
පී. සී. ආර්. පරික්ෂණයකින් පසු නිරෝගි පුද්ගලයකු රෝගී පුද්ගලයකු බවට පත්වන්නේ නම් ඔහුට ඇතිවන මානසික පිඩනය හා වේදනාව ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. එසේ වන්නේ නම් එය ඔහුට හෝ ඇයට කරණු ලබන බලවත් ආසාධාරණයකි. ඇතැම් පුද්ගලික රෝහල් මගින් සිදුකරන පී. සී. ආර්. පරික්ෂණ පිළිබඳ මේ වනවිට ගැටලුකාරී තත්ත්ව ඇතිවී තිබේ.
අපි මේ කියන්නට යන්නේ එවැනි අසාධාරණයට ලක්වු පුද්ගලයන් කිහිපදෙනකු ගැනය.
බංගමුආරච්චිගේ ගයාන් පුෂ්පකුමාර (51) ලංකා විදුලි සමාගමේ කඳාන කාර්යාලයට අනුයුක්තව සේවය කළේය. හේ ගාල්ල පෝද්දල කුඩාවෙල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ඔක්තෝබර් මස 06 වැනි දින උදෑසන නිවසේ සිටි රැකියාව සඳහා කඳාන කාර්යාලයට ගියේය. ඔහුත් සමඟ සේවය කරනු ලබන සේවකයකුගේ දියණියක් මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවය කරනු ලබන බවත් ඇයට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට එදින පස්වරුවේ දි පුෂ්පකුමාරට දැනගැනීමට හැකි විය. ඒ වනවිට එම සේවකයා සේවයට වාර්තා නොකොට තිබූ අතර ඔහු නිවසට වී නිරෝධායනය වෙමින් සිටියේය. මෙකී සිද්ධියත් සමඟ ලංකා විදුලි සමාගමේ කඳාන කාර්යාලය වසා දැමීමට පාලන අධිකාරිය තීන්දු කරනු ලැබීය. සේවකයන් පිරිසක් නිවෙස්වලට ගියහ. නිවෙස්වලට යෑම මෙම අවස්ථාවේ අනතුරුදායක බැවින් පුෂ්පකුමාර ඇතුළු සේවකයන් 13 දෙනෙකු කාර්යාලයට වී සිටියහ. ඔවුන් එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා දැනුවත් කළද 10 වැනිදින වනතෙක් අදාළ සේවකයාගේ පී. සී. ආර්. පරීක්ෂණය සිදුකොට නොතිබුණි.
ඒ අනුව දැනට කාර්යාලයේ සිටින සේවකයන් 13 දෙනා සහ නිවසේ සිටි තවත් සේවකයකු ගෙන්වාගෙන පුද්ගලික රෝහලකින් පී. සී. ආර්. පරික්ෂණ සිදුකිරීමට ආයතනයේ පාලන අධිකාරිය විසින් කටයුතු කරනු ලැබීය. 11 වැනිදින රාත්‍රිය වනවිට මෙකී සේවකයන්ගේ පී. සී. ආර්. පරික්ෂණ වල ප්‍රතිඵල ලැබී තිබුණි. සේවකයන් 14 දෙනාගෙන් 05 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අදාළ පුද්ගලික රෝහල මගින් දැනුම් දී තිබුණි. කොරෝනා වයිරසය ආසාදනය වු රෝගීන් 05 දෙනා අතර පුෂ්පකුමාරගේ නම සඳහන් නොවීය. 12 වැනිදින උදෑසන කඳාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් පුෂ්පකුමාරට දුරකථන ඇමතුමක් ලැබුණේය. පී. සී. ආර්. පරික්ෂණ වාර්තා අපිට ලැබිලා තියෙනවා. ඒ වාර්තාවලට අනුව දෙදෙනෙකු හැර අනික් සේවකයින් 12 දෙනාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වෙලා තියෙනවා. ඔයගොල්ලෝ කාර්යාලයට වෙලා ඉන්න. කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යනතෙක්...‘ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම් දුන්නේය. එම පී. සී. ආර්. පරික්ෂණ වාර්තා අනුව පුෂ්පකුමාර කොරෝනා අසාදිතයකු බවට පත්ව සිටියේය.
එදින පස්වරුවේ යුද හමුදාව මගින් මෙකී සේවකයන් 12 දෙනා හා අතරමගදි තවත් පිරිසක් ද බස්රථයට නංවාගෙන ලග්ගල රෝහල වෙත රැගෙන යනු ලැබීය. ඔවුන් රෝහල වෙත ළඟා වනවිට 13 වැනි දින අලුයම 1.00 ද පසුවී තිබුණි. පුෂ්පකුමාර සමඟ ටයර් සමාගමක සේවය කරනු ලබන සේවකයන් දෙදෙනෙකුද සිටියහ. ඔය දෙන්නාගේ පී. සී. ආර්. පරික්ෂණවල වැරදීමක් වෙලා තියෙනවා. ඔය දෙන්නා නෙගටිව්; දැන් එක්ක යන්න එනවා; අදාළ ආයතනය මගින් එම සේවකයින් දෙදෙනාට 14වැනිදින උදෑසන දෙනුම් දෙනු ලැබීය. මේ ගැන පුෂ්පකුමාර ද තම ආයතනයේ ඉහළ බලධාරින් දැනුවත් කිරිමට කටයුතු කළේය.
ලංකා විදුලි සමාගමේ කදාන කාර්යාලයේ සේවය කරන පුෂ්පකුමාර ඇතුළු සේවකයන් 06 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී නැති බවට එදින පස්වරුවේ දි ආයතනය මගින් දැනුම් දෙනු ලැබීය.
ඉන් පසුව පුෂ්පකුමාර ඇතුළු ලංකා විදුලි සමාගමේ සේවකයින් 06 දෙනා ඇතුළු වෙනත් ආයතනවල සේවකයන් සමග 11 දෙනෙකු දික්වැල්ලේ පිහිටි හෝටලයක පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන එනු ලැබීය. පුෂ්පකුමාර ඇතුළු පිරිස එහි දින 14ක කාලයක් නිරෝධානය කිරීමට කටයුතු කරනු ලැබිණි. 18 වැනි දින පුෂ්පකුමාර ඇතුළු සේවකයින් දෙවැනි වතාවට නැවත පී. සී. ආර්. පරික්ෂණයට යොමු කරනු ලැබීය. එම පී. සී. ආර්. පරික්ෂණ වාර්තා අනුව ලංකා විදුලි සමාගමේ සේවකයන් තිදෙනකු ඇතුළු 05 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය. ඒ අනුව ඔවුන් 05 දෙනා ඉරණවිල රෝහල වෙත පිටත් කර යැවීමට කටයුතු කරනු ලැබිය. පුෂ්පකුමාරට එම පී. සී. ආර්. පරික්ෂණයෙන්ද කොරෝනා වයිරසය ආසාදනය වී නැති බවට තහවුරු විය.
මට විශාල අසාධාරණයක් වුණා. නිරෝගී පුද්ගලයකු වූ මම කොරෝනා අසාදනය වු රෝගීන් ඉන්න තැනට තමයි ගිහින් දැම්මේ; ඒ විතරක් නෙවෙයි. සෞඛ්‍ය අංශ මගින් මගේ නිවෙසට ඇවිත් පවුලේ අය නිරෝධායනය කරලා තිබුණා. මාධ්‍ය හා මුහුණපොත මගින් ද මට කොරෝනා ආසාදනය වී ඇති බවට ප්‍රචාරය වුණා. සමාජ මාධ්‍යජාල මගින් මාව විනාශ කළා. මේ නිසා කොරෝනා රෝගියෙක් වශයෙන් තමයි මම සමාජගත වුණේ. මගේ පුතා ඉගෙන ගන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ. මේ ගැන විශ්වවිද්‍යාලයට දැනුම් දීලා තිබුණා. පුතා හිටපු බෝඩිමේ අය නිරෝධායනයට දාලා තිබුණා. දුව ගිය උපකාරක පන්තිවලට කතා කරලා මේ ගැන දැනුම් දීලා තිබුණා. පසුව 15 වැනි දින මගේ අම්මා තාත්තා, බිරිද හා දරු දෙදෙනා පී. සී. ආර්. පරික්ෂණයට ලක්කරලා තිබුණා. ඒ අයටත් කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වුණා. මට දැන් ගමේ කඩයකට යන්න විදියක් නැහැ.
මේ අතර ගාල්ල ප්‍රදේශයේ කොහුආශ්‍රිත කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 292 නෙකු පී. සී. ආර්. පරීක්ණයට යොමුකරනු ලැබිය. පි.සි.ආර්. පරික්ෂණ සිදු කරනු ලැබුවේ පුද්ගලික රෝහලක් මගිනි. ඉන් සේවිකාවන් තිදෙනෙකුට හා සේවිකයෙකුට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබුණි. ඒ සමග අදාළ ආයතනයේ පාලනාධිකාරිය මගින් මේ පිළිබඳ සෞඛ්‍ය අංශ වෙත හා පොලිසිය දැනුවත් කිරිමට කටයුතු කරනු ලැබීය. සේවිකාවන් තිදෙනා කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත යොමු කිරීමට කටයුතු කරනු ලැබීය. මොවුන්ට රෝගය වැළදී ඇති ආකාරය පිළිබද හරිහැටි මුලාශ්‍රයක් සොයාගැනීමට නොහැකි වීම නිසා නැවත මෙම සේවිකාවන් තිදෙනා හා සේවකයා පී. සී. ආර්. පරික්ෂණයකට යොමු කිරීමට කටයුතු කරනු ලැබීය.
ගාල්ල හේලිස් කර්මාන්ත ශාලාවේ මානව සම්පත් කළමණාකරු ශාන්ත කුමාර මෙසේ කීවේය.
අපේ කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 292ක් පුද්ගලික රෝහලක් මගින් පී. සී. ආර්. පරික්ෂණ සිදු කළා, ඉන් 04 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාධනය වී ඇති බවට දැනුම් දුන්නා. පස්සේ කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේදි දෙවැනි වතාවට සිදු කළ පී. සී. ආර්. පරික්ෂණයේ දි මෙම සේවිකාවන් තිදෙනාට හා සේවකයාට කොරෝනා වයිරසය ආසාදනය වී නැති බවට වසංගත රෝග මර්ධන ඒකකය මගින් දැනුම් දුන්නා යැයි ඔහු කීවේය. ඒ අනුව බලනවිට නිරෝගි පුද්ගලයන් සිව් දෙනෙකුට කොරෝනා ලේබලය වැදී ඇත. එම සේවිකාවන්ටද සිදුවී ඇත්තේ බලවත් ආසාධාරණයකි.
කොහු ආශ්‍රිත කර්මාන්තශාලාවේ සේවය කරණ අක්මීමන තල්ගස්යායේ පදිංචි කේ.ඩි රංජනි කුමාරි (43) මෙසේ කීවාය.
ගාල්ල ප්‍රදේශයේ කොහු ආශ්‍රිත කර්මාන්ත ශාලාවක තමයි මම සේවය කරන්නේ. අපේ ආයතනයේ සේවක සේවිකාවන් සියලුදෙනා පුද්ගලික රෝහලක් මගින් පී. සී. ආර්. පරික්ෂණවලට ලක් කළා. 29 වැනිදින රාත්‍රි 10.00ට පමණ මම නිවසේ ඉන්න විට අපේ කම්හලේ ශාන්ත මහත්තයා කතා කරලා කිව්වා. පී. සී. ආර්. පරික්ෂණ වාර්තා අනුව මට කොරෝනා ආසාදනය වෙලා තියෙනවා කියලා. ඊට පසුදින උදෑසන මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පොලිසියේ මහත්වරු මට කතා කළා. නැවතවතාවක් මාව පී. සී. ආර්. පරික්ෂණයට යොමු කළා.රුධිර සාම්පලයක්ද ගත්තා.
පස්සේ අපේ කර්මාන්ත ශාලාවෙන් මට කතා කරලා කිවා දෙවැනි වතාවට කරපු පී. සී. ආර්. පරික්ෂණය නෙගටිව් කියලා. ඒ විට අපි කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලට යොමු කරලා තිබුණා. මම නිරෝගි අයෙක්. නමුත් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ඉන්නේ කොරෝනා අසාදිතයන් සමඟ එකට.
හෙට්ටිවිතානලාගේ සිරියලතා (60) කබරගල ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය මෙසේ කීවාය.
පී. සී. ආර්. පරික්ෂණ වාර්තා අනුව මට කොරෝනා අසාදනය වෙලා කියලා කම්හලෙන් දැනුම් දුන්නා. පසුව පී. සී. ආර්. මහත්වරු ඇවිත් අපිව රැගෙන ගියා. මගේ පුතා කරාපිටිය රෝහලට යොමු කළා.පස්සේ අපේ කම්හලේ සර් අපිට දැනුම් දුන්නා. කොරෝනා අසාදනය වෙලා නැහැ කියලා. ඒත් කෙරෝනා රෝගීන් අතර තමයි අපි ඉන්නේ.
පි. කේ. පත්මලතා (51) බැදිපාර ලබුදුව ප්‍රදේශයේ කුලී නිවෙසක පදිංචිව සිටින අතර ඇය මෙසේ කීවාය. මට දරුවන් තිදෙනක් ඉන්නවා. ගාල්ල ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක තමයි වැඩකරන්නේ. මහත්තයා ධිවර කාර්මිකයෙක්. මගේ මහත්තයාත් පී. සී. ආර්. පරීක්ෂණයට ලක්කළා.ඒ වාර්තා අනුව ඔහු නෙගටිව්. මට මුලින් කිවා කොරෝනා ආසාදනය වෙලා කියලා. පස්සේ කියනවා නැහැ කියලා.
අක්මීමන තල්ගස්යාය ප්‍රදේශයේ පදිංචි කාන්තාව අක්මීමන තල්ගස්යාය ශ්‍රී අශ්වත්ථාරාම විහාරස්ථානයට දානය රැගෙනවිත් ඇත. එම විහාරස්ථානයේ වැඩවසන ගාල්ල කඩවත් සතර හා තල්පේපත්තුවේ අධිකරණ සංඝනායක අක්මීමන තල්ගස්යාය අශ්වත්ථාරාමාධිපති මතුගම ගුණරත්න නාහිමියන් ද නිරෝධායනයට ලක්කොට ඇත. උන්වහන්සේ අප සමඟ කීවේ මෙවැන්නකි.
මේ සිද්ධිය නිසා අක්මීමන තල්ගස්යාය ගම්මානයේ ජනතාව දැඩි අසරණ තත්ත්වයට පත් වුණා. තල්ගස්යායේ කොරෝනා රෝගියකු ඉන්නවා කියලා ප්‍රචාරය කළා. එක් කාන්තාවක් පන්සලට දානය රැගෙන ආවා කියලා මාව නිරෝධායනය කළා. පස්සේ කියනවා මේ කර්මාන්ත ශාලාවේ සේවය කළ 04 දෙනාටම කොරෝනා වයිරසය ආසාදනය වෙලා නැහැ කියලා. මේ නිසා ඇතමුන්ට සිය රැකියාවන් වලට යන්න බැරි වුණා.
ඒ විතරක් නොව අක්මිමන තොටගොඩ පස්මාළුව ප්‍රදේශයේ විදේශතවිම සඳහා වීසා ලබාගැනීමට ගිය තරුණයකුට පී. සී. ආර්. පරික්ෂණයෙන් පසු කොරෝනා අසාදනය වී ඇති බවට තහවුරු වි තිබුණි.එම පී. සී. ආර්. පරික්ෂණය සිදුකොට ඇත්තේ පුද්ගලික රෝහලක් මගිනි. ඔහුගේ පී. සී. ආර්. පරික්ෂණ වාර්තාව ගැන ගැටලු පවතින බවට සෞඛ්‍ය අංශ පවසයි.
මේ පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මෙසේ කිවේය. කොහු ආශ්‍රිත කම්හලේ සිද්ධිය ගැන මට කිසිදු ප්‍රකාශයක් කරන්න බැහැ. සියලු තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයට දන්වලා තියෙනවා. මේ ගැන තීන්දුවක් ගත යුත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින්. ගාල්ල දිස්ත්‍රික්කය තුළ ඇති නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයගේ හා සමාජයේ පී. සී. ආර්. පරීක්ෂණ 7522ක් සිදුකරලා තියෙනවා. මේ අතර සැක සහිත පී. සී. ආර්. පරීක්ෂණ රසායනාගාර වාර්තා 03ක් තියෙනවා. ගාල්ල දිස්ත්‍රික්කය තුළ කොරෝනා වසංගත තත්ත්වය සමාජගත වීමට ඉඩ නොදී පාලනය කරලා තියෙනවා යැයි ද වසංගත රෝග විද්‍යාඥවරයා සඳහන් කළේය.
දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංගගෙන් අදාළ කොහු ආශ්‍රිත කර්මාන්ත ශාලාවේ සිද්ධිය ගැන අප කළ විමසුමකදී මෙසේ කීවේය.
සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අපිට කියන්න ඕන මේ අය ආසාදිතයන් නොවන සේ සලකා කටයුතු කරන්න කියලා. මේ මොහොතෙත් අපි කටයුතු කරන්නේ, ඔවුන් ආසාදිතයන් ලෙස සලකා ගෙන යැයිද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
රජයේ රෝහල් මගින් කරනු ලබන පී. සී. ආර්. පරික්ෂණ ගැන මේවනතෙක් කිසිදු ගැටලුවක් ඇතිවී නැත. ඒ ගැන රට්ටුන්ටද ඇත්තේ දැඩි විශ්වාසයකි. කොරෝනා ජරමරය අස්සේ කල දුටු කල වළ ඉහ ගන්නා සේ කටයුතු කරන පුද්ගලික රෝහල්ද නැතුවා නොවේ.