
මීතොටමුල්ල කුණු කන්ද නාය ගියේ 2017 අප්‍රේල් 14 වැනිදා ය. කුණු කන්දට යට වී 26 දෙනෙක් මිය ගියහ. තවත් 11 දෙනෙක් සොයා ගත නොහැකි සේ ඒ කුණු කන්ද යට වැළලුනහ. අද මීතොටමුල්ල උද්‍යාන හැදෙන්නේත් ඒ වැළලුණු මිනිසුන්ගේ ඇටකටු මතය. ඒ පුපුරා ගිය ඛේදවාචකය මේ රටේ මිනිසුන්ගේ ආකල්ප දෙදරවා දැම්මේය. මිනිස්සු ටොපි කොළයක් බිම දාන්න බිය වූහ.
රටකට වද්දගත යුතු නොවන අතිශය බිහිසුණු රසායනික ද්‍රව්‍ය සහ මිනිස් ශරීර කොටස් සහිත, කුණු හා අබලි ද්‍රව්‍ය සහිත ටොන් ගණනක කසළ සමඟ කසළ බහාලුම් 263ක් ලංකාවේ ප්‍රකට සමාගම් තුනක් විසින් එංගලන්තයේ සිට ලංකාවට ගෙන්වනු ලබන්නේ මේ වකවානුවේය. රටම කසළ කළමනාකරණය ගැන මරණයෙන් පාඩම් ඉගෙන ගෙන සිටි වකවානුවක, වර්ෂ 2017 සැප්තැම්බර් සිට වර්ෂ 2018 මාර්තු දක්වා කාලය තුළ එංගලන්තයේ සිට මේ කසළ ගෙන්වා තිබුණේ ලෝකය පිළිගත් සදාචාර එකඟතා මතු නොව, බාසල් සම්මුතියෙන් ආවරණය කෙරෙන නෛතික රාමුව උල්ලංඝණය කරමිනි.
දැන් මේ කතාව යළි සංවාදයට එන්නේ සාධනීය මුහුණුවරක් සහිතවය. අන්තරායකර ද්‍රව්‍ය නැව්ගත කිරීම පාලනය කරන ජාත්‍යන්තර බාසල් සම්මුතිය උල්ලංඝණය කරමින් වර්ෂ 2017 සැප්තැම්බර් සිට 2018 මාර්තු දක්වා කාලය තුළ එංගලන්තයේ සිට මෙරටට රැගෙන විත් තිබුණු විෂ සහිත අපද්‍රව්‍ය සහිත බහාලුම් 263 න් බහාලුම් 21ක් පසුගිය සෙනසුරාදා (19) සවස 5.15ට පමණ කොළඹ වරායෙන් යළිත් එංගලන්තය වෙත හරවා යැවීමට රජය කටයුතු කළේය.
හරවා යැවූ කසළ බහාලුම් 21 හා දැනට ඉතිරිව ඇති බහාලුම් 242 සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් රේගු දෙපාර්තමේන්තුව විසින් අරඹා තිබේ. ප්‍රති නැව්ගත කළ බහාලුම් සම්බන්ධව ලබන මස 15 දා අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය. තවද අදාළ විමර්ශන අවසන් වූ පසු නීති විරෝධීව සායනික අපද්‍රව්‍ය සහ කසළ බහාලුම් 263 මෙරටට යොමු කළ මව් සමාගමෙන් මෙන්ම ඒවා භාරගෙන මෙරටට ගෙන්වූ සමාගම් තුනෙන් වන්දි ලබා ගැනීමට රේගු දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටී. ඒ සම්බන්ධව ඉදිරි පියවර ගැනීමට දෙරටේම නිලධාරීන් දැනුවත් කරන බවත් රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකවරයා මාධ්‍යයට කීවේය.
සිද්ධිය සම්බන්ධව ලෝකයේ ප්‍රමුඛ පෙළේ විදෙස් මාධ්‍ය ගණනාවක් වාර්තා කර තිබිණි. එංගලන්ත පරිසර ඒජන්සිය උපුටා දැක්වූ විදෙස් වාර්තාවක් සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධව ශ්‍රි ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කරන බවය. විධිමත් පරීක්ෂණයක් සඳහා එංගලන්ත පරිසර ඒජන්සිය ශ්‍රි ලංකාවෙන් වැඩිදුර තොරතුරු ඉල්ලා ඇති බව එහි වාර්තා වූයේය.
මෙම කසළ බහාලුම් තොගය සම්බන්ධයෙන් එංගලන්තයේ පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මීට වසරකට පෙර විමර්ශනයක් ආරම්භ කළ බව බ්‍රිතාන්‍යයේ ටෙලිග්‍රාෆ් පුවත්පත් කලෙකට පෙර වාර්තා කර තිබිණි. වර්ෂ 2019 ජූලි මස 23 දා මේ සිද්ධිය සම්බන්ධව දීර්ඝ ලෙස වාර්තා කළ ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත මේ කුණු යවා ඇත්තේ ලංකාවේ දී ප්‍රතිචක්‍රීකරණය සඳහා බව කීවේය. ඒ වනවිට ලංකාවේ මිනිස්සු කුණු කඳුවලට යටවී මිය යමින් සිටියහ.
වැදගත් වූයේ ලංකාවේ රේගු දෙපාර්තමේනතුව, මුදල් අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය විමසමින් ඔවුන් ඉතා පුළුල් ලෙස තත්වය ලෝකය අභිමුව තැබීමය. එම කන්ටේනර් තුළ මිනිස් ශරීර කොටස් හමු වූ බවට ඔවුන් වාර්තා කළේය. අතිශය භයානක විෂ සහිත සායනික අපද්‍රව්‍ය තිබුනු බව වාර්තා කළේය.
ඒ වනවිට මෙම කන්ටේනර් බ්‍රිතාන්‍යයට යළි එවීමට ලංකා රජය කටයුතු කරමින් සිටින බවත් සිද්ධිය සම්බන්ධව බ්‍රිතාන්‍ය රජයත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඉන් කියැවිණි.
වර්ෂ 2017 දී ගෙන්වන ලද කන්ටේනර් 111ක් කොළඹ වරායේ තැන්පත් කර තිබුණු බවත්, එම අංගණයෙන් අධික දුර්ගන්ධයක් වහනය වීම සම්බන්ධව තොරතුරු සොයා යෑමේ දී මේ සායනික අපද්‍රව්‍ය සම්බන්ධ පුවත අනාවරණය වූ බවත් ටෙලිග්‍රාෆ් පුවත්පත අනාවරණය කර තිබිණි. ද ටෙලිග්‍රාෆ් කීවේ බ්‍රිතාන්‍ය මිනිස් ශරීර කොටස් මේම කන්ටේනර් තුළ තිබුණා නම් මේ සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ අර්බුදකයට මුහුණ දී සිටින බ්‍රිතාන්‍යය NHS රෝහල්වල අපද්‍රව්‍ය බවට විශ්වාස කළ හැකි බවය.
උපද්‍රවකාරී අපද්‍රව්‍ය දේශ සීමා හරහා ප්‍රවාහනය කිරීම හා බැහැර කිරීම පාලනය කිරීම පිළිබඳ බාසල් සම්මුතිය බලගැන්වෙන්නෙ වර්ෂ 1989 මාර්තු මස 22 දිනය. එක්සත් ජාතීනගේ පරිසර සංවිධානය අනුබද්ධ ලොව අපද්‍රව්‍ය බැහැර කිරීමේ සම්බන්ධයෙන් වන මෙම සම්මුතියට ස්විස්ටර්ලන්තයේ දී රටවල් ගණනාවක් අත්සන් තැබුවේය.
එහිදී බැර ලෝහ සහිත අපද්‍රව්‍ය අැතුළු අනෙකුත් අපද්‍රව්‍ය රටවල් අතර හුවමාරුවේදී එකඟතාවකට එළඹුණේය. සම්මුතියෙන් පෙර කී අපද්‍රව්‍ය රටකින් රටකට ප්‍රවාහනය කිරීම මුළුමනින්ම අත්හිටුවූයේය. බාසල් සම්මුතිය සඳහා අප අත්සන් තැබුවේ වර්ෂ 1992 දීය. එංගලන්තය අත්සන් කළේ වර්ෂ 1994 දීය.
පසුගිය වසරේ ජුලි මාසයේ දී බාසල් සම්මුතිය උල්ලංඝණය කර එංගලන්තයෙන් ආ මිශ්‍ර අපද්‍රව්‍ය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය ජිනීවා හි පිහිටි කාර්යාලය වෙත ලිඛිතව පැමිණිල්ලක් කළේය. මේ අතර බ්‍රිතාන්‍ය රජය මෙම කසළ නැවත සිය රටට ගෙන්වා ගැනීම සම්බන්ධව රාජ්‍ය තාන්ත්‍රික කතිකාවක නිරත විය.
දීර්ඝ ක්‍රියාවලියකින් අනතුරුව කසළ කන්ටේනර් 21ක් ලංකාවෙන් යළි එංගලන්තය වෙත පිටත් කර යැවීමට හැකි විය. ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේ, 2017 දෙසැම්බර් වනවිට එංගලන්තයෙන් නීති විරෝධි ලෙස ලංකාවට එවන ලද අපද්‍රව්‍ය කන්ටේනර් 263 ක් ලංකාව තුළ තිබූ බවයි.
කෙසේවෙතත් පසුගිය දිනවල මහත් ආන්දෝලනයට ලක් වූ කසළ කන්ටේනර් 242 ට මෙම කන්ටේනර් 21 අයත් නොවන බව ශ්‍රී ලංකා රේගුව පැවසුවේ ය
එවකට පැවති පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව තියුණු කතිකාවක් ඇති විය. විපක්ෂය විසින් රජය තියුණු ප්‍රශ්න කිරීම්වලට ලක් කළේය. එවකට මුදල් ඇමතිවරයා මේ සිද්ධිය සම්බන්ධ ආයතනවල නම් ගම් සහිතව දීර්ඝ විස්තරයක් පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය. වර්ෂ 2017 සැප්තැම්බර් සිට වර්ෂ 2018 මාර්තු 02 දක්වා කාලය තුළ අපද්‍රව්‍ය අඩංගු බහාලුම් 242ක් ලංකාවට ගෙනවිත් තිබුණු ආකාරය, ඉන් බහාලුම් 111ක් කොළඹ වරායේ රඳවා ඇති අයුරු, එම කුණු ආනයනකරුවන් තිදෙනා, ඔවුන් ගෙනා කුණු ප්‍රමාණ ගැන ඔහු පාර්ලිමේන්තුවට කීවේය.
ඒ හෙළිදරව් කිරීමට අනුව ඉන් එක් ආනයනකරුවෙක් කුණු බහාලුම් 65ක් ද අනෙක් ආනයන කරුවා 64ක් ද මේ රටට ගෙන්වා තිබිණි. ඉතිරි බහාලුම් 130 වරායෙනුත් නිදහස් කරගෙන ගොස් තිබිණි. ඒවා කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ එක්තරා ස්ථානයක තැන්පත් කර ඇතැයි වාර්තා විය.
වර්ෂ 2019 ජූලි මාසය වන විට මධ්‍යම පරිසර අධිකාරිය කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ගොඩගසා තිබූ අපද්‍රව්‍ය තොගය සොයා ගත්තේය. මෙම කුණු බහාලුම් කටුනායක තැන්පත් කරගත් ආයතනය වර්ෂ 2014 සිට ඒකාබද්ධ බාහිර සේවා මධ්‍යස්ථානයක් ලෙස කටුනායක අපනයන සැකසුම් කලාපය තුළ අන්තර් වෙළෙඳ කටයුතුවල නිරත වන බව ආයෝජන මණ්ඩලය කියා සිටියේය.
එංගලන්තයේ රෝහල්වලින් බැහැර කළ මෙට්ට, කුෂන් කැබලි, පාපිසි, අතුළු මෙට්‍රික් ටොන් 27685ක අපද්‍රව්‍ය එම බහාලුම් තුළ තිබිණි. එම කන්ටේනර් 130 වර්ෂ 2017 ඔක්තොම්බර් සිට වර්ෂ 2018 ජනවාරි දක්වා කාලය තුළ අවස්ථා 12කදී එංගලන්තයේ වෙන්ගාර්ඩ් ලිමිටඩ් නැමැති ආයතනයකින් මෙරටට ගෙන්වූ බව මධ්‍යම පරිසර අධිකාරිය කීවේය.
මේ කසළ බහාලුම් 130න් 29ක් මේ සමාගම විසින් ප්‍රති අපනයනය කර තිබිණි. දැන් වෙළෙඳ කලාපය තුළ තවත් බහාලුම් 101ක් ඉතිරි වී තිබේ. මෙම බහාලුම් හැකි ඉක්මනින් ප්‍රති අපනයන කරන මෙන් එවකට ආයෝජන මණ්ඩලය මෙම සමාගමට දැඩි ලෙස අවවාද කළේය. එහෙත් විවිධ හේතු දක්වමින් ඒ ප්‍රති අපනයනය ප්‍රමාද කරන බව ආයෝජන මණ්ඩලය එදා මාධ්‍යයට කීවේය.
එවකට රේගු සේවා සංගමයේ ලේකම් ජේ.ඒ. ගුණතිලක මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ජාවාරමේ අශිෂ්ඨකම ගැන කීවේය. ඔහු පෙන්වා දුන්නේ මෙම අපද්‍රව්‍ය ගෙන එන ලද පුද්ගලයාට හෝ ආයතනයට එක බහාලුමක් සඳහා පවුම් ලක්ෂ 3ක් පමණ ලැබී ඇති ආකාරය විමර්ශනවලින් හෙළි වූ බවයි. වර්ෂ 2013 සිට මෙලෙස අපද්‍රව්‍ය ආනයන කර ඇති බවට තොරතුරු තමන්ට ඇති බවත්, මීට පෙර මෙලෙස ගෙන්වූ කන්ටේනර් 122ක් වරායෙන් පිට කර ඇති බවටත් ඔහු මාධ්‍යයට හෙළි කළේය.
මධ්‍යම පරිසර අධිකාරියේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය හා රසායනික අපද්‍රව්‍ය කළමනාකාර ඒකකයේ එවකට අධ්‍යක්ෂක අජිත් වීරසුන්දර කීවේ එළඹි සිහියෙන් විමසිය යුතු කතාවකි. ලෝක සම්මුතීන් හා සදාචාරයන් බිඳ දමා රටේ නීතියට එරෙහිව ගෙන්වන ලද මෙම කුණු තමන්ගේ ආයතනයෙන් ඉවත දමන කසළ සමඟ එක් කර කොළඹ ඇතුළු නගර සභා කසළ ඒකකයට එක් සමාගමක් විසින් භාර දී ඇති බව ඔහු කීවේය. මේ ගෙන්වා තිබූ ද්‍රව්‍ය අතර විකිරණශීලී හෝ අධි විෂ රසායන තිබුණා නම් මේ වනවිටත් රටට දෙවියන්ගේ පිහිටය.
ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති හේතුවෙන් මෙලෙස අවසරයකින් තොරව කසළ කන්ටේනර් වැනි දේ ගෙන්වාගැනීමට අදාළ සමාගම්වලට හැකියාව ලැබී තිබුණු බව අනාවරණය විය.
රටක සාධනීය තත්වයන් වැඩි දියුණු කිරීම සඳහා පනවන නීති රෙගුලාසි අවභාවිත කිරීම නෛතික ආරවුලකට වඩා පුද්ගලයන්ගේ ආකල්ප හා චර්යා පිළිබඳ ප්‍රශ්නයකි. මේ අර්ධ මනුෂ්‍යයන් උක්ත ජාවාරම කර තිබුණේ 2013-07-30 දිනැති අංක 1818-30 දරන ගැසට් පත‍්‍රය තුළ මුවා වෙමිනි.
වර්ෂ 2013-07-11 දින නිකුත් කරන ලද අංක 1818-30 දරන ගැසට් නිවේදනය මගින් රේගු ආඥා පනත, විනිමය පාලන පනත, ආනයන අපනයන පාලන පනත ආදියෙහි පාලනයෙන් තොරව භාණ්ඩ ආනයන හා අපනයන කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම ආයෝජකයන්ට ලැබිණි. මෙය නීත්‍යානුකූල වෙළෙඳාමට ලබා දිය හැකි ප්‍රායෝගික ප්‍රතිපාදනයකි. ඉන් කටුනායක නිදහස් වෙළඳ කලාපය, හම්බන්තොට වරාය හා ගුවන්තොටුපළ පිහටුවන “Hub” තුළට නිදහසේ භාණ්ඩ අපනයනය කිරීමට මේමගින් ඉඩකඩ විවර වූයේය.
එහෙත් රටට මහත් ව්‍යසනයක් වූ අපද්‍රව්‍ය අඩංගු බහාලූම් මෙරටට ගෙන්වා තිබුණේ මෙම ගැසට් නිවේදනයේ ප්‍රතිපාදන යොදාගනිමිනි. බහාලූම් 130ක් වරායෙන් මුදවාගෙන කටුනායක තැන්පත් කර තිබුණේ එවැනි “Hub” එකක් තුළය.
මෙම අප ද්‍රව්‍ය අඩංගු බහාලූම්වලට අමතරව මීට ඉහත දී වියට්නාමයෙන් ගම්මිරිස් ගෙන්වා ඒවා ලංකාවේ ගම්මිරිස් ලෙස ප්‍රති අපනයනය කළ ජාවාරම්කරුවන් රටේ ගම්මිරිස් වෙළඳපළ විනාශකරන ලද්දේත් මෙම ගැසට් පත‍්‍රයේ ප‍්‍රතිපාදන උපයෝගී කරගනිමින් බව රේගු දෙපාර්තමේන්තුව එදා කීවේය.
කෙසේ වෙතත් අප තේරුම් ගත යුතු යථාර්ථයක් තිබේ. ලෝක සම්මුතීන් වලංගු වන්නේ සදාචාර සම්පන්න මිනිස්සුන්ටය. එංගලන්තයටත් ලංකාවටත් ඒ සත්‍යය වලංගුය. අශිෂ්ට මිනිස්සුන්ගේ අශික්ෂිත ව්‍යාපාර අවසානයේ විනාශ කරන්නේ ලෝකයේ පැවැත්මය.