
- රාජපක්ෂ පවුලේ කිසිදු සම්බන්ධයක් මෙයට නැතැයි අමාත්‍ය නාමල්ගෙන් ප්‍රතිචාරයක්...
- නීතිපතිවරයාගෙන් පුළුල් විමර්ශනයකට උපදෙස්...
වීඩියෝව සංස්කරණය කරලා; හැබැයි ඉඩමට ගිය එක මම පිළිගන්නවා...
- එරාජ් ප්‍රනාන්දු කියයි
පසුගිය දිනෙක විනාඩි හතරයි තත්පර පනස්අටක කාලයක් දිවෙන වීඩියෝ දසුන් පෙළක් සමාජ මාධ්‍ය කලඹවමින් ප්‍රචාරය විණි. ඊට සිය දහස් දෙනෙක් නොයෙක් ආකාරයෙන් ප්‍රතිචාර දක්වා තිබිණි. ඒ අතර රජයේ වගකිවයුතු මැති ඇමැතිවරුන් ද වූහ. අනතුරුව නීතිපතිවරයාගේද අවධානය යොමු වූ එකී වීඩියෝව පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩ බලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නටද උපදෙස් දෙනු ලැබීය.
එම වීඩියෝවෙන් දිස් වූයේ හතර වටෙන්ම තාප්ප යොදා ගේට්ටුවක්ද දමා තිබූ භූමියකට විවෘතව තිබූ කපොල්ලකින් ඇතුළුවන පිරිසක් එහි ගේට්ටුවේ ඉබි යතුරු කඩා දමා අනතුරුව අධි සුඛෝපභෝගී රථ තුනක්ද සමඟ තවත් කණ්ඩායමක් එම භූමියට ඇතුළුවන ආකාරයයි. වීඩියෝවේ දිස්වන ආකාරයට එහි දිනය සහ වේලාව සටහන් වී තිබුණේ 2020.10.17 වැනි සෙනසුරාදා 17.24 සිට 17.31 දක්වා මිනිත්තු හයක කාල පරාසයකි.
එම වීඩියෝ දසුන් පෙළට පසුබිම් කථනය මුසු කළ පුද්ගලයකු පවසන්නට වූයේ ආන්දෝලනාත්මක වදන් පෙළකි. එය කිසියම් පුද්ගලයකුට මඩ ප්‍රහාරයක් එල්ල කිරීමවස් සිදුකරන අසත්‍ය වදන් පෙළක්ද නැතිනම් සත්‍ය තොරතුරක්ද යන්න පොලිසිය සිදුකරන විමර්ශනවලදී ඉදිරියේදී හෙළි වනු ඇත. කෙසේ හෝ එම පසුබිම් කථනයෙන් ඇසෙන්නට වූයේ මෙවන් කතාන්දරයකි.
“විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ඉඩම් හොර ඔප්පු සාදා විකුණන හම්බන්තොට නගරාධිපතිගේ පැටිකිරිය මෙන්න... කොළඹ නාගරික ප්‍රදේශවල ඉහළ වටිනාකමක් ඇති විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ඉඩම් හොර ඔප්පු සාදා කලක සිට තම දේශපාලන බලය පෙන්නා මඩිය තර කරගන්නා පුද්ගලයන් ජනතාවගේ දැනගැනීම පිණිස මෙසේ ඉදිරිපත් කර සිටිමු. ඔබ මේ දකින්නෙ නුගේගොඩ ප්‍රදේශයේ ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගන්නා එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු යන දේශපාලන මැරවරයාගේ ක්‍රියා කලාපයයි.
ඔහු තම තැරැව්කරුවන්ගේ මාර්ගයෙන් නඩුහබ ඇති සහ හිස් ඉඩම් සොයා බලා ඊට ව්‍යාජ ඔප්පු සාදා පසුව අදාළ ඉඩමට ඇතුළු වී බලහත්කාරයෙන් අත්පත් කරගන්නා ආකාරය දැන් ඔබට දැකබලාගත හැකිය. මොහුට මෙකී ඔප්පු සාදා දෙන්නෙ මලගල, පාදුක්ක ප්‍රදේශයේ සිටින ඩෙස්ටර් අජිත් බාලසූරිය යන අයයි. සියලු ලියකියවිලි සාදා අවසන් වූ පසු මෙම නගරාධිපති ඉඩමට ඇතුළුවීමට යොදාගන්නා උපක්‍රමය වන්නෙ ඔහු විසින් මෙම වංචා සහගත ව්‍යාපාර සඳහාම ලියාපදිංචි කර ඇති පෞද්ගලික ආරක්ෂක සේවයයි. ඔහු විසින් සාදන ඔප්පුවල අයිතිකරු යැයි කියන පුද්ගලයන් සමඟ ඔහුගේම ආරක්ෂක සේවය සමඟ ව්‍යාජ ගිවිසුමක් ගසන මොහු විසිදෙනෙකුට ආසන්න මැර පිරිසක් සමඟ ඉඩමෙහි තාප්පයෙන් පැන ගේට්ටුවේ ඉබියතුරු කඩා ඉඩමට ඇතුළුවන ආකාරය ඔබට දැකිය හැකිය.
එකී වීඩියෝ දසුන් පෙළින් දිස්වන ඉඩම පසුබිම් කථනයෙන් කියැවෙන පරිදි ඉතාලියේ පදිංචි වෙලෝනා කාන්තා නමැති අයට අයත් ඉඩමක් බවට පැවැසේ.
ඊට නුගේගොඩ දිසා අධිකරණයේ දැනට විභාග වන නඩුවක් පවතී. ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඉඩමේ තාප්පය වටා ප්‍රදර්ශනය කර ඇති දැන්වීම් පුවරු ඉඩමට ඇතුළුවීමට පෙර තම සහචරයන් යොදවා මකා දමනා මෙකී නගරාධිපති, ශුද්ධවන්තයෙකු සේ ඉඩමට ඇතුළුවීමට අවස්ථාව සාදා ගනු ලබයි. මෙම සීසීටීවී දර්ශන ඔබට දැකගැනීමට නොලැබුණිනම් තව කාලයක් ගරු ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ නම විකුණා ඉඩම් මංකොල්ලයේ යෙදෙන මොවුන් හඳුනා ගැනීමට නොහැකි වනු ඇත.“ තවද එකී පසුබිම් කථනයෙන් හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු ඔහුගේ හිතවතෙක් බවට සඳහන් කළ ඩෙස්ටර් අජිත් බාලසූරිය, අම්බලන්තොට, ලුනම, ශනිත් සංජීව වීරරත්න සහ මරදාන කේන්ද්‍ර කරගනිමින් විදේශ රැකියා ව්‍යාපාර කරන නගරාධිපතිගේ හිතවතෙක් වන මොහොමඩ් මසාහීර් මොහොමඩ් නසීර්ඩීන් නමැත්තෙක් ගැනද හෙළිදරව් කෙරිණි.
මෙකී වීඩියෝව පසුගිය 31 වැනිදා සමාජ මාධ්‍ය යේ සැරිසරා පැය කීපයක් ගතවෙද්දී එය ඇස ගැටුණු ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය නිල ෆේස්බුක් ගිණුමේ මෙකී වීඩියෝව පළ කරමින් සිංහල සහ ඉංග්‍රීසි බසින් සඳහන් කර තිබුණේ මෙවන් ප්‍රකාශයකි.
“මා සහ අපගේ පවුලේ සාමාජිකයන්ගේ නම් සඳහන් වන වීඩියෝවක් සමාජ මාධ්‍යවල ප්‍රචාරණය වනවා දුටුවා. මෙවැනි සාපරාධී ක්‍රියාවන් කිසිසේත් සැහැල්ලුවට නොගන්නා අතර මේ පිළිබඳව අදාළ බලධාරීන් දැනටමත් සොයා බලමින් සිටිනවා. මා හෝ අපගේ පවුලේ කිසිවෙකු මේ සඳහා සම්බන්ධ වී හෝ අනුබල දී නොමැති බවට මට සහතික විය හැකිය.“
නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා එකී වීඩියෝවට එලෙස ක්ෂණික ප්‍රතිචාර දැක්වීම පැසසිය යුත්තකි. එසේම සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වූ මෙකී වීඩියෝව පිළිබඳව ඉකුත් දෙවැනිදා නීතිපති දප්පුල ද ලිවේරාගේද දැඩි අවධානයක් යොමු වී තිබිණි.
ඒ අනුව එම වීඩියෝ දසුන්වලින් අනාවරණය වන කරුණු සත්‍යයක්ද යන්න පුළුල් විමර්ශනයක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සීඅයිඩී) යොමු කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නට උපදෙස් දෙනු ලැබීය.
නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට එලෙස සඳහන් කරමින් යොමු කළ ලිපිය සමඟ සමාජ මාධ්‍යයන්හි සැරිසැරු එකී වීඩියෝවේ සීඩී තැටියක්ද පොලිස්පතිවරයාට යොමු කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්නද මාධ්‍යයට හෙළිකර තිබුණාය.
එසේම නීතිපතිවරයා විසින් එම ලිපිය ලැබී දින හතක් ඇතුළත ඒ පිළිබඳව කඩිනම් විමර්ශනයක් සිදුකොට එහි ප්‍රගතිය පිළිබඳව නීතිපතිවරයා දැනුවත් කරන ලෙසද පොලිස්පතිවරයාට දන්වා තිබිණි.
මෙලෙස කොළඹ නගරය සහ අවට පෙදෙස් මෙන්ම තදාසන්න පෙදෙස්හි තිබෙන විදෙස් රටවල වෙසෙන්නන්ගේ පාළුවට ගොස් මෙරට තිබෙන නිවාස ඇතුළු ඉඩ-කඩම්වලට හොර ලියකියවිලි සාදවා විකුණන කූට ජාවාරම කලෙක සිටම කරගෙන එන බවකි. මෙකී වීඩියෝවෙන් කියැවෙන ජාවාරම සත්‍යයද අසත්‍යයද යන්න හෙළි වනුයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයෙන් හෙළි වන කාරණා අනුවයි. පොලිසිය පැත්තෙන් වාර්තා වූයේ මේ වන විට මෙකී විඩියෝව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් සිදු කරමින් සිටින බවයි.
මේ පිළිබඳව හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දුද සමාජ මාධ්‍ය නාලිකාවකට අදහස් දක්වා තිබුණේ මෙලෙසිනි.
“මෙහෙමයි, මම අවුරුදු ගණනාවක සිට පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යනවා. එහි සභාපති මම. නුගේගොඩ තමයි මගේ කාර්යාලය තියෙන්නෙ. මම වසර ගණනාවක්ම නීතියෙන් අසරණ වෙච්ච අහිංසක මිනිසුන්ගේ බලෙන් අල්ලා ගැනීමට තැත්කරන ඉඩම්වලට මගේ ආරක්ෂක සේවය හරහා ආරක්ෂාව ලබා දෙනවා. හැබැයි ඒ හැම දෙයක්ම මම කරන්නෙ ඔප්පු ඇතුළු සියලු ලියකියවිලි මාස ගණනාවක් පුරා පරීක්ෂා කර බලලා.
මොකද කොළඹ මාෆියාවක් තියෙනවා. ඊට පාතාලයත් සම්බන්ධයි. එලෙස පාතාලයට සම්බන්ධ වෙච්ච පිරිසක් තමයි මේ ඉඩමටත් හිටියේ. මේ ඉඩම තියෙන්නෙ නුගේගොඩ. නාවල, රාජගිරිය, නුගේගොඩ, බත්තරමුල්ල වැනි ප්‍රදේශවල ඉඩම් ජාවාරම් කරන පිරිසක් තමයි මේ පිටුපස ඉන්නෙ. මේ අය කවුද කියන්න මම දන්නවා. මට කියන්න තියෙන්නෙ මේ වීඩියෝ එක සංස්කරණය කරලා දාලා තියෙන්නෙ. හැබැයි මම ඉඩමට ගිය එක පිළිගන්නවා. මම ගියේ මගේ ආරක්ෂක සේවා ආයතනයේ ගිවිසුමක් අනුව ඉඩමට ආරක්ෂාව සැපයීමට එකඟ වුණා. ඉතින් මගේ නිලධාරින්ට පහර දෙයි කියා හිතූ නිසයි මම ගියේ. ඔය වීඩියෝවේ නම් කියන පුද්ගලයන් ගැන මම කිසිම තොරතුරක් දන්නෙ නෑ.“
එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු යනු මෑත කාලයේ අවස්ථා රැසකදීම බොහෝ කතාබහට ලක්වූ ප්‍රාදේශීය දේශපාලනඥයෙකි. 2014 අප්‍රේල් මස 17 වැනි දින හම්බන්තොට නගරාධිපතිවරයාව සිටියදීම ඔහු විසින් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ව සිටි අජිත් පී. පෙරේරා, අජිත් මාන්නප්පෙරුම, නලින් බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න සහ ආර්. යෝගරාජන් මන්ත්‍රීවරුන් හම්බන්තොට වරාය පරිශ්‍රයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකදී පිස්තෝලයක්ද අතැතිව මන්ත්‍රීවරුන් ඉදිරියට දිව ගිය පුද්ගලයායි. එම සිදුවීමට අදාළව පැවැති නඩු විභාගයෙන් එරාජ් ප්‍රනාන්දු නගරාධිපතිවරයාට සිර දඬුවම්ද විඳින්නට සිදු වූයේය.
නගරාධිපතිවරයා පිස්තෝලයද අතැතිව දිව යන ආකාරය මාධ්‍ය ඔස්සෙ පුළුල්ව ප්‍රචාරය විණි. එම අවස්ථාව පිළිබඳව පසුව නගරාධිපති එරාජ් පවසා තිබුණේ ‘තමන් අත තිබුණේ සෙල්ලම් පිස්තෝලයක්‘ බවයි. ඉන් පසු නගරාධිපතිවරයා ප්‍රචලිත වූයේ ‘සෙල්ලම් පිස්තෝල පුරපති‘ ලෙසිනි.
වත්මනෙහි නැවතත් මෙකී වීඩියෝව හරහා කරළියට ආ එරාජ් ප්‍රනාන්දුගේ කතාන්දරයේ සියලු තතු නීතිපතිවරයාගේ උපදෙස් මත පොලිසිය සිදුකරන විමර්ශනයේදී හෙළිදරව් වනු ඇත. වත්මන් රජයට කෙතරම් හිතැති පුද්ගලයකු වුවද රටේ ජනතාවට අගතියක් කරන්නේ නම් ඊට අබමල් රේණුවකින් හෝ රජය පාර්ශ්වයෙන් රුකුලක් නොදෙන බව මෙකී සිදුවීම අලළා නාමල් රාජපක්ෂ ඇමැතිවරයා පළ කළ ෆේස්බුක් පෝස්ට්ටුවෙන් පැහැදිලි වේ. එම නිසා විමර්ශන මට්ටමේ තිබෙන මෙකී වීඩියෝවේ සත්‍ය අසත්‍යතාව ජනතාව ඉදිරියේ හෙළිදරව් කිරීම පොලිසිය ඇතුළු සියලු බලධාරින්ගේ වගකීම බව අවධාරණය කරමු.