
රාගල ඩෙල්මාර් වතුයායේ පදිංචි වී සිටි වෙල්ලයන් කරුපයියාගේ නිවසේ ඉදිරිපස දොරටුව විවෘත වී තිබීම සාමාන්‍ය දසුනක් වුව ද පසුගිය 22 වැනිදා එය විවෘත වූයේ ම නැත. 70 හැවිරිදි කරුපයියාත් තම බිරිය වන 65 හැවිරිදි සීතා ලෙච්චමිත් පමණක් මේ නිවසේ වාසය කරන බැවින් වයස්ගත ඔවුන් දෙදෙනා ගැන විමසිලිමත් වීම ඔවුන්ගේ අසල්වාසින්ගේ සිරිතකි. නිවසේ දොර ජනෙල් විවෘත නොවීම ගැන සැක සිතූ ඔවුන් රාගල පොලිසියට එය දැනුම් දුන්නේ වෙන කළ යුතු කිසිවක් නැති බැවිනි. රාගල පොලිසිය පැමිණ නිවසේ දොර කඩා විවෘත කළ විට දක්නට ලැබුණේ මිය ගොස් සිටි කරුපයියා සහ ලෙච්චමී යුවළය. සීතා ලෙච්චමී දීර්ඝ කාලයක් රෝගාතුර වී සිටි අතර ඇයට ඇප උපස්ථාන කරමින් ඇයව රැක බලාගෙන ඇත්තේ කරුපයියා ය. ගිලන් වී සිටි ඈ මිය ගිය විට කරුපයියා වස බී සිය දිවි හානි කරගෙන තිබෙන්නේ පාළුව, තනිකම ඉවසා ගත නොහැකි නිසා විය යුතුය. ඔවුන්ගේ එකම පුතා විදෙස් රටක සේවය කරයි. දරුවන් විදෙස්ගත වන විට වියපත් මවුපියන් නිවෙස් තුළ හුදකලා වීමෙන් සිදුවන අනුවේදනීය කතාවක් ලෙස මෙය ගෙනහැර දැක්විය හැකි ය.
වත්මන් සමාජයේ නිවෙස් තුළ තනිවී සිටින වැඩිහිටි පිරිස බොහෝ වෙති. බොහෝ දෙනකු තම මවුපියන් උපරිම අන්දමින් රැකබලා ගත්ත ද මවුපියන්ව වැඩිහිටි නිවාසවල තබන දරුවෝ ද සිටිති. තවත් සමහරු මවුපියන් මහමඟ දමා යති. අද වනවිට රැකියා නොකරන වැඩිහිටි දරුවන් දක්නට නැති තරම් ය. ඔවුන්ට රැකියාවෙන් ඉවත් වී මවුපියන් රැක බලාගත නොහැකි ය. තත්ත්වය දරුණු වන්නේ දරුවන් විදෙස්ගත වූ විට ය. අවසානයේ සිදුවන්නේ වැඩිහිටියන් අසරණවීමය. ඔවුන් හුදකලා වීමය. වර්තමානයේ බොහෝ දරුවන්ට සිය මවුපියන්ව රැකබලා ගැනීමට අවශ්‍ය වුවත් එය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි වි තිබෙන්නේ පවතින තරගකාරී ජීවන රටාව හේතුවෙනි. වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා සේවක සේවිකාවන් තබා ගැනීමට ද ප්‍රමාණවත් ආදායමක් නොමැති වීම නිසා වැඩිහිටි දරුවෝ අසරණ වෙති. ඇතැම්විට සේවක සේවිකාවන් සොයා ගැනීමත් උග්‍ර ප්‍රශ්නයකි. කුඩා දරුවන් රැකබලා ගැනීම සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන තිබුණද වැඩිහිටියන් උදෙසා එවැනි නිවහන් ප්‍රචලිත වී නොතිබීම හේතුවෙන් අද වැඩිහිටියන් නිවෙස් තුළ කාලය ගත කරන්නේ හුදකලාවමය. ඒ නිසාම වර්තමාන සමාජයේ වැඩිහිටි පිරිස ගැටලු රැසකට මුහුණදී සිටිති.
අපේ රටේ වැඩිහිටියන් මුහුණදී සිටින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට තීරණය කළේ ඔක්තෝබර් 01 වැනි දිනට යෙදී තිබුණු ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිති කරගනිමිනි.
“අද ලෝකයේම වැඩිහිටි ජනගහනය ශීඝ්‍රයෙන් වැඩි වී තිබෙනවා. ඒකට හේතු වෙලා තිබෙන්නේ සෞඛ්‍ය අංශය වැඩිදියුණු වීමෙන් ආයු අපේක්ෂණය ඉහළ යෑම. වැඩිහිටියන් වෘද්ධභාවයට පත්වීමත් සමඟ සෞඛ්‍යමය, ආර්ථිකමය සහ සමාජමය ගැටලු රාශියක් මතු වෙනවා. ලෝකයේ වැඩිහිටි ජනගහනයේ ගැටලු ගැන කතා කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය 1990 වර්ෂයේදී වැඩිහිටියන් වෙනුවෙන් ඔක්තෝබර් 01 වැනිදා වෙන් කර තිබෙනවා” යනුවෙන් සඳහන් කළේ කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රජා විද්‍යා දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී ආචාර්ය මනෝරි වීරතුංගය.
සංවර්ධිත රටවල්වල වැඩිහිටියන් ලෙස සලකනු ලබන්නේ වයස අවුරුදු 65 ට වැඩි පිරිසය. එහෙත් සංවර්ධනය වෙමින් පවතින රටවල්වල වැඩිහිටි අය ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 60 ට වැඩි පිරිසය. 2012 වර්ෂයේ මෙරට සිදු කළ ජන හා නිවාස සංගණන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය නියෝජනය කරන්නේ මුළු ජනගහනයෙන් 1/8 කි. එය 12.4% කි. වර්ෂ 2050 වනවිට ශ්‍රී ලංකාවේ වයස අවු. 60 ට වැඩි පුද්ගලයින් මුළු ජනගහනයෙන් 30% කට ආසන්න වනු ඇතැයි තක්සේරු කර ඇත. ඒ අනුව 5 දෙනෙකුගෙන් 1 ක් අයෙක් වැඩිහිටියෙකි.
රටේ ජනගහනය වයස් මට්ටම් අනුව කාණ්ඩ 3 කට බෙදා දැක්විය හැකි ය. ඒ 0 - අවු. 14, අවු. 15 - අවු. 59 සහ අවු. 60 ට වැඩි යනුවෙනි. එයින් මුල් කාණ්ඩය ළමා යනුවෙන් ද දෙවැනි කාණ්ඩය ශ්‍රම බළකාය යනුවෙන් ද තෙවැනි කාණ්ඩය වියපත් යනුවෙන් ද හැඳින්වේ. වියපත් කාණ්ඩය ද නැවතත් කොටස් 3 කට බෙදාවෙන් කර තිබේ. එය මතු දැක්වේ.
I. වයස අවු. 60 - අවු. 70 (තරුණ වැඩිහිටි කණ්ඩායම)
II. වයස අවු. 70 - අවු. 80 (වැඩිහිටි වැඩිහිටි කණ්ඩායම)
III. වයස අවු. 80 ට වැඩි (වයෝවෘද්ධ වැඩිහිටි කණ්ඩායම)
ලංකාවේ වැඩිහිටියන්ගෙන් 60% අයත් වන්නේ වයස අවු. 60 - අවු. 70 කාණ්ඩයටය. සැබැවින් ම ඔවුන් විශ්‍රාම ගැන්වූවද වැඩ කළ හැකි පිරිසකි. ඔවුන්ව රටේ ආර්ථිකයට ඵලදායි ආකාරයට යොදා ගත හැකි ය. රටේ ශ්‍රම බළකායට ඇතුළත් කළ හැකි ය. ඔවුන්ව ‘රිදී ආර්ථිකය’ ලෙස නම් කර තිබෙන්නේ එබැවිනි.
“වයස අවු. 60 වුණ විට ඔවුන්ව විශ්‍රාම යැව්වාම ඒ අය ගෙවල්වල අලස සුවයෙන් ඉන්නවා. හැබැයි ඒ අයට වැඩ කරන්න පුළුවන්. ගෙදර නිදාගෙන රූපවාහිනිය බල බලා සිටින විට ඔවුන් රෝගීන් වෙන්න පුළුවන්. ඔවුන්ගේ ශරීර ක්‍රියාකාරිත්වය අඩු වෙනවා. අන් අය සමඟ සන්නිවේදනය අඩු වෙනවා. ආර්ථික ගැටලු ඇති වෙනවා. ඇතැම් විට මානසික ගැටලු ඇති වෙනවා. ඒ නිසා හැම කෙනෙකුගේම පූර්ව සූදානමක් තිබෙන්න ඕනෑ. විශ්‍රාම ගිය විට ඊට පසු කාලය ගත කිරීම සම්බන්ධයෙන් වෙනත් රැකියාවක යෙදෙනවාද ව්‍යාපාරයක, ස්වයංරැකියාවක නිරත වෙනවාද කියලා ඒ අය සැලසුම් කිරීම ඉතාමත් වැදගත්. අද හුඟාක් දෙමවුපියන් ප්‍රධාන තැන දෙන්නේ දරුවන්ගේ අධ්‍යාපනයට. තමුන් හම්බ කරන මුළු සේසතම සමහර වෙලාවට අර්ථසාධක මුදල් පවා දරුවන්ගේ උසස් අධ්‍යාපනයට යොදවනවා. අවසානයේදී මවුපියන් වියපත් වනවිට කායික හා මානසික වශයෙන් විතරක් නෙමෙයි. ඔවුන් ආර්ථික වශයෙනුත් දුර්වල වෙලා. මේ අසරණවීම වළක්වා ගැනීමට නම් ආර්ථික වශයෙන් ශක්තිමත් විය යුතුයි. ඒ වගේ ම ව්‍යායාම කිරීම, ගෙදර දොර වැඩකටයුතුවල යෙදීම, අධ්‍යාත්මික කටයුතුවල යෙදීම සිදු කළ යුතුයි. අපි කාටවත් වයසට යෑම වළක්වා ගන්න බැහැ. ඒත් විශ්‍රාම දිවියට පූර්ව සූදානමකින් සැලසුම් කිරීමෙන් ආර්ථික, කායික හා මානසික වශයෙන් ශක්තිමත් වෙන්න පුළුවන්” යනුවෙන් තරුණ, වැඩිහිටි හා ආබාධ ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශිරෝමී මාදුවගේ විස්තර කළාය.
වර්තමානයේ බොහෝ වැඩිහිටියන් විශ්‍රාම ගිය මොහොතේ සිට නියැළෙන ප්‍රධාන රාජකාරිය වී තිබෙන්නේ දරුවන්ගේ දරුවන් හදා වඩා ගැනීමය. අද වියපත් වැඩිහිටියෝ මුනුපුරු මිනිපිරියන් සමඟ පෙර පාසල් යති. ටියුෂන් පන්ති යති. නැතහොත් පිහිනුම් පන්ති හෝ නර්තන පන්ති යති. මෙම වැඩිහිටියන්ට බණක් භාවනාවක් කිරීම තබා සායනයකට යෑමට, යහළුවන් ඇසුරු කිරීමට කාලයක් නැත. සමහර විට සැරයටියෙන් යනෙන තුරු සංසාරේ එක්ව වාසය කරන්නට ප්‍රාර්ථනා පොදි බැඳගෙන ආ මව සහ පියා දරුවන් දෙදෙනකුගේ නිවෙස්වල මුනුපුරු මිනිපිරියන් රැක බලා ගනිමින් සැඳෑ සමය දෙපසට වී ගත කරන අවස්ථා ද ඇත. මව කොළඹ නිවසකය. පියා මහනුවර නිවසකය. වියපත් මවුපියන් දෙපසට වීමෙන් ඔවුන්ගේ මානසික තෘප්තිය, බෙදා හදා ගැනීම අහිමි විය හැකි ය.
ජීවිතයට අවශ්‍ය වන්නේ ආහාර පාන, ඖෂධ සහ ඇඳුම් පැලඳුම් පමණක් නොවන බව දරුවන් ද අවබෝධ කර ගත යුතු ය.
“අපේ රටේ ඉස්සර තමයි විස්තෘත පවුල් තිබුණේ. අනික ඉස්සර ගෙදර පවුල් කීපයක් ජීවත්වන විට ගෙදර දොර බලාගෙන කවුරු හරි හිටියා. දැන් විස්තෘත පවුල් වෙනුවට න්‍යෂ්ටික පවුල් ජීවත්වන නිසා මවුපියන් වියපත් වුණාම ඔවුන් රැක බලාගන්න කෙනෙකු ගෙදර නැහැ. සමහර වෙලාවට අද කාලයේත් මව සහ පියා, දරුවන්, දරුවන්ගේ දරුවන් ආදී වශයෙන් ජීවත් වන විස්තෘත පවුල් දකින්න ලැබෙනවා. හැබැයි එතන තියෙන්නේ විස්තෘත පවුලක් නෙමෙයි. න්‍යෂ්ටික පවුල් දෙකක්. අම්මා තාත්තා තනිවෙලා. වැඩිහිටි දරුවන් ඔවුන්ගේ දරුවන් එක්ක වෙනම පවුලක් වෙලා. මේ තත්ත්වය නැති විය යුතුයි. සතුටු පවුලක් කියන්නේ මවුපියන් සහ දරුවන් විතරක් සිටින පවුලට නොවෙයි. ඒ පවුලට ආච්චි සහ සීයා එකතු වෙන්න ඕනෑ. වැඩිහිටි දරුවෝ මේ ගැන මීට වඩා බුද්ධිමත්ව හිතන්න ඕනෑ. හැබැයි අපේ වියපත් වැඩිහිටියොත් මීට වඩා නම්‍යශීලී වීම හුඟක් වටිනවා. මොකද ඒ අය හිතනවා එයාලා වැඩිහිටියන් නිසා එයාලාගේ අණට අනිත් අය යටත් විය යුතුයි කියලා. කාලයෙන් කාලයට සිද්ධවෙන වෙනස ඒ අය තේරුම් ගන්නේ නැතිව මුනුපුරු මිනිපිරියන් එක්ක ගැටුම් ඇති කර ගන්නවා. ජීවිතයේ අවධි ගොඩාක් තියෙනවා. වැඩිහිටියන් අත්හැරීම් අවධියට ඇවිත් තිබෙන බව අවබෝධ කර ගැනීම ඉතාමත් වැදගත්. ඒ අය අවබෝධයෙන් බුද්ධිමත්ව නම්‍යශීලීව කටයුතු කරනවා නම් දරු මුනුපුරන් එක්ක සතුටින් ජීවත් වෙන්න පුළුවනි. හැම වයස් කාණ්ඩයකම ආකල්පමය වෙනසක් සිදු විය යුතුයි” යනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යා දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී ආචාර්ය මනෝරි වීරතුංග පැවසුවේ පරම්පරා ගැටුම් සමථයකට පත්කර ගත යුතු ආකාරය පැහැදිලි කරමිනි.
ඈ පවසන ආකාරයට රටේ වැඩිහිටි ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යෑම රටකට හිතකර නැත. මෙහි ගැටලුව ඇතිවන්නේ වැඩිහිටියන්ගේ ආයු අපේක්ෂණය ඉහළ යෑම නිසා නොවේ. රටේ උපත් සංඛ්‍යාව අඩු වූ නිසා ය. මේ වනවිට බොහෝ පවුල්වල දරුවන් සිටින්නේ එක් අයකු හෝ දෙදෙනකු පමණි. ඊට හේතු වී තිබෙන්නේ වත්මන් වැඩිහිටි පරම්පරාව ගුණාත්මක දරුවකු බිහි කිරීමට උත්සුක වීමය. ඒ සඳහා ඔවුහු දරුවන්ට ඉහළම අධ්‍යාපනයක් ලබාදීමට උනන්දු වෙති. අද අපේ රටේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන අංශ ද්විත්වය ඉතා හොඳින් වර්ධනය වී තිබුණ ද ඊට සාපේක්ෂව ආර්ථික අංශයෙන් වර්ධනය නොවීම හේතුවෙන් බොහෝ දෙනකු දරු උපත් අඩු කරන බව ආචාර්ය මනෝරි වීරතුංග සඳහන් කළේ ජනගහනය සම්බන්ධයෙන් ඈ සිදු කළ විද්‍යාත්මක විශ්ලේෂණවල තොරතුරු මූලාශ්‍ර ඇසුරෙනි. ළමා ජනගහනය අඩු වීමත් වැඩිහිටි ජනගහනය වැඩි වීමත් ඈ හඳුන්වන්නේ ප්‍රජා විද්‍යාත්මක සංක්‍රාන්තිය යනුවෙනි. වැඩිහිටියන්ගේ සංඛ්‍යාව ඉහළ යන විට රටක යැපුම් අනුපාතය ඉහළ යනු ඇත. රාජ්‍ය වියදම් ඉහළ යනු ඇත. ළමා හා තරුණ ජනගහනය අඩුවීමත් සමඟ රටේ ශ්‍රම වෙළෙඳපොළ පහත වැටෙන අතර රටේ බදු ආදායම ද පහත වැටෙනු ඇත. මේ අනුව වැඩිහිටි ජනගහනය රටකට බරක් නොවී රැක බලා ගැනීමේ ජාතික අවශ්‍යතාව මතු වී තිබේ.
වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් උදෙසා කටයුතු කිරීමේ අරමුණින් වැඩිහිටි මහ ලේකම් කාර්යාලයක් ස්ථාපිත කර සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම නිලධාරීන් පත්කර සිටින්නේ දිවයින පුරා විසිරී සිටින වැඩිහිටියන් ගැන සොයා බැලීමටය. වැඩිහිටි සමිති පිහිටුවා ඔවුන් ඒකරාශි කිරීම, ඔවුන්ට දීමනාවක් ලබාදීම, වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කර ඊට වරප්‍රසාද ලබාදීමට කටයුතු කිරීම, අසරණ වැඩිහිටියන් වෙනුවෙන් පවත්වාගෙන යන වැඩිහිටි නිවාස අධීක්ෂණය කිරීම, වැඩිහිටි දිවා මධ්‍යස්ථාන ඇති කිරීම වැනි කාර්යයන් රැසක් ඉටු කරන්නේ වැඩිහිටි මහලේකම් කාර්යාලයෙනි.
ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිත්තෙන් උත්සව සංවිධානය කර ඔවුන්ට උපහාර පිදීමත් වැඩිහිටියන්ගේ ගායන, නර්තන වැනි හැකියාවන් ඔප නැංවීමට අවස්ථා ලබාදීමත් අගය කළ යුතුය. එහෙත් වැඩිහිටි ජනගහනය ගැන ඉන් ඔබ්බට සිතා ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීම අද රටේ කාලීන අවශ්‍යතාවක් වී තිබේ.