හැට පැන්නත් බිම නොයන තැපැල් සේවය | සිළුමිණ

හැට පැන්නත් බිම නොයන තැපැල් සේවය

ලොව පුරා රටවල් 193ක් නියෝජනය කරන විශ්ව තැපැල් සංගමය තැපැල් කටයුතු පිළිබඳ විශ්ව මෙහෙයුම් මධ්‍යස්ථානය වශයෙන් සැලකේ. ලිපි තැපැල් කිරීමෙන් ආරම්භ වූ තැපැල් සේවය ක්‍රමයෙන් භාණ්ඩ හා විවිධාංගීකරණයට ලක් වූ වෙනත් වාණිජ සේවා සපයමින් ලෝක වාසීන්ට මහඟු මෙහෙවරක් ඉටු කරයි. ජාත්‍යන්තර තැපැල් කටයුතු ව්‍යාප්ත වීමත් සමඟ පොදුවේ පිළිගනු ලබන එකඟතාවන් හා නීතිරීතිවල ගැටලු මතු වූයෙන් ජාත්‍යන්තරව පිළිගත හැකි සම්මුතින්වලට එළඹීමේ අවශ්‍යතාව මතු විය.

මේ ආකාරයේ එකමුතුවක් පිළිබඳ ප්‍රථම වරට අදහස් ඉදිරිපත් කරන ලද්දේ ඇමරිකා එක්සත් ජනපදයේ පෝස්ට් මාස්ටර් ජනරාල් ධූරය හෙබ වූ ටොන්ටිගෝමරි බ්ලෙයාර් ය. වසර 1863 මැයි 11 වැනිදා ඇමරිකාව සහ යුරෝපය රටවල් 15 ක නියෝජිතයන් ප්‍රංශයේ පැරිස් නුවරට රැස් වී ජාත්‍යන්තර තැපැල් කටයුතු පිළිබඳ පාර්ශ්වීය එකඟතාවන් සඳහා පොදු නීති මාලාවක් සකස් කළේය.

මේ අතර තුර උතුරු ජර්මානු තැපැල් සේවයේ නිලධාරියකුව සිටි හෙන්රිචි වොන් ස්ටීවන් විසින් වඩාත් ප්‍රායෝගිකව සහ පුළුල්ව තැපැල් කටයුතු ජාත්‍යන්තරකරණය සඳහා වන අදහසක් ඉදිරිපත් කළේය. ස්විස්ටර්ලන්තයේ බර්න් නගරයේ දී රටවල් 22ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් 1874 සැප්තැම්බර් 15 වැනිදා ඇරඹි මෙම සමුළුවේ දී ගනු ලබන තීරණයකට අනූව ඔක්තෝබර් 09 වැනිදා ඓතිහාසික බර්න් ගිවිසුම අත්සන් කරමින් ජෙනරල් පෝස්ටල් යූනියන් (General Postal Union) නමින් නව සංවිධානයක් ආරම්භ කළේය. පසුව වර්ෂ 1878 දී සංවිධානයේ නාමය විශ්ව තැපැල් සංගමය (Universal Postal Union -UPU) බවට නාමකරණය විය. ලෝක සමුළුවක් වශයෙන් 1874 දී තැපැල් සංගමය නිර්මාණය වීමත් සමඟ මෙම සංවිධානයේ සැසිවාර කිහිපයක්ම පවත්වන ලද අතර පැවැත්වෙන ස්ථානය වසරින් වසර රටින් රටට මාරුවෙමින් පැවතුණි. මේ අයුරින් තැපැල් සමුළු සාමාජික රටවල පැවැත්වීමේ දී සංගමයක් වශයෙන් මුදුන් පමුණුවා ගත් ගෞරව සහ ජයග්‍රහණ සැමරීමට ඊටම ආවේණික වූ දිනයක් නොමැති අඩුපාඩුව කැපී පෙනෙන්නට විය. වසර 1969 දී ටෝකියෝ නගරයේ පැවැති ලෝක සමුළුවේ දි බර්න් ගිවිසුම අත්සන් කළ ඔක්තෝබර් 09 වැනිදා විශ්ව තැපැල් දිනය වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. පසුව වසර 1984 දී හැම්බර්ග් සමුළුව විශ්ව තැපැල් දිනය (World Post Day) වශයෙන් නම් කරන ලදී. මෙවර එය පවත්වන්නේ 146 වැනි වතාවටය.

ලන්දේසීන් විසින් මෙරට පාලනය කළ සමයේ එනම්, වර්ෂ 1798 දී ෆ්‍රෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් ලංකාවේ තැපැල් සේවය ආරම්භ කෙරිණි. ඒ අනුව කොළඹ, ගාල්ල, මන්නාරම, යාපනය හා ත්‍රිකුණාමලය යන මුහුදුබඩ පළාත්වල මුල්ම තැපැල් කාර්යාල පහ පිහිටු විය. වර්ෂ 1799 දී තැපැල් රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීම සහ තැපැල් ගාස්තු නියම කිරීමත් සමඟ මෙහි කටයුතු ආරම්භ විය. ශ්‍රී ලංකා තැපෑලට අවුරුදු 221 ක තරම් වූ දීර්ඝ ඉතිහාසයක් ඇත. ලන්දේසීන් විසින් පිහිටවූ “ඊස්ට් – ඉන්දියා කොම්පැණි” නමැති ආයතනය එවකට තැපෑල සේවාව මෙහෙය වූ අතර, එවක සාමාන්‍ය ජනතාවට එහි සේවය නොලැබුණි. එකල මෙම සේවය රාජකාරී කටයුතුවලට පමණක් සීමා විය. යාපනය දිස්ත්‍රික්කයට අයත් ඩෙල්ෆ් දූපතේ ඇති පරෙවි තැපෑල පිළිබඳ නටබුන් හැරුණු කොට 1798 සිට 1815 දක්වා වූ ඉතිහාසය පිළිබඳ සඳහන් කිරීමට තරම් වූ ලිඛිත සාක්ෂි එතරම් හමු නොවේ.

1815 දී උඩරට ගිවිසුම නම් කූට ලේඛනය මඟින් මෙරට පාලන බලය බ්‍රිතාන්‍යයන‍් අතට පත් වීමත් සමඟ ඔවුන් තැපැල් සේවාව ප්‍රතිසංවිධානය කරන ලදී. 1857 අප්‍රේල් පළමු වැනිදා වික්ටෝරියා රැජිනගේ රූපය සහිත ශ්‍රී ලංකාවේ පළමු මුද්දරය නිකුත් කෙරිණි. 1882 දී ස්ථිර තැපැල් කාර්යාලයක් කොළඔ පිහිටුවන ලද අතර, එවකට ලංකාවේ ප්‍රථම තැපැල්පතිවරයා වූයේ ගුවන් හමුදා නිලධාරියෙක් වූ ඒ. කෙනඩිය. කෙසේ වෙතත් 1815 තරම් වූ ඈත යුගයේ දී තැපැල්පතිවරුන් ගණනාවක් සිටිය අතර ඊ. බ්ලැටර්මන් මුළු දිවයිනටම තැපැල්පතිවරයා විය. ඉන් අනතුරුව ඊ. බ්ලැටර්මන්ගේ ඇවෑමෙන් 1817 දෙවන තැපැල්පතිවරයා ලෙස පත්වූයේ ලුවිස් සන්සෝනිය. තෙවන තැපැල්පතිවරයා වශයෙන් පත්වූ මේජර් ජී. ස්ටුවට්, ඒ මහතාගේ පාලන කාලය තුළදී දිවයිනේ ප්‍රධාන නගරවලට තැපැල් සේවාව ව්‍යාප්ත කිරීමට ඔහු සමත් විය. තැපැල් සහ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව වශයෙන් හැඳින්වූ එවක තැපැල් සේවාව ‌අභිමානනීය සේවයක් ඉටු කළේය. විශ්ව තැපැල් සංගමය තුළ දෙවරක් සාමාජිකත්වය ලබා ගත් රටක් වශයෙන් ශ්‍රී ලංකාව සැලකේ. වර්ෂ 1877 අප්‍රේල් 01 වැනිදා බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වශයෙන් තිබියදී ශ්‍රී ලංකාව (සිලෝන්) එහි සාමාජිකත්වය හිමි කර ගත් අතර, වර්ෂ 1949 ජුලි 13 වැනිදා නිදහස් රාජ්‍යයක් වශයෙන් නැවත වතාවත් සාමාජිකත්වය හිමි කර ගත්තේය. ශ්‍රී ලංකා තැපෑල අවුරුදු 221 ක කාලයක් තිස්සේ ක්‍රියාකාරීව පවතින අතර, මෙය ශ්‍රී ලංකාවේ ඇති පැරණිම දෙපාර්තමේන්තුවලින් එකකි.

ශ්‍රී ලංකා තැපෑල ආසියාවේ මුල්ම තැපැල් රථය හඳුන්වාදීමේ ගෞරවය හිමි කරගෙන සිටින අතර 1832 දී කොළඹ- මහනුවර අතර අශ්ව රථ මඟින් තැපැල් හුවමාරුව සිදු කර ඇත. ඉන් අනතුරුව 1838 දී තවත් තැපැල් රථයක් කොළඹ සහ ගාල්ල අතර ආරම්භ කරන ලදී. වර්ෂ 1892 දී ප්‍රථම “ජංගම තැපැල් කාර්යාලය” සිය මුල්ම ගමනාරම්භය සනිටුහන් කළ අතර එය කොළඹ සහ මහනුවර තදාසන්න ප්‍රදේශයක් වන පේරාදෙණිය දක්වා ධාවනය විය. එතැන් සිට ගතවු වසර ගණනාවක් තිස්සේ තැපැල් ප්‍රවාහනය සඳහා සහ බෙදීම සඳහා විවිධ ප්‍රවාහන මාධ්‍යයන් යොදා ගැනිණ.

මේ වනවිට දිවයින පුරා තැපැල් කාර්යාල 653 ඇති අතර, උප තැපැල් කාර්යාල සංඛ්‍යාව 3410කි. සමස්ත ස්ථිර කාර්ය මණ්ඩලය 22800ක් වන අතර, ඉන් 8000ක පමණ පිරිස කනිෂ්ඨ තැපැල් සේවකයින් (ලියුම් බෙදන්නන්) ය. ආදේශකයන් 4500න් පමණ පිරිසකගේ අවශ්‍යතාව පවතින අතර දැනට ඇත්තේ 2000ක පමණ පිරිසකි. තැපැල් සේවා නිලධාරීන් 5500 පමණ සේවා අවශ්‍යතාවයක් පවතින අතර දැනට සිටින්නේ 4400 පමණ පිරිසකි. 1100ක පමණ පුරප්පාඩුවක් පවති. දැනට සේවා නියුක්තව සිටින සියල්ලන් සඳහාම වසරකට රුපියල් මිලියන 14,000ක් පමණ වැයවන අතර, ඉන් 91% ම වැය වන්නේ වැටුප් සහ අනෙකුත් දීමනා සඳහාය. නමුත් තැපැල් සේවා දෙපාර්තමේන්තුව වසරකට උපයන ආදයම රුපියල් මිලියන 8396 (2019 වසර)කි. රුපියල් මිලියන 6000ක පමණ මුදලක් රජයට දැරීමට සිදු වේ. මීට පිළියමක් ලෙස තාක්ෂණික ක්ෂේත්‍රය දියුණු කිරීමට අවශ්‍ය වන අතර, ඊට වසර පහක සැලැස්මක් යෝජනා කර ඇත. ඒ සඳහා විශාල ආයො­්ජනයක් කළ යුතුය. 2021 අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන බව ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාවෙදී ප්‍රකාශ කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න අප සමඟ පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන තැපැල් වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ සඳහන් කර සිටියේ වර්තමානය වන විට කනිෂ්ඨ සේවකයන් ඉතාම දුෂ්කර අඩියකට වැටී ඇති බවයි. එසේ වුවත් සිය කාර්ය නොපිරිහෙළා ඉටු කරන බවයි. වර්ෂා දිනවල ලියුම් බෙදීම සඳහා යන විට පැලඳීමට වැසි කබායක් හෝ හිස්වැස්මක් මොවුන්ට නැත. ඔවුන් ගමන් ගන්නේ යතුරුපැදි සහ පා පැදි වලිනි. කඳුකර ප්‍රදේශවල සේවයේ නියුතු කනිෂ්ඨ සේවකයෝ (ලියුම් බෙදන්නන්) කඳු නඟිමින් පල්ලම් බසිමින් සිය කාර්යය ඉටු කරති. ඔවුන් පැය අටකට වඩා වැඩි කාලයක් තම ලොට් එක තුළ කටයුතු කළද ඒ සඳහා ගෙවීමක් සිදු නොවේ. කිසියම් හේතුවක් නිසා වෙනත් ලොට් එකක අතිරේකව සේවය කළද හිමිවන්නේ අතිකාල පැය හතරක් පමණි. බොහෝ විට මේ සඳහා යොදවන්නේ ආදේශකයකි. එනිසා එම අවස්ථාවද ඔවුන්ට අහිමිය.

ග්‍රාමීය නාගරික භේදයකින් තොරව මෙකී තත්ත්වය කනිෂ්ඨ සේවකයන් සැමට එක සමානය. මොවුන්ගේ මූලික වැටුප රුපියල් 15,000 පමණ වේ. අනෙකුත් දීමනා සමඟ රුපියල් 25,000කට ආසන්න වේතනයක් ලබා ගත්තද සමිති මඟින් ලබා ගන්නා ණය හා වෙනත් ණය තුරුස් ගෙවූ විට ඉතිරි වන්නේ රුපියල් 10,000ක පමණ සොච්චම් වැටුපකි. මීට කදිම උදාහරණය වන්නේ තැපෑල වෙනුවෙන් මහත් කැපවීමක් කළ කනිෂ්ඨ සේවිකාවක් වූ පයාගල ප්‍රදේශයේ කටයුතු කරන චන්ද්‍රවතී කඳුරුවලය. වසර 15ක් පුරා මේ රැකියාවේ නිරතවන ඇය සතියකට වැඩ කරන කාලය දින හයකි. චන්ද්‍ර­ාවතී දෛනිකව මේ තැපැල් මලු එකතු කිරීම සඳහා කිලෝමීටර් 15ක් පමණ පාපැදියෙන් ගමන් කරන අතර මසකට දින 25ක් සේවය කරයි. ඇයගේ මාසික වේතනය රුපියල් 4000ක් වුවත් ඈ කිසිදා ඒ වෙනුවෙන් මැසිවිලි නැඟුවේ නැත. පසුගිය ලෝක තැපැල් දිනය වෙනුවෙන් ඇය ඇගයීමට ලක් කෙරුණු අතර වසර 15ක් දෛනිකව පා පැදියෙන් ගිය ඇයට එදින හිමි වූයේ ද පාපැදියක් පමණි. කනිෂ්ඨ සේවකයාගේ තත්ත්වය මෙයවන විට ඉහළ නිලධාරීහු වැඩි වෙහෙසක් නොගෙන සුර සැප විඳිති.

පාඩු පිට පවත්වාගෙන යන මෙවැනි ආයතන ලාබ ලබන ආයතන බවට පත් නොකර මෙකී කනිෂ්ඨ සේවක ගැටලු විසඳීමට නොහැකිය. එනිසා පෞද්ගලික අංශය හා තරගකාරී තත්ත්වයට මෙය පරිවර්තනය කිරීමෙන් මෙම ඉලක්ක සපුරාගත හැකිය. සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් මෙවැනි පාඩු ලබන ආයතන වඩා ඵලදායී කාර්යක්ෂම සේවා සපයන ආයතන බවට පත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ වෙමින් පවතී. ලබන වසරේ අයවැය මඟින් මේ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

 


Comments