හොස්ස බිම උලා ගැනීම | සිළුමිණ

හොස්ස බිම උලා ගැනීම

මෙරට රාජ්‍ය සේවයට ඉතාමත් කීර්තිමත් ඉතිහාසයක් තිබුණේය. එහෙත් ඒ කීර්තිමත් බව රැඳී තිබුණේ අතීතයේ පමණි. වර්තමාන රාජ්‍ය සේවය තුළ එවැනි කීර්තිමත් බවක් ගෑවිලාවත් ඇති බවක් නොපෙනේ. ඒ තරමටම වත්මන් රාජ්‍ය සේවය අකාර්යක්ෂම වී ඇත.

කලකට ඉහත රටේ ඈත කෙළවරක පිහිටි හද්ද පිටිසර ගම්මානයක වෙසෙන ගැමියකු යම් අවශ්‍යතාවක් ඉටුකර ගැනීම සඳහා රජයේ දෙපාර්තමේන්තුවකට ලිපියක් යවනු ලැබුවහොත් සතියක් ඇතුළත ඊට පිළිතුරක් ලැබුණේය. අදාළ ආයතනයේ ප්‍රධානියාගේ හෝ ඔහුගේ බලලත් නිලධාරියෙකු ගේ අත්සනින් යුතුව ලැබුණු එම පිළිතුරු ලිපිය අවසන් කර තිබුණේ " මේ වගට - ඔබේ යටහත් සේවක" යනුවෙනි. බොහෝ විට එම ඉල්ලීම ද ඉෂ්ට කෙරුණේය. ඒ එදා රාජ්‍ය සේවයේ හැටිය. එහෙත් අද එය අතීතයට ගිය සිදුවීමකි. මෙකල පවතින රාජ්‍ය ආයතනයකට එවැනි එක ලිපියක් නොව ලිපි සීයක් යැවුවද ඊට කිසිදු පිළිතුරක් නොලැබේ. එසේම අද රාජ්‍ය ආයතනයකින් යම් මහජන අවශ්‍යතාවක් ඉටු කර ගැනීම ගලකින් පට්ටයක් ගන්නවාටත් වඩා අසීරු කර්තව්‍යයකි.

අපට පෙනෙන අන්දමට නම් මේ සියල්ලටම හේතුවක් වී ඇත්තේ වත්මන් රාජ්‍ය සේවය බරපතළ ලෙස දේශපාලණීකරණය වීමය. කලකට ඉහත රාජ්‍ය සේවයේ නියැළී ලොකු කුඩා හැම දෙනෙකුටම දේශපාලන කටයුතු වල යෙදීම තහනම් විය. අද එම නීතිය බලපාන්නේ උසස් නිලධාරීන්ට පමණි. එම නීතිය සොක්කන්ට අදාළ නොවේ.

එහෙත් අද වැඩිපුරම දේශපාලන කටයුතු වල නිරතවන්නේ රාජ්‍ය සේවයේ නිරත පොඩ්ඩන් නොව ලොක්කන් බව ප්‍රසිද්ධ කරුණකි. ඔවුන් එසේ කරන්නේ තම දේශපාලන හාම්පුතුන් පිනවා උසස් තනතුරකට පැන ගැනීමේ අදහසිනි. ලොක්කන් එසේ කරන විට ඔවුන් යටතේ සිටින පොඩ්ඩන් ද තම ප්‍රධානින් අනුගමනය කරන්නේ දෙවරක් නොසිතමිනි. රජයේ කාර්යාල වල මෙවැනි අභාග්‍යවත් තත්ත්වයක් ඇතිවීමට මුල්වූයේ අපේ ඇතැම් දේශපාලනඥයන්ම බව කනගාටුවෙන් වුවද කිව යුතුය.

එක්තරා රාජ්‍ය ආයතනයක සේවක මහතකුගේ විවාහ මංගල්‍යයකට සහභාගි වීම සඳහා එම කාර්යාලයේ එක් සේවකයෙකු පමණක් සිටිය දී එහි ලොක්කන් සහ සොක්කන් ඇතුළු දෙපිරිසම රාජකාරි වේලාව තුළ ගොස් ඇතැයි කියන ප්‍රවතක් ඉකුත් දා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ අනාවරණය විය. රාජ්‍ය සේවා චක්‍රලේඛ සහ අනපනත් අනුව නම් එය බරපතළ විෂමාචාරයකි. ඇතැම් විට රජයේ නීති රෙගුලාසි ගැන පවා තැකීමක් නොකර එම පිරිස තම සගයාගේ මඟුල් ගෙදර ගොස් තිබුණේ අදාළ පුද්ගලයාගේ දේශපාලන බල පුළුවන්කාරකම නිසා විය හැකිය. දේශපාලන හෙන්චයියන්ගේ මූණ හොඳ කිරීමට අපේ ඇතැමුන් දරන උනන්දුව එමගින් සිතාගත හැකිය.

අද රජයේ කාර්යාල බොහොමයකම සේවා කටයුතු වල බරපතළ ප්‍රමාදයක් පවතින බව ප්‍රසිද්ධ කරුණකි. බොහෝ විට ඒවා සිදුවන්නේ අදාළ සේවක මහතුන්ගේ සහ උසස් නිලධාරින්ගේ නොසැලකිල්ල නිසාය. තවත් සමහර ආයතනවල සේවක පිරිස් මහජන අවශ්‍යතා ඉටු කිරීම ප්‍රමාද කරන්නේ හිතාමතාය. ඒ අතයට ගනුදෙනුවක් බලාපොරොත්තුවෙනි. විශේෂයෙන්ම පළාත් පාලන ආයතනවලින් නිවාස සැලසුම් අනුමත කිරීමේ දී එම තත්ත්වය බහුල වශයෙන් දකින්නට ලැබේ.

ඉහළ යමින් පවතින බඩු මිල හමුවේ අද ජීවත්වීම දුෂ්කර කාර්යයක් වී ඇති බව සැබෑය. එහෙත් සියලුම රාජ්‍ය ආයතනවල සේවක මහත්ම මහත්මින්ට තමන් විසින් කරනු ලබන රාජකාරිය සඳහා නිශ්චිත වැටුපක් ලැබේ. එසේ තිබිය දී තමන් විසින් ඉටු කළ යුතු රාජකාරිය සඳහා යම් සේවකයෙකු අල්ලසක් බලාපොරොත්තු වීම සහගහන අපරාධයකි. අධික ජීවන වියදම ඒ සඳහා හේතුවක් ලෙස දැක්විය නොහැක. සමහර ලොක්කන් ද මෙවැනි අතයට ගනුදෙනුවල යෙදෙන්නේ රුපියල් කෝටි ගණනිනි. එහෙත් හැම දෙනෙක්ම එසේ නොවෙති.

ඇතැම් ලොක්කන් තමන් යටතේ සිටින සොක්කන්ගේ මෙවැනි පහත් ක්‍රියාවන් සඳහා අනුබල දෙන බවක් අසන්නට ලැබේ. වැරැද්ද දැක දැකත් නිහඬව සිටීම ද විෂමාචාරයකි. ඇතැම් විට එම ලොක්කන් ද තමන් යටතේ සිටින සොක්කන්ගේ එවැනි නොමනා ක්‍රියා දැක නොදුටුවාක් මෙන් සිටින්නේ අදාළ පුද්ගලයන් සතු දේශපාලන බලපුළුවන්කාරකම් නිසා විය හැකිය. තමන් සතු දේශපාලන බලය මුල්කරගෙන ආයතන ප්‍රධානින් අල්ලේ නටවන සොක්කෝ ද අද ඕනෑ තරම් අප අතර සිටිති.

එවැන්නන් වැඩිපුරම සිටින්නේ වෘත්තිය සමිතිකාරයන් අතරය. ඉකුත් ජේ.ආර්.ජයවර්ධන පාලන සමයේ මෙවැනි ජුන්ටා කාරයෝ කොතරම් බලවත්ව සිටියාදැයි කිවහොත් තමන්ට අවනත නොවන ආයතන ප්‍රධානීන් සැතපුම් සිය ගණනක් ඈතට මාරු කරවීමට පවා සමත්වූහ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක් යටතේ එවැනි දෑ කිසිසේත්ම සිදු නොවිය යුතුය. එවැනිදෑට ඉඩ නොතැබීම රජයේ බලධාරීන්ගේ ද වගකීමකි.

අනෙක් අතට තම දේශපාලන හාම්පුතුන් පිනවීම සඳහා ඔවුන්ගේ රූකඩ ලෙස කටයුතු කළ ඇතැම් උසස් නිලධාරින්ට අවසානයේ දී මුහුණ පෑමට සිදුවන ඉරණම අතිශයින් කනගාටුදායකය. මේ දිනවල එක් එක් කොමිෂන් සභා මගින් සිදුකර ගෙන යන සාක්ෂි විමසීම්වලින් එවැනි තොරතුරු බොහොමයක්ම හෙළිවෙමින් පවතී. අන්තිමේ දී එවැනි උසස් නිලධාරින්ට සිදුවී ඇත්තේ තමන්ගේ වැරදි එකිනෙකා පිට පටවමින් බෝල පාස්කර ගැනීමටය. තවත් පිරිසක් රටින් පැන ගොස් සිටිති.

එහෙත් ඔවුන් ඒ තත්ත්වයට පත් කරමින් ඒ සඳහා ආධාර සහ අනුබල දුන් දේශපාලන හාම්පුතුන් තවමත් නිදැල්ලේ පසුවන්නේ සුදනන් ලෙසිනි. ඉදිරියේ දී හෝ යම් ප්‍රශ්නයක් මතු වුවද දංගෙඩියට යා යුතුව ඇත්තේ ඉහත සඳහන් රාජ්‍ය සේවා නිලධාරීන්ට මිස ඔවුන්ගේ දේශපාලන හාම්පුතුන්ට නොවේ. එය ද එක්තරා අන්දමක දෛවයේ සරදමකි.

මේ වනාහී කැත, නරුම සහ අශික්ෂිත දේශපාලනයේ ස්වභාවයයි. වර්තමානයේ රාජ්‍ය සේවයේ නියැළී ලොක්කන්ට මෙන්ම සොක්කන්ට ද මෙවැනි සිදුවීම් කදිම පාඩම්ය. එහෙයින් රාජ්‍ය සේවකයා තමන්ගේ රාජකාරිය හිතට එකඟව සහ අනලස්ව ඉටු කළ යුතුය. ඔවුන් රාජකාරිය පසෙකට දමා දේශපාලනය කරට ගැනීම කිසිසේත්ම නොකළ යුතු දෙයකි. එසේ නොකර තම දේශපාලන හාම්පුතුන් පිනවීම සඳහා තමන්ගේ රාජකාරිය යොදා ගන්නා කවර තරාතිරමකට අයත් රාජ්‍ය සේවකයකුට වුවද අන්තිමට සිදුවන්නේ තමන්ගේ හොස්ස බිම උලා ගැනීමටය. එම දිනය වැඩි ඈතක නොවන බව ද අවධාරණයෙන් ම සඳහන් කළ යුතුය.

Comments