ඉවසීම නැතිකමෙන් තරුණ ජීවිත දෙකක් බිලි | Page 2 | සිළුමිණ

ඉවසීම නැතිකමෙන් තරුණ ජීවිත දෙකක් බිලි

දිනපතා රට වටින් ඇසෙන රිය අනතුරුවලට වඩා වෙනස් මුහුණුවරක් ගත් අනතුරක් පසුගියදා තංගල්ල වීරකැටිය ප්‍රදේශයෙන් වාර්තා විය. එම අනතුර නිසා තරුණයන් දෙදෙනකුට දිවි අහිමි වූ අතර සිවු දෙනකුට මාරාන්තික තුවාල සිදු වූවා පමණක් නොව පස් දෙනකු මහ උළු ගෙදරටද ගියහ. සිද්ධිය මෙසේය. දිනය පසුගිය 5 වැනිදාය. වෙලාව සවස 4 ට පමණය. වීරකැටිය පොලිස් වසමේ වෑකඳවල පදිංචි තරුණයන් කිහිප දෙනකු මෝටර් රථයකින් වීරකැටිය දෙසට තරමක වේගයෙන් පැමිණෙමින් තිබූ අතර වීරකැටිය මොරයාය පදිංචි තරුණයන් කිහිප දෙනෙකුද මෝටර් රථයකින් වීරකැටිය දෙස සිට මොරයාය දෙසට පවනට බදු වේගයෙන් පැමිණෙමින් සිටියහ.

මාර්ග නීති කඩකරමින් ඔවුන් රිය ධාවනය කරමින් සිටියේ මාර්ගයේ තනි අයිතිකරුවන් විලසය. එහෙත් දෙපිරිසටම ගමන් කරන්නට ලැබුණේ කෙටි දුරක් පමණි. මෝටර් රථ දෙක වෑකදවලදී අනතුරට පත් වුවද පැමිණි පිරිසට කියන්නට තරමේ හානියක් හෝ තුවාලයක් සිදුව නොතිබුණි. අනතුරට පත් දෙපිරිසම කලක පටන් හොඳින් දන්නා හඳුනන පිරිසකි. ඒ අතර සිටි ඇතමුන් ඥාතීන්ය. මෝටර් රථ දෙකටද සැලකිය යුතු මට්ටමේ හානියක් සිදුව තිබිණි. නමුත් අනතුරත් සමඟ ඔවුනොවුන් අතර වූ සියලු නෑමිතුරුකම් අමතක කර දැමූ දෙපිරිස සිදු වු අනතුර පිළිබඳව කතාබහ කර විසඳුමකට එනවා වෙනුවට එකිනෙකාට වරද පටවා ගනිමින් එහි මහා ගාලගෝටියක් නිර්මාණය කර ගත්හ. එම ස්ථානයට එක් රැස් වු වැඩිහිටියන් දෙපාර්ශ්වයේ තරුණයන්ට කරුණු කියාදීමත් සිදුවීමට ගිය ගැටුම සමථයට පත්වුවද දෙපිරිස වෙන්ව ගියේ හිතේ වෛරයක්, තරහක් තියාගෙන බව දැන සිටියේ ඔවුනොවුන්ම පමණි.

වීරකැටිය මොරයායේ පදිංචි තරුණ පිරිස වෑකදවල පිරිස පැමිණෙන තෙක් මඟ රැක සිටියේ ඔවුන්ට පාඩමක් ඉගැන්විය යුතු බව කියමිනි. අනතුරට පත් වු වෑකදවල පිරිසද නිවෙස් කරා යෑමට පැමිණියද ගමන අතරමග නතර කිරීමට සිදු වූයේ අනතුරට පත් මොරයායේ මෝටර් රථයේ පිරිස මග හරස්කරගෙන සිටීම නිසාය. දෙපාර්ශ්වය යළි රණ්ඩුවකට පැටලුණු අතර උණුසුම් වචන හුවමාරුව කෙළවර වූයේ වෑකදවල පදිංචි තරුණයකු වීදුරු බෝතලයක් ගෙන මාර්ගය හරස් කරගෙන සිටි මොරයායේ තරුණයකුගේ හිසට ප්‍රහාරයක් එල්ල කර එතැනින් පලා යෑමෙනි. බෝතල් පහර වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා වහාම වීරකැටිය රෝහලට ඇතුළත් කෙරිණ. එහෙත් සිය සගයාට බෝතල් පහරක් එල්ල කිරීමේ පලිය ගතයුතු යැයි තීරණය කළ මොරයායේ පදිංචි තරුණයන් පිරිසක් යතුරු පැදිවල නැගී එදිනම සවස 6.00ට පමණ සිය සගයාට බෝතල පහර එල්ල කළ වෑකදවල පදිංචි තරුණයාගේ නිවස බලා ගියේ "අද ඕකට මතක හිටින පාඩමක් කියාදෙනවා" කියාය. එහෙත් ඒ ඉලක්කය සපුරා ගැනීමට එදින ඔවුන්ට නොහැකි වූයේ අදාළ තරුණයාගේ නිවසේ කිසිවකුත් නොවූ නිසාය. ඔවුහු වෑකදවලින් එන්න පිටත් වූයේ කේන්තියෙන් පුපුරමිනි. මේ අතර තමා සොයා පැමිණි මොරයායේ තරුණයන් ගැන දැනගත් වෑකදවල තරුණයා තවත් තරුණයන් පිරිසක් සමඟ කැති, පොලු රැගෙන මොරයායේ තරුණයන් එනතෙක් මඟ රැක සිටියහ. ඔවුහු මොරයායේ සිට පැමිණි තරුණයන්ට පහර පිට පහරදී ප්‍රදේශයෙන් පලා ගියහ. එම ප්‍රහාර හේතුවෙන් කේ. එල්. ජී. පසිදු දිනෙත් නම් 17 හැවිරිදි තරුණයා එම ස්ථානයේදීම මිය ගි‍යේය. ඔහුගේ පියා වන කේ. එල්. ජී. ඇන්ටන්, කේ. අර්ජුන, එච්. ඩබ්ලිව්. රංජිත් පියතිස්ස, ඩබ්ලිව්. එම්. චානක ප්‍රසාද් සහ ආර්. සිරිපාල යන පස්දෙනා බරපතළ තුවාල ලබා සිටියදී වීරකැටිය රෝහලටත් එතැනින් කරාපිටිය රෝහලටත් මාරු කර යවා තිබේ. එහිදී කේ.අර්ජුන නැමැත්තාද මරණයට පත්වූ අතර බරපතළ තුවාල ලැබු සෙසු සිවුදෙනා තවමත් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.ආවේගය සහ හදිසි කෝපය නිසා කළ හපන්කම කෙළවර වූයේ මහා විනාශයක් බව අවබෝධ වුවද පහරදීම සිදු කළ වෑකදවල පදිංචි තරුණයන්ටද නිදහසේ සිටීමට ඉඩක් නොලැබිණ. මිනීමැරීමේ හා මිනී මැරීමට තැත්කිරීමේ චෝදනා යටතේ එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විරකැටිය පොලිසිය පරීක්ෂණ දියත් කළද ඔවුහු ප්‍රදේශයෙන් පලා ගොස් පොලිසිය මගහරිමින් සිටියහ. මේ හේතුව නිසාම තංගල්ල කොට්ඨාස භාර ෙෂ්ඨ පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය මහතාගේ උපදෙස් පරිදි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් බාර කෙරුණේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නන්දසිරි ගමගේ මහතා ඇතුළු එම ඒකකයේ නිලධාරින්ටය. එම නිලධාරින්ට ලැබුණු ඔත්තුවකින් කියැවුණේ සැකකරුවන් කිහිපදෙනකු අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ සැඟවී සිටින බවයි. ඒ අනුව පසුගිය 3 වැනිදා රාත්‍රි 10.30ට පමණ අගුණුකොළපැලැස්ස ගුරුවෙල තෙළඹුයාය නැමති ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී එහි වාඩියක සැඟව සිටි සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගනු ලැබීය. එසේ අත්අඩංගුවට පත් වූයේ ඩබ්ලිව්.එම්.සුපුන් සංජීව(22),එල්.කේ.ශ්‍රීමාල් ප්‍රදීප්(25) සහ යුධ හමුදාවේ 12 වැනි සිංහ රෙජිමේන්තුව යටතේ යටියන කඳවුරේ සේවය කරමින් සිටියදී නිවාඩු ලබා නිවසට පැමිණි සිටි බව කියන එල්.කේ.ශානක නාමල් වීරසිංහ(27) නැමති තිදෙනාය. සැකකරුවන් සන්තකයේ තිබී අපරාධය සඳහා යොදාගත් බව කියන උල් පිහියක්, කැත්තක් හා පොරොවක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධියට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු වන ඩබ්ලිව්.එම්.ජීවන් මනෝජ්(30) සහ එල්.කේ.ලක්මාල් ප්‍රදීප්(31 ඊට පසුදින(4දා) ගජනායක ගම පිහිටි වගා භූමියක සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඉතා කුඩා රිය අනතුරක් ඉවසීමකින් තොරව විසඳා නොගැනීම නිසා අකාලයේ අවාසනාවන්ත අයුරින් තරුණ ජීවිත දෙකක් මරු තුරුලට ගියේය. සිවු දෙනකුට රෝහලේ ලඟින්නට සිදු විය. පස් දෙනකුට මහ උළුගෙදර තපින්නට සිදු විය. ඉවසීමක්, විනයක් නොමැතිව හැසිරෙන තරුණයන්ට මෙම සිදුවීමෙන් හෝ ජීවිතයට පාඩමක් උගත හැකි නම් එය අගනේය. තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවින්ද්‍ර අඹේපිටිය, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නන්දසිරි ගමගේ, උප පොලිස් පරික්ෂක චන්දනාත්, (10581)මුණසිංහ,(40694)චමින්ද,(40753)හෙට්ටිආරච්චි,(53727) ගාමිණී,52712)රංජිත් යන පොලිස් සැරයන්වරු, පොලිස් කොස්තාපල්වරුන් වන (64779)දයානන්ද හා (22898)ප්‍රදීප් යන නිලධාරීන් මෙම විමර්ශනය සඳහා සහභාගි වූහ.

සටහන හා සේයා රූ සූරියවැව විශේෂ

Comments