සතියේ කලදවස | සිළුමිණ

සතියේ කලදවස

මේෂ - නිර්මාණශීලී බව මතු කෙරේ

මේෂ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව මෙම සතියේ චන්ද්‍රයා 01 - 02 - 03 යන ස්ථානවල ගමන් කරමින් යහපත් මානසික සුවයකට කරුණු සලසයි. නිර්මාණශීලී බව හා සිතේ සතුට රජයන සතියකි. ධන සම්පත් හිමි වන ඒ තුළින් ඉඩමක් නිවසක් මිලදී ගැනීම යන ලැබීම් ඇති කෙරේ. කිසියම් අසනීප තත්ත්වයක් පෙන්වන අතර උරහිස දණහිස ආශ්‍රිත උවදුරු එළඹෙන බව පෙනෙන්නට ඇති නිසා කල්පනාකාරී වන්න. තමාට හිමි වෙන්නට තිබී අන්සතුවූ දේපළක් නැවත ඔබට හිමි වන ලකුණු පෙනේ.

වෘෂභ - රැවටිලිවලට හසු වේ

වෘෂභ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා 12 - 01 - 02 යන ස්ථානවල ගමන් කරමින් ඔබට සතිය ආරම්භයේ කිසියම් ධන හානියකට හේතු ඇති කළත් සතිය මැද භාගයේ සිට එම ආපදාව මඟ හැරෙනු ඇත. බොහෝ දුර සිට පැමිණි හිතවතකු නිසා කිසියම් රැවටීමකට හසුවිය හැකි අතර කල්පනාකාරීව කටයුතු කළහොත් එය මඟහරවා ගැනීමට ඔබට හැකි වෙයි. පා‍දයේ වළලුකර ආශ්‍රිත අගුණ මතු කෙරේ. ඇස් රෝග මතු කෙරෙන සතියකි.

මිථුන - වාසනාවන්ත දරු සම්පත්

මිථුන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මේ සතියේ 11 - 12 - 01 යන ස්ථාන පසු කරමින් ඔබට යහපත් ආර්ථික වාසියක් ද හිමි කර දෙමින් සිතේ සතුට ලැබදීමට සමත් වෙයි. එහෙත් තුනටියේ ආපදාවක් නිසා හදිසි මුදල් වැය කිරීමකටද හේතුවෙයි. දරු සම්පත් බලාපොරොත්තු වන මවුවරුන්ට පියවරුන්ට වාසනාවන්ත දියණිවරු ලැබෙන සතියක්ද වෙයි.

කටක - රැකියා ප්‍රතිලාභ

කටක ලග්නය හිමි ඔබ‍ගේ කේන්ද්‍රයට අනුව මෙම සතිය ඉතා වාසනාවන්ත සතියක් වන අතර රැකියා බලාපොරොත්තුවූ අයට රැකියා ඵලද උසස් වීම් හා වේතනයේ ඉහළ යාමක්ද පෙන්වයි. පපුවේ සෙම, හතිය වඩන තත්ත්වයක් පවතින නිසා ඇල් වතුර භාවිතය, රාත්‍රි කාලයේ ස්නානය සුදුසු නැත. කෙසේ නමුත් තමාගේ කියා වාහනයක් නිවසක් හෝ එබඳු භෞතික සම්පත් හිමි වීමක්ද පෙනෙන්නට තිබේ.

සිංහ - මවු පාර්ශ්වයේ උරුමයක්

සිංහ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මේ සතියේ 09 - 10 - 11 යන ස්ථානවල ගමන් කරමින් පෙර පිං මතු කරන සතියක් උදාවෙයි. විශේෂයෙන් මවු පාර්ශ්වයේ උරුමයක් හිමි වන බව පෙනේ. යටි බඩ, මුත්‍රගත රෝග මතු කෙරේ. කෙසේ නමුදු ඒ වෙනුවෙන් මුදල් වැය කිරීමක්ද සිදු වේ. සකසුරුවම අවශ්‍ය සතියකි.

කන්‍යා - හිතවතුන්ගේ අකල් මරණයක්

කන්‍යා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මේ සතියේ 08 - 09 - 10 යන ස්ථානවල ගමන් කිරීම නිසා සතිය ආරම්භය තම හිතවතුන්ගේ අකල් මරණයක් නිසා සිත් තැවුලකට හේතු වන අතර ඒ වෙනුවෙන් දැඩි වෙහෙස මහන්සියක් දැරීමට සිදුවේ. උගුරේ ආසාදිත බවක් මතු කෙරේ. තවද කාන්තාවකගේ රැවටිලි බස් නිසා කිසියම් නින්දා සහගත තත්ත්වයකට ඔබ පත්වන ලකුණු පෙනේ.

තුලා - යහපත් මංගල යෝජනා

තුලා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මේ සතියේ 07 - 08 - 09 යන ස්ථානවල ගමන් කිරීම නිසා සතිය ආරම්භයේ මංගල යෝජනා පැමිණේ. විවාහක අයකු නම් විවාහ ජීවිතයේ තිබූ ගැටලු කීපයක් නිරාකරණය වන ලකුණු පෙනේ. කෙසේ වුවද සිතේ සතුට පැමිණේ. ඉගෙනුම ලබන අයකු නම් තම ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිමත් අඩිතාලමක් වැටෙන සතියකි.

වෘශ්චික - සිත් කලකිරීම්

වෘශ්චික ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව මෙම සතියේ චන්ද්‍රයා 06 - 07 - 08 යන ස්ථානවල ගමන් කිරීම නිසා කිසියම් අයුරක සිත් කලකිරීමකට හේතුවේ. තමාගේ ක්‍රියා කලාපයක් අන් අ‍යගේ දෝෂ දර්ශනයට ලක්වන ලකුණු පෙනේ. යටි බඩේ රෝග හා කෑම අජීර්ණයක් නිසා ඇතිවන රෝගී තත්ත්වයකින් පීඩා විඳීමට සිදුවේ. ඔබ කෙනෙකුගේ ණය මුදලකට ඇප කරුවකු ලෙස අත්සන් තැබීමෙන් ගැටලු රාශියකට මුහුණ දෙන සතියකි.

ධනු - ශෛල්‍යකර්මයකට හේතු වේ

ධනු ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව මේ සතියේ චන්ද්‍රයා 05 - 06 - 07 යන ස්ථානවල ගමන් කරමින් යහපත් දරුඵලයකට හිමිකම් කියන සතියකි. ශෛල්‍යකර්මයක් හෝ හදිසි වැටීමක් නිසා ඇති විය හැකි ආපදා තත්ත්වයක්ද පෙන්වන නිසා ප්‍රවේශම් වන්න. තමාට හිමි වන්නට තිබී කිසියම් අයුරකින් යටපත්ව තිබූ ධනයක් හිමි වන සතියකි. තම අභිලාෂ ඉටුකර ගැනීමට මහත් අධිෂ්ඨානයෙන් කටයුතු කරන සතියකි.

මකර - සෙම් අධික ‍කෙරේ

මකර ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා 04 - 05 - 06 යන ස්ථානවල ගමන් කරමින් පපුවේ හිසේ සෙම ගතියක් නිසා පීඩා විඳීමට සිදුවන නමුදු ආර්ථික අතින් නම් සුබ වෙයි. රැකියා ලාභ හා නිවසක් ඉදිකිරීමට සුදුසු වාතාවරණය සැලසේ. විවාහක අයගේ යුග දිවියට විවිධ තර්ජන එල්ල විය හැකි නිසා කල්පනාකාරී විය යුතුය. ඉවසීමෙන් හා බුද්ධි ගෝචරව කටයුතු කිරීමෙන් කල් ගෙවන්න.

කුම්භ - දේපළ හිමිකමක්

කුම්භ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මෙම සතියේ 03 - 04 - 05 යන ස්ථානවල ගමන් කරමින් දේපළ හිමි කමකට හේතු මතු කෙරේ. තමාට කලක් තිස්ස පැවතුණු නඩු තීන්දුවක් තමාට වාසි සහගත ලෙස විසඳෙනු ඇත. උරහිස ආශ්‍රිත උවදුරක් පිළිබඳ පෙර ලකුණු පළ කරන නිසා ප්‍රවේශම් වන්න. ජලාශ ආශ්‍රිත වැව්, අමුණු ආශ්‍රිත කටයුතු කෙරෙන් ප්‍රවේශම් වන්න. කෙසේ නමුදු ආර්ථික අතින් ලැබීම් ඇති වනු ඇත.

මීන - හදිසි ධන ලාභ

මීන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මේ සතියේ 02 - 03 - 04 යන ස්ථානවල ගමන් කරමින් හදිසි ධන ලාභයකට හේතු මතු කෙරේ. දරු සම්පත් අපේක්ෂා කරන්නන්ට දරු සම්පත් උදාවේ. නිකරුණේ සිදු වන ධන හානිද ඇති වේ. උගුරේ නිතර නිතර ආසාදිත ලකුණු පළ කෙරේ. සෙම වඩන ආහාර පානාදියෙන් වැළකී සිටීම එම අපහසුතා මඟ හරවා ගැනීමට ඇති මාර්ගයයි. රාත්‍රි කාලයේ ගමන් බිමන් වලින් ප්‍රවේශම් වන්න.

Comments