පානදුර වෙරළට ආ තල්මසුන් බේරා ගැනීමේ මානුෂීය මෙහෙයුම | සිළුමිණ

පානදුර වෙරළට ආ තල්මසුන් බේරා ගැනීමේ මානුෂීය මෙහෙයුම

- 70ක රංචුවකින් දිවි අහිමි වූයේ 5කගේ පමණයි
- 2017 දී නවසීලන්ත වෙරළට ආ තල්මසුන් 400ක් මිය ගිහින්; 97 දී ඕස්ට්‍රේලියා වෙරළේ 320 ක් මිය ගිහින්...
- අයන් මෑන් සමූහය ඉටු කළ මෙහෙය අද්විතීයයි

ය වෙරළට පැමිණි තල්මසුන් රෑනක් මුහුදට යැවූ සරල කතාවක් නොවේ. මිහිතලයේ ආත්මීය රිද්මය ස්පර්ශ කළ අප්‍රමාණ මනුෂ්‍යත්වය සම්බන්ධව කියැවෙන ලෝක ඉතිහාසයේ උත්තුංග මෙහෙයුමක මියුරුම අඬහැරය ය. කුණු වූ මජර ගොහොරුවක ගිල්වා තබන්නට හැදුවත් එක් පුංචි සිදුවීමකින් උත්තේජනය වී බලාපොරොත්තු සහගතව ප්‍රභාවත් වන අපේ මිනිස්සුන්ගේ මනුෂ්‍යත්වය පිළිබඳ ඇසට කඳුළු නංවන කතාවය.

මීට දෙමසකට පෙර එනම් සැප්තැම්බර් මාසයේ තුන්වන සතියේ දී ඕස්ට්‍රේලියාවේ බටහිර තස්මේනියා වෙරළට හාරසියයකට ආසනන් තල්මසුන් රංචුවක් ඇදී ආහ. ඉන් 380ක් මිය ගියේය. බේරාගත හැකි වූයේ 20 දෙනෙක් පමණි. ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ මුහුදු ජීවීන් සම්බන්ධව ඇසුණු සිත් සසල කරවනම ඛේදවාචකය එයය. වර්ෂ 2017 දී මේ ආකාරයෙන්ම නවසීලන්ත වෙරළ තීරයකට වැදුණු 600කට ආසන්න තල්මස් රංචුවකින් 400ක් මිය ගියහ. එය සොබා දහමේ කණාගාටු දායක නියමයක් බව කියැවිනි. වර්ෂ 1997 දී බටහිර ඕස්ට්‍රේලියා වෙරළට ගොඩගැසුණු තල්මස් රංචුවකින් 320ක් මිය ගියේය. එයත් එක් සිදුවීමක් පමණි. මෙතෙක් ලෝක ඉතිහාසයේ සිදුවීම් පෙළගැසුණේ ඒ ආකාරයටය.

අප දන්නා තරමින් අපේ වෙරළ තීරයට පාව ආ විශාලම තල්මසුන් රංචුව වාර්තා වූයේ පසුගිය 02 දාය. සියයකට ආසන්න බව කියැවුණත් බොහෝවිට ගහණයේ තල්මසුන් 70ක් පමණ සිටින්නට ඇත.

මේ සිදුවීම ඉතිහාසය අලුතින් ලීවේය. මෙවැනි අවස්ථාවකට මුහුණ දීම සම්බන්ධව ප්‍රායෝගික අත්දැකීම් රහිතව, වසංගත උවදුරු බිය පසෙක ලා ස්වකීය ජීවිතවල ඉරණම අඩි පහළොවක් විස්සක් පමණ උස් රැළි නගන දළ සයුරට බාර දී දියත් කළ උත්තුංග මෙහෙයුමකින් පසු මේ තල්මසුන් රංචුවෙන් සියයට අනූපහකගේ ජීවිත බේරා දෙන්නට අපේ මිනිස්සු සමත් වූහ.

අප දන්නා පරිදි එය ලෝක ඉතිහාසයේ මෙතෙක් වූ මෙවැනි ඵලදායී හා සාර්ථකම මෙහෙයුමය.

පානදුර වෙරළට පැමිණි තල්මස් රංචුව

දිනය පසුගිය 02 දාය. දහවල් 1.30 පමණ වනවිට වෙරළ අසල ජීවත් වෙමින් සිටි ධීවරයන් දුටුවේ දැවැන්ත තල්මස් සේනාවක් ගොඩබිම් තීරට පැමිණ අන්ත අසරණව සිටි අයුරුය.

කොවිඩ් බිය පැතිර යමින් තිබිණි. මුළු කලාපයටම ඇඳිරි නීතිය ය. එහෙත් මේ දැවැන්තයන්ගේ ජිවිත රැක ගැනීමට මුලින්ම වෙරළට බැස්සේ මේ මිනිසුන්ය. ඔවුන් තමන්ට හැකි අයුරින් මේ තල්මසුන් දියඹට තල්ලු කරමින් සිටියහ. ඒ සමගම මේ ව්‍යසනය පොලිස් ජීවිතාරක්ෂක බලකායට, නාවික හමුදාවට, යුද හමුදාවට දැනුම් දී තිබිණි. ආරංචිය ලැබ පැයක් ගතවීමට පෙර ඔවුහු කණ්ඩායම් ලෙස පැමිණියහ. මේ පිරිස හැකි ජවය උපරිමව යොදමින් වෙරළට පැමිණෙන තල්මසුන් යළි දියඹට තල්ලු කර දැමීමේ වෙහෙසකර වෑයමක නිරතවෙමින් සිටියහ. එහෙත් එසේ දියඹට දැමූ තල්මස්සු යළි ගොඩබිම වෙත පැමිණෙමින් උන්හ.

කළු කොමදුවො

මෙම තල්මස් වර්ගය මෙරට ධීවර ප්‍රජාව හඳුන්වන්නේ කළු කොමදුවා ලෙසිනි. එසේම මෙම තල්මසුන් කෙටි වරල් තල්මසා ලෙස ලෙසද හැඳින්වූයේය. පයිලට් වේල් (Pilot Whale) නමින් හඳුන්වන මේ තල්මස් ගණයේ (Globicephala) විශේෂ දෙකක් සිටින අතර ඔවුන් දිගු වරල (Long Finned ) දරන විශේෂ (Globicephala melas) සහ කෙටි වරල (Short Finned) දරන විශේෂ Globicephala macrorhynchus ලෙස සඳහන් කර ඇත. මේ පැමිණ සිටියේ කෙටි වරල් තල්මස් විශේෂය ය.

සිද්ධිය සැලවීමත් සමග පානදුර වෙරළ තීරයට විෂය පිළිබඳ ප්‍රාමාණිකයන්, පරිසරවේදීන්, ස්වේච්ඡාවෙන් කැපවුණු මිනිසුන්, දේශපාලකයන් ඇතුළු සෑම තරාතිරමකම කණ්ඩායමක් එක් වූහ.

තල්මසුන් පිළිබඳ පර්යේෂිකාවක සහ සමුද්‍ර ජීව විද්‍යාඥවරියකු ලෙස ලෝකයේ නමක් දිනා සිටින ශ්‍රි ලාංකික විද්‍යාඥවරියක වන ආචාර්ය ආශා ද වෝස් ද එතන සිටියාය. ජාතික සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රාමාණිකයෝ සිටිහය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජයනයන් පෙනුණි. නාවික හමුදාවේ, යුද හමුදාවේ පොලිසියේ ජීවිතාරක්ෂක අංශ මෙහෙයුම අරඹා තිබිණි. පරිසරවේදීහු උන්හ. විශාල ස්වේච්ඡා කණ්ඩායමක් එක් වී සිටියේය.

මේ අවස්ථාවේ දී වඩාත් ප්‍රායෝගික එළඹුමක් සඳහා මෙහෙයුම යොමු කරන්නේ ඒ අවස්ථාවේ එතැනට එක්වන ප්‍රවීණ පරිසරවේදී නයනක රන්වැල්ලගේ මෙහෙයවීමෙනි. 

සංකීර්ණ මෙහෙයුම

ඒ මොහොත වනවිටත් සියලු දෙනාම උත්සාහ කරමින් සිටියේ මේ තල්මසුන් හැකි පමණින් දියඹට යොමු කිරීමය. එහෙත් එය ප්‍රායෝගික නොවන බව තේරුම් ගත් මොහොතේ සිට මේ මෙහෙයුම වෙරළේ සිට බලාගෙන ඉන්නවුන් දකිනවාට වඩා සංකීර්ණ හා අවදනාම් සහිත එකක් විය.

දැන් ඝන අන්ධකාරය පානදුර වෙරළ වසාගෙනය. දැන් එකිනෙකා තමන්ට හැකි අයුරින් මෙහෙයුමට එක් වූහ. ශ්‍රී ලංකා 4X4 සමාජය එම ස්ථානයට පැමිණ මෙහෙයුම් ප්‍රදේශය ආලෝකකරණය කළේය. සියල්ලෝ හැකි පමණ තමතමන්ගේ දායකවත්වය සැපයූහ.

ආශා ඩි වෝස් ගේ අදහස වී තිබුණේ මේ තල්මසුන් පැය තුනකට ආසන්න කාලයක් තුළ ජීවිතය හැර යා හැකි බවය. ඒ වනවිට මේ සතුන් දැඩි ආතතියකට පත්ව සිටියේය.

දිවා කල සිට කළ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස තල්මස් රෑණේ විස්සකට අධික පිරිසක් ගැඹුරු මුහුදට ගොස් සිටියහ. එහෙත් අවදානම වන්නේ අතිශය සමාජ නැඹුරුවක් සහිත මේ ජීවීන්ගේ අවදානමට ලක්ව සිටින තම සමූහයේ පිරිස සොයා ගෙන ඔවුන්ගේ සංඥා ඔස්සේ යළි ගොඩබිමට පැමිණීමේ හැකියාවක් තිබීමය. එසේ වුවහොත් මේ මෙහෙයුම තවත් සංකීර්ණ එකක් වනු ඇති බව පෙනුණි. එ් අතිශය තීරණාත්මක මෙහෙයුමට ස්වෙච්ඡාවෙන් එක්වන්නේ අයන්මෑන් සමූහය ය. පැය දෙකක් ගත වේ යැයි තක්සේරු කර කී ගමන පැයකින් සම්පූර්ණ කරමින් ඔවුහු සිය අධිබල යාත්‍රා සමග පානදුර වෙරළට පැමිණියහ.

දැන් මේ සතුන් අදින්නට සුදුසු මාර්ගය තෝරා ගත යුතුය. එය ගල්පර නැති බාධක නැති මුහුදු ප්‍රවේශයක් විය යුතුය. වෙරළේ සිට කිලෝමීටර තුනක් වත් ඈතට මේ සතුන් ඇදිය යුතුය. ඒ සඳහා අවශ්‍ය මං ලකුණු පළපුරුදු ධීවරයන් ගේ දැනුමෙන් තෝරාගන්නා මෙහෙයුම් කණ්ඩායම අදින තල්මසා මුදා හරින ස්ථානය සලකුණු කරගැනීමට විදුලි ආලෝකය සහිත බෝට්ටුවක් නවතා තැබුවේය.

දැන් මේ තල්මසා අදින ආකාරය ගැන විද්‍යාත්මක පැහැදිලි කරගැනීමක් අවශ්‍ය විය. මේ සතෙක් කිලෝ දහසකටත් වඩා බරින් යුතුය. හිස ප්‍රදේශයෙන් ගැටයක් ගසා අදිනවිට ඉදිරි වරල්වලට හානි වන්නට ඉඩ තිබේ. ඒ අවස්ථාවේ සාගර විද්‍යාඥ ආශා ඩිවොස් ගේ නිර්දේශය වූයේ වඩාත් සුදුසු වලිගය ප්‍රදේශයෙන් ගැටයක් ගසා ඇදගනෙ යෑම බවය. එහෙත් මෙවැනි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීමට කිසිම උපකරණයක් තිබුණේ නැත. තිබුණේ නයිලෝන් කඹය. එය මෙවැනි කටයුත්තක් සඳහා කිසිසේත්ම සුදුසු නැත.

අවසානයේ අයන් මෑන් සමූහය තමන්ගේ ජිප් රථ අදිනු ලබන විශේෂ කපු කඹ වර්ගයක් මේ සඳහා ලබා දුන්නේය. දැන් තල්මසා ඇදීමට සූදානම්ය. එහෙත් මෙය ජීවිතය පරදුවට තබා කළ යුතු අතිශය අවදානම් කටයුත්තක් වූයේ ගැඹුරු මුහුදේ දී මේ දැවැන්තයාට අධිවේගී යාත්‍රාව කොස් කොළයක් තරම් වන හෙයිනි. යොදන ගැටය නිසි ලෙස නොගැලවුණහොත් අධිවේගී යාත්‍රාව සමග ජීවිතාරක්ෂකයන් ද මුහුදු බත් වන්නේය.

නාවික හමුදා විසින් තල්මසා ගැටගැසීමට විශේෂිත ගැටයක් යෙදුවේය. එක් පැත්තකින් ඇද්ද විට ගැටය ගැලවී යන්නේය. මේ ගැටය සහිතව තල්මසා අදිනවිට යාත්‍රාව ගැස්සීමක් නැතිව දැවැන්ත දිය රැළි සහිත දිය කඩනය පසුකළ යුතුය. යාත්‍රාව හසුරුවන්නෝ ස්වකීය කෘතහස්ථ බව ප්‍රකට කරමින් ඒ බැරෑරුම් කාර්ය කළහ. අඩි හතළිස් පහක් පමණ ගැඹුරු මුහුදට තල්සුන් එකා බැගින් ඇද දැමිනි.

පාන්දර තුන පමණ වනවිට මේ අතිශය දැවැන්ත මෙහෙයුම හමාර වන ලකුණු පෙනුණි. එහෙත් ඒ වනවිට වාද්දූව ප්‍රදේශයට තල්මසුන් දෙදෙනෙක් ගොඩගසා ඇති බව මෙහෙයුම් කණ්ඩායමට සැලවිණි. ඒ අතරම නිරීක්ෂණය වූ සිද්ධියක් වූයේ තල්මසුන් තිදෙනෙක් යළි යළිත් ගොඩබිම වෙත පැමිණෙන බවය. ගලවා ගැනීමේ කණ්ඩායම මේ සතුන් හඳුනාගෙන තිබුණේ ඔවුන්ගෙ කැළැල් වලිනි.

මෙහෙයුමේ තරම

“ මෙය විශාල වෙහෙසකර වැඩක්. සාමාන්‍යයෙන් මෙම තල්මසකුගේ බර කිලෝ ග්‍රැම් 1000ත් 3000ත් අතර වෙනවා. ඒ කියන්නේ ටොන් එකත් තුනකුත් අතර බරක්. අනෙක මේ සතුන් සාමාන්‍යයෙන් අඩි 10ත් 18ත් අතර වෙනවා. ඔවුන් හැසිරවීමට මෙයට සහභාගී වූ අයට තමන්ගේ සියලු ශක්තිය යොදන්න වුණා. දිගු වෙලාවක් වෙරළේ සිටින්නට සිදුව ඇති නිසා ඔවුන් හිටියේ තල්මසුනුත් හිටියේ දැඩි ආතතිකාරී තත්ත්වයක. අනෙක ඔවුන් ද වෙහෙසට පත්ව තිබුණා. මේ නිසා මිනිසුන් ඔවුන් හසුරවද්දී ඔවුන් දඟලනවා. ඔවුනගේ සියලු ශක්තිය යොදල වලිගය වනත්දී මේ තත්ත්වය පාලනය කරගෙන වතුරේදී මිනිසුන්ට තමනුත් බේරී සතුනුත් බේරා ගන්න අපමණ වෙහෙසක් දැරිය යුතුව තිබුණා. “

“තල්මසුන් හුස්ම ගන්නේ ඔවුන්ගේ හිසේ ඉහළ කොටසේ තිබෙන පුඩුවලින්. ඒ නිසා හැම වෙලාවෙම අපි උත්සාහ කළේ සතුන් මුහුදට යොමු කරන විට ඔවුන්ගේ හිස ඉහළට සිටින සේ හරවා තල්ලු කිරීමයි. නමුත් මුහුදු රළත් එක්ක මේ දැවැන්ත බරකින් යුතු සතා ඉහළට ඔසවා තල්ලු කිරීම ඔබට හිතා ගන්න පුළුවන් කෙතරම් අසීරු දෙයක්ද කියල. දැඩි මුහුදු රළ එනකොට මේ දැවැන්ත තල්මසුනුත් මිනිස්සුත් එක්කම ආපසු ගොඩ බිම දෙයට විසි වෙනවා.“

“මේක මහා උවදුරු සමයක තමන්ගේ ජීවිත පරදුවට තබලා මනුස්සකම පිරුණු මිනිස්සු ටිකක් කළ ඓතිහාසික මෙහෙයුමක්.“ කීර්තිමත් සාගර විද්‍යාඥ ආශා ඩිවෝස් කීවාය.

“ මම හිතන්නෙ තල්මසුන්ගේ දිවි බේරා ගැනීම සඳහා ලෝකයේ සිදු කෙරුණු විශාලතම මෙහෙයුම මෙය විය හැකි බවයි. පැය 16ක් විතර අඛණ්ඩව මිනිස්සුන්ට මේ තල්මසුන්ගේ ජීවත සමඟ හැපෙන්න සිදුවුණා. සමහරු මේ පැය 16ම වතුරේ හිටියේ. විශේෂයෙන් නාවික හමුදාවත් සතුන්ගේ දිවි බේරාගැනීම සඳහා ඉක්මනින් සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ටීම් අයන් මෑන් කියන ජෙට්ස් කී අධිවේගී කුඩා යාත්‍රා කණ්ඩායමත්, පොලිසියෙ ජීවිතාරක්ෂක කණ්ඩායමත්, සිද්ධිය ආරංචිවෙලා පැමිණි ස්වේච්ඡා කිමිදුම්කාර පිරිස් ඇතුළු විශාල කණ්ඩායමක් තම දිවි නොතකා මෙම මෙහෙයුමේ නිරත වුනා. මේ තල්මසුන් මුහුදෙ පීනා යන සෑම මොහොතකම ඒ මහා පුණ්‍යකර්මයට දායක වෙච්චි මිනිස්සුන්ගෙ තල්මසකුට වඩා බර මනුස්සකම ගැන කියවෙනවා...“ ජ්‍යෙෂ්ඨ පරිසරවේදී නයනක රන්වැල්ල කීවේය.

තල්මසුන් වෙරළට පැමිණියේ ඇයි

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් මේ පිළිබඳව මාධ්‍යයට පැහැදිලි කලේය.

” දිශානතිය සොයා ගැනීම සඳහා මේ සතුන්ගේ නලලේ තියෙනවා ඉතාම සංකීර්ණ සහ සංවේදී ඉන්ද්‍රියක්. මේ ඉන්ද්‍රියන් මගින් කරන්නේ ශබ්දය නිකුත් කිරීම සහ ලබා ගැනීම. පුද්ගලයන් විසින් විවිධ ක්‍රියාකාකරකම් සඳහා අධිශක්තියක් තියෙන සෝනාර් භාවිතා කිරීමේ දී මේ කියන ඉන්ද්‍රියන්වලට හානි වෙන්න පුළුවන්. මේ අධිසෝනාර් භාවිත කිරීමේදී මේ සතුන් කරන්නෙ තමන්ට තියෙන අපහසුතාවයන්ගෙන් මීදිම සඳහා හැකිතාක් මුහුද යටට කිමිදෙන එක. මේ නිසා තමන්ගේ දිශාව හොයා ගන්න බැරි වෙනවා. මේ තත්ත්වය නිසා මෙවැනි මේ දේ සිදුවෙන්න පුළුවන්..“

පානදුර වෙරළට තල්මසුන් පැමිණීමට හේතුව ඉන්දියාව, ඇමරිකාව, ජපානය හා ඕස්ට්‍රේලියාව ඊයේ(02) එක්ව සිදුකළ “මලබාර්” නම් නාවික අභ්‍යාසයේ දී නිකුත් කළ අධි සෝනාර් (Sonar) ක්‍රියාකාරිත්වය හේතුවෙන් විය හැකි බව නයනක රන්වැල්ල කීවේය.

තමන්ගේ ගහණයේ රෝගී වු සතෙක් යළි සමූහයට එක් කර ගැනීම, දියවැල්වලට හසුවී ගොඩබිමට ගසාගෙන ඒම, නායකයා අනුගමනය කිරීම නිසා මග වැරදීම, පරපෝෂිත ආසාදන නිසා විකල් වී මං වරදවා ගැනීම වැනි සිද්ධි නිසා තල්මසුන් ගොඩබිමට පැමිණිය හැකි බව ජ්‍යෙෂ්ඨ සාගර විද්‍යාඥ උපුල් ලියනගේ කීවේය.

පානදුර මෙහෙයුම මිහිතලයේ ඉතිහාසයට එක් වන්නේ එසේය...



ඡායාරූප තුෂාර ප්‍රනාන්දු

Comments