හරක් හොරු ඇල්ලීමට ගොස් ජීවිතය අහිමි වූ ආණමඩුවේ රථවාහන ස්ථානාධිපති | Page 2 | සිළුමිණ

හරක් හොරු ඇල්ලීමට ගොස් ජීවිතය අහිමි වූ ආණමඩුවේ රථවාහන ස්ථානාධිපති

සුගිය බ්‍රහස්පතින්දා අලුයම ආණමඩුව පොලිසිය දෙසින් අසන්නට ලැබුණේ හද කම්පා කරවන පුවතකි. ඒ, ආණමඩුව පොලිස් ස්ථානයේ රථවාහන අංශ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක අජිත් හේමන්ත අවාසනාවන්ත ලෙස මරණයට පත්වීමේ පුවතයි. ආණමඩුව නගර මධ්‍යයේදී පස්වැනිදා අලුයම 12.30ට පමණ වූ රිය අනතුරකින් උප පොලිස් පරීක්ෂකවරයාගේ ජීවිතය මෙලොව හැර ගොස් තිබුණේ එම ස්ථානයේදීමය. 38 හැවිරිදි උපපොලිස් පරීක්ෂක අජිත් හේමන්තට මෙකී ඛේදජනක ඉරණමට මුහුණ දීමට සිදු වූයේද දිවා රෑ නොබලා සිය රාජකාරියට කැපවෙමින් සිටියදීය.

නිකවැරටිය නගර මධ්‍ය යේ වූ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයෙන් සිප්සතර හැදැරූ අජිත් හේමන්ත 2011 වසරේදී උපපොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව ඇත. මූලික පුහුණුව කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් හැදැරූ හෙතෙම මීට වසරකට පමණ පෙරදී ආණමඩුව පොලිස් ස්ථානයේ රථවාහන අංශ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි ඇරැඹීමට ප්‍රථම පල්ලම, වනාතවිල්ලුව සහ මූන්දලම පොලිස් ස්ථානයන සිය රාජකාරිය අකුරටම ඉටුකරමින් උසස් පොලිස් නිලධාරින්ගේ හිත් දිනාගත් නිලධාරියෙකි.

නිකවැරටියේ, ඉහළගම, තිඹිරියාව ග්‍රාමයේදී 1982 මාර්තු 22 වැනිදා දයාසෙවණ නිවසේදී රත්නායක මුදියන්සේලාගේ අජිත් හේමන්ත රත්නායක උපන්නේ සහෝදරයන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැන්නා ලෙසයි. අජිත්ගේ එක් සහෝදරයෙක් යුද හමුදාවේ සේවය කරමින් සිටියදී රුදුරු කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකින් මියගොස් ඇත.

පසුගිය හතර වැනිදා රාත්‍රියේ ආණමඩුව පොලිස් ස්ථානයට ඇමැතුමක් ලැබී තිබුණේ ආණමඩුවේ සිට පුත්තලම් පාරේ කිලෝමීටර් පහක පමණ දුරකින් පිහිටි කොට්ටුකච්චිය ග්‍රාමයේ අයෙකුගෙනි. ඉන් කියැවී තිබුණේ කොට්ටුකච්චිය රජයේ ගොවිපොළ ආසන්න ප්‍රදේශයෙන් මීගවයන් රංචුවක් හොර හරක් ජාවාරම්කාරයන් පිරිසක් විසින් ලොරි රථයකට පටවමින් සිටින බවටයි. 

ඒ මොහොත වන විට ආණමඩුව පොලිස් ස්ථානයේ පොරොත්තු රාජකාරියෙහි නිරතව සිට ඇත්තෙ උපපොලිස් පරීක්ෂක අජිත් සහ ආණමඩුව විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මධුරංග යන දෙදෙනායි. දෙදෙනා එකී ඇමැතුමකට ක්‍රියාත්මක වීමට සූදානම් වූයේය.

එහෙත් ඒ වන විට ආණමඩුව පොලිස් ස්ථානයට අයත් ජංගම රථය වෙනත් රාජකාරියක් සඳහා නික්ම ගොස් තිබිණි. අහස පොළොව නුහුළන අපරාධයක් වන අහිංසක මීගවයන් රංචුවක් මසට රැගෙන යන ජාවාරම්කාරයන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා සිය රාජකාරි වගකීම අකුරටම ඉටුකිරීමට කැපවී සිටි අජිත්, KR 5876 අංක දරන සුදු පැහැති සිය පෞද්ගලික මෝටර් රථයෙන් එකී දුරකථන ඇමැතුමෙන් කියැවුණු ප්‍රදේශය බලා යෑමට පිටත් විණි.

පොලිස් පරීක්ෂක මධුරංගගේ ප්‍රධානත්වයෙන් ඔහු සමඟ එකී වැටලීමට ගිය අජිත් පැදවූ මෝටර් රථ විදුලි වේගයෙන් කොට්ටුකච්චිය දෙසට ඇදෙමින් තිබුණේය. එහෙත් පොලිසියේ සිට කිලෝමීටර් තුනක් පමණ පුත්තලම දෙසට යන විට තෝනිගල ප්‍රදේශයේදී ඉදිරියෙන් පැමිණි සැකසහිත ලොරි රථය ඉතාම වේගයෙන් ආණමඩුව දෙසට ගමන් කරන ආකාරය අජිත්ලා දැක තිබිණි.

ඒත් සමඟ ක්ෂණිකවම ක්‍රියාත්මක වූ අජිත් මෝටර් රථය හරවා ලොරි රථය ලුහුබඳින්නට වූයේය. කෙසේ හෝ ආණමඩුව නගරය දක්වාම ලොරි රථය ලුහු බඳිමින් මෝටර් රථය පැමිණි බවකි. වේලාව හරියටම අලුයම 12.30 ට පමණ වී ඇත.

ආණමඩුව නගර මධ්‍යයෙන් අජිත් පැදවූ රථය ඔහුගේ පාලනයෙන් මිදී ලිස්සා ගොස් විශාල ශබ්දයක් නඟමින් හැපී තිබුණේ නගර මධ්‍යයේ පිහිටා තිබෙන හෝරා ස්ථම්භය අසල තබා තිබූ විශාල මල් පෝච්චියක සහ එහි බැම්මේයි.

ඉන් රථයේ ඉදිරිපස පොඩිපට්ටම් වී ගොස් ඇත්තෙ අජිත්ගේ ජීවිතයද එම ස්ථානයේදීම අවසන් ගමන් යවමිනි. ඉදිරිපස අසුනේ සිටි පොලිස් පරීක්ෂක මධුරංගද තුවාල ලබා සිටි අතර දෙදෙනාම ආණමඩුව රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබිණි.

පොලිස් දෙපාර්තමේන්තුවේම සේවය කරමින් වත්මනෙහි පොල්ගහවෙල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන උපපොලිස් පරීක්ෂිකා අත්තනායක අජිත්ගේ බිරියයි. වයස අවුරුදු තුනක කුඩා පුතෙකුගේ පියෙක් වන අජිත්ගේ බිරිය නුදුරේදීම තවත් දරු පැටියකු මෙලොව බිහිකිරීමට ද සිටින බවකි.

පාසල් වියේ සිටම ක්‍රිකට් ක්‍රීඩාවට උපන් හපන්කම් පෙන්වා ඇති අජිත්, යාළු මිත්‍රයන් අතර නිහතමානී, ගුණ යහපත් තරුණයෙකු ලෙස ප්‍රචලිත වී සිටි අයෙකි. ඔහුගේ වියෝව පිළිබඳව සිය සහෘදය මිත්‍රයකු සමාජ මාධ්‍ය ඔස්සෙ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ,

හිස උදුම්මා නොගත් පොළොවේ පය ගසා ජීවත්වූ ගමේකම හැඳිණු තරුණ පොලිස් නිලධාරියෙක් ලෙස අජිත්, අප සියලු මිත්‍රයන්ට අභිමානයක් ගෙන දුන් පොලිස් නිලධාරියෙක් බවයි.

ගමේ කා අතරත් කුඩා කල සිටම ප්‍රියමනාප අයකු වූ උපපොලිස් පරීක්ෂක අජිත් හේමන්ත පිළිබඳව නිකවැරටිය, ඉහළගම වැඩිහිටියකු කීවේ,

“මේ පුතා ගමට හිටිය අභිමානයක්... අපේ ගම්වල බොහෝ දෙනෙක් ගොවිතැන් බතින් ජීවත්වන මිනිස්සු. අජිත් මහත්තයා ගමේ කා අතරත් ජනප්‍රිය පුද්ගලයෙක්. ඔහු කිසිමදාක පොලිසියට ගියා කියලා ගමේකම අමතක කළේ නෑ. සෑම විටෙකම ගමේ පොදු දේට එකතු වෙමින් ගමේ මිනිසුන්ගේ ගැටලුවලට මැදිහත් වුණ රත්තරන් මහත්මයෙක්. අපි හිතාගන්න බැරි මේ වගේ ගුණ යහපත් කෙනෙකුට අහිංසක සත්තු ටිකක් මුදාගැනීමේ උතුම් රාජකාරියකට ගොස් මෙවැනි දෙයක් වුණේ ඇයි කියලා. “

තවත් බොහෝ කාලයක් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අමිල සේවයක් කිරීමට සිටි කාර්යශූර තරුණ පොලිස් නිලධාරියාගේ අකල් මරණය ශ්‍රී ලංකා පොලිසියට සිදුවූ පිරිමැසිය නොහැකි පාඩුවක් බව ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරීන්ගේද මතයයි.

ඡායාරූප - කේ. ප්‍රියංකර කළුපහන 
(වනාතවිල්ලුව සමූහ)

Comments