
ඉකුත් දශක පහක් ඇතුළත ජවිපෙ කැරලි දෙකකට නායකත්වය දුන්නේය. ප්‍රථම කැරැල්ල 1971 අප්‍රේල් දියත් වූ අතර එහිදී ඝාතනයට ලක් වූ සංඛ්‍යාව 5,000කට ආසන්නය. ජවිපෙ 2වැනි කැරැල්ල 1986න් ඇරඹී 1990 න් අවසන් වූ අතර එහිදී 60,000කට අධික පිරිසක් ඝාතනයට ලක් විය. සිළුමිණ අදින් අරඹන මේ ලිපි මාලාව එම කැරලි දෙක ඇතුළත ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟ පෙන්වීමකට යටත්ව, එහි ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැඟූ කැරලි නායකයන්ගේ සත්‍ය කතාවයි.
![]() |
ශාන්ත නිදහස් කර ගැනීමට හර්මන්ගේ ඉල්ලීමට මැදිහත් වී වැලිසර නාවික කඳවුරට ගොස් සාකච්ඡා කළ ශාන්තගේ සීයාගේ සොහොයුරියගේ පුත්‍රයා වූ රාගම කල්වාරි දේවස්ථානයේ දේවගැති ලසන්ත ගොඩකුඹුර, ශාන්ත අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් මාලාව සියසින් දුටු රත්නපුර දිස්ත්රිික් ජවිපෙ සන්නද්ධ ලේකම් වශයෙන් වික්ටර්ට පසුව කටයුතු කළ කොළඹගේ ආරච්චිගේ පර්සි වීරසිංහ හෙවත් ඉලුක්කුඹුර, කලවාන නවිතිගල කලාපයේ ජවිපෙ සන්නද්ධ නායක ඩී. එම්. ගුණරත්න හෙවත් සුගත්ද, ඝාතනය වීමට පෙර ශාන්තගේ අවසන් පණිවිඩය ආරක්ෂක නිලධාරියෙක් විසින් දැනුම් දුන් එවකට බලංගොඩ බුලත්ගම හමුදා කඳවුරේ රඳවාගෙන සිටි බලංගොඩ කලාපයේ ජවිපෙ සන්නද්ධ නායක වීරරත්න අලුත්වත්ත හෙවත් සමන්ද, ශාන්ත අත්අඩංගුවට ගත් කණ්ඩායමේ නායකයකු වන කපිතාන් නිහාල් ශ්රීසාන්තද මෙහි වමේ සිටය. |
ශාන්ත බණ්ඩාර යනු වසර 1986 සිට 89 දක්වා පැවැති 60, 000ක් ඝාතනය වූ ජවිපෙ 2වැනි කැරැල්ලට නායකත්වය දුන් නියැමුවෙකි. ඔහු උපන්නේ කෑගල්ලේදීය; ඒ 1954 සැප්තැම්බර් 03 වැනිදාය. උදය ජගත් ශාන්තදේව හෙළකුමාර සෙනෙවිරත්න හෙවත් ශාන්ත බණ්ඩාර ගේ පියා වූයේ වග සෙනරත් ලයනල් බර්නාඩ් සෙනෙවිරත්නය. කලක් විදුහල්පතිවරයකු වශයෙන් සේවය කළ ශාන්ත ගේ පියා නොතාරිස්වරයකු ද විය. මව එස්තර් ගොඩකුඹුර මිශ්‍ර පාසැලකට පත්වූ ප්‍රථම විදුහල්පතිනිය විය. එම දෙපළට දරුවන් 5 දෙනකු වූ අතර ඔවුහු පිළිවලින් ක්‍රිස්ටෝපර්, ශාන්ත, චන්ද්‍රිකා, අනුර සහ ශ්‍රීපාලි වේ. දෙමාපියන් 1988 තෙක් පදිංචිව සිටියේ පිටකෝට්ටේ සීවලී සෙවණ 539/2 (විජේසිංහ උද්‍යානය ලෙස 2020 දී හැඳින්වෙන) ස්ථානයේය. ශාන්ත ගේ සොයුරු සොහොයුරියන් ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ 2020 වනවිට පදිංචි ය. ලියුම්කරු ශාන්ත හඳුනාගත්තේ 1978දීය.
ශාන්ත බණ්ඩාර ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ කෑගල්ලේ අලපලාවල කණිෂ්ඨ විද්‍යාලයෙනි. පසුව මහනුවර ත්‍රිත්ව පාසැලෙන් අධ්‍යාපනය ලබා මාතලේ විද්‍යා විද්‍යාලයට ඇතුළත් වූයේ 1968දීය. ශාන්ත ජවිපෙට එක්වූයේ 1971 අප්‍රේල් කැරැල්ලට මාස කිහිපයකට පෙරය. ඔහුට ජවිපෙ කොක්ක ගැසුවේ විද්‍යා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසු නාගොල්ලේ තිස්ස මානංගොඩය. මාතලේ මුවගල දී ජවිපෙ එම පන්ති පැවැත්වූයේ පසුකාලීනව ආයුර්වේද වෛද්‍යවරයකු වූ කපුකොටුවය.
කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අපොස උසස් පෙළ 1974 දී සමත් වූ ශාන්ත විද්‍යාවේ දී උපාධිය හැදෑරීම සඳහා පේරාදෙණිය සරසවියට 1975 දී ඇතුළත් විය. සමගි පෙරමුණු ආණ්ඩු කාලයේ 1976 නොවැම්බර් මස 12 පේරාදෙණිය සරසවියේ සිදුවූ වීරසූරිය ශිෂ්‍ය ඝාතනයට එරෙහිව රටපුරා ශිෂ්‍ය උද්ඝෝෂණවලට පේරාදෙණියේ සිසු ක්‍රියාකාරින් සමඟ ශාන්ත නායකත්වය දුන්නේය.
ශාන්ත බණ්ඩාර පේරාදෙණිය සරසවියේ සිටි මුල් කාලයේ දී සමාජ අධ්‍යයන කවයේ සාකච්ඡාවලට ද ක්‍රියාකාරීව සහභාගි විය. එම සාකච්ඡාවලට සහභාගි වූ සිසු නායකයන් අතර පසු කලෙක ප්‍රකට චරිත වූ මහාචාර්ය ගාමිණී සමරනායක, වෛද්‍ය රාජා විජේතුංග, ආචාර්ය සුනිල් ජයතිලක හෙවත් කේ. කේ, දෙටු ප්‍රවීණ මාධ්‍යවේ දී සුගත් වටගෙදර, ආචාර්ය දයාන් ජයතිලක, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, විශ්වාලිංගම් විශ්වානන්ද, අමාත්‍යංශ ලේකම්වරයකු වූ අශෝක පීරිස්, ආචාර්ය ජයන්ත සේනාධීර, මහ බැංකුවේ ආචාර්ය ඩබ්ලිව්. එම් කරුණාරත්න ඇතුළු කිහිපදෙනෙක්ම විය.
පසුව විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ලෙස නිලවරණයෙන් ශාන්ත නිතරඟයෙන් පත්විය. ඒ 1977 අප්‍රේල් 06 වැනිදාය. විද්‍යා පීඨ උප ලේකම් ලෙස ජයන්ත පතිරණද නිතරඟයෙන් පත්විය. කලා පීඨයේ නිලවරණයෙන් දෙගුණයටත් වඩා වැඩි ඡන්ද ලබාගනිමින් එහි සභාපති වූයේ විලච්චියේ කේ. එච්. චන්ද්‍රපාලය. සරසවි ශිෂ්‍ය සංගම් ඉතිහාසයේ ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයෙන් ප්‍රථම වරට පත්වූ නිල නියෝජිතයන් තිදෙනා ඔවුහු ය. වසර 1977 මැයි පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් වූයේ ද ශාන්ත බණ්ඩාරය.
එජාප රජයේ 1978 පෙබරවාරි 04 සම්මත කරගත් නව ව්‍යවස්ථාවට එරෙහිව විරෝධය දැක්වූ නව සමසමාජ පක්ෂයේ ශිෂ්‍ය ක්‍රියාකාරි ලලිත් අබේසිංහ ගේ ශිෂ්‍යභාවය අවලංගු කිරීම සහ ඉංජිනේරු පීඨයේ කථිකාචාර්ය ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ගේ වැඩ තහනම වහාම අත්හිටුවන ලෙස ඉල්ලමින්ද සහ තවත් පොදු ඉල්ලීම් 12 මුල් කරගෙන පේරාදෙණිය සරසවියේ සිසුහු එහි මහා ශිෂ්‍ය සංගමයේ නායකත්වයෙන් 1978 මාර්තු 02 සිට 09 දක්වා අඛණ්ඩ පන්ති වර්ජනයක් පවත්වන ලදී. එමෙන්ම 1978 මර්තු 09 සවස 2ට මහා ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීමෙන් බෝගම්බර දී කම්කරු- ශිෂ්‍ය රැලියක්ද පවත්වන ලදී. එම සිසු විරෝධතාවලට නායකත්වය දුන් බව කියමින් සිසුන් 8ක ගේ ශිෂ්‍යභාවය පේරාදෙණිය උප කුලපති බී. එල්. පණ්ඩිතරත්න විසින් අහෝසි කරන ලදී.
![]() |
ජවිපෙ 2වැනි කැරැල්ලේ නියමුවෙකු වූ ශාන්ත බණ්ඩාර ගේ ජීවිතයේ විවිධ අවස්ථාවන් |
එසේ ශිෂ්‍යභාවය අහෝසි වූ 8 දෙනා වූයේ ජවිපෙ සමාජවාදි ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරීන් වූ කේ. එච්. චන්ද්‍රපාල, ශාන්ත බණ්ඩාර, බෝධිදාස සහ රිචඩ් පෙරේරාද කොමියුනිස්ට් පක්ෂයේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ සුනිල් ශාන්ත කෝරලගේ, ප්‍රියංක ධීරසිංහ, නිශ්ශංක කුමාරවංශ සහ සුනිල් රාජකුමාර රත්න සභාපතිය. ජවිපෙ ශිෂ්‍ය ක්‍රියාකාරින් වූ චන්ද්‍රපාල, ශාන්ත සහ බෝධිදාස පූර්ණකාලීන දේශපාලනය සඳහා ජවිපෙට එක්විය. ශිෂ්‍යභාවය අහෝසිවීමෙන් පසු කොමියුනිස්ට් පක්ෂයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් සිව්දෙනා ගෙන් තිදෙනෙක් එම පක්ෂයේ අනුග්‍රහය යටතේ වැඩිදුර අධ්‍යාපනය සඳහා රුසියාවේ සරසවිවලට ශිෂ්‍යත්ව මගින් යොමු කළහ. සුනිල් රාජකුමාර රත්නසභාපති ශිෂ්‍යභාවය අහෝසිවීමෙන් පසු ඇතිවූ මානසික වියවුල් හේතු කොටගෙන පසුව මානසික රෝගියෙක් වී 2014 දී මිය යන තෙක්ම ප්‍රතිකාරවලට ලක්විය.
ජවිපෙ ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයෙක් ලෙස 1980 පත් වූ ශාන්ත බණ්ඩාර සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ප්‍රථම මහා සමුළුව 1981 පෙබරවාරි 25 සහ 26 පැවැත්වීමේ දී එහි ප්‍රධාන ලේකම් විය. එමෙන්ම ජවිපෙ රතු ගැටව් සංවිධානය 1980 දෙසැම්බර් 31 සහ 1981 ජනවාරි 01 පිහිටුවීමේ දී එහි නියෝජ්‍ය ලේකම්වරයා වූයේද ඔහුය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ 1978/79 දක්වා කැඳවුම්කරු ලෙස කටයුතු කළ හෙතෙම කොළඹ දිස්ත්‍රික් සංවර්ධන සභාවට ජවිපෙ වෙනුවෙන් තරඟකර 1981 ජූනි 04 මන්ත්‍රීවරයකු විය. ශාන්ත බණ්ඩාර හැඳින්වූ වෙනත් නම් වූයේ උපාලි, තිස්ස, ඒකනායක මුදියන්සේලාගේ තිලක් ඒකනායක, මහානාම සහ ලලිත් වැලිකලය.
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන පිටකෝට්ටේ පිහිටි සිරිකොත ඉඩමේ එකළ හිමිකරු වූයේ ලියනගේ ය. අක්කර 2ක් පමණ එම ඉඩමේ මුරකරු ජයසේන පෙරේරාය. වසර 1979 දී එම ඉඩම පර්චර්ස් 10 කැබැලිවලට කඩා බොරැල්ලේ සමාගමක් මගින් වෙන්දේසි කරන ලදී. ජවිපෙ මූලස්ථානය එහි ඉදිකිරීමට එම පක්ෂය තීරණය කළ අතර, ඒ සඳහා එම ඉඩමේ එක ළඟ කොටස් 4ක් වෙන්දේසියේ දී ගන්නා ලදී. මින් කොටස් 2ක් ජවිපෙ වෙනුවෙන් මිල දී ගැනීමට මැදිහත් වූයේ ශාන්ත ගේ පියා වන සෙනෙවිරත්නය. අනෙක් කොටස් 2ක මිල දී ගත්තේ ජවිපෙ හිතවතුන් 2කි. සෙසු කොටස් පිටකෝට්ටේ වෙළඳ ව්‍යාපාරික රාණි ඇතුළු පිරිසක් විසින් මිල දී ගත්හ. ජවිපෙ මූලස්ථානය තැනීම සඳහා එම ඉඩමේ කොටස් 4 මිල දී ගැනීම දැනගත් එජාප ආණ්ඩුව සිදු කළේ ඉඩම ගැසට් කර රජයට පවරා ගැනීමය. පසුව ඉඩම් කොටස් මිල දී ගත් අයට 1983 රජයේ තක්සේරු වටිනාකම අනුව වන්දි මුදලක් ලබා දෙන ලදී. අනතුරුව එම මුළු ඉඩමම රජයට පවරා ගෙන එජාප මූලස්ථානය වූ සිරිකොත එහි ඉදිකර 1985 මැයි 29 විවෘත කරන ලදී.
ශාන්තගේ බිරිය වූයේ මීරිගම ඇලපිලියාවේ උපන් අමරනායකගේ ඉන්දුමතී කාන්තිරත්නය. දෙදෙනා ගේ අතිනත ගැනීම වෙනුවෙන් 1982 දෙසැම්බර් 03 සිකුරාදා පෙරවරුවේ දී කොළඹ බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී මංගල උත්සවයක්ද පැවැත්විණි. ලංකා බැංකුවේ ලිපිකාරිනියක් වූ ඉන්දු මොරටුව, බේරුවල සහ නාරාහේන්පිට ශාඛාවන්හි කලක් සේවය කළාය. දුවරුන් 5 යුත් පවුලක වැඩිමලා ඉන්දු වූවාය. පියා අමරනායකගේ මිගෙල්ය.
ජවිපෙ මධ්‍යම කාරක සභාවට 1982 දී ද, පක්ෂ තහනමින් පසු 1984 අග භාගයේ දී දේශපාලන මණ්ඩලයටද පත්වූ ශාන්ත 2වැනි කැරැල්ලේ දී බදුල්ල, මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික්ක ඇතුළත් ඌව නැගෙනහිර කලාපයේ නායකයා විය. පසුව තරුණ අංශයේ සහ ප්රචාරක අංශයේ ද නායකයා විය. ජවිපෙ 2වැනි කැරැල්ලේ දී එනම් 1986 සිට 1990 දක්වා ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්ව දෙවරක් ජීවිතය බේරාගත් ජවිපෙ එකම ඉහළම නායකයාය. ඒ 1987 සැප්තැම්බර් අඟුරුවාතොට දී සහ 1988 මැයි 20 තංගල්ලේදීය. අඟුරුවාතොට දී අත්අඩංගුවට ගත් ශාන්ත හඳුනා ගැනීම සඳහා ටොරින්ටන්හි ජාතික බුද්ධි කාර්යාංශයට ගෙන ආ අතර එහි දී ඔහු හඳුනා ගැනීමට පොලිස් අධිකාරි ලකී ජයවර්ධන සමත් විය. පොලිසියේ රඳවා සිටිය දී තමාගේ දෑතේ තිබුණු මාංචුව අතින් ගලවා ගනිමින් පොලිසියට ආ අමුත්තකු විලසින් පිටව යෑමට ඔහු සමත් විය.
වම් නිකටේ උපන් ලපයක් ඇති ශාන්ත බණ්ඩාර ගේ උස අඩි 5 අගල් 2කි. මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරියකු ලෙස හැඳුනුම්පතකින් පෙනී සිටි ශාන්ත කලක් පරිහරණය කළේ 16 ශ්‍රි 5255 දරන සුදු පැහැති නිසාන් මෝටර් රථයක් සහ දුඹුරු පැහැති 12 ශ්‍රි 7400 ඩැට්සන් සනී මෝටර් රථයන්ය.
ශාන්ත බණ්ඩාර 1987 පෙබරවාරි සිට 1988 මැයි දක්වා දකුණු පළාතේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා නැවතී සිටියේ බෙලිඅත්ත ආසනයේ නාකුළුගම ‘ජිනසිරි’ නිවසේ පදිංචිකරුවෙක් ලෙසය. ශාන්ත ඔහුගේ සමීපතම මිත්රයෙකි. තංගල්ලට යෑම සඳහා 1988 ජූලි 20 පෙරවරු 11.20ට පමණ ජවිපෙ ක්‍රියාකාරිකයකු වූ බෙලිඅත්තේ ගුරුවරයකු වූ සරම්බු හේවාගේ රුවන් හෙවත් රූපරත්න සමඟ පාපැදියකින් කුඩාවැල්ල හන්දියේ බස්නැවතුම්පොළට ගොස් බසයක් එනතුරු කතා කරමින් සිටිය දී රුවන් සමඟින් ශාන්තව තංගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ, ජවිපෙ අරමුදල් තරකිරීම සඳහා වැටුප් මංකොල්ලයකට සැකපිට රුවන් තංගල්ල පොලිසියෙන් සොයමින් සිටි අයකු බැවිනි. රුවන්ව හඳුනාගත් තංගල්ල පොලිසියේ සැරයන් රාජා විසින් පොලිස් වාහනය නවතා රුවන් සහ ශාන්ත තංගල්ල පොලිසියට ගෙන එන ලදී. ජාතික ඔත්තු සේවයේ සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් පසුව ශාන්තව හඳුනාගනු ලැබීය. තංගල්ල පොලිසියෙන් ඔවුන් පසුව මොරයාය විශේෂ කාර්ය බළකා කඳවුරට වැඩිදුර විමර්ශන සඳහා බාරදෙන ලදී. ශාන්ත පසුව වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා තබාගන්නා ලදී. වැලිසර කඳවුරේ අඳුරු කුටි 21ක ජවිපෙ කැරලිකරුවන් සියයකට ආසන්න පිරිසක් රඳවාගෙන සිටි අතර ශාන්ත ඔවුන්ගෙන් වෙන්කර වෙනම කුටියක තබන ලදී.
රුවන් හෙවත් රූපරත්නද වැලිසර කඳවුරට ගෙනවිත් පසුව කළුතර පැලවත්ත රැඳවුම් කඳවුරට යොමු කළ අතර එහි දී 1988 ඔක්තෝබර් 29 කඳවුරින් පළා ගිය ජවිපෙ කැරලිකරුවන් 110 දෙනා අතර ඔහු ද විය. පසු කලෙක රුවන් මාමඩල විදුහලේ විදුහල්පතිවරයකු විය. ශාන්තට නවාතැන් ලබා දුන් තිදරු පියකු වූ ප්‍රේමතිලක කහදාගොඩද ආරක්ෂක අංශ මගින් 1989 නොවැම්බර් 20 නාකුළුගමුවේ දී අත්අඩංගුවට ගත් අතර නිදහස් කරන ලද්දේ 1990 ඔක්තෝබර් 07ය.
අත්අඩංගුවට ගත් ශාන්ත නිදහස් කරගැනීම සඳහා ජවිපෙ ආණ්ඩුවේ සබඳතා උපයෝගි කරගනිමින් ක්ෂණික මෙහෙයුමක් දියත් කළේය. රෝහණ විජේවීරගේ ඉල්ලීමක් මත ශාන්ත නිදහස් කරගැනීම සඳහා තංගල්ලේ බෙනට් සිරිසේනට මැදිහත් වන්නැයි ඉල්ලීමක් කෙරිණි. තංගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන එහි රඳවා සිටි ශාන්ත බණ්ඩාරව නිදහස් කරගැනීම සඳහා මැදිහත්වන ලෙසට රෝහණ විජේවීර ගේ පණිවිඩයක් රැගෙන ආනන්ද විජේවීර තංගල්ලේ බෙනට් සිරිසේන හමුවිය. ඒ අනුව පොලිසියේ ඉහළ නිලධාරියෙක් මගින් ශාන්ත නිදහස් කිරීමට උත්සාහ ගත් අතර, ඒ සඳහා ඔහු රුපියල් 50, 000ක මුදලක් ඉල්ලා සිටි බව කියති. බෙනට් සිරිසේනට අයත් පර්චස් 20 ඉඩම් කැබලි තුනක් තංගල්ල ටවුම සහ කඳුරුපොකුණ අතර ප්‍රදේශයේ තිබුණි. එම කොටස් තුන රුපියල් 90, 000කට ව්‍යාපාරිකයකුට දෙදිනක් ඇතුළත විකුණන ලදී. එම මුදලින් රුපියල් 50, 000ක් ‘අදාළ ලොක්කාට’ ලබා දුණි. ‘ලොක්කා’ විසින් සැලසුම සකස් කර තිබුණේ ශාන්ත බණ්ඩාර අත්අඩංගුවෙන් මි දී හොර රහසේ පලා යෑමක් ලෙසට හැඟවෙන පරිදිය. එහෙත් පසුදින අලුයම අනපේක්ෂිත ලෙස කොළඹින් පැමිණි පොලිස් කණ්ඩායමක් විසින් ශාන්තව මොරයාය එස්. ටී. එෆ් කඳවුරට ගෙන යන ලදී. එම සැලැස්ම අසාර්ථක වූ අතර මුදල්ද ආපසු නොලැබිණි. එවකට තංගල්ල පොලිස් අධිකාරිව සිටියේ කරවිටගේ ධර්මදාසය.
තංගරාජා සමඟින් පැමිණි ගමනායක ලියුම්කරුට කියා සිටියේ ශාන්ත නිදහස් කරගැනීම සඳහා සම්බන්ධීකරණයක් ගොඩනඟා මැදිහත් වන ලෙසටය.
සාකච්ඡා සාර්ථක විය. පසුව ජනාධිපති ජයවර්ධනගේ පුත්‍රයා සමඟ හර්මන් ගුනරත්න ඇතිකරගත් එකඟතාවක් මත 1988 සැප්තැම්බර් 07 ශාන්ත වෝඩ් පෙදෙසේ ජනාධිපති ජයවර්ධන ගේ නිවෙසට රැගෙන විත් තිබිණි. ජවිපෙට සාමකාමීව විසඳුමකට එන ලෙස ජනාධිපතිවරයා ශාන්ත ගෙන් ඉල්ලා සිටියේය. ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දයක් පවත්වන ලෙසට ශාන්ත බණ්ඩාර සිනාමුසුව එයට ප්‍රතිචාර දැක්වීය. පසුව නිදහස් කරන ලද ශාන්ත බණ්ඩාර කෝට්ටේ නිවසට පැමිණි ශාන්ත යළි භූගත දේශපාලනයට යොමු විය.
විජේවීර ඝාතනයෙන් පසු පොලිස් මූලස්ථානය 1989 නොවැම්බර් 28 නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශාන්ත බණ්ඩාර, සමන් පියසිරි, ගාමිණී ගුණසේකර, උපාලි ජයවීර, සෝමවංශ අමරසිංහ යන ජවිපෙ 5 දෙනා අත්අඩංගුවට ගැනීමට අවශ්‍යම පුද්ගලයන් බැවින් ඔවුන් පිළිබඳව තොරතුරු සපයන්නන්ට තෑගි පිරිනමන බවය.
ජවිපෙ යළි ගොඩනැඟීම සඳහා ශාන්ත බණ්ඩාර කැපවීමෙන් කටයුතු කළේය. නායකත්වය සඳහා දේශපාලන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයා තමා වුවද සමන් පියසිරි ගේ නායකත්වය පිළිගනිමින් අනුමැතිය පළ කළේය. රත්නපුර හිදැල්ලන දී 1989 නොවැම්බර් 28 පැවැති ජවිපෙ දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගිවීමට ශාන්තට නොහැකි වූවද 1989 දෙසැම්බර් 07 එම ස්ථානයේදීම පැවැති දේශපාලන මණ්ඩල රැස්වීමට ඔහු සහභාගී විය. නව නායක සමන් පියසිරි 1989 දෙසැම්බර් 27 අත්අඩංගුවට ගැනීමෙන් පසු ජවිපෙ ඊළඟ නායකයා ලෙස ලලිත් විජේරත්න නම් කිරීමට තීරණය කළේ 1989 දෙසැම්බර් 29 නුවරඑළියේ නානුඔය දී පැවැති රැස්වීමේදීය. එයටද ශාන්ත බණ්ඩාර සහභාගි විය.
මත්තේගොඩ කඳවුරේ රඳවාගෙන සිටි බද්දේගම තෙලිකඩ උපන් පල්ලියගුරුගේ සුමිත් හෙවත් වික්ටර් රත්නපුරේ දිස්ත්‍රික් සන්නද්ධ නායකයකු ලෙස නියමාකාරයෙන් හඳුනා ගැනීමට ක්ෂණික විහිදුම් බලකාය 1989 ජනවාරි 01 දහවල් සමත් විය. එයට දිනකට පෙර රත්නපුරේ දී අත්අඩංගුවට ගත් ලලිත් විජේරත්නද මත්තේගොඩට ගෙනවිත් තිබිණි. ශාන්ත බණ්ඩාර සිටින රත්නපුර ස්ථානයන් නිශ්චිතව දන්නා පුද්ගලයා වික්ටර් බව ආරක්ෂක අංශ තහවුරු කරගෙන තිබිණි. දිවා ආහාරයෙන් පසු වික්ටර් සහ රත්නපුරේ තවත් කැරලිකරුවන් දෙදෙනකු සමඟ රත්නපුරයට යෑමට කටයුතු කරන ලෙස අණ දෙන නිලධාරි කර්නල් ජානක පෙරේරා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
ඒ අනුව 1989 ජනවාරි 01 පස්වරු 3ට කපිතාන් නිහාල් සිරිශාන්ත ගේ නායකත්වයෙන් හමුදා භට කණ්ඩායමක් වාහන 2කින් මත්තේගොඩ සිට රත්නපුරය බලා පිටත් විය. එක් රථයක් වූයේ රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීමෙන් පසු අත්පත් කරගත් චිත්‍රාංගනී විජේවීර ගේ ව්‍යාජ නම වූ ප්‍රියන්ති සමරකෝන් නමට ලියාපදිංචි කරන ලද 15 ශ්‍රී 7920 මිට්ෂුබිෂි ලාන්සර් මෝටර් රථය වේ.
ශාන්ත අවසාන කාලයේ රත්නපුර දිස්ත්‍රික්කයේ සැඟවී සිටියේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කළ රත්නපුර රෝහල අසල පදිංචි ගාමිණී ගේ නිවසේ, දොඩම්පහලවත්තේ විජේවර්ධන ගේ නිවසේ සහ ඇහැලියගොඩ පනාවල ජිනදාස ගේ නිවසේය. අත්අඩංගුවට ගන්නා විට ශාන්ත සිටියේ වික්ටර් විසින් සොයා දුන් නිවිතිගල උඩකරවිට පදිංචි හදිසි මරණ පරික්ෂක නිමල් පද්මසිරි ගේ නිවසකය. එය පිහිටා තිබුණේ කරවිට පඤ්ඤානන්ද මධ්‍ය මහා විද්‍යාලයේ සිට කිලෝමීටරයක් ආසන්නවය. එම නිවස රත්නපුර ලංගම ඩිපෝවේ සේවය කළ ජස්ටින් හරහා ශාන්ත විසින් සොයා ගත්තකි.
ශාන්ත අත්අඩංගුවට ගැනීම සඳහා උඩකරවිට එම නිවසට හමුදා භටයන් පැමිණියේ 1990 ජනවාරි 01 රාත්‍රී 7ට පමණය. නිවසේ පසුපසින්ද පැන යෑමට හැකි හෙයින් එයද හමුදා භටයන් විසින් ආවරණය කරන ලදී. අනතුර දුටු වහාම උඩුකය නිරුවත්ව සරමක් පමණක් හැඳ සිටි ශාන්ත පිටුපසින් පළා යෑමට තැත් කළද එය නොහැකි වීම නිසා වත්තේ තිබූ කෙසෙල් ගාලක සැඟවිණි. නිවස වටලා විනාඩි 20ක මෙහෙයුමකින් පසු ශාන්ත හමුදා අත්අඩංගුවට පත්විය. පසුව වික්ටර් දුටු විගස ශාන්ත ඇසුවේ ‘ඇයි මල්ලී, මෙහෙම කළේ?’ කියාය.
උඩකරවිට සිට කොළඹ බලා ශාන්ත රැගෙන ඒමේ දී රත්නපුර තිරිවානකැටිය කන්ද උඩ පිහිටි හමුදා කඳවුරේ දී හමුදා පිරිස තේ පානය කළ අතර ශාන්ත ඇතුළු කැරලිකරුවන්ටද තේ ලබා දී තිබිණි. මත්තේගොඩ කඳවුරට 1990 ජනවාරි පළවෙනිදා රාත්‍රී 11ට පමණ ගෙන ආ ශාන්ත බණ්ඩාර ඇතුළු පිරිසට රාත්‍රී ආහාර ලබා දෙන ලදී. ජනවාරි 02 සවස නව දේශපාලන මණ්ඩල සභිකයකු වූ උපාලි ජයවීරද ශාන්තට දැක ගන්නට ලැබිණි. නුවරඑළිය හාවාඑළිය නිවාස සංකීර්ණයේ දී 1990 ජනවාරි 02 අලුයම 1.45ට අත්අඩංගුවට ගත් උපාලි ජයවීරද මත්තේගොඩ කඳවුරට ඒ වනවිට ගෙනවිත් තිබිණි.
මත්තේගොඩට ශාන්ත සමඟ ගෙන ආ වික්ටර්, ඉළුක්කුඹුර සහ ගුණරත්න 1990 ජනවාරි 04 උදෑසන යළි කුරුවිට බුලත්ගම හමුදා කඳවුරට ගෙනවිත් රඳවා තැබීය. මත්තේගොඩ හමුදා කඳවුරේ රඳවාගත් ශාන්ත ගෙන් යුද හමුදා බුද්ධි අංශයේ විශේෂ බුද්ධි නිලධාරි ජනරාල් දයා රත්නායක විසින් ප්‍රශ්න කරන ලදී. උපාලි ජයවීර 1990 ජනවාරි 06 උදෑසන යළි නුවරට රැගෙන යන විටද ශාන්ත මත්තේගොඩ දී දැකගන්නට ලැබිණි.
පසුව ශාන්ත බණ්ඩාර 1990 ජනවාරි 06 රාත්‍රී ඝාතනයට ලක්විය. ඔහුගේ සිරුර බොරලැස්ගමුව සුසාන භූමියේ ආදාහනාගාරයේ දී තවත් කැරලිකරුවන් කිහිපදෙනකු සමඟ දැවී ගියහ. අවසාන මොහොතේදි ශාන්ත ගේ ඉල්ලීම වූයේ තමා කිසිවකු පාවා නො දී ජවිපෙ ස්ථාවරය රැකගත් බව පක්ෂයට දැනුම් දෙන ලෙස පමණකි.
ශාන්ත මියයන විට බිරිය ඉන්දුමතී පස්මස් ගැබිණි මවකි. ඒ වන විට බැංකු සේවයෙන් තාවකාලිකව සමුගෙන සිටි ඇය 1989 නොවැම්බර් වනවිට පදිංචිව සිටියේ ගම්පොල නිවසකය. වසර 1990 අප්‍රේල් මස උපන් ශාන්ත ගේ දියණිය අධ්‍යාපනය ලැබුවේ නුගේගොඩ පෞද්ගලික පාසැලකය. ශාන්තගේ වැන්දඹු බිරිය බැංකු සේවයට නැවතත් එක්වූ අතර පසුව යළි නව දිවියක් ඇරඹීය. ඇය විශ්‍රාම ගියේ බැංකු නිලධාරිනියක් ලෙසිනි. ශාන්ත බණ්ඩාර කිසිදා නුදුටු දියණිය 2020 වන විට සේවය කළේ පෞද්ගලික රූපවාහිනී ආයතනයක නිලධාරිනියක් ලෙසිනි.
ශාන්ත බණ්ඩාර යනු පුද්ගල ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කළ, සතුරාට එරෙහිව සටන පමණක් කළ යුතු බව ඇදහූ ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සුළුතරය අතරින් ප්රමුඛයෙකි.