කොරෝනා රෝගී මව රෝහලට ගෙන ගියැයි සියදිවි නසාගත් පුතාගේ කතාව | සිළුමිණ

කොරෝනා රෝගී මව රෝහලට ගෙන ගියැයි සියදිවි නසාගත් පුතාගේ කතාව

සියදිවි හානි කරගත් තරුණයා ජීවත් වූ නිවෙස

කොවිඩ් ගැන බියක් සැකක් දැනෙනවා නම් 1926 අමතන්න

ලොවම භීතියට පත් කරමින් පැතිරී යන කොවිඩ් 19 වසංගතයේ දෙවැනි රැල්ල මෙරට ව්‍යාප්ත වී මසක් සපිරුණු පසුගිය 4 වැනිදා වන විට මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 12,000 දහස ඉක්මවූ අතර 24 වැනි කොවිඩ් මරණයද වාර්තා විය. ගතවූ මාස 8 තුළ කොවිඩ් 19 වයිසරය වැළඳීමේ අවදානම නිසා නිරෝධායනයට ලක්වූ සංඛ්‍යාව හැට හත් දහසකට අධිකය. කොවිඩ් 19 වයිසරය රටම සිය අණසකට නතු කරමින් සිටින මේ මොහොතේදී "මම හෝ මගේ පවුලේ අයකු, සමීපතමයකු වයිසරයේ ඊළඟ ගොදුර වේද? "යන බිය, සැක එක මොහොතකට හෝ නොදැනුණු අයකු සිටී නම් ඒ කලාතුරකිනි. වසංගතයේ බියකරු බව අසමින් දකිමින් ගතකරන මේ කාලය තුළ වරින් වර අනුවේදනීය සිදුවීම්ද වාර්තා වේ. පසුගිය 31 වැනිදා හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයෙන් වාර්තා වූයේද එවැනි ශෝචනීය සිදුවීමකි.

හෝමාගම කිරිවත්තුඩුව කොස්වත්ත හරිත උයන ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි යන සැකය මත ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පසුගිය 30 වැනිදා ඇය දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්හ. ඇයට වයිරසය ආසාදනය වී ඇතැයි යන සැකය ඇතිවන්නේ මහරගම පිහිටි මාළු වෙළෙඳ සැලක සේවය කරන සේවකයන් කිහිප දෙනකුටම කොවිඩ් 19 වයිසරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟය. අවාසනාවකට මෙන් පසුගිය 15 වැනිදා එම කාන්තාවද එකී මාළු වෙළෙඳ සැලට ගොස් මාළු මිලදී ගෙන තිබුණාය. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් ඇරඹි කොවිඩ් පොකුර රට පුරා ව්‍යාප්ත වන්නට පටන් ගැනීමත් සමඟ දින කිහිපයකට පසු ඇයටද කොවිඩ් 19 රෝග ලක්ෂණ මතුවන්නට විය. ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇයගේ නිවෙසට පැමිණෙන්නේ එම රෝග ලක්ෂණ ද සමඟ ඇය බාහිර සමාජයේ සැරිසරන බවට ප්‍රදේශවාසින් විසින් කරන ලද දැනුම් දීමකට අනුවය. ඒ අනුව කොවිඩ් ආසාදිත යැයි සැක කරන රෝග ලක්ෂණ ඇය වෙතින් දුටු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ගත යුතු අවස්ථානුකූල පියවර වූයේ වහාම සුවසැරිය ගිලන් රියක් ගෙන්වා ඇය රෝහල්ගත කරවීමයි.

එහෙත් ප්‍රශ්නයක් තිබිණ. ඒ අදාළ කාන්තාව සමඟ එම නිවෙසේ වාසය කරන ඇයගේ 27 හැවිරිදි පුතු ය. විශේෂ අවශ්‍යතා සහිත තත්ත්වයේ පසුවන ඔහු තනිව නිවසේ දමා යෑම ඒ මවට වේදනාකාරී අත්දැකීමක් වන්නට ඇත. ඇය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවසා ඇත්තේ ගාල්ලේ සිටින ඇයගේ බාල පුතුට මේ පිළිබඳ දැනුම් දී නිවෙසේ තනිවන සහෝදරයාට රැකවරණය ලබා දෙන ලෙසටයි. සොහොයුරා ගණකාධිකාරවරයකු බවත් ඔහුගේ බිරිය වෛද්‍යවරියක් බවත් පැවසේ. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා විසින් එකී පුද්ගලයා අමතා උද්ගතව ඇති තත්ත්වය දැනුම් දුන්නද ඔහු පවසා ඇත්තේ නිරෝධායන ඇඳිරි නීතිය තුළ පළාත් අතර ගමනාගමනය තහනම් කර තිබෙන බැවින් ගාල්ලේ සිට හෝමාගම නිවෙසට පැමිණීමේ බාධාවක් තිබෙන බවයි. නමුත් අදාළ තත්ත්වය පිළිබඳ ගාල්ල අදාළ පොලිස් ස්ථාන දෙක දැනුම්වත් කර අවශ්‍ය කටයුතු සලසා දීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරවා විසින් කටයුතු කරමින් සිටින අතර නැවත ඔහුට දුරකථන ඇමතුමක් දෙමින් එම පුද්ගලයා පවසා ඇත්තේ මවටද කොවිඩ් ආසාදිත යැයි සැක කරන බැවින් නිවෙසට පැමිණිය නොහැකි බවයි. නමුත් සොහොයුරා රැක බලා ගැනීම අසල්වැසියකු වෙත පවරන බවත් ඒ සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නොවන බවත් ඔහු වැඩිදුරටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත දන්වා තිබේ. එසේ ගාල්ලේ සිටි පුතු නිවෙසේ සිටින තම සහෝදරයා ගැන සොයාබැලීමට අසල්වැසියකු නම් කළ අතර මවද තවත් අසල්වැසි කාන්තාවකට පුතු ගැන සොයා බලන ලෙස ඉල්ලා සිටියේ පුතු ගැන තිබෙන සෙනෙහස නිසාම වන්නට ඇත.

ඒ අනුව පසුවදා අසල්වැසි කාන්තාව තවත් කිහිප දෙනකු එම නිවෙසට ගියද අදාළ තරුණයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවූ තැන නිවෙසට ඇතුළු වී ඇත. එහිදී ඔවුන්ට දක්නට ලැබී ඇත්තේ ගෙන වැළලාගෙන සිටි තරුණයාය. කොඩිඩ් වයිරසේ වක්‍ර බිල්ලක් ලෙස තරින්ද අමිල විතාරණ නැමති එම තරුණයා අවාසනාවන්ත ලෙස මරුවාට බිලි වූයේ එලෙසිනි. ඔහුගේ මෘත දේහය මරණ පරීක්ෂණය සඳහා කොළඹ අයි. ඩී. එච් රෝහලට ‍ගෙන ගිය අතර කොවිඩ් ආසාදිතයකු දැයි සොයා බැලීම සඳහා මළ සිරුරේ ජෛව සාම්පලද පී. සී. ආර්. පරීක්ෂණ සඳහා යොමුකර ඇත. කොවිඩ් ආසාදිත යැයි සැක පිට රෝහල්ගත කළ ඔහුගේ මව තවමත් රෝහල්ගතව සිටින අතර ඇයට කොවිඩ් ආසාදිත බව මෙය ලියන 4 වැනිදා වන විටත් තහවුරු වී නොතිබිණ.

මෙම සිදුවීම වාර්තා වීමත් සමඟ ඇතැම් පුද්ගලයන් නිරෝධායන හා රෝහල්ගත කිරීමේ ක්‍රමවේදය පිළිබඳ විවේචනය කළහ. එවැනි තත්ත්වයක් තුළ වයිසරයේ ශීඝ්‍ර ව්‍යප්තියත් සමඟ සැක කටයුතු ආසාදිතයන් නිවෙස්වලම නිරෝධායනය කිරීමට රජය පියවර ගැනීම මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගැනීමට උපකාරී වන බවට ඇතැම්හු ප්‍රසංශාවද පළ කරති. නමුත් එම වැඩපිළිවෙළ මනා නිරීක්ෂණ ක්‍රමවේදයක් අනුව කළ යුතු බව විශේෂඥයන්ගේ අදහසයි.

කුඩා දරුවන්, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්, රෝගීන් සහ වැඩිහිටියන් ආදී පුද්ගලයන්ගේ භාරකරුවන් කොවිඩ් ආසාදිතයන් සහ ආශ්‍රිතයන් බවට පත්වීම නිසා රෝහල්ගත කිරීමකට හෝ නිරෝධායනයට ලක් කිරීමේදී ඉහත කී පුද්ගලයන්ට ආරක්ෂාව සලසන ක්‍රමවේදයක් අවශ්‍ය බව මෙම සිදුවීමෙන් මනාව තහවුරු විය. මේ පිළිබඳ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ දැක්වූයේ මෙවැනි අදහසකි. 

" මෙය ඉතා අවාසනාවන්ත සිදුවීමක්. නමුත් මෙවැනි තත්ත්වයක් යටතේ එවැනි තත්ත්වයක පසුවන අයකු නිවෙසක නිරෝධායනය කිරීම, රෝහලකට ඇතුළත් කිරීම, ඒ සඳහා ප්‍රවාහනය කරන ආකාරය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අපට ප්‍රතිපාදන හා පහසුකම් සලසා නැහැ. එම නිසා මෙම සිදුවීම පූර්වාදර්ශයක් කරගෙන යළිත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇති නොවීම සඳහා ප්‍ර තිපාදන, පහසුකම්, නිර්දේශය සහ නිර් නායක කඩිනමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සැපයිය යුතුයි"

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ ‍වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ නිරෝධායනයට ලක්කරන අවස්ථාවේ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග නිසියාකාරව සිදුවූවාද යන්න පිළිබඳ නිසි විමර්ශනයක් සිදු නොකර ඒ පිළිබඳ නිගමනවලට පැමිණිය නොහැකි බවයි.

"එහිදී ගනු ලැබූ ක්‍රියාමාර්ගවල අඩුපාඩුවක් සිදුවූවාද යන්න ගැන තීරණය කළ හැක්කේ ඒ පිළිබඳ විමර්ශනයකින් පසුවයි. සද් භාවයෙන් සියල්ල සිදුකර ඇති අවස්ථාවක වුවත් යම් යම් අවාසනාවන්ත සිදුවීම් සිදුවිය හැකියි" යනුවෙන්ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ මෙසේ පවසන්නීය.

" කොවිඩ් 19 ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ මේ වන විට බොහෝ දෙනකුගේ මානසික තත්ත්වය වෙනස් වී තිබෙනවා. හැමදෙනාගේම හිත්වල තියන්නේ මේ වසංගතයෙන් තමන්ගේ සහ සමීපතමයන්ගේ ජීවිත රැක ගැනීමේ අවශ්‍යතාවයි. ඒ වගේම "මට හෝ මගේ සමීපතමයන්ට මේ රෝගය වැළඳෙයිද? එයින් ජීවිතයට හානියක් වෙයිද?" කියන බිය සැක සහ පීඩනය බොහෝ හිත්වල ඇතිවී තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ මානසික ව්‍යාකූල බවකින් පෙළෙන අයකුට පමණක් නොව සාමාන්‍ය මානසික තත්ත්වයකින් යුතු පුද්ගලයන්ට පවා නිවැරදි තීරණ ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක්. මෙම තත්ත්වය අප හොඳින් අවබෝධ කරගත යුතුයි. තමන් හෝ පවුලේ සමීපතමයකු කොවිඩ් ආසාදිතයකු හෝ ආශ්‍රිතයකු වූ විට නිරෝධායනට හෝ රෝහල්ගත වීමකට ලක්වන විට හිතේ යම් තිගැස්මක්, සාංකාවක් සහ අනාරක්ෂිත බවක් ඇතිවිය හැකියි. අපි දන්නවා බොහෝ විට නිරෝධායනයට හෝ රෝහල්ගත වීමකට කැඳවාගෙන යෑමට පැමිණෙන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හෝ ආරක්ෂක අංශ සාමාජිකයන්. ඔවුන් පැමිණෙන්නේ තමන්ට කරදරයක් කිරීමට නොව යහපත සඳහා යැයි විශ්වාසයක් ගොඩනැඟිය යුතුයි. ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථාන, රෝහල් කරා ගෙන යන පුද්ගලයන් ආරක්ෂිත බවට ඔවුන්ගේ සමීපතමයන් තුළ විශ්වාසයක් ඇති කළ යුතුයි. ඒ වගේම නිවෙසේ සිටින පුද්ගලයන්ද ආරක්ෂිත බවට ආත්ම විශ්වාසයක් ඇති කළ යුතුයි. එවැනි තත්ත්වයක් තුළ පවා යම් පුද්ගලයකුගේ සිතට පීඩනයක්, සාංකාවක්, බියක් දැනෙනවා නම් ඒ මොහොතේ ඔහුට මානසික සහනය අත්‍යවශ්‍යයි. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය රට පුරා ඒ වෙනුවෙන් හොඳ මානසික සහන සේවා ජාලයක් පවත්වාගෙන යනවා. පැය 24 පුරා ක්‍රියාත්මක 1926 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතුමක් ලබාදී තමන්ගේ හිතට දැනෙන මානසික පීඩනය කියන්න. වෘත්තිමය සුුදුසුකම් සහ පළපුරුදු වෛද්‍ය, හෙද සහ චිකිත්සකයන්ගෙන් සමන්විත කාර්යමණ්ඩලයක් ඔබට මානසික උපදේශනය, සහනය සලසා දීමට සූදානමින් සිටිනවා. දරුණු මානසික පීඩනයක සිටින විට කතා කිරීමට පවා අපහසු තත්ත්වයක සිටින කෙනෙකුට 1926 කෙටි පණිවුඩ සේවයට කෙටි පණිවිඩයක් යොමුකර අවශ්‍ය උපදෙස් ලබාගන්නත් පුළුවන්. එම සේවය දිනපතා උදේ 8 සිට පස්වරු 4 දක්වා ක්‍රියාත්මකයි."

 

Comments