සුපිරි පැලැන්තියේ ‘අභිසරු රැජින’ ට වසර දහයක අත්හිටවූ දඬුවම | සිළුමිණ

සුපිරි පැලැන්තියේ ‘අභිසරු රැජින’ ට වසර දහයක අත්හිටවූ දඬුවම

ජිනා මැඩම් සිපිරි ගෙට යැවූ නඩු තීන්දුව

කොළඹ මහාධිකරණයේ ඉකුත් දහනව වැනිදා වසර දහයක පමණ කලෙක සිටම විභාග වූ නඩු කටයුත්තක තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. එම තීන්දුව ප්‍රකාශයට පත්කළ කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඊට වරදකාරිය වූ විත්තිකාරියට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියමකොට එය වසර දහයක කාල පරාසයකට එම දඬුවම අත්හිටුවීමට ද නියම කළේය. ඊට අමතරව විනිසුරුවරයා විසින් විත්තිකාරියට වසර 10ක කාලය තුළ තවත් එකී නඩු කටයුත්තට අදාළ වන ආකාරයේ වරදක් සිදුකළහොත් වසර 2ක බරපතළ වැඩ සහිත සිර දඬුවම ක්‍රියාත්මක කිරීමටද නියම කළේය. ඊට අමතරව විනිසුරුවරයා විසින් රුපියල් ලක්ෂ පහක දඩයක්ද ඇයට නියම කළේය.

කෙසේ හෝ එල්ල වූ චෝදනාවන් සියල්ලටම වරද පිළිගැනීම නිසා එලෙස දඬුවම් නියම වූයේ රෝස්මේරි ජූඩ් ෆිලීෂියා පෙරේරා හෙවත් ජිනා මැඩම් නමින් කුප්‍රකට කාන්තාවටයි. ජිනා මැඩම් කලෙකට පෙර මෙරට එක්තරා සමාජ ස්ථරයක සුවච කීකරු කාන්තාවක් වූයේ ඔවුනගේ ඕනෑ එපාකම් පිරිමැසු නිසාවෙනි.

ඇයට මෙලෙස දඬුවම් නියම කෙරුණේ 2010 දෙසැම්බර් 04 වැනි දින කොළඹ, කොල්ලුපිටිය මංසන්ධියේ ප්‍රකට ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණයේ හත්වන සහ අටවන මහල්හි කාමර කිහිපයක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක කාන්තාවන් පස්දෙනෙකු රඳවා ගැනීම ඇතුළුව නීතිපතිවරයා විසින් විත්තිකාරියට එරෙහිව ගොනු කළ චෝදනා පහක් පිළිබඳව වූ නඩු කටයුත්තෙහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමඟිනි.

ජූඩ් ෆිලිෂියා හෙවත් කා අතරත් ජිනා මැඩම් නමින් ප්‍රකටව සිටි ඇය සුපිරි පන්නයෙන් මෙරට ධනවත්, බලවත්, ප්‍රභූ පන්තියේ අයවලුන්ට ගණිකාවන් සැපයු තැනැත්තියකි. එකී ගණිකාවන් සැපයීම එසේ-මෙසේ ගණන්වලට නොව රුපියල් පනස් දහස, හැත්තෑ පන්දහස පමණක් නොව ලක්ෂ ගණනින් ඇගේ ගණිකා මඩමේ කාන්තාවන් අලෙවි වී තිබූ බවකි. ඒ, මෙරට කාන්තාවන් පමණක් නොව විදේශීය කාන්තාවන්ද සමඟිනි.

මෙරට සෑම අස්සක් මුල්ලකම කාන්තාවන් සිටි ඇගේ ගණිකා නිවාසයට ඈත ගම්බද කාන්තාවන් පැමිණ තිබුණේ නිවෙස්වලට කොළඹ ප්‍රධාන පෙළේ ආයතනවල රැකියාව කරන බව පවසමිනි. එසේම විදේශිය කාන්තාවන් සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇයගේ ගණිකා මඩමේ කටයුතු කර තිබුණාය. එකී ගණිකාවන්ගේ පහස ලබා ගැනීමට පැමිණෙන අයවලුන් ගෙවන ලක්ෂ ගණනින් මුදලෙන් සියයට දහයකට අධික මුදලක් ලබාගෙන තිබුණේ ජිනා මැඩම්ය. මසකට ලක්ෂ තිහකට අධික කුලියක් ලිබර්ටි ප්ලාසාහි කාමරවලට ගෙවමින් ඇය මෙකී ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් තිබුණේ කිසිදු පොලිස් නිලධාරියෙකුට එය වැටලීමට තරම් ‘හයිය‘ක් නොමැති වන ආකාරයෙන් ප්‍රභූ පැලැන්තියේ බොහෝ දෙනෙකුගේ අනුග්‍රහය ලබමිනි.

මීගමුවේ කාන්තාවක වන ඇය ගණිකා වෘත්තිය හරහාම කොළඹට පැමිණ කුලී නිවෙස්වල කල් ගෙවා පසුව කොළඹ සුපිරි දිවියක් ගත කරමින් මෙකී ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් තිබුණාය.

කිසිදු හිරිකිතයකින් තොරව කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවූ ජිනා මැඩම්ගේ කුප්‍රකට ව්‍යාපාරයට ‘තිත‘ තැබීමට එසමයේ කිසිදු පොලිස් නිලධාරියෙක් හෝ වගකිවයුතු පාර්ශ්වයක් උනන්දු නොවූයේ ඇයට තිබූ බල මහිමයත් ඇය සමඟ ප්‍රභූ පැලැන්තියට තිබූ සබඳතාවත් නිසාය. වරක් ඇයගේ ගණිකා නිවාසය වැටලූ පොලිස් නිලධාරින්ට එවකට රජයේ නියෝජ්‍ය ඇමැතිවරයෙක්ද එහි සිට හමු වී තිබුණේය. ඒ අනුව ඇගේ ගණිකා නිවාසයට රිංගු පැළැන්තිය කෙබඳුද යන්න ගම්‍ය වේ.

එලෙස ඇය විසින් පවත්වාගෙන ගිය ප්‍රභූ පුද්ගලයන් රිංගමින් සිදු කෙරුණු ගණිකා මඩමට එරෙහි වීමට පළමු වෙඩි මුරය තැබුවේ එවකට ආරක්ෂක ලේකම්ව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි. එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඍජු උපදෙස් මත එවක පොලිස්පති මහින්ද බාලසූරිය විසින් ජිනාගේ ගණිකා මඩම වැටලීමේ මෙහෙයුම බාර දී තිබුණේ කොළඹින් පිටත පොලිස් ඒකකයක් වූ වලාන දූෂණ මර්දන ඒකකයටයි.

එවක එහි ස්ථානාධිපති වූ දුමින්ද බාලසූරිය මහතා ප්‍රමුඛ සිවිල් හා නිල ඇඳුම්ලාගත් පොලිස් නිලධාරින් හා නිලධාරිනියන් තිහකට අධික පිරිසක් එක්ව 2018 දෙසැම්බර් 04 වැනිදා ජිනාගේ ගණිකා මඩම වැටලීමේ මෙහෙයුම සිදු කෙරුණේ ඊට පෙර නිලධාරින් දෙදෙනෙකු උපාය දූතයන් ලෙසද ගණිකා නිවාසයට යවමිනි.

වසර විස්සකට අධික කාලයක් කිසිදු පොලිස් නිලධාරින් නොදැක්කා සේ ජිනා විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසය එදින වැටලුවත් ඇයව කොටුකර ගැනීමට පොලිසියට නොහැකි වූවාය. ඒ, ජිනා මැඩම් පොලිසිය පැමිණෙද්දි ගණිකාවන් හත්දෙනෙකුද කැටුව අටවැනි මහලේ කාමරයක සිට පොලිසිය පැමිණෙන ආකාරය රූපවාහිනී තිරයකින් නරඹමින් සිට රහස් පඩිපෙළකින් පැන ගිය හෙයිනි. එදින ඇය පැන ගිය ආකාරය පොලිසියටද අදහාගත නොහැකි විය. එහෙත් කාමරවල සිටි උස්බෙකිස්තාන කාන්තාවන් දෙදෙනෙක් සහ මෙරට කාන්තාවන් තිදෙනෙකු පොලිසියට කොටු වූවාය. එලෙස කොටුවූ මෙරට කාන්තාවන් වූයේ අනුරාධපුර, මහරගම සහ කළුතර කාන්තාවන් තිදෙනෙකි.

එදින පැන ගිය ජිනා මැඩම් කොළඹ සුපිරි හෝටලයක කාමරයක් ගෙන දින ගණනාවක් ගතකර තිබුණාය. එම කාලය ඇය රටින් පැන යෑමට තැත්කර තිබුණත් පොලිසිය ඊට එරෙහිවද වැටකඩුලු තර කළේ ගුවන් තොටුපොළ බලධාරින්ද දැනුවත් කරමිනි.

ඇයව කොටුකර ගැනීමට මෙරට සියලු පොලිස් ස්ථානවලින් දිවා රෑ වෙහෙසෙමින් සිටියේය. ඊට පොලිස් බුද්ධි නිලධාරින්ද එක් වූයේය. වැටලීම කළ දින සිට දින නවයක පමණ කාලයක් වෙස් මාරු කරමින් තැන තැන ගිය ජිනා 13 වැනිදා තම කොණ්ඩයේ ස්වරූපය වෙනස් කිරීමට කොළඹ සුපිරි පන්තියේ කොණ්ඩා මෝස්තර නිර්මාණ ආයතනයකට යෑමට වේලාවක් වෙන්කර ගත්තාය.

එලෙස කොණ්ඩා මෝස්තර නිර්මාණ ආයතනයට ජිනා පැමිණීමට නියමිත බවට පොලිස් ඔත්තුකරුවකුට තොරතුරක් ලැබී තිබුණාය. ඔහු එම තොරතුර පිළිබඳව දැනුවත් කළේ එවක සිටි විශිෂ්ට පොලිස් නිලධාරියෙකු වූ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සරත් ලූගොඩයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් ක්ෂණිකවම අදාළ ස්ථානයට විමර්ශන නිලධාරි කණ්ඩායමක් යවා ඇයව අත්අඩංගුවට ගත්තෙ එදින සවස් යාමයේමයි. එහෙත් ඇය ගණිකා නිවාසය පවත්වාගෙන යෑමට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවට පොලිසියට බොහෝ සේ බේගල් ඇද බා තිබුණාය. කෙසේ හෝ ලිබර්ටි ප්ලාසාහි පාලකයන්ගේ සහ පොලිසිය සිදුකළ වැටලීම් තොරතුරු මත ඇයට ගැලවීමක් නොලැබුණාය.

ඒ අනුව අත්අඩංගුවට පත් ජිනා මැඩම්ට එරෙහිව පොලිසිය විසින් ඇය විසින් 2007 ඔක්තෝම්බර් මාසයේ දිනෙක කොල්ලුපිටිය ප්‍රදේශයේදී කාන්තාවන් ගණිකා වෘත්තියට ඇද ගැනීමේ චෝදනාවන්ද එල්ල වූවාය.

අත්අඩංගුවට පත්වන විට 64 වියෙහි පසුවූ ජිනා නොයෙක් ලෙඩ රෝග ගැන පවසමින් පොලිසියෙන් නිදහස් වීමට තැත් කළත් ඊට පොලිසියෙන් කිසිදු අවස්ථාවක් නොලැබුණාය. මෙරට තුළ කලක් බලවන්තම කාන්තාවක ලෙස වැජඹුණු ජිනා මැඩම්ට එරෙහිව අවංකව රාජකාරි කරන වගකිවයුතු නිලධාරින් පොලිසිය ඇතුළු රටෙහි පාලන තන්ත්‍රය තුළ සිටි හෙයින් ඇගේ නොමනා ක්‍රියාවන්ට එලෙස තිත තැබුණේ නීතිය ඉදිරියටද පමුණුවමින් දඬුවම් ලබා දෙමිනි.

Comments