
ඇස් දන්දී දාන පාරමී පුරමු සංසාරේ
“මට මගේ ඇස් දෙක වගෙයි“ කියලා කෙනෙක් යමක් අගය කරන්නේ දෙනෙත් ඒ තරමට වටිනා සම්පතක් නිසයි. රිය අනතුරු, හදිසි අනතුරු ආදී ස්වභාවික හේතූන් නිසා මෙන්ම, දියවැඩියාව, ග්ලුකෝමාව, තමස් අන්ධතාව ආදී බොහෝමයක් රෝගී තත්ත්වයන් නිසා දෙනෙත් අහිමිවන දහස් ගණනක් වසරකට හමුවේ. අන්ධ ජනතාව සිහි කරමින් සුදු සැරයටි දිනය පවා සිහිකරන්නේ එහෙයිනි.
දිනෙන් දින වියපත් වීම නිසාත්, ඇසේ සුද මතුවීම නිසාත්, තවත් විවිධ හේතු නිසාත් දෙනෙත් නොපෙනී යන පුද්ගලයන් බොහොමයකි. එවැනි අයට වෙනත් අයකුගේ සිවි කාච බද්ධ කිරීමෙන් ඇසේ පෙනුම නැවත, පෙර මෙන්ම ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමට හැකියාව ලැබී ඇත.
මෙලෙස අක්ෂිකාච බද්ධ කිරීමේ ඉතිහාසය මින් අඩසියවසකටත් එහා ගොස් ඇත. මේ වනවිට ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිතයන් හතළිස් පන්දහසකට අධික ප්‍රමාණයක් අක්ෂි කුණිත බද්ධ කිරීමෙන් සුවය ලබා ඇත.
එපමණක් ද නොවේ එදා මෙදාතුර ලෝකයේ රටවල් 54 ක දෘශ්‍යාබාධිතයන් සුවපත් කිරීමට ඉතා හොඳ තත්ත්වයේ අක්ෂි කුණිත 1,13000 ක් ශ්‍රී ලංකාවෙන් පරිත්‍යාග කර තිබීමද සුවිශේෂ කරුණකි. මෙම සක්තාර්යයට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය මගිනි. රජය පිළිගත් පුණ්‍යායතනයක් වන මෙය 1955 අංක 38 දරන, කුණිත බද්ධකිරීමේ නීතිය හා 1987 අංක 48 දරන මනුෂ්‍ය පටක බද්ධ කිරීමේ නීතිය යටතේ ස්ථාපිත කළ අතර ඇස් සිරුරු කොටස් හා මුළු සිරුරම දන් දීමට එමගින් හැකිවී ඇත.
දිවංගත වෛද්‍ය දේශබන්ධු හඩ්සන් සිල්වා මෙහි නිර්මාතෘවරයාය. ඔහු 1957 දී වෛද්‍ය ශිෂ්‍යයකු වශයෙන් කොළඹ වික්ටෝරියා අනුස්මරණ නයනාරෝග්‍ය ශාලාවේ අධ්‍යාපනය ලබන කාලයේදී දෘශ්‍යාබාධිත රෝගීන් එම තත්ත්වයෙන් මුදා ගැනීම සම්බන්ධ මූලික කටයුතු අරඹන ලදී. එම අවධියේදී බද්ධ කිරීම් සඳහා ඇස් සපයාගනු ලැබුවේ බන්ධනාගාරයේ දී මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ පුද්ගලයන්ගෙනි.
මෙවැනි වාතාවරණයක් පැවති සමයක 1961 ජුනි 11 දින නිල වශයෙන් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය ඇරඹුණි.
මෙය වසරින්වසර දියුණුවට පත්වූ අතර පසුකාලයේදී බොහෝ දෙනෙක් ඇස් දන්දීම හේතුවෙන් දේශීය රෝහල්වලට අවශ්‍ය අක්ෂි කුණිත සැපයීමෙන් පසු අක්ෂි කුණිත අතිරික්තයක් ද ඇතිවිය. එම අක්ෂි කුණිත අපතේයාම වැළැක්වීම පිණිස, විදෙස් රටවලට පරිත්‍යාග කිරීමට ඇති හැකියාව පිළිබඳව වෛද්‍ය හඩ්සන් සිල්වා සොයා බැලුවේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1964 මැයි 25 වෙසක් පුන් පොහෝදා මුලින්ම සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රජයේ රෝහලට එකවර ඇස් 06 ක් සැපයීමෙන් පසු එහි ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍ය රොක්ට් ලෝ විසින් 05 දෙනෙකුට පෙනීම ලබාදෙන ලදී.
ඒ පිළිබඳව බී.බී.සී. ගුවන්විදුලි නාළිකාව හරහා ප්‍රචාරය වීමෙන් පසු එම සංගමයේ සේවය ලෝකයට විවර විය. එය ශ්‍රී ලංකාවේ රෝහල්වලට ප්‍රමුඛස්ථානය ලබාදෙමින් අක්ෂි කුණිත සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන අතර ඉතිරිය විදෙස් රෝගීන්ට පරිත්‍යාග කරනු ලබයි. දැනට එම සංගමය විදේශ රටවල් 57 ක් හා නගර 117 ක අක්ෂිදාන සේවාව ව්‍යාප්ත කර ඇති අතර දෙස්, විදෙස් රෝගීන් 1,27,000 අධික ප්‍රමාණයකට පෙනුම ලබාදී ඇත.
ශ්‍රී ලංකාවේ අක්ෂිදාන සංගමයේ ජාත්‍යන්තර ඇස් බැංකුව, ආදර්ශ මිනිස් පටක බැංකුව, ඇස් රෝහල හා සිවිකාච අංශය යන අංශවලින් ශ්‍රී ලංකාවට මෙන්ම විදේශ රටවලට ද ඉමහත් සේවයක් ඉටුකරයි.
ආබාධිත රෝගීන් හට උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට අනුබද්ධිතව ආසියා ශාන්තිකර කලාපීය ආදර්ශ මිනිස් පටක බැංකුව පිහිටවනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය හා ශ්‍රී ලංකා පරමාණු බලශක්ති අධිකාරියේ අනුග්‍රහය මගිනි. මේ වන විට ත්‍රිවිධ හමුදා රෝගීන් ඇතුළත්ව විකලාංග පිලිස්සුම්, දන්ත, ස්නායු හා අක්ෂි රෝගීන් සඳහා දවස පුරාම සේවාවන් සපයයි. මියගිය අයගෙන් අවශ්‍ය ශරීර කොටස් ලබාගෙන ආබාධිත රෝගීන් සඳහා එය සකස් කර දීම, පටක බැංකුවේ ප්‍රධාන කාර්යය වේ. ලංකාවේ විකලාංග රෝගීන්ට මෙන්ම සමහර ඇස් රෝගීන්ට නැතිවම බැරි ආයතනයක් වන ආසියා ශාන්තිකර කලාපීය ආදර්ශ මිනිස් පටක බැංකුව වන මෙය ආසියානු කලාපය් එකම පටක බැංකුවයි. කුරිරි යුද්දයෙන් ආබාධිත වූ රණවිරුවන් මෙන්ම විවිධ රෝග හා අනතුරු නිසා ශරීර කොටස් අහිමිවන රෝගීන්ට විශාල පටක ප්‍රමාණයක් ලබාදී ඇත. මේ වනවිට 6000 වැඩි පිරිසකට පටක ලබාදී ඇත.
අක්ෂිදාන සංගමයෙන් සිදුකෙරෙන සේවාව පිළිබඳව එහි ප්‍රධාන ලේකම් ඊ.එම්.එම්.බී. මොරගස්වැව සිළුමිණට මෙසේ පැවසීය.
“අපගේ නිර්මාතෘ වෛද්‍ය සිංහ හඩ්සන් සිල්වා මහත්මයා මොරටුව ඉඳිබැද්ද බෞද්ධ මිශ්‍ර පාසලින් කොළඹ ආනන්දෙට ඇවිත් පසුව ඇමෙරිකාවට ගියේ ඩිප්ලෝමාවක් හදාරන්න 1958 දී. මිනිසුන්ගේ ඇස්වලට කුණිත බද්ධ කරන්න එහේ සත්තු මරනවා කියලා දැනගත්තාම ඔහුට දුක හිතිලා ඊට විකල්පයක් වශයෙන් තමයි ලංකාවෙ අයට මියගිය මිනිසුන්ගේම ඇස් බද්ධ කිරීමේ මෙම වැඩසටහන සැකසීමට 1955 අංක 38 දරන කුණිත බද්ධ කිරීමේ පනත සම්මත කරගත්තේ. 1958 - 12 - 30 වස්කඩුව ශ්‍රී සුධර්මාරාම ධර්මශාලාවෙදි තමයි සංගමය පිහිටුවීමේ මූලික පියවර ගත්තේ. 1961.06.11 දා කොළඹ නයනාරෝග්යශාලාවේදී අක්ෂිදාන සංගමය ඇරඹුවා. ඔහුගේ අම්මත් ඇස් දන්දෙන්න කැමැත්ත පළකළා. 1964 දි සිංගප්පූරුවට අපි අක්ෂි කාච 5ක් පරිත්‍යාග කිරීම ගැන බී.බී.සී. මගින් විශාල ප්‍රසිද්ධියක් දීලා තිබුණා. පසුව පාකිස්ථානයේ ලාහෝර් නුවර දොස්තර හඩ්සන් සිල්වා සිංහ ඇස් රෝහල නමින් රෝහලක් පිහිටෙව්වා.
අප සංගමයේ ක්‍රියාකාරි ශාඛා 400 ක් දිවයින පුරාම තියනවා. අප සංගමය අනුබද්ධිතව පවත්වාගෙන යනු ලබන දොස්තර හඩ්සන් සිල්වා අනුස්මරණ අක්ෂි රෝහල හරහා නොමිලයේ බාහිර රෝගී අක්ෂි සායනයක් පවත්වාගෙන යනවා. තවත් සේවා රැසක් සිදුකරනවා.
අප සංගමයට ඇස් හා පටක දන් දෙන්න 1700000 වැඩි පිරිසක් පොරොන්දු පත්‍ර අත්සන් කරලා තියනවා. ඇස් දන් දෙන්න වයස් සීමාවක් නැහැ. කාච යෙදූ ඇස් වුණත් පරිත්‍යාග කිරීමට සුදුසුයි. නමුත් කෙනෙකු මිය ගිහින් පැය 4ක් ඇතුළත ඇස් දිය යුතුයි.
මිනිස් පටක ලබා ගන්නේ අවුරුදු 70 ට අඩු අයගේ මෘත ශරීරවලින් පමණයි. පැය 12 ක් ඇතුළත ශරීර කොටස් පටක දන්දිය යුතුයි. ඒ වගේම විවිධ වයිරස්, බැක්ටීරියා, දිලීරවලින් ආසාදිත වූවන්ගේ ද සර්ප විෂ ජලභීතිකා වස පානය කිරීම, දද, කුෂ්ට, වණ, පිළිකා රෝගීන්ගේ හා ඝාතනය කරනු ලැබූ හෝ සියදිවිහානිකරගත් අයගේත් ඇස් හා පටක ලබාගන්නට අවසර නැහැ.“
අක්ෂිදාස සංගමයේ මිනිස් පටක බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ඩබ්.ඕ. හේමකද මැල් ද සිළුමිණට අදහස් දැක්වීය.
“දොස්තර හඩ්සන් සිල්වා තමයි මිනිස් පටක බැංකුවක් පිහිටෙව්වෙ, ඔහුගේ අදහසක් තිබුණා කිසිම අවස්ථාවක සතුන්ගේ පටක නොගත යුතුයි කියලා කිසිම දේකට. කොරියාව, මැලේෂියාව වගේ රටවල් වසු පැටවුන්ගේ අස්ථි වගේම චීනය ඌරන්ගේ අස්ථි මිනිසුන්ට බද්ධ කළත් ලංකාවෙ එහෙම කරන්නෙ නැහැ. වේල්ස් ජාතික මහාචාර්ය Glion O. flif වෛද්‍යවරයා තමයි මිනිසුන්ගේ අස්ථි බද්ධයන් ගැන ලොවට හඳුන්වා දුන්නේ.
මුල් යුගයේ ලංකාවෙ සිදු කෙරුණේ එම රෝගියාගේම අතින් හෝ කලාවෙන් කොටස්, ලබාගෙන ඔහුටම බද්ධ කිරීමයි. සාමාන්‍යයෙන් පිළිකා නිසා මෙන්ම දිරාගිය, කැඩීගිය කොටස් වෙනුවට තමයි එසේ බද්ධ කෙරුණේ. ඒත් දැන් අපේ පටක බැංකුව හරහා රෝගීන්ට අවශ්‍ය ශරීර අස්ථි කොටස් ලබාදෙනවා. ලෝක සෞඛ්‍යය සංවිධානයේ නර්නායකයන්ට අනුව තමයි පටක බැංකුවේ කටයුතු සිදුකෙරෙන්නේ. මහනුවර රෝහලේ වෛද්‍ය ලංසක්කාර අපේ සංගමයේ ද සහාය ඇතිව සාර්ථක හදවත් බද්ධ කිරීමක් සිදුකළා.
ඒ වගේම පටක බැංකුව හරහා ක්‍රියාත්මක කෙරෙන හිස්කබල් ව්‍යාපෘතිය විශාල වියදමක් දරාගෙන සිදුකරන්නක්. ඔළුකටුව තුවාල වූ අයෙකුගේ ඔලු කටුව ඉවත් කරලා ශල්‍යකර්මයක් මගින් වෙනත් ඔළුකට්ටක් සවි කරනවා. මේ වන විට පටක 2685 හිස්කබල් කොටස් පටක බැංකුවේ සංරක්ෂණය කරලා තියනවා. මේ සියලුම පටක විකිරණවලින් ජීවානුහරණය කරනවා.“
අක්ෂිදාන සංගමයේ ජාත්‍යන්තර ඇස් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ජනත් සමන් මාතරආරච්චි එම අංශය පිළිබඳව මෙසේ පැවසීය.
“මුල් යුගයේදී ඇස් බද්ධ කිරීම් වලදි මියගිය කෙනෙකුගෙන් ගන්නා ඇසක් පැය 24 ක් ඇතුළත රෝගියාට බද්ධ කළ යුතු වුණා. ඒක ප්‍රායෝගිකව ගැටලුවක් නිසා සංරක්ෂණ ක්‍රම කෙරෙහි යොමුවුණා. ඒ අනුව රසායනික ද්‍රව්‍යවල බහා දින 14, 21 ආදී වශයෙන් ඇස් කල්තබා ගැනීමේ ක්‍රමවලට යොමුවෙලා තියනවා.
එමෙන්ම මුලදී සම්පූර්ණ ඇහැක්ම පිටරටට යැවීමයි සිදු කළේ. දැන් සිදුකරන්නේ කුණීතය කොටස් 3 ට වෙන්කරලා (එපිතීලියම්, එන්ඩ්රතීලියම්, ස්ට්රෝමා) වෙන් වශයෙන් යැවීමයි. ඇස් හිඟ වූ මුල් යුගයේ අපි විදේශවලට යැවූ එක් ඇසක කළු ඉංගිරියාව් උඩ සිවිය, (කුණිතය) දෙතුන් දෙනෙකුට බද්ධ කිරීම සිදුකළා. දැන් එක් අයෙකුට එකක් බැගින් යැවිය හැකිය.
ඇසක් සංරක්ෂණය කරන්න රු. 25,000 - 40,000 අතර මුදලක් වැයවෙනවා. මෙම වියදම අක්ෂිදාන සංගමය දරාගෙන රෝගීන්ට නොමිලේ ලබාදෙනවා. 2020 වර්ෂය ලෝකයේ අන්ධභාවය තුරන් කරන වර්ෂයක් ලෙස අක්ෂිදාන සංගමය විශේෂ කාර්යභාරයක් ඉටුකරනවා.
ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ ජාත්‍යන්තර ඇස් බැංකුව, ආදර්ශ මිනිස් පටක බැංකුව, අක්ෂි ශල්‍ය රෝහල, විද්‍යා මාවත, කොළඹ 07 එහි ලිපිනයයි. හදිසි ඇමතුම් සේවාව දිවා රාත්‍රී දෙකෙහිම විවෘතව ඇත. දුර: 011 2692051, 2698040 / 41/ 43
සේයාරූ - සමන් ශ්‍රී වෙදගේ