
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ සහ අණුක වෛද්‍ය හා ආසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ විද්‍යාඥයන් කණ්ඩායමක් සොයා ගනියි.
ලංකාවේ මෙවර ව්‍යාප්ත වූ කොවිඩ් 19 දෙවැනි රැල්ලේ වයිරසය, පළමු වැනි රැල්ලේ වයිරසයට වඩා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන දැඩි ආසාදන මට්ටමින් යුක්ත වයිරසයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ සහ අණුක වෛද්‍ය හා ආසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ විද්‍යාඥයන් කණ්ඩායමක් සොයාගෙන තිබේ. ඔවුන් විසින් කොවිඩ් 19 වයිරසයේ සම්පූර්ණ ජානමය අනුක්‍රමණයන් සිදු කරනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කළ ඉල්ලීමකට අනුවය.
“කොවිඩ් ලංකාවට පැමිණි මුල් කාලයේ පී.සී.ආර්. පරීක්ෂණ කළේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයයි, අපේ විද්‍යාගාරයයි විතරයි. ලංකාවේ මුල් ම කොවිඩ් 19 ආසාදිතයාව හඳුනාගත්තේ අපේ විශ්වවිද්‍යාලයෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණයකින්. මාර්තු මාසයේ සිට ලංකාවේ වරින් වර මතුවූ කොරෝනා පොකුරු ගැන අපි අවධානයෙන් හිටියා. ආරම්භක පොකුරේ ජෛව සාම්පල් අරන් පරීක්ෂණ සිදු කළා. ඒ අතරේදී තමයි මෙවර කොරෝනා ව්‍යාප්තිය ඉතා වේගයෙන් ලංකාවේ සිදු වුණු නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ගැන පර්යේෂණ කරන්න කියලා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ඉල්ලීමක් කළේ.” යනුවෙන් ආසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේ ය.
මෙවර ව්‍යාප්ත වූ කොරෝනා රැල්ලේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට අයත් ආසාදිතයන්ගෙනුත් කොළඹ මහනගර සභා ප්‍රදේශ ආශ්‍රිත සහ පෑලියගොඩ මාළු වෙළෙඳ පොළේ ආසාදිතයන්ගෙනුත් 16 දෙනෙකු නියැදියන් වශයෙන් තෝරාගෙන ඔවුන්ගෙන් ලබාගත් ජෛව සාම්පල මෙම පරීක්ෂණයට භාජනය කෙරිණි. මෙහිදී 16 න් 15 ක ක්‍රියාවලිය සහ 12/13 ක වයිරස් ක්‍රියාවලිය තුළ පොදු සම්භවයක් දැකිය හැකි විය. එනම් එකිනෙකට සමපාත විය. විකෘතිය D614G ලෙස හඳුනා ගැනිණි.
“මාර්තු මාසයේ ලංකාවේ හමු වුණේ කොවිඩ් 19 වයිරසයේ B1 කාණ්ඩය. ඒත් ඒ කාලේ ඉතාලිය, කොරියාව, ඉන්දියාව, මැදපෙරදිග රටවල් වගේ රටවල අය හිටපු අයවත් ලංකාවට ගෙන්වා ගත්තා. ඒ නිසා B1,B2,B11,B4 වැනි විවිධ කාණ්ඩවලට අයත් කොවිඩ් වයිරස් රට තුළ දකින්න ලැබුණා. මේ පාර අපිට දකින්න ලැබෙන්නේ එකම වයිරස් කාණ්ඩයක්. එය B1 කාණ්ඩයට වඩා තරමක් වෙනස්. B1 කාණ්ඩයේ වෙනස්වීමත්, විභේදනය වීමත් හැටියට මෙය දක්වන්න පුළුවන්.” යනුවෙන් සඳහන් කළේ ආචාර්ය චන්දිම ජීවන්දරය. B1 ප්‍රභේදයේ විභේදනයක් වන බැවින් මෙය B1.42 ලෙස නම් කර තිබේ.
මේ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේත් කොළඹ මහනගර සභා බල ප්‍රදේශ තුළ සහ පෑලියගොඩ මාළු වෙළෙඳ පොළේත් සංසරණය වී තිබෙන්නේ B1.42 කාණ්ඩයට අයත් කොවිඩ් 19 වයිරසයයි. පසුගිය වර මෙන් මෙවර විවිධ කාණ්ඩවලට අයත් වයිරස් ව්‍යාප්තියක් මෙරට තවමත් දක්නට ලැබෙන්නේ නැත. එහෙත් මෙම B1.42 කාණ්ඩයේ කොවිඩ් 19 වයිරසය බර වැඩිවීම සමඟ සම්ප්‍රේෂණය වන හැකියාව ඉහළ බැවින් සංසරණ ක්‍රියාවලියේ වෙනසක් දක්නට ලැබේ. වයිරස් කාණ්ඩයේ සංයුතිය අනුව හැසිරීම වෙනස්වේ. හැසිරීම වෙනස් වනවිට එය ප්‍රබල වන බව ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ප්‍රතිශක්තිකරණ සහ අණුක වෛද්‍ය හා ආසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ විද්‍යාඥයින්ගේ මතයයි.
මෙම වයිරසයේ හැඩය හා පැවැත්ම අනුව මෙය යුරෝපයෙන් පැමිණි වයිරසයක් බවට විශ්වාස කළ හැකි සාධක මෙම පර්යේෂණයේදී අනාවරණය වී තිබේ. ඉන්දියාවෙන් පැමිණි වයිරසයක් බවට තහවුරු කර ගත හැකි සාධක කිසිවක් හමුවී නැත. B1.42 වයිරස් කාණ්ඩය කිනම් රටකට අයත් වූවක් දැයි තවමත් නිශ්චිතව හඳුනාගෙන නැති වුවත් මෙය යුරෝපයෙ තිබෙන කාණ්ඩයක් බව නම් ඉඳුරාම පැවසිය හැකි බව ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේය.
කොවිඩ් 19 වයිරසයේ නව ප්‍රභේදයේ ලක්ෂණ අනුව එය ඉතා වේගයෙන් ව්‍යාප්ත වේ. කොරෝනා පළමු රැල්ලට වඩා මෙවර දහස් ගණනින් ශීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබෙන්නේ එබැවිනි.
මෙම පර්යේෂණය මහාචාර්ය නීලිකා මලවිගේගේ ප්‍රධානත්වයෙන් සිදු කළ අතර ආචාර්ය චන්දිම ජීවන්දර, ආචාර්ය දේශානි ජයතිලක, ආචාර්ය දිනුක ජයරත්න, ලක්සිරි ගෝමස් සහ ඩයනාත් රණසිංහ යන පිරිස ද ඊට දායක වූහ. මෙම පර්යේෂණ වාර්තාව පසුගියදා සෞඛ්‍ය ඇමතිනිය වෙත බාරදෙනු ලැබීය.