වාර්තාව පසුගිය සැප්තැම්බර් 23 දින විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා වෙත එම අමාත්‍යාංශයේදී භාර දෙන ලදී.

මේ පිළිබඳව සිළුමිණ කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ කරුණු විමර්ශනය කෙරෙන බවත් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අධීක්ෂණය කිරීමෙන් පසුව අදාළ වාර්තාව ඉදිරි කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන බවයි.

මහජන මුදල් විනාශ කරන්නට දේශපාලකයන්ට හෝ නිලධාරීන්ට බලය ලබා දී නොමැති බවත් එවැනි කටයුතු කරන්නන්ට උපරිම දඬුවම් ලබා දීමට කටයුතු කරන බවත් ඔහු කීවේය.

 

Comments