
වසර සියයකට වඩා නිරුපද්‍රිතව දිවි ගෙවන පිරිසක් අපේ රටේ තවමත් සිටිති. ඒ අය අතරින් නොයෙකුත් වෘත්තීන්වල යෙදෙමින් රටට. දැයට, සමයට අමරණීය සේවාවක් ඉටු කළ පිරිස ද නැත්තා නොවේ. දිවි ගමනේ ශතකය ඉක්මවූ පැරණිම රණවිරුවෙක් අපට හමු විය. මේ රණවිරුවා එකසිය දෙවෙනි වියේ පසුවන සත් දරු පියකු වන අහුන්ගල්ල සිරි ධම්මතිස්ස මාවතේ පදිංචි එස්. ඩබ්ලිව්. ගුණපාල ය.
පසුගිය ඔක්තෝබර් මස තිස්වෙනි දිනට එකසිය දෙවෙනි ජන්ම දිනය දැනට රටේ පවතින තත්ත්වය අනුව දැඩි සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් දරු මුනුපුරන් අතළොස්සකගේ සහභාගිත්වයෙන් සැමරුවේ ඉතා චාම් අන්දමිනි.
මීට අවුරුදු හැත්තෑ හතකට පෙරදී එනම් දෙවන ලෝක යුද සමයේ රටේ අවශ්‍යතාවය අනුව රාජකීය ලංකා ආරක්ෂක හමුදාවේ කාලතුවක්කු බළකායට බැඳුණේ වොලන්ටීය සෙබළෙක් ලෙසිනි. වර්ෂ 1943 ජනවාරි මස විසි වෙනි දින හමුදාවට බැඳුණේ හාරසිය දසවැනි සෙබළා වශයෙනි.
ක්‍රෑරතම පාලකයකු වන හිට්ලර්ගේ පාලනයට එරෙහිව නොබියව විදේශීය රටවල් කිහිපයක කළ සේවයට උපහාරයක් වශයෙන් එංගලන්තයේ ජෝර්ජ් රජතුමාගේ ඡායාරූපය ඇතුළත් තිළිණයක් එංගලන්ත රාජ්‍යයෙන් ලැබීම ගුණපාලගේ සදා අමරණීය සිහිවටනයක් බව ගුණපාල පවසයි.
ඇතැම් කරුණු මේ වන විට ඔහුගේ මතකයෙන් ගිලිහී තිබුණත් මතකයේ තිබෙන බොහෝ දෑ සිහියට නගා ගෙන අප සමඟ සිළුමිණ පුවත් පතට පැවසුවේ ඉතාමත් ප්‍රීතියට පත්ව සිනාසෙමිනි.
‘මම උපන්නේ 1918 වසරේ ඔක්තෝබර් මස තිස්වෙනිදා. උපන් ගම අහුන්ගල්ල සිරි ධම්මතිස්ස මාවතේ. අපේ තාත්තා එස්. ඩබ්ලිව්. වසනේරිස්. අම්මා ජී. ඩබ්ලිව්. සොපිනෝනා. අම්මගෙ උපන් ගම අම්බලන්ගොඩ මාදම්පේ. ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ තිබිච්ච නම් තමයි ඒවා. මට ගුණපාල කියල නම දමන්න ඇත්තේ අනගාරික ධර්මපාලතුමාගේ ජාතික ව්‍යාපාරය නිසා වෙන්න ඇති කියල මම විශ්වාස කරනවා. අනෙක් සහෝදරයන්ටත් තිබෙන්නේ මට වගේම සිංහල නම්.
තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙක්. පානදුර දුම්රිය ස්ථානයේ සේවය කළේ. අපේ පවුලේ දහතුන් දෙනෙක් හිටියා. සියලු දෙනාම වැඩ කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ. දැනට ජීවතුන් අතර ඉන්නේ මමයි මගේ මල්ලියි. ඔහු ගණේමුල්ලේ පදිංචි වෙලා ඉන්නේ. ඔහුත් වැඩ කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ.
තාත්තා පානදුරේ වැඩ කරපු නිසා අපේ පවුලේ සියලු දෙනාම පානදුරේ එක්කගෙන ගියා. ඒ නිසා මම ඉගෙන ගත්තේ පානදුරේ ශ්‍රී සුමංගල මහා විද්‍යාලයේ. ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි ඉගෙන ගත්තේ.
ඉස්කෝලෙන් අස්වුණාට පස්සේ මමත් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණා. සංඥාකරුව කු ලෙසයි සේවය කළේ. එහි සේවය කරද්දී තමයි දෙවන ලෝක යුද්ධය ඇති වුණේ. ඒ වන විට අපේ රටේ තිබුණේ සුද්දන්ගේ පාලනයක්. ලංකා ආරක්ෂක හමුදාව නමින් හැඳින්වුණේ. රාජකීය හමුදාව හෙවත් රෝයල් ආමි කියලත් කිව්වා. හමුදාවට බැඳෙන්න කියල ඉල්ලීමක් කර තිබුණා.
අපේ රටේ පසුගිය කාලයේ තිබුණු යුද්දෙදිත් මේ වගේ ඉල්ලීම් ඕන තරම් තිබුණා මතකයි. ඒ වගේ තමයි එදත් හමුදාවට බැඳෙන්න කියල ඉල්ලා සිටියේ.
ඒ අනුව මමත් ලංකා ආරක්ෂක හමුදාවට 1943 ජනවාරි මස විසි වෙනිදා බැඳුණා. මගේ සේවා අංකය වුණේ හාරසිය දහයයි. කාලතුවක්කු බළකායේ වොලන්ටිය සෙබළෙක් විදියටයි එකතු වුණේ. හංගේරියාව, ජාවා, සුමත්‍රා, සීසෙල් යන රටවල් වල සේවය කළා. ඒ කාලයේ තිබුණේ හිට්ලර්ගේ පාලනය. ඒකට විරුද්ධවයි අපි සටන් කළේ. යුද්ධය ඉවර වුණාට පස්සේ මම නැවතත් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයට එකතු වුණා. 1945 පෙරවාරි හය වෙනිදා තමයි ලංකා ආරක්ෂක හමුදාවෙන් ඉවත් වුණේ.
මම හමුදාවේ කළ සේවයට උපහාරයක් වශයෙන් ජෝර්ජ් රජ්ජුරුවන්ගේ පින්තූරය තිබෙන සමරු තිළිණයක් දුන්නා. ඒක කාසියක්. තවමත් ආරක්ෂා කරගෙන ඉන්නවා.
ඉන් පසුව තමයි මම විවාහ වුණේ. එස්. එච්. ඇක්ලින් තමයි මගේ නෝනා. ඇයගේ ගෙවල් තිබෙන්නේ බළපිටිය මූලික රෝහල ඉදිරිපිටයි. මට දරුවෝ හත් දෙනෙක් ඉන්නවා. පිරිමි තුන් දෙනයි. ගෑණු දරුවෝ හතර දෙනයි. මගේ නෝනා 2005 දී මියගියා. මගේ ලොකු දුව සරෝජනී. ඇයගේ මහත්තයා සේවය කළෙත් දුම්රිය දෙපාර්තමේන්තුවේ. ඔවුන් පදිංචි වෙලා හිටියේ කහවේ දුම්රිය නිවාස වලයි. 2004 දෙසැම්බර් විසි හයවෙනිදා ඇති වූ සුනාමියට හසුවෙලා දුවත් බෑණත් මිය ගියා.
දරු තුන් දෙනා විතරයි ඉතුරු වුණේ. ඒ දරුවන් තුන් දෙනාගෙන් එක්කෙනෙක් නීතිඥයෙක්. අනෙක් දරුවා කටුනායක ගුවන් තොටුපළේ කස්ටම් එකේ සේවය කරන්නේ. බාල මිනිබිරිය රඹුක්කනට බැඳල ඉන්නවා.
මගේ දෙවෙනි දුව චන්ද්‍රාණි. තුන් වෙනියා මාලනී. ඒ දෙන්නම විවාහ වෙලා නැහැ. හතර වෙනියා පුතා. ලෙස්ලි ගුණරත්න. ඔහු දුම්රිය නියාමකවරයෙක් ලෙස සේවය කරල දැන් විශ්‍රාමිකයි. බදුල්ලේ පදිංචි වෙලා ඉන්නේ. ඔහුටත් දරු තුන් දෙනෙක් ඉන්නවා. ලොකු දරුවා දොස්තර මහත්තයෙක්. දෙවෙනියා පී. එච්. අයි. මහත්තයෙක්. තුන් වෙනියා තවම ඉගෙන ගන්නවා.
පස්වෙනියා පුතා. උපාලි දයාරත්න. අඹතලේ ජල සම්පාදන මණ්බලයේ සේවය කළේ. ඔහුටත් දරු තුන් දෙනෙක් ඉන්නවා. වැඩිමහල් දරු දෙන්නා ඉංජිනේරුවෝ. තුන් වෙනි දුවත් රජයේ සේවිකාවක්. මගේ හය වෙනියා දුව. චිත්‍රා නන්දනී. බේරුවල පදිංචි වෙලා ඉන්නේ. බෑණා බේරුවල නගර සභාවේ වැඩ කරන්නේ. ඇයටත් දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. එක් කෙනෙක් බැංකුවක වැඩ කරනවා. එක්කෙනෙක් ව්‍යාරිකයෙක්.
මගේ හත්වෙනි දරුවා උපාලි ආනන්ද. ඔහු පවුලේ බාලයා. දුම්රිය දෙපාර්තමේන්තුවේ පොලිස්මන් කෙනෙක් හැටියට සේවය කර පසුගිය සැප්තැම්බර් විසි එක්වෙනිදා විශ්‍රාම ගියා. අහුන්ගල්ලේ පදිංචි වෙලා ඉන්නේ. මම බලා ගන්නේ ඔහු තමයි. ඔහුටත් දරු දෙන්නෙක් ඉන්නවා. ලොකු දුව දඹුල්ලට බැඳල ඉන්නේ. පුතා ලීසිං සමාගමක සේවය කරන්නේ.
මම විශ්‍රාම ගියේ 1974 දී. අපේ පවුලේ වැඩි දෙනා සේවය කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ. මගේ දරුවෝ කිසි කෙනෙක් නොමග ගියේ නැහැ. මමත් වැරදි වැඩ කළේ නැහැ. දරුවොත් එහෙමයි. මුනුපුරු මිනිබිරියනුත් එහෙමයි.
මම දැන් හරි සතුටෙන් ඉන්නේ. මගේ දරුවෝ ගැන හිතල සතුටු වෙන්න පුඵවන්. මම රටට ණය නැහැ කියල හිතෙනවා. දැන් බොහෝ දේවල් අමතකයි. වයසත් එක්කම මතකයක් ගිලිහී යනවා. ඕක තමයි ස්වභාවය. අපි බෞද්ධයෝ හැටියට පවු නොකර පින් කරනවනම් රටට හානියක් වන්නේ නැහැ."