මාදම්පාවිල මායිම් කතාව බීරි අලින්ට වීණා වැයීමක්ද.. | සිළුමිණ

මාදම්පාවිල මායිම් කතාව බීරි අලින්ට වීණා වැයීමක්ද..

ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර තෙත් බිමක් වන මාදම්පාවිල අභය භූමිය ජෛව විවිධත්වයෙන් අනූන පරිසරික වශයෙන් ඉතා සංවේදී බිම් කඩකි. හෙක්ටයාර 1217.75ක වපසරියකින් යුත් මෙකී අභය භුමිය හික්කඩුව, අම්බලන්ගොඩ, කරන්දෙණිය හා බලපිටිය යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වේ. පාරිසරික සංවිධාන පෙන්වා දෙන ආකාරයට මෙම අභය භුමියේ පක්ෂි විශේෂ 101ක්, ශාක විශේෂ 138ක්, මත්ස්‍ය විශේෂ 54ක් සිටින බව වාර්තා වී ඇත. නමුත් වනජීවි නිලධාරින් පවසන්නේ මෙම අභය භුමිය සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකොට නැති බවයි.

පාරිසරික සංවිධාන විසින් කරනු ලැබූ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් 2007 සැප්තැම්බර් මස 21 වැනි දින මාදම්පාවිල අභය භුමියක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබිණ. එහෙත් අභය භුමිය ගැසට් කිරීමේදී එය විධිමත් අයුරින් සිදු නොවූ බවට වෝදනාවක් තිබේ.

GPS තාක්ෂණය මඟින් අභය භුමියේ මායිම් ලකුණු කොට ඇති අතර අම්බලන්ගොඩ බස්නැවතුම්පොළ, අම්බලන්ගොඩ නගරයේ පිහිටි පාසලක්, හා නගර සභාව මඟින් සංවර්ධනය කරමින් පැවති අක්කර 238ක වපසරියකින් යුතු ඉඩමක්ද ඊට ඇතුළත් කොට තිබේ. ඊට අමතරව ගම්මුන් පදිංචි පාරම්පරික වාසභුමිද මෙම අභය භුමියට ඇතුළත් කොට ඇති බැවින් එහි පදිංචි ජනතාවට සිය දෛනික කටයුතු කරගෙන යෑමේදී ගැටලු රැසක් උද්ගත වී ඇත. එම ජනතාවගේ ආදායම් මාර්ග අහිමි වී ගොස් ඇති අතර අවිධිමත් අයුරින් අභය භුමියේ මායිම් සලකුණු කිරිම නිසා ප්‍රාදේශීය වශයෙන් පරිපාලන කටයුතු කරගෙන යෑමේදී ප්‍රදේශීය ලේකම්වරුද ගැටලු රැසකට ලක්ව සිටිති. දෙල්දුව, ඌරවත්ත, දේවගොඩ, කුලිගොඩ, ගලගොඩ, ඉඩම්තොට යන ග්‍රාම නිලධාරි වසම්වලට අයත් පවුල් 3319ක් මෙම අභය භූමියේ පදිංචිව සිටින අතර අභුය භුමිය ගැසට් කිරීමේදී සිදුවූ වරද නිවැරදි කිරීමට අමාත්‍ය මණ්ඩලය මඟින් 2017.07.22 දින ගැසට් පත්‍රය සංශෝධනය කොට ඇත. ඒ, සංශෝධිත අංක 17/0534/708/009 දරණ ගැසට් පත්‍රය යටතේය. ඒ අනුව අභය භුමිය යළි නිවැරදි අයුරින් මායිම් සලකුණු කොට ජනතාව පදිංචිව සිටින සංවර්ධිත ප්‍රදේශ අභය භුමියෙන් නිදහස් කළ යුතුව තිබිණ. ගැසට් පත්‍රය සංශෝධනය කොට මේ වන විට වසර තුනක් ගතවී ඇතද එය සිදු කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇත.

ගම්මුන් මෙන්ම දේශපාලන අධිකාරියද කඩිනමින් එය සිදු කර දෙන ලෙස කොතෙක් ඉල්ලීම් කළද එය බීරි අලින්ට වීණා වැයීමක් බඳු කටයුත්තක් බවට පත්ව තිබේ. මේ පිළිබඳ සාකච්ඡා කිරීමට වනජිවි හා වන සංරක්ෂණ ඇමති සී. බී. රත්නායක ගේ ප්‍රධානත්වයෙන් හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පසුගියදා පවත්වනු ලැබුවේ රාජ්‍ය ඇමති මොහාන් පී. ද සිල්වා ගේ ඉල්ලීමකට අනුවය.

මාදම්පාවිල අභයභුමියෙන් නිදහස් කළ යුතු ප්‍රදේශ නම් කිරීමේදී ඒ පිළිබඳ පාරිසරික වාර්තාවක් ලබාගත යුතු බව ගාල්ල වනජීවි නිලධාරි උත්පල උදාරංග එහිදී සඳහන් කළේය. ඒ පිළිබඳ අදහස් දක්වමින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසුවේ මෙවැන්නකි.

"ගැසට් පත්‍රයේ අවිධිමත් බව නිසා වසර 13ක කාලයක සිටි මෙහි පදිංචි ජනතාව ගැටලු රැසකට ලක්ව සිටිනවා වගේම ප්‍රදේශීය පරිපාලන කටයුතු කරගෙන යෑමේදී ප්‍රාදේශීය ලේකම්වරු ගැටලු රැසකට මුහුණ දෙනවා. මෙම ගැටලුව ගැන මා විසින් දිසාපති සමුළුවේදිත් කතා කළා. තත්ත්වය ගැන මෙන්ම ඒ වගේම වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟත් සාකච්ඡා කළා. නමුත් එය අසාර්ථක වුණා."

මෙම අභය භුමිය ආසන්නයේ ඇති අම්බලන්ගොඩ තල්ගස්ගොඩ ප්‍රදේශයේ ඇති කුඹුරු ඉඩම් වසර ගණනාවකින් වගා කර නැති අතර එම කුඹුරු ඉඩම්වල අයිතිය පිළිබඳ ඇතැම් කුඹුරු හිමියන් පවා හරිහැටි නොදනී. එම කුඹුරු ඉඩම්වල විකල්ප බෝග වගා කිරීමට යෑමේදී වනජීවි අමාත්‍යාංශය හරහට සිටින බවද ගම්මු පවසති. එම ප්‍රදේශයට යෑම සඳහා වනජීවියෙන් අවසර ගත යුතුය. ඇළ මාර්ගවල පවතින ගැටලු නිසා අම්බලන්ගොඩ නගරය සුළු වර්ෂාවකට පවා ජලයෙන් යටවන අතර එම ඇළ මාර්ග අලුත්වැඩියා කිරීමේදී පවා පාරිසරික සංවිධානවල දැඩි විරෝධය එල්ල වන බවද මෙම රැස්වීමේදී අනාවරණය විය. රත්ගම ප්‍රදේශීය සභාවේ සභාපති ටී. නිමල් එහිදී පැවසුවේ වසර 9ක් තිස්සේ ගල් කඩා ජීවත් වූ ජනතාවට එයද දැන් අහිමි වී ඇති බවයි. අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති නිතිඥ අරුණ ප්‍රදීප් ද මෙහිදී අදහස් දැක්වීය.

එම කළුගල් සහිත භුමි භාගය පිළිබඳ අමාත්‍ය මණ්ඩලය සිය නිර්දේශය ලබා දී ඇත්තේ මේ අයුරිනි. "වනජිවි ආඥාපනතේ වනජිවි ප්‍රදේශවල බලපත්‍ර නිකුත් කළ නොහැකිය. ඒ අනුව වනජිවි අභය භුමිය තුළ ජීවත්වන වන ජීවින්ට හා පරිසර පද්ධතියට බලපෑමක් ඇති නොවන්නේ නම් අමාත්‍ය මණ්ඩලය සංදේශයක් ලෙස ඉදිරිපත්කොට ඇති ආකාරයට මාදම්පාවිල අභය භුමියේ පිහිටි කළුගල් සහිත භුමි භාගය අභය භුමියෙන් ඉවත් කර නව මායිම් සලකුණු කිරීම යෝග්‍ය වේ."

ගැසට් පත්‍රය නිවැරදි කිරීමට ලබා දී ඇති සාධාරණ කාලයද මේ වන විට අවසන් වී තිබෙන බවත් රාජ්‍ය නිලධාරීන් ලෙස ඒ ගැන කණගාටු විය යුතු බවත් වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර එහිදී සඳහන් කළේය.

රාජ්‍ය ඇමති මොහාන් පී. සිල්වා ද මෙහිදී අදහස් දැක්වූ අතර ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසු අදහස් දැක්වූ වනජීවි හා වනසංරක්ෂණ ඇමති සී. බී රත්නායක ප්‍රකාශ කළේ මාදම්පාවිල අභය භුමිය ගැසට් කිරීමේදී ඊට ඇතුළත් කර ඇති ජනතාව පදිංචි සහ මිනිස් ක්‍රියාකාරකම් සිදුවන සංවර්ධිත ප්‍රදේශ ඉන් නිදහස් කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් සතියක් ඇතුළත වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලබාදීමට නියෝග කරන බවයි.

එම වාර්තාව සකස් කිරීමට එම අභය භුමියට අයත් ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරු හා අදාළ රාජ්‍ය ආයතනවල රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. එමෙන්ම සංවර්ධිත ප්‍රදේශ නිදහස් කිරීමේදී මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ සාකච්ඡා කර තවත් පරිසර වාර්තාවක් කැඳවන බවද ඇමතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Comments