හිටපු අගමැති දියණියගේ නිරෝධායනයට ගිනි ඇවිලීම | Page 2 | සිළුමිණ

හිටපු අගමැති දියණියගේ නිරෝධායනයට ගිනි ඇවිලීම

ගුවන් තොටුපොළේදී වෛද්‍ය තුෂර වික්‍රමනායක සිංහලෙන් පුරවා ඇති විස්තර සැපයීමේ පත්‍රය

හා බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි තුෂාර වික්‍රමනායක නම් වෛද්‍යවරියක් පසුගිය දිනක සිය ෆේස්බුක් පිටුව හරහා සමාජය කම්පනය කරන හෙළිදරව්වක් කළාය. ඇය විනාඩි 11කට ආසන්න කාලයක් තමන් මුහුණ දුන් අත්දැකීමක් එමඟින් හෙළි කෙළේ නිරෝධායන උදෙසා ඇය බලෙන් රඳවා ගැනීමට කටයුතු කරන බවක්ද පවසමිනි. රටේ පුරවැසියකු බලෙන් රඳවා ගත හැකිදැයි ඇය ප්‍රශ්න කළාය. පසුගිය ඔක්තෝබර් 16 වැනිදා මෙරටට පැමිණි දින සිට වූ සිදුවීම් මාලාව ඇය විස්තර කළාය.

‘ගුවන් තොටුපොළේදී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දුන් විස්තර පත්‍රිකාව සිංහලෙන් පිරවීම සම්බන්ධයෙන් ඇයට බ්‍රිගේඩියර්වරයකු දොස් පැවරූ බවත් ඇය පවසයි. නිරෝධායනය වීමට ඉල්ලා සිටි හෝටලය ලබා නොදුන් බවත් දුර ඈත හෝටලයක් ලබා දීමට කටයුතු කළ බවද කෙසේ හෝ තමන් ඉල්ලා සිටි හෝටලය ලැබුණු බවද ඇය පෙන්වා දෙයි. දින 14ක නිරෝධායන කාලය 30 වැනිදා අවසන් වන නමුත් පෙර දින රාත්‍රී 8.30ට පමණ ඇයට දුරකතනයෙන් කතා කළ හමුදා නිලධාරියෙක් දන්වා ඇත්තේ ඇය පැමිණ දින 10කට පසුව ලබාගත් පී.සී.ආර්. සාම්පලය නිසි අයුරින් සිදු නොවී ඇති බවත් ඒ සම්බන්ධව යළි සාම්පලයක් ලබා ගෙන පෞද්ගලිකව පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කර ගැන්මට සිදුවනු ඇති බවත්ය. දින 14ක් වෙනුවෙන් හෝටලයට රුපියල් 175,000ක මුදලක් ගෙවා ඇති තමන්ට පෞද්ගලිකව පීසීආර් පරීක්ෂණයක් කර ගැන්මට මුදල් නොමැති බවත් එපමණ කාලයක් හෝටලයේ රැදී සිටීමට මුදල් නැති බවත් රජය මඟින් පරීක්ෂණයක් සිදු කර දෙන ලෙස ඉල්ලා සිටි බවද ඇය ප්‍රකාශ කළාය. හමුදා කපිතාන්වරයකු ඒ ගැන සලකා බලන්නම් යැයි කීවද පසු දින හමුදා වෛද්‍යවරයකු වන කර්නල් සවීන් සේමගේ ඇයට කතා කර ඇය විසින් පෞද්ගලිකවම එම පරීක්ෂණය කර ගත යුතු බවත් හෝටලයෙන් පිට වන්නට ගියහොත් තමා අත්අඩංගුවට ගන්නා බව ප්‍රකාශ කළ බවත් මෙය සම්පූර්ණයෙන්ම මිල්ටරිකරණයක් බවත් එයට විරුද්ධ විය යුතු බවත් ඇය කරුණු ගෙන හැර දක්වමින් පැවසුවාය.

එම පරීක්ෂණය පෞද්ගලිකව සිදු කරගෙන එහි ප්‍රතිඵල ලැබෙන තෙක් හෝටලයේ නැවතිය සිටිය යුතු බව තමාට දැන්වූ බවද ඇය පෙන්වා දුන්නාය.

පීසීආර් පරීක්ෂණය රජයෙන් සිදු කර දෙන ලෙස ඉල්ලා සිටි අතර තමා නීතිගරුක පුරවැසියෙක් බවත් තමා නැවතී සිටින හෝටලයේ සාමාජිකාවක බවත් තමා නිරතුරුවම හෝටලයට පැමිණෙන බවද ඇය එම ෆේස්බුක් පිටුවේ වීඩියෝ දර්ශනයෙන් පෙන්නුම් කළාය. හෝටලයේ නැවතී සිටින්නට මුදල් නොමැති හෙයින් නිවසට යාමට සලස්වා නිවසේ සිටින අතර පීසීආර් පරීක්ෂණයක් සිදු කර ගැනීමට හැකි බවත් එසේ නැත්නම් පීසීආර් සාම්පලයක් ලබාගෙන නිවසට යාමට ඉඩ දෙන ලෙසත් ඉල්ලා සිටි බවත් තමා නිවසින් පැන නොයන නීතිගරුක පුරවැසියකු බවත් හෝටලයේ හා අසල්වැසියන් සියලු දෙනාම තමන් දන්නා අඳුනන අය බවද ඇය පැවසුවාය.

එමෙන්ම අදාළ හෝටලයේ කිසිදු සිවිල් පුරවැසියකු නොසිටි බවත් සියලු දෙනා හමුදාවේ පුද්ගලයන් බවත් මෙය පූර්ණ මිලිටරිකරණයක් බවත් තමන් හෝටලයෙන් පිටව ගියොත් අත්අඩංගුවට ගන්නා බව කර්නල් සවීන් සේමගේ තමාට නිල වශයෙන් ප්‍රකාශ කළ බවද ඇය පෙන්වා දුන්නාය.

මේ වන විට සමාජයේ පළමු ආශ්‍රිතයන් පවා නිවෙස්වල නිරෝධායනය වන හෙයින් හා තමා ආශ්‍රිතයෙකුගේ සමීපයෙක් හෝ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන නිසා නිවසට යාමට ඉඩ ලබා දීම කිසිදු ආකාරයක ගැටලුවක් නොවන බවද ඇය පෙන්වා දුන්නාය.

මෙරට පීසීආර් යන්ත්‍ර අක්‍රිය වී ඇති බව පැවසුවද එය සාවද්‍ය බවත් ඒවා ප්‍රමිතියෙන් අඩු බවත් ඇය පැවසුවාය. එමෙන්ම මෙරට භාණ්ඩාගාරය ‘රෝලක් ගසමින්‘ පවත්වාගෙන යන බවත් තම පියා අගමැතිව සිටියදී මව ‘නිල ගමනක්‘ යාමට පියාගේ වාහනය ඉල්ලා සිටි අවස්ථාවේදී පියා භාණ්ඩාගාරයේ මුදල් නොමැති බව පැවසූ නිසා මව එම ‘නිල ගමන‘ ටැක්සියකින් ගිය බවද ඇය කීවාය. මේ මිල්ටරිකරණය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුණිවත රැකීම ගැනද ඇය දොස් පැවරුවාය.

මේ සිදුවීමෙන් පසු දින ඇයට දුරකතන ඇමතුමක් දී කර්නල් සවීන් සේමගේ ඇය සමඟ ඉතා මිත්‍රශීලීව කතා කළාය. ඔහු ඇයගෙන් විමසන්නේ තමන් විසින් ඇය අත්අඩංගුවට ගන්නා බව ප්‍රකාශ කෙළේද යන්නයි. කර්නල් සවීන් සේමගේ එවැන්නක් නොපැවසූ බව එහිදී පිළි ගන්නා ඇය කර්නල්වරයාට පවසන්නේ හමුදාවේ දරදඬුභාවය ගැන තමන් නොකමැති බවයි. එහිදී කර්නල්වරයා ඇයට පැහැදිලි කරන්නේ හමුදාවෙන් කිසිදු විටක පීසීආර් සාම්පල ලබා නොගන්නා බවත් ඒ සියල්ල සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම් පවරා ඇති නිලධාරීන් විසින් ලබා ගන්නා බවත් පීසීආර් සාම්පල සම්බන්ධ යම් වරදක් ඇත්නම් එය හමුදාවේ වගකීමක් නොවන බව කර්නල්වරයා පැවසීය. එහෙත් ඇය එතරම් උනන්දුවකින් එය අසා සිටින බවක් නොපෙනුණි.

කර්නල් සවීන් සේමගේ පවසන්නේ තමන් අදාළ තැනැත්තිය හා සම්බන්ධ වන්නේ සම්බන්ධීකරණ අයකු වශයෙන් පමණක් බවයි. කිසිදු විටෙක ඇය අත්අඩංගුවට ගැනීමක් හෝ ඇය බලහත්කාරයෙන් රඳවා ගැනීමක් හෝ සිදු කරන බවක් ඔහු නොපැවසූ බව කර්නල්වරයා පෙන්වා දෙයි.

මේ සිද්ධිය දෙස විමසිල්ලෙන් බැලූ විට වැදගත් කරුණු කිහිපයක් අනාවරණය වෙයි. ඒ කරුණු කිසිවක් සුළුකොට තැකිය නොහැකිය. විශේෂයෙන්ම පුද්ගලයකුගෙන් ලබාගත් පීසීආර් සාම්පලයක් අස්ථානගත වීම ඉතාම භයානකය. ඒ සාම්පලය අස්ථානගත වී එම පුද්ගලයා නීරෝගී අයකු වුවත්, ආසාදිතයකුගේ සාම්පලයක ප්‍රතිඵල ලැබුණහොත් සිදුවන්නේ භයානක තත්ත්වයකි. එමෙන්ම ඇය ආසාදිත වී එම සාම්පලයේ ප්‍රතිඵල නීරෝගී පුද්ගලයකුගේ සාම්පල හා මාරුවීමක් වුවහොත් එයත් ගැටලුවකි.

මේ නිසා පීසීආර් සාම්පලයේ ගැටලුව සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පරීක්ෂණයක් සිදු කළයුතුමය. එය සුළුකොට තැකිය නොහැකිය. ඒ ගැන කතා දෙකක් නැත. එයින් අදාළ වෛද්‍යවරියට වූ අගතිය වෙනුවෙන් යමක් කළ යුතුමය.

අතිවිශාල පීසීආර් සාම්පල සංඛ්‍යාවක් ඇති නිසා පරීක්ෂණ සිදු කරද්දී එවන් අතපසුවීම් සිදුවන්නට ඉඩ ඇතැයි පවසා අතපිහිදා ගන්නට කිසිවකුට හැකියාවක් නොමැත. ඇයගේ ඒ පැමිණිල්ල ගැන පරීක්ෂණයක් විධිමත් ලෙසින් කළ යුතුමය.

එසේම ඇය පවසන සෙසු කරුණු ගැනද අප විමර්ශනාත්මක අවධානය යොමු කළ යුතුය. ඇය පවසන්නේ ඇයට ගුවන්තොටුපොළේදී ලබා දුන් විස්තර පත්‍රිකාව සිංහලෙන් පිරවීම ගැන බ්‍රිගේඩියර්වරයකු දොස් පැවරූ බවයි. ඇය විසින් පුරවන ලද එම පත්‍රිකාවේද සේයාරුවක් ඇය තම ෆේස් බුක් පිටුවට යොදා තිබුණි. එම විස්තර පත්‍රිකාවේ වම් පස ඉහළින් පැහැදිලිවම දක්වා ඇත්තේ (PLEASE FILL IN THE ENGLISH) ‘කරුණාකර ඉංග්‍රීසියෙන් පුරවන්න‘ යනුවෙනි. ඇය එම ස්ථානයේ ‘ආයුබෝවන්‘යනුවෙන් සිංහලෙන් ලියා ඇත. වසර ගණනාවක් එංගලන්තයේ සිටින ඇයට එම ඉංග්‍රීසි වචන 4 තේරුම් ගන්නට නොහැකිදැයි විමසන්නට සිදුව ඇත. ලෝකයේ රටවල් 5ක් 6ක් හැරෙන්නට සෙසු සිය ගණනක් වූ සියලු රටවල ගුවන් තොටුපොළ රාජකාරි සිදු කරන්නේ ඉංග්‍රීසි බසිනි. ඇය එය නොදන්නවාද එසේත් නැත්නම් හිතාමතාම අදාළ නිලධාරීන් අපහසුතාවට පත් කිරීම උදෙසා එසේ ඉංග්‍රීසියෙන් පුරවන්නට කියා තිබියදීම සිංහලයෙන් පුරවා අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගත්තාද යන්න විමසා බැලීම වටී. රාජ්‍ය භාෂාවෙන් එය තිබීම හෝ නොතිබීම වෙනමම ප්‍රශ්නයකි.

එමෙන්ම ඇය ප්‍රකාශ කරන්නේ තමන්ට මුදල් නොමැති බවය. යම් අයකුගේ අතේ ඇති මුදල් ගැන කතා කරන්නට අපට අයිතියක් නැත. ඇය එංගලන්තයේදී වෛද්‍යවරියක ලෙසින් සේවය කරන අතර ඇය පැය 14ක් 16ක් පමණ සේවය කරන බව ඇයම පවසයි. සාමාන්‍යයෙන් එංගලන්තයේ සේවය කරන හෙදියකට පවා අවම වශයෙන් පේනවා ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 6ක පමණ පමණ වැටුපක් හිමිවේ.

එමෙන්ම ඇය පවසන්නේ අදාළ හෝටලයේ කිසිදු සාමාන්‍ය සේවකයකු නොසිටි බවයි. ඒ සම්බන්ධයෙන් අපි මීගමුව ජෙට්වින් බ්ලූ හෝටලයේ කළමණාකරුවකුගෙන් තොරතුරු විමසුවෙමු. ඔහු පැවසුවේ යුද හමුදාව සිටින්නේ අදාළ තැනැත්තන් ගෙනවිත් බාර දීමට හා අවසානයේ පිටව යන අවස්ථාවේදී බැහැර ගෙන යාමට පමණක් බවයි. ඒ අතර ඔවුන්ගේ උණ පරීක්ෂා කිරීමට සෞඛ්‍ය සේවකයන් දිනකට දෙවරක් පමණ කාමරයට ගමන් කරන බවත් සෙසු පවිත්‍රතා කටයුතු මෙන්ම සියල්ල කරන්නේ හෝටල් කාර්ය මණ්ඩලයෙන් බවයි. 15කගෙන් යුක්ත පිරිසක් හෝටලයේ ස්ථිර නවාතැන්ගෙන සිටින බවත් සෙසු පිරිස 100කට ආසන්න පිරිසක් දිනපතා හෝටලයේ සෙසු කාර්යයන් සඳහා පැමිණෙන බවද ඔහු පැවසුවේය. අදාළ කාන්තාව මීට පෙර අවස්ථාවකදීද හමුදා සාමාජිකයන් සමඟ ගැටලු ඇති කරගන්නට උත්සාහ කළ බවත් ඇය වරක් තම කාමරයේ යතුර ඇතුළේ දමා දොරගුළු ලාගෙන පහළට පැමිණි අවස්ථාවේදී කළමනාකරුවකු හමු වී පැවසූ විට පිළිගැනීම් කළමනාකරු ගොස් කාමරයේ දොර ඇර දුන් බවත් ඇය හෝටලයේ ක්‍රියාකාරීත්වය හොඳින් දන්නා අයකු බවයි. මෙය සාමාන්‍ය හෝටලයක් මෙන් ක්‍රියාකරන බවත් එකම වෙනස සෞඛ්‍යාරක්ෂිතව නිරෝධායනය ක්‍රමවේදවලට අනුව කටයුතු කිරීම බවද ඔහු පෙන්වා දුන්නේය.

තම පීසීආර් සාම්පලය නැතිවීම ගැන ඇය දොස් පරවන්නේ හමුදාවටය. ඇය වෛද්‍යවරියකි. පීසීආර් සාම්පල ලබාගන්නේ කවුරුන්දැයි ඇය හොඳින්ම දනී. හමුදා නිලධාරීන් කළේ ඇයට පණිවුඩ හුවමාරු කිරීම පමණකි.

එමෙන්ම ඇය මුලදී පවසන්නේ නිල වශයෙන් හමුදාව විසින් තමන් අත්අඩංගුවට ගන්නා බව ප්‍රකාශ කළ බවකි. එහෙත් කර්නල් සවීන් සේමගේ ඇයගෙන් ඒ ගැන විමසූ විට ඇය පවසන්නේ ඔහු එවැන්නක් නොපැවසූ බවයි. තමන්ගේ අවසරයකින් තොරව එය සමාජ මාධ්‍යයට මුදා හැරීම සදාචාරවත් නොවන බව ඇය පවසයි. හමුදා නිලධාරියකු නොපැවසූ අත්අඩංගුවට ගැනීමක් ගැන සාවද්‍ය ප්‍රකාශ ෆේස්බුක් පිටුව හරහා ප්‍රකාශ කිරීමට ඇයට සදාචාරාත්මක අයිතියක් ඇතිද යන්න මෙන්ම නිවැරැදි තතු හෙළි කිරීම සදාචාර විරෝධී ක්‍රියාවක්ද යන්න සමාජය විසින්ම තේරුම් ගත යුතු කරුණකි. එමෙන්ම අදාළ පීසීආර් යන්ත්‍ර සියල්ල ප්‍රමිතියෙන් අඩු බවත් තමාට හෝටලයේ තව දුරටත් නැවතුම් ගැනීමට මුදල් නැතිබවත් ඇය පවසයි.

මුදල් නොමැතිනම් ඇයට ආරම්භයේදීම රජයේ නිරෝධායන මධ්‍යස්ථානයකට ගොස් සියල්ල නොමිලයේ කර ගැන්මට අවකාශ තිබුණි.

එමෙන්ම ඇය මේ සිදුවීමට කිසිසෙත් අදාළ නොවන රාජ්‍ය පාලනයේ සිදුවීම් ඇද ගත්තේ කුමන කරුණක් උදෙසාද යන්න ගැන මෙහිදී සිතා බැලිය යුතුය. ඇය මීට පෙර සිංහයකුගේ ලකුණකින් යුත් පක්ෂයක් වෙනුවෙන් දේශපාලනට කඩේ ගිය අයෙකි. ඕනෑම අයකුට ඕනෑම දේශපාලනයක් කරන්නට අයිතියක් ඇත. එහෙත් ඒ කිසිවක් මෙහිදී ඇද ගැනීම නම් කිසිසේත්ම අනුමත කළ නොහැකිය.

තම පියා අගමැතිවරයා ලෙසින් සිටියදී තම මව ‘නිල ගමනක්‘ යාමට පියාගේ රථයක් ඉල්ලා සිටි විට මහා භාණ්ඩාගාරයේ මුදල් නොමැති බව පවසා පියා රථය නොදුන් බවත් මව එම ‘නිල ගමන‘ ටැක්සියකින් ගිය බවද ඇය පැවසුවාය.

මව අගමැතිවරයා නොමැතිව ගිය නිල ගමන කුමක්දැයි නොදන්නා සේම ඇය එක් කරුණක් සිහිතබා ගත යුතුය. මේ වදන් පවසන්නේ ශ්‍රී ලාංකිකයන්ට මිස ‘කොණ්ඩේ බැදපු චීන‘ ජාතිකයන්ට නොවන බවයි.

සිදුවූ මේ ක්‍රියාදාමය සම්බන්ධව පාඨකයා විසින් තීරණය කළ යුතුය. ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 පාලනය ගැන ලෝකයම උදම් අනමින් සිටිනා මේ අවස්ථාවේදී යුද හමුදාව ඇතුළු ශ්‍රී ලංකාවේ සියලු ආරක්ෂක අංශත් සෞඛ්‍ය අංශත් සියලු රාජ්‍ය නිලධාරීන් විසින් කරන්නේ පුදුමාකාර කැපවීමකි. එවන් කැපකිරීම් ලඝු කොට දැක්වීම නම් කිසිසේත්ම අනුමත කළ නොහැකිය.

Comments