
වත්මන් රජය බලයට පත් කිරීමට මෙරට දේශප්‍රේමීන් ජාතික බලවේග සියල්ල අත්වැල් බැඳගත් බව අපි දනිමු. 1956න් පසුව ජනතා බලවේග සාමූහිකව අත්වැල් බැඳගත් පළමු අවස්ථාව මෙයයි. පසුගිය රජය අපේ උරුමය, මාතෘ භූමිය, අපේ සම්පත්, අපේ සාරධර්ම, සංස්කෘතිය. සභ්‍යත්වය ශිෂ්ටාචාරය යන සියල්ල දිය කරන බවක් මෙරට ජනතාවට දක්නට ලැබිණි. එම නිසා බහුතරයක් ජනතාවගේ උත්සාහයෙන් නව රජය බලයට පත් කර ගනු ලැබීය. මේ රජය විසින් රට ඉදිරියට ගෙන යනු ඇතැයි ජනතාව තුළ දැඩි විශ්වාසයක් විය. එහෙයින් සුළු සිදුවීමකදී හෝ නැඟී සිටීමට, පෙළගැසීමට ජනතාවෝ කටයුතු කළහ. රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්නට මේ රජයට හැකියාව ඇතැයි යන විශ්වාසය ජනතාවට පැහැදිලිව තිබිණි.
පසුගිය රජය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට පත්කර කරනු ලැබූයේ රටට සංස්කෘතියට එරෙහි පුද්ගලයන්ය. රට කොටස් නවයකට කැඩීමට එහිදී උත්සාහ ගෙන තිබූ ආකාරය අපි දුටුවෙමු. ව්‍යවස්ථාවේ තිබූ 'බුද්ධාගම සුරක්ෂිත කර ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය' යන වගන්තිය ඉවත් කර අනාගාමික රාජ්‍යයක් ලෙස යෙදීමට යෝජනා සකස් කර තිබිණි. තවද එම ව්‍යවස්ථා සංශෝධනය තුළින් සමලිංගිකත්වය නීතිගත කිරීමට යෝජනා වී තිබිණි. වසර 2500ක ඉතිහාසයක් හිමි රටේ ජනතාවගේ ගුණධර්ම සාරධර්ම සහ සංස්කෘතිය විනාශ කිරීමට එමඟින් උත්සාහ ගෙන තිබුණි.
නව යටත් විජිත ආක්‍රමණයක්
රටේ සම්පත් වන ඔලුවිල්, කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය වරායන් පිළිබඳව ගැටලු තිබිණි. අද වන විට නව යටත් විජිතවාදීන් විසින් ශ්‍රී ලංකාව වැනි රටවල් ආක්‍රමණයක යෙදී සිටින බව පෙනේ. ඔවුන් රටේ සම්පත් මංකොල්ලකෑමේ උත්සාහයක නිරත වන බව පෙනේ. පොස්පේට් නිධි, මන්නාරම් ද්‍රෝණියේ තෙල් නිධි, මිනිරන් සහ රන් නිධි වැනි ඛනිජ සම්පත් කොල්ලකෑමට අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය පදනම පසුගිය රජය විසින් ඇති කර දුන් බව ඉතා පැහැදිලිය. ඉදිරි වසර පහක කාලය තුළ අපේ රටේ ඉතාම වැදගත් සාධකයක් වන ජලය පිළිබඳව අන්තර්ජාතික අවධානය යොමුවීම ඊළඟට ඇති බරපතළම ප්‍රශ්නය වී ඇත. ශ්‍රී ලංකාවේ ජලය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඒ සම්බන්ධව සිතියම් ගත කිරීමක් ද කර ඇති බවටද තොරතුරු වාර්තා වේ. එය ඉතා බරපතළ තත්ත්වයකි. විශේෂයෙන්ම ජල උල්පත් පවා සිඳී යාමේ තර්ජනයකට මේ වන විට මුහුණ දී තිබීම විශේෂ කරුණකි. එයට හේතුව ගහකොළ විනාශ කිරීමය. අපේ රටේ සම්පත් මිනිසුන් අතින් ගිලිහී යෑමට හේතුව ඉතිහාසය නොදැනීමයි. ස්වභාවික සම්පත්වලට ආදරය නොකිරීම නිසා අක්මුල් නොමැති ජාතියක් බවට අප පත්වෙමින් සිටී.
ඉතිහාසය විෂය අනිවාර්යයි
මේ නිසා පාසල් විෂය මාලාවට ඉතිහාසය විෂයන් ලෙස අනිවාර්යය කළ යුතුව ඇත. රට නැවතත් ගොඩනැඟීමට සහ රටේ ආර්ථිකය ගොඩනැඟීමට නම් අප අධිෂ්ඨාන කරගත යුතු කරුණු බොහෝය. අපේ රටේ ආර්ථිකය ආක්‍රමණය කර ඇත්තේ බහු ජාතික සමාගම් විසිනි. පසුගිය රජය ගොවිතැන නිශ්ඵල දෙයක් ලෙස සලකන ලදී. කුඹුරු ගොඩ කිරීමේ සැලැස්මක්ද ඇති විය. කෘෂිකාර්මික රටක් ලෙස වසර 2500ක සංස්කෘතියක් අපට ඇත. පරිසරය සමඟ ජීවත්වීමට අපේ දෙමාපියන් විසින් කියා දුන් ඉතිහාසයක් ඇත. අපට තවමත් ඉතිරි වී ඇති දැඩි සංස්කෘතික බැඳියාව නිසා බටහිර බලවේගවලට මෙරට දෙකඩ කිරීමේ හෝ ආක්‍රමණය කිරීමේ අපහසුතාවක් ඇත. ඒ නිසාම අපේ සංස්කෘතියට ආගමට වැඩි වශයෙන් පහර ගැසීමට සිදු කරනු ලැබේ.
පසුගිය රජය විසින් ගෙන ආ රටේ සංස්කෘතියට නොගැලපෙන අණපනත් අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවයන් ගත් උත්සාහයක් බඳුය. විවෘත ආර්ථිකය මෙරටට ගෙන එනු ලැබුවේ ද ඒ සදහා ය. එමගින් දේශපාලනික වශයෙන්, සංස්කෘතික වශයෙන් හා ආර්ථික වශයෙන් අපේ රට ආක්‍රමණයට ලක් විය. රටක් ගොඩ නැඟීමට මේ රජය බලයට පත් කර ගත්තෙමු. රජය බලයට පත් කිරීම මෙන්ම අනෙක් අපේක්ෂාව වන්නේ පෙර රජයන්ගේ ක්‍රියාකාරකම් නිසා ආක්‍රමණයට ගොදුරු වී ඇති රට නිදහස් කර ගැනීමයි. එමෙන්ම අපේ වාරිමාර්ග සංස්කෘතිය යළි ගොඩ ගැනීමද තවත් අපේක්ෂාවකි.
වර්ජන නැති ගොවියා
මහා ලොකු සහනාධාර නොලැබුණද වැඩවර්ජන නැතුවම අපට බත සපයන්නේ ගොවියාය. ගොවිතැන පලක් නොවන බව පැවසූ පසුගිය රජයේ පිරිස ඊට වඩා ලාබෙට සහල් පිටරටින් ගෙන ඒමට හැකි බව සඳහන් කරන ලදි. දේශීය සම්පත් රැකගැනීමට අපට ආධාර කිරීමට කිසිවෙකු පෙළඹෙන්නේ නැත. අධිරාජ්‍යවාදී ගැති පිරිස්වල බලාපොරොත්තුවද බහුජාතික සමාගම්වලට යට වී රටේ සම්පත් දිය කිරීමයි.
රටේ අපටම උරුම අලවර්ග 54 ක් මෙන්ම සහල් වර්ග රැසක් තිබුණ ද අද ඒ කිසිවක් ගැන තැකීමක් නැත. රටේ ජනතාව රටේ අයිතිකරුවන් ලෙස පෙනී සිටිය යුතුය. අපි අවුරුදු 2600ක ඉතිහාසයකට හිමිකම් කියන ජාතියකි. ලෝකයේ උතුම් සංස්කෘතියකට උරුමයක් ඇති මිනිසුන් පිරිසකි. වත්මන් පරපුර නවාතැන්පොළක් ලෙස සිතමින් ‘බෝඩින්කරුවන්‘ බවට පත් වීම රට ගොඩනැඟීමට ඇති ප්‍රධානම ගැටලුවයි.
රටේ මිනිසුන් ගේ යුතුකම ඡන්දය ලබා දී දේශපාලනඥයන්ට රට බාර දී පසෙකට වී සිටීම නොවෙයි. අප කළ යුතු වන්නේ ජනතා බලයකින් පත් කර ගත් ආණ්ඩුවෙන් ජාතියක් ලෙස ජනතාව ඉදිරියේ ඇති අභියෝග සහ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට පෙළගැසීමයි. මේ රජය පත් කර ගත්තේද ජනතාව ඉදිරියේ ඇති අපේක්ෂාවන් ඉටුකර ගැනීමේ අරමුණිනි.
බලයට පත්වූ නව ආණ්ඩුව විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලදි. ඇතැම් කරුණු සම්බන්ධයෙන් අපගේ විරෝධතාවයක් තිබුණි. ඒ ගැටලු ඇති තැන් වෙනස් කර ගනිමින් ඉදිරියට යෑම අපේ අපේක්ෂාවයි. මේ සංශෝධනය සම්බන්ධයෙන් අපිට තිබුණා ප්‍රධානම ගැටලුවක් වූයේ කැබිනට් මණ්ඩලය හා ඇමැති මණ්ඩලය සම්බන්ධ ගැටලුවයි. එහිදී අමාත්‍ය මණ්ඩලය නියෝජ්‍ය ඇමතිවරුන් සහ ඔවුන්ගේ ලේකම්වරුන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන උපලේඛනයේ සඳහන් දේශය තුළ වෙනම රාජ්‍යයක් ඇති නොකරන බවට පොරොන්දු වෙමින් ලබාදිය යුතු ප්‍රතිඥාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කර තිබුණි. එය නැවත ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අප විසින් කරන ලද ඉල්ලීමට අනුව නැවත එය ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලදී.
ජනපතිට බලයක් තිබිය යුතුයි
එමෙන්ම විගණන සම්බන්ධයෙන් ඇති ගැටලුවද මෙහිදී අපි නිරාකරණය කර ගත්තෙමු. නව සංශෝධනයට අනුව රජයට බද්ධ වූ සමාගම් විගණනය කිරීමේ හැකියාව ව්‍යවස්ථාවට ඇතුළත් විය. ජනාධිපතිවරයකු සතුව අසීමිත නොව කිසියම් බලයක් තිබිය යුතුයි.
හදිසි අණ පනත් කෙටුම්පත් ගෙන ඒම පෙර ව්‍යවස්ථාවේ පැවැති තත්ත්වයට පත් කිරීමට හැකි විය. කෙසේ වුවත් ජනාධිපතිවරයාට කිසියම් නියෝගයක් ලබා දී යම් කාර්යයක් ඉටු කර ගැනීමේ ශක්තිය තිබිය යුතුයි .
ස්වාධීන කොමිෂන් සභා වලින් කිසිදු වැදගත් කාර්යයක් සිදු වූයේ නැත. ඒ ආයතනවලට පත්කරන ලද නිලධාරීන්ගේ ස්වාධීනත්වයක් නොවීම ඊට හේතු විය. එය අධිරාජ්‍යවාදී පාලන යන්ත්‍රණය හැසිරවීමේ එක් කොටසකි. ස්වාධීන කොමිෂන් සභා සාධාරණ කොමිෂන් සභා බවට පත් විය යුතුය. ජනතාවට කොමිෂන් සභාවන් සම්බන්ධයෙන් විශ්වාසයක් තිබිය යුතුය. ස්වාධීන කොමිෂන් සභා යනු හොඳ සංකල්පයකි. එයට පත්විය යුත්තේ යුක්තිය සාධාරණත්වය ඉටු කරන පිරිසකි.
විශේෂයෙන් මෙරට තනි පුද්ගලයෙකුගේ හෝ පුද්ගල කොට්ඨාසයක ගෙන් ආරක්ෂා වීම සහ එම පුද්ගලයන්ගේ පැවැත්ම ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ජනතාව සඳහා සහ ඔවුන්ගේ බලය තහවුරු කිරීමට ව්‍යවස්ථා සංශෝධනයන් මෙතෙක් සිදුකරනු ලැබීණි.
වැඩකරන ජනතාවට පහසුකම්
උදාහරණයක් ලෙස 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉන්දියානු බලපෑම අනුව සිදුකරන ලද්දකි. අදත් දහතුන්වැනි ව්‍යවස්ථාව අපට නිසියාකාරව ක්‍රියාත්මක කළ නොහැකිව ඇත. එහි ඇතුළත් වන පොලිස් සහ ඉඩම් බලතල සම්බන්ධයෙන් ගත් විට එය මනාව පැහැදිලි වෙයි
ලෝකයේ වෙනත් රටවල ජාතිය එකක් සහ ආගම එකක් ලෙස නොසැලකීමත් ලංකාවේ ඒ කරුණු දෙක එකට ගැටගැසී තිබීම සුවිශේෂ කරුණකි. ජාතිය සහ ආගම එකම මගක ගමන් කරනු ලැබීමත් ඉතා වැදගත් කරුණකි. කෙසේවත් බටහිර නව යටත් විජිතවාදීන් විසින් කරන ලද කුමන්ත්‍රණ හමුවේ එක විට පහළට ඇද නොවැටීමට හේතුව ඒ යෝධ ශක්තිය හිමි වූයේ ආගම ජාතිය සමඟ බැඳී පැවතීමයි. නව යටත් විජිතවාදීන් විසින් මෙරට ආක්‍රමණය කිරීමට උත්සාහ කිරීම නිසා 1848 නිදහස් අරගලය වෙනුවෙන් සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ජාතීන් ඒකරාශී වූවා සේ යළිත් වරක් ඒකරාශි විය යුතුය. නව බලවේග එකට එකතු වී කරන කුමන්ත්‍රණයන්ගෙන් සහ අධිරාජ්‍යවාදීන්ගෙන් රට ආරක්ෂා කර ගැනීමට පෙළ ගැසිය යුතුය. 1948 නිදහස ලබා ගන්නට පෙර අවධියට වඩා බරපතළ යටත්විජිතකරණයකට අප ලක්වී ඇත. ඒ නිසා දෙවෙනි නිදහස් සටන ආරම්භ කිරීම සඳහා රටේ සියලු ජනතාව අත්වැල් බැඳගත යුතුය. රටේ දුප්පත් මිනිස්සුන් විසින් එදා මෙදාතුර රට පෝෂණය කරමින් ඉදිරියට ගෙන යනු ලැබිණි. ජාතිකවාදී රටක් ගොඩනැගීමට නම් දේශීය ගොවියාට දේශීය කෘෂිකර්මාන්තය දේශීය කර්මාන්තය වැනි දේශීයත්වය ගොඩ නැඟිය යුතුයි.
විදේශ විනිමය අහිමි වී ඇති මෙවන් යුගයක අපට බලාපොරොත්තු තබා ගත හැක්කේ අප පිළිබඳවය. පහසුකම් දිය යුත්තේ මේ රටේ වැඩකරන ජනතාව උදෙසාය. ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ දී යහපත් දේ ජනතා හිතවාදී කරුණු පිළිබඳව පක්ෂව කටයුතු කරන අතර රටට අහිතකර යමක් සිදුවුවහොත් විරුද්ධව වීමට අපට අයිතිය ඇත. කෙසේ වුවත් ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව මේ සටන අවසන් වන්නෙ නැත. මේ රටේ ඉතා භයානක ගැටලු කිහිපයක් පසුගිය රජය විසින් ඉතිරි කර ඇත.
අපේ මවුබිම හිර කර ගැට ගසා ඇති ගිවිසුම්වලින් අපේ රට බේරාගත යුතුය. රට නිදහස් කර ගත යුතුය. ප්‍රමුඛස්ථානය දිය යුතු මෙවැනි ප්‍රශ්න රැසක් ඇත. නීතී සංශෝධනයේදී අපි ජනතාව පසු පස සිට අවැසි වූ වෙනස සිදු කර ඇත. ඉතිහාසයේ සිටම මේ රට ආරක්ෂක කරනු ලැබූයේ ගිහි පැවිදි දෙපාර්ශ්වය විසිනි. එම දෙපාර්ශ්වය විසින් යළිත් රට ගොඩනැඟීමට පෙළ ගැසිය යුතුය. රට ඉදිරියට ගෙන යාමට සුදුසු වැඩපිළිවෙළක් ගෙන ආ යුතුය. රටේ චින්තන විප්ලවයක් නැවත ඇති කළ යුතුය.