ශ්‍රී ලංකාවේ ඊලාම් යුද්ධය අවසන්වී වසරක් ගෙවීමෙන් පසු 2010 වසරේ අගෝස්තු මාසයේ 12 වන දින කැනඩාවේ බටහිර වෙරළ තීරයේ පිහිටි වැන්කුවර් නගරය අසල වරායකට “සන් ඇන්ඩ් සී” නමින් වූ නෞකාවක් සේන්දු විය. එ් නෞකාවේ ශ්‍රී ලංකා ද්‍රවිඩ ජාතිකයන් 492 දෙනෙකු විය. ඔවුන් අතර පිරිමින් 380 ක්ද, කාන්තාවන් 63 ක්ද, ළමුන් 49 ද දෙනෙකු විය. නැව පදවාගෙන ආ නැවියන් ඇතුළු පැමිණි සියලුදෙනාම කැනේඩියානු රජයෙන් සරණාගත භාවය අයද සිටියේය. වෙනදා මහත් හරසරින් සරණාගතයින් පිළිගන්නා කැනේඩියානු නිලධාරින් මෙවර වඩා වෙනස් ආකාරයකින් මේ පිරිසට සලකනු ලැබ ඇති බව බලු බැල්මට පෙනන්නට තිබුණි.
කැනේඩියානු නිලධාරින් විසින් කිහිප දෙනෙකු හැර නැවේ සිටි සියලු දෙනාම අත් අඩංගුවට ගනු ලැබූ අතර ඔවුනට අඩුම වශයෙන් මාස තුනක කාලයක් වත් කැනේඩියානු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ අත්අඩංගුවේ පසුවන්නට සිදුවිය. සමහරුන්ට මාස අටක් දහයක් සිරගතවී සිටින්නට සිදුවී තිබුණි. කිහිප දෙනෙකුට පමණක් කැනේඩියානු සරණාගත භාවය ප්‍රධානය කර ඇති වුවද, කැනඩාවට සේන්දු වී දස වසරක් පසු වී ඇති වුවද ඉන් බහුතරයකට තවමත් “ස්ථිර පදිංචිය” (permanent residency) ලැබී නැත. “ස්ථිර පදිංචිය” යනු කැනේඩියානු පුරවැසිභාවයට අඩිතාලමයි.
කැනඩාව එක්සත් ජාතීන්ගේ සරණාගත සංවිධානයේ සරණාගතයින් ලබාගැනීමට කැමති රටක් ලෙස අත්සන් තබා ඇති බැවින් කැනඩාවට පැමිණෙන සියලු සරණාගතයින් බාර ගැනීමට කැනඩාව බැදී සිටී. මේ අනුව ජාතිය, ආගම, ජාතිකත්වය, විශේෂිත සමාජ කණ්ඩායමක සාමාජිකත්වය හෝ දේශපාලන මතය හේතුවෙන් ජීවිතය හෝ නිදහස අනතුරට පත්විය හැකි රටකට පිටුවහල් කිරීමට හෝ ආපසු යැවීමට කැනඩාවට නොහැකිය. වීසා බලපත්‍රයක් හෝ ප්‍රවේශ බලපත්‍රයක් නොමැතිව රට තුළට ඇතුළු වුවද, සරණාගත අයදුම්පත සලකා බලන තුරු පිටුවහල් කළ නොහැක. එහෙත් මෙවර මේ ආකාරයෙන් කැනේඩියානු සංක්‍රමණ දොරටු වෙනදා මෙන් ඉතා පහසුවෙන් විවුර්ත නොවීමෙන් පෙනීයන්නේ කැනඩාව මිනිස් ජාවාරම් කරුවනට තව දුරටත් සංවේදී නොවන බව පෙන්වීම විය යුතුය.
මෙම තත්වයට තවත් හේතුවක් වුයේ කැනේඩියානු ජනතාවද මෙම නෞකාවේ පැමිණි සරණාගතයින් බාරගැනීමට එතරම් කැමැත්තක් නොදැක්වීමය. ඒ දිනවල සුප්‍රසිද්ධ සංගණන ආයතනයක් මගින් පැවැත්වූ සමීක්ෂනයකට අනුව කනේඩියානුවන් සියයට 48 මෙම සරණාගතයින් පිරිස කැනඩාවට බාර ගැනීම පිළිබදව විරුද්ධව සිය මතය ප්‍රකාශ කර තිබුණි.
මෙවැනි හේතුන් නිසා කැනේඩියානු නිලධාරීන් ඉතා දැඩි ලෙස කටයුතු කල අතර මේ නෞකාව පිළිබද දීර්ග වශයෙන් තොරතරු සෙවූ කැනේඩියානු බලධාරීන් තායිලන්තයේ ලියාපදිංචි සන් ඇන්ඩ් සී නෞකාවේ අයිතිකරුවන් වුයේ තායිලන්තයේම ලියාපදිංචි සමාගමක් වන Sun and Rshiya Company Ltd. නමැති සමාගම බවත්, එහි විධායක අධ්‍යක්ෂකවරයා වන්නේ මෙම නැවේම සරණාගතයකු ලෙස පෙනීසිටි කුනරොබින්සන් ක්‍රිස්තුරාජා බව සොයා ගනු ලැබීය. ඒ අනුව ඔහුට එරෙහිව ආගමන හා සරණාගතයන් ආරක්ෂා කිරීමේ පනතේ 117 වගන්තිය යටතේ මිනිස් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් නඩු පවරනු ලැබිය. (R. v. Christhurajah 2019 BCCA 210).
මිට අමතරව ලෙස්ලි ජනා එමානුවෙල්, තම්පීර්නායගම් රාජරත්නම්, සහ නඩරාජා මහේන්ද්‍රන් නමැති පුද්ගලයිට එරෙහිවද මිනිස් ජාවාරම් කරුවන් ලෙස සලකා නඩු පවරනු ලැබීය (R. v. Rajaratnam,2019 BCCA 209). තවද මෙහිදී ලෙස්ලි ජනා එමානුවෙල් නැමැත්තා සන් ඇන්ඩ් සී නෞකාවේ කපිතාන් වරයා ලෙස කටයුතු කල බවද කැනේඩියානු බලධාරීන් විසින් සොයා ගනු ලැබීය. මීට අමතරව සත්යපවන් අසීර්තම්ට නමත්තෙකුටද චෝදනා එල්ල වූ නමුත් නඩු විභාගයට පෙර ඔහු මිය ගිය අතර ඒ හෙයින් චෝදනා ඉවත් කරගනු ලැබීය.
නැවේ පැමිණි සෑම කෙනෙකුම මුදලින් ඩොලර් දස දහසක් ගෙවා හෝ කැනඩාවේ වෙසෙන ඥාතියෙකුගේ මාර්ගයෙන් නැවේ අයිතිකරුවන්ට මුදල් ගෙවීමට එකඟ වී තිබුණු බව කැනේඩියානු නිලධාරින් විසින් හෙළි කරගෙන තිබුණි.
මෙම සරණාගත ජාවාරමට කැනේඩියානු බලධාරීන් කෙතරම් විරුද්ධත්වයක් දක්වුවේද යන්න මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය 2011 පෙබරවාරි 11 වන දින නිකුත් කළ නිවේදනයක පැහැදිලිව පෙනෙන්නට තිබුණි. “සන් ඇන්ඩ් සී සරණාගත ඉල්ලුම්කරුවන් රදවාතබා ගැනීමට එරෙහිව පෙනී සිටින්නෙමු” යනුවෙන් වූ ඒ නිවේදනයේ මෙලෙස කියා තිබුණි. "බොහෝ සරණාගත ඉල්ලුම්කරුවන් කැනඩාවට පැමිණි පසු රඳවා තබා නොගන්නා අතර රඳවා සිටින අය සාමාන්‍යයෙන් දින හෝ සති කිහිපයක් ඇතුළත නිදහස් කරනු ලැබේ. කෙසේ වෙතත්, එම්වී සන් සී මගීන් සම්බන්ධයෙන් ගත් කල, රජය වෙනදාට වඩා අනන්‍යතාව පිළිබඳ සාක්ෂි ඉල්ලා සිටින අතර, මගීන් පිළිබඳ අහිතකර තොරතුරු සෙවීම සඳහා සැලකිය යුතු ශක්තියක් හා සම්පත් ආයෝජනය කරමින්, නොගැළපෙන බවට දුර්වල තර්ක ඉදිරිපත් කරමින් එල්ටීටීඊ [දෙමළ ඊලාම් විමුක්ති කොටි] සම්බන්ධතාවය පිළිබදව ප්‍රකාශ කරමින් , ආගමන හා සරණාගත මණ්ඩලය විසින් නිදහස් කිරීමට දැඩි ලෙස විරුද්ධ වීම සහ ළමයින් සම්බන්ධ නඩු වලදී පවා ෆෙඩරල් අධිකරණයේ නිදහස් කිරීමේ නියෝගවලට එරෙහිව අභියාචනා කිරීම.” යන කාරණා අනුව සන් ඇන්ඩ් සී සම්බන්ධයෙන් වන කැනේඩියානු විරෝධය පිළිබිඹු වෙයි.
මේ අතර, සන් ඇන්ඩ් සී නෞකාව කැනඩාවට සෙන්දුවී අවුරුදු දහයක් ගෙවුණු මේ වසරේ කැනේඩියානු පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකාවට එරෙහිව දිගින් දිගට ම කටයුතු කරන ශ්‍රී ලංකික ද්‍රවිඩ සම්භවයක් සහිත ගැරී ආනන්ද සංගරී මන්ත්‍රීවරයා මෙසේ කියා තිබුණි.
"කැනඩාවේ අප, බොහෝ අවස්ථාවන්හි දී සරණාගතයන් සාදරයෙන් පිළිගන්නෙමු, ඒ අතර අප එලෙස නොකළ අවස්ථාද තිබේ, මෙය එවැනි එක් අවස්ථාවකි".
ඔබේ අදහස් ලියා එවන්න: