අයිතිය ඉල්ලා හඬා වැටෙන එරාවුර් වෙළෙන්දෝ | සිළුමිණ

අයිතිය ඉල්ලා හඬා වැටෙන එරාවුර් වෙළෙන්දෝ

කඩයට පැමිණි මුස්ලිම් ජාතිකයකු සමඟ අනෝමා හා මැගිලින්

- වෙනත් වෙළෙඳපොළක් රුපියල් මිලියන 193කින් ගොඩ නංවන්නට පියවර අරන්
- අයිතිය වෙනුවෙන් අවුරුදු 88දිත් සටන් කරයි

‘පළවා හැරිය සිහලු මඩකලපුවේ සි ට 
බොනවා කදුළු දැන් පත් වී අනාතෙ ට 
ඇරවා ඇස් රජය ඒ ගැන බැලීම ට 
යනවා දඹුල්ලේ වැඩිහිටි නිවාසෙ ට’

යස අවුරුදු 88ක් වන ඇල්ම්ස් වල්ගම තමාට අයත් එරාවුර්හි වෙළෙඳසල ලබා ගැනීමට වසර 11ක සිට දිවා රෑ නොමැතිව දරන්නා වූ අපමණ වෙහෙස ගැන කවියකින් පෙන්වා දුන්නේ එසේය. තමා විඳින දුක පසුගිය ‘යහපාලන‘ රජයට කෙතරම් පෙන්වා දුන්නද පලක් නොවූ බව ඔහු පෙන්වා දෙයි. ඉහත කවියෙන් ඔහු පවසන්නේද තමන් පත්ව සිටිනා වත්මන් තත්ත්වයයි. ඔහුට කියන්නට දීර්ඝ කතාවක් ඇත. එහෙත් ඔහු පවසන්නේ කෙටි වදන් පෙළකි.

‘‘කොයිවෙලාවෙ මගේ ඇහැ පියවෙයිද දන්නේ නෑ, ඊට කලින් මගේ අයිතිය ලැබුණෙ නැත්නම් ඒ ගැන කාට කියන්නද මහත්තයො‘‘

කුඩා කල සිටම කවියෙන් දස්කම් දැක්වූ ඇල්ම්ස් පසුගිය වසරේ ‘මට මතකයි‘ යනුවෙන් කාව්‍ය සංග්‍රහයක්ද එළි දැක්වූයේය. ඒ කාව්‍ය සංග්‍රහයෙන් කියැවෙන්නේ තමා මේ දක්වා ආ ගමන් මාර්ගය මෙන්ම ත්‍රස්තවාදීන් නිසා මඩකලපුවේ සිංහලයන් විඳි දුක් කන්දරාවයි.

ඒ වේදනාව අද දක්වා විඳිනා හැටිද ඔහු පෙන්වා දෙයි. 

ත්‍රස්තවාදීන්ගේ බෙදුම්වාදී යුද්ධය අවසන්ව මේ වන විට වසර 11ක් ගත වී ඇතත් නැඟෙනහිර අන්තවාදී බලවේග හමුවේ සිංහල ජනතාවට තමන්ගේ අයිතිය හිමිකාරීත්වය ලබා ගැන්මට බාධා එල්ල විය. 2009 වසරේ යුද්ධය අවසන්ව ක්‍රමයෙන් අවතැන්වූවන් පදිංචි කරවීම ආරම්භ කළ අතර පසුගිය රජය සමයේ මඩකලපුවේ ඉඩම් හිමි සිංහල ජනතාවට ඒවා ලබා දුන්නේ නැත. අන්තවාදී අදහස් ඇති අයට අවශ්‍ය ලෙසින් නැඟෙනහිර පළාතේ පාලන කටයුතු සිදුවීම ඊට හේතුවයි.

මේ කතාවද ඒ සිද්ධීන් මාලාවේම එකක් පමණි. ඇල්ම්ස් ඇතුළු සිංහල පවුල් 52කට අයත් එරාවුර් පොදු වෙළෙඳපොළේ කඩකාමර ලබා ගැන්ටම අද නඩු මඟට යන්නට ඔවුන්ට සිදුව ඇත. මේ සම්බන්ධයෙන් දකුණේ ඇතැම් සංවිධානද ඒ ගැන දැන් අවධානය යොමු කර ඇත. ඒ අතර ජාතිවාදය පතුරුවන සංවිධානද සිටින හෙයින් රජයේ අවධානය වහාම යොමුවී ඔවුන්ට සාධාරණයක් ඉටු කර දිය යුතුය.

ඇල්ම්ස්ගේ කතාව අපි ඔහුගේ හඬින්ම අසන්නේ නම් එය වඩාත් අගේ වන්නේය.

‘‘1915 සිංහල මරක්කල කෝලාහලයෙන් පස්සෙ ජාතීන් අතර සමඟිය ඇති කරන නගරයක් විදිහට තමයි එරාවුර් බිහිවෙලා තියෙන්නෙ. ඒ 1920 අවුරුද්දෙ. මට මතකයි 1948 අවුරුද්දෙ තාත්ත මාත් එක්ක ඇවිත් එරාවුර් පදිංචි වුණා. එරාවුර් චෙංකලාඩි වගේ නගරවල සිංහල වෙළෙන්දො පිරිලා හිටියා. කිසිම විදිහෙ අසමඟියක් තිබුණෙ නෑ. වෙළෙන්දො තමන්ගෙ දරු පවුල් එක්ක සාමයෙන් සමඟියෙන් හිටියා. අපේ තාත්තත් මාව ඒ කාලෙ වට්ටාරමුල්ල කියල හඳුන්වපු සිංහල ඉස්කෝලෙකට යැව්වා. අද වන්දාරමුල්ල කියන නම හදාගෙන තියෙන්නෙ ඒ වට්ටාරමුල්ලට තමයි. එරාවුර් නගරයේ පොදු වෙළෙඳපොළ නැඟෙනහිර පළාතේම ප්‍රධාන වෙළෙඳපොළ බවට පත් වුණා. ඒ වෙළෙඳ පොළේ කඩ කාමර 72 ක්‌ තිබුණා. එයින් කඩකාමර 52ක් සිංහල ජාතික ව්‍යාපාරිකයන්ටත් 19 ක්‌ මුස්‌ලිම් ජාතිකයන්ටත් එකක් දෙමළ අයෙකුටත් අයත් වුණා. ඒ කඩකාමර සින්නක්කර ලෙසින් ලබා දුන්නේ කට වචනෙන් එහෙමත් නැත්නම් ග්‍රාම සේවක නැත්නම් ප්‍රාදේශීය ලේකම්ගේ ලියවිලිවලින් නෙමෙයි.

පාර්ලිමේන්තුවේ ඒ ගැන විශේෂ කමිටුවක් පත් කළා, පාර්ලිමේන්තු විශේෂ පනතකින් තමයි අපිට ඒ වෙළෙඳසල් ලබා දුන්නේ. පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ පවා ඒ සින්නක්කර අයිතිය සඳහන් කරලා තියෙනවා. අයිතිකරුවන්ගේ නම්, ලිපින පවා එහි සඳහන් කර තියෙනවා.

අපි කොයිතරම් සතුටින් සමඟියෙන් දිවි ගෙව්වාද කියනව නම් වෙසක්, පොසොන් උත්සවවලට හැමෝම එකතුවෙලා තොරණ ගැහුවා, ඒ වගේම රාමසාන් උත්සවයත්, තෛපොන්ගල්, මහ ශිව රාත්‍රී වගේ හින්දු ආගමික උත්සවත් අපි හැමෝගෙම උත්සව වුණා. ඒ විදිහට තමයි 1960 අවුරුද්දේ එරාවුර් තරුණ බෞද්ධ සංගමය ආරම්භ වුණේ. ඒ තරුණ බෞද්ධ සංගමය සියලු ජනතාවගේ සහායෙන් 1963 අවුරුද්දේ ‘බුදුරැස්‘ කියල නැඟෙනහිර විශේෂ වෙසක් උත්සවයක් පැවැත්වුවා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා එකතු වෙලා දවස් ගණනක් මහා බත් දන්සලක් පැවැත්වූවා. මං හිතන්නේ ලංකාවෙ දවස් ගණනක් එක දිගටම දීපු බත් දන්සල ඒක වෙන්න ඇති.‘‘

ඒ ලෙසින් සාමයෙන් දිවි ගෙවූ මේ පිරිසට කණකොකා හඬන්නට වූයේ 1983 අවුරුද්දෙන් පසුවය. ඒ යුද්ධයේ අඳුරු සෙවණැලි නැඟෙනහිරටත් ක්‍රමයෙන් වැටීමෙන් පසුවය. එහි මූලාරම්භය සිදුවූයේ 1986 වසරේදීය. එරාවුර් පුළිමතලා විහාරස්ථානයේ වැඩ සිටි හික්කඩුවේ සුමනසිරි හිමියන් ඝාතනයත් සමඟ එරාවුර් නගරයේ තිබූ සමඟිය බිඳී යන්නට විය. එම වසරේදීම මහබාගේ සුමනසිරි හිමි වැඩ සිටි සිප්පිමඩුව විහාරස්ථානයද ත්‍රස්තවාදීන් විසින් ගිනි තබා බෝධීන් වහන්සේද කපා දමන ලදී.

මෙලෙසින් ඇවිළුණු නැඟෙනහිර ගින්නේ උග්‍රතම අවස්ථාව උදා වූයේ 1987 වසරේ ඔක්තෝබර් මාසයේදීය. ඔක්තෝබර් මස 05 වැනිදා පුණ්ණකුඩා ධීවර ගම්මානයත් ධීවර අධිෂ්ඨානපුර සිංහල ගම්මානයත් ගිනි තබා විනාශ කළ කොටි ත්‍රස්තවාදීහු ධීවර ජනතාව සතුව තිබූ ධීවර බෝට්ටු ඇතුළු සියලු ආම්පන්න විනාශ කළහ. පසු දින එනම් ඔක්තෝබර් 06 වැනිදා එරාවුර් නගරයේ සිංහල ජනතාව සතු සියල්ල විනාශ කර දැමූ ත්‍රස්තවාදීහු එරාවුර් පොදු වෙළෙඳ පොළ ආක්‍රමණය කර එහි දේපළ කොල්ල කෑහ.

එතැනින් පසුව සිදු වුණු දේ ගැන ඇල්ම්ස් කිව්වේ මෙසේය.

'එදා ඉඳල අපට යන්න එන්න තැනක් තිබුණෙ නැහැ. සමඟිය බිඳිල තිබුණටත් වඩා ත්‍රස්තවාදීන්ට ඇති බය නිසා අපට උදවු වෙන්න දෙමළ මුස්ලිම් කිසි කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. එහෙම නැතිව ඒ කිසි කෙනෙක් අපට කරපු දේ අනුමත කෙළේ නැහැ. අපි එරාවුර් පොලිසියට ගියා. එතැන සිංහල අය 1200ක් විතර හිටියා. ඒ බොහෝ දෙනෙක් ඇඳිවත පිටින් ඇවිත් හිටියේ. අපි පාසලක සරණාගත කඳවුරක හිටියා. එතැන කිසිම පහසුකමක් තිබුණෙ නැහැ. මේ නිසා බොහොමයක් දෙනා දකුණේ ඥාතීන්ගේ ගෙවල්වලට ගියා. ඉතිරි වුණේ 50ක් 60ක් වගේ පිරිසක්. 1989 අවුරුද්ද වෙනකොට අපිටත් යන්න සිද්ධ වුණා. මම හබරණට ඇවිත් පදිංචි වුණා. එදා ඉඳල අද වෙනකම් අවුරුදු 31ක් හබරණ පදිංචි වෙලා ඉන්නෙ.

2009 අවුරුද්දෙ යුද්දෙ ඉවර වුණා. අපි බොහොම සන්තෝසෙන් අපේ කඩකාමර ‍වලට ගියා. ඒවයෙ ඉබි යතුරු සොයා ගන්නත් නෑ. තිබුණු ඒවත් ඇර ගන්න බෑ. මලකඩ කාලා අපි ඉබ්බන් කඩල අපේ කඩකාමරවලට ගියා.

අපිට වුණේ කබළෙන් ළිපට වැටුණ වගේ වැඩක්. එරාවුර් නගර සභාව අපිට ඇවිත් කිව්වා, අනවසරයෙන් කඩකාමර වලට ඇතුළු වීමේ වරදකට අපිට විරුද්ධව නීති මඟින් කටයුතු කරනවා කියලා. ‘දෙයියනේ අපේ කඩකාමරවලටයි අපි ගියේ. අපේ දේ කඩල හරි බිඳල හරි ගියහම එයාලට මොකක්ද තියෙන අමාරුව. නිකම් නෙමෙයි අපිට ගැසට් කරල, හැන්සාඩ් වාර්තාවෙත් අඩංගු කරල තමයි මේ කඩකාමර දීල තියෙන්නෙ.‘ ඔහු හිසේ අත ගසා ගත්තේය.

මම ආපහු හබරණට ආවා. ඒ වුණත් මගෙ ලොකු ‍දුව, එයාගෙ දුවෙකුත් එක්ක එහේ කඩ කාමරයක ඉන්නවා.' 

ඔහුගේ වැඩිමහල් දියණිය වන මැගිලින් වල්ගම සහ ඇයගේ දියණිය වන අනෝමා වල්ගම මේ කඩකාමරවල පදිංචිව සිටින්නේ සිංහලයන්ගේ අයිතිය, උරුමය හා හිමිකාරීත්වය වෙනුවෙනි. ඔවුන් මේ කඩකාමරවලින් ඉවත් වුවහොත් ඒ සියල්ල විනාශ කර දැමීමට එරාවුර් නගර සභාව බලා සිටී.

අනෝමාද අපට කතා කළාය.

' මම ඉපදිලා තියෙන්නෙත් එරාවුර්වල. අපේ ලොකු තාත්තගෙ තාත්තල මෙහේ පදිංචි වෙලා තියෙන්නෙ කොළඹ - මඩකලපුව රේල් පාර හදන්නත් කලින්. කඩකාමර 72කින් 52ක් සිංහල අයට තිබුණු එකෙන්ම පේනවා අපේ උරුමය ගැන. අපි මේ ඉන්න කඩේ විදුලි බලයත් කපා දැම්ම. පස්සෙ ජනාධිපතිතුමාට මේ ගැන විස්තර දැන්වුවාට පස්සෙ තමයි ආයෙත් ලයිට් දුන්නෙ. මගේ මල්ලි කෙනෙක් ත්‍රස්තවාදීන් ඝාතනය කළා. මමයි අම්මයි තමයි මේ උරුමය රැක ගන්න ඉන්නෙ.‘

ලොකු තාත්තට දැන් යන්න එන්නත් අමාරුයි. ඒත් එයා තාමත් අපේ මේ උරුමය රැක ගන්න දුව පැන ඇවිදිනවා. කඩකාමර වල අයිතිය තියෙන අනිත් අයත් සැරින් සැරේ ඇවිත් යනවා. අපි කඩකාමරයක් කරගෙන ඉන්නවා. වෙළෙඳාමත් තියෙනවා. ඒත් අපේ මේ උරුමයට හරස් කපන නිලධාරීන් ඉන්න එක ලොකුම කරුමයක්. ඒක නිසා තමයි අපිට මේ කිසි දෙයක් කර ගන්න හැකියාවක් නැත්තෙ. අවුරුදු 88ක් වෙන ලොකු තාත්ත විඳින දුක දැකල හරි ජනාධිපතිතුමා, අගමැතිතුමා මැදිහත්වෙලා අපට සාධාරණයක් කරල දෙන්න කියල අපි ඉල්ලා හිටිනවා. හැමෝටම වන්දි ගෙව්වා. ඒත් අපිට වන්දි තියා තවම ඉන්න හිටින තැන්වත් හදා ගන්න දෙන්නෙ නැහැ. මේ නිලධාරීන් කිසිම වගකීමකින් නෙමෙයි වැඩ කරන්නෙ'

රජයේ නිලධාරීන් මෙන්ම නගර සභාවට සම්බන්ධ නිලධාරීන් මේ සිදු කරන්නට යන්නේ එහි ජනතාව සතු කඩකාමර සියල්ල තමන් සතු කරගෙන ඥාති සංග්‍රහ පැවැත්වීමටය.

පාර්ලිමේන්තුවේ විශේෂ පනතක් ඔස්සේ ලබා දුන් හැන්සාඩ් වාර්තාවේ පවා පැහැදිලිව සඳහන්ව ඇති එරාවුර් වෙළෙඳපොළ අයිතිකරුවන්ගෙන් පැහැර ගෙන සිදු කරන්නට යන මේ ක්‍රියාව නිසා සිංහල, දෙමළ, මුස්ලිම් සමඟිය නැති වීමටද බොහෝ ඉඩ කඩ ඇත.

එපමණක්ද නොවේ. මේ වන විට එම වෙළෙඳපොළ වෙනුවට වෙනත් වෙළෙඳපොළක් රුපියල් මිලියන 193කින් ගොඩ නංවන්නට පියවර ගෙන තිබීමද ගැටලු සහගතය. එක නගර සභාවක් තුළ එසේ වෙළෙඳපොළ දෙකක් ක්‍රියා කිරීම ගැටලු මතු කරවන්නකි.මේ ක්‍රියාදාමට මුල පුරන නිලධාරින් මෙන්ම දේශපාලඥයන් හෝ වෙත්නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය.

ඡන්ද අයිතිය පවා අහිමි කළ කෙවිලියාමඩුව ජනතාවද පදිංචිව සිටින්නේ මීට මඳක් දුරිනි. වසර 40කට ආසන්න කාලයක් භුක්ති විඳි තම අයිතිය ලබා ගන්නට වෙර දරන්නේ ඇල්ම්ස් පමණක් නොවේ. සෙසු අයද වරින් වර පැමිණ මේ පිළිබඳව කරුණු කාරණා සොයා බලා යති. අයිතිය ලබා ගැන්මට තවමත් වෙහෙසෙති.

ඇල්ම්ස්ගේ වේදනාව මේ කවියේ මනාව සටහන් වී තිබේ. ඔහුගේ ප්‍රාර්ථනාව ඉටු වනු දැකීම අපේ ප්‍රාර්ථනය වන්නේ ඒ නිසාය.

දරුවන් හය දෙනෙක්‌ ඇති දැඩි කළ තරු ණ 
මම දැන් නාකියෙකි ලෙඩ ගාණක්‌ තිබෙ න 
රජයෙන් ලැබෙන විට දේපොළ වල සහ න 
මිහිදන් කරපු තැන බඳිනට හැක සොහො න

Comments