අබුඩාබියෙන් ඇල්ලූ ධර්මේගේ පැටිකිරිය | සිළුමිණ

අබුඩාබියෙන් ඇල්ලූ ධර්මේගේ පැටිකිරිය

ළමු කොවිඩ් රැල්ලෙන් පසු මැයි මස අවසානය වන විට රට යම් පමණකට සක්‍රීය තත්ත්වයට පත්වෙමින් තිබිණි. පසුගිය මැයි මස 29 වැනිදා මධ්‍යම රාත්‍රියේදී මොරටුව, සොයිසාපුර, ලක්මැඳුර හෝටලයට කඩා වැදුණු මැර කල්ලියක් පොලිස් නිලධාරින්ද ආරක්ෂාවට යොදවා සිටියදී එහි දේපළවලට දැඩි සේ හානි කරන ආකාරයක් අසල සීසීටීවී කැමරාවක මනා සේ සටහන් විණි. එම පහර දීමට පෙරත් පහර දීම සිදුවී විනාඩි කීපයකින් පසුවත් හෝටලයේ හිමිකරු ලසන්තට දුරකථන ඇමැතුමක් ලැබී තිබුණේ ඩුබායි රාජ්‍යයෙනි. එම ඇමැතුම දුන් තැනැත්තා කීවේ,

"ට්‍රයල් එක කොහොමද... ටී56 දෙකයි... 9එම්එම් බ්‍රවුනින් එකයි... හෙට උදේ පතොරම් ටික ඇහිඳගනින් එස්එස්පී මහත්තයත් එක්ක ඇවිත්... මං උඹව කොහොමත් මරනවා... උඹ මගෙන් බේරුණොත් උඹ තමයි වැඩකාරයා... රංජන් සිල්වාත් බේරුණේ නෑ මගෙන්... රෙකෝඩ් කරලා එස්එස්පී මහත්තයට දීලා... පොලිස්පතිටත් දීපන්..."

එසේම එම දුරකථන ඇමැතුමේදී "උඹට එයාපෝස් සම්පත්ලට සල්ලි දෙන්න පුළුවන්... උන් ලක්ෂ ගණන් පොලු තිව්වම... පොලිස් පැමිණිලිත් නෑ... උඹට අපි කිව්වම සල්ලි දෙන්න බෑ... එහෙනම් වහාම ව්‍යාපාර අත්හැර දාපන්..." ලෙස විනාඩි දහයකට අධික කාල පරාසයකදී එකී පුද්ගලයා පොලිසිය ඇතුළු රජයටද තර්ජනය කළේය.

ඇමැතුම දුන් තැනැත්තා එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා හෙවත් ඇල්ටෝ ධර්මේ නැතිනම් ධර්මේ නමින් ප්‍රකට පාතාල අපරාධකාරයයි. ඔහු එලෙස තර්ජනයකොට හරියටම ගත වූයේ මාස හයකි. එනම් පසුගිය 29 වැනිදා අන්තර්ජාතික පොලිසිය මඟින් රතු නිවේදනයක්ද නිකුත්කොට සිටි ධර්මසිරි ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්විණි.

එදා ඔහුගේ තර්ජනවලට නියමාකාරයෙන් පිළිතුරු දුන් වත්මන් රජය ප්‍රමුඛ පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට මෙරට සමස්ත පාතාලයම මෙල්ල කිරීමට සමත්ව ඇති සෙයක් පෙනේ.

සොයිසාපුර සිදුවීමත් සමඟ ඩුබායිහි සැඟවී සිටිමින් ධර්මසිරි සිදුකරන පාතාල ක්‍රියා ඇතුළු ඔහු විසින් පසුගිය කාලයේ සිදුකළ අපරාධ පිළිබඳව මනා අධ්‍යයනයක යෙදුණු ගල්කිස්ස කොට්ඨාස බාර ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න ධර්මසිරි කොටුකරගැනීමට සූක්ෂ්ම මෙහෙයුමක් සැලැසුම් කළේය. එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න සහ බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයගේ උපදෙස් මත ධර්මසිරිට එරෙහිව නඩු අංක 884/2000 යටතේ මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් වරෙන්තුවක් ලබාගැනීමට කටයුතු කෙරිණි. ඒ, පසුගිය ජුනි 02 වැනිදායි.

එම වරෙන්තුව අන්තර්ජාතික පොලිසිය (ඉන්ටර්පෝල්) වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රතු නිවේදනයක් ඉල්ලා සිටීමටද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කටයුතු කළේය.

ඒ අනුව එම අපරාධකාරයාට එරෙහිව රතු නිවේදනය නිකුත් කිරීමට අන්තර්ජාතික පොලිසිය කටයුතු කෙරිණි. එම රතු නිවේදනය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඉන්ටර්පෝල් ශාඛාව වෙත දැනුම් දීමෙන් පසු 29 දා රාත්‍රියේදී අබුඩාබි පොලිසිය විසින් ධර්මසිරි අත්අඩංගුවට ගෙන තිබෙන බව ශ්‍රී ලංකාවේ ඉන්ටර්පෝල් ශාඛාවට දන්වා තිබුණේය. දැනට වාර්තා වන ආකාරයට ධර්මසිරිගේ වීසා බලපත්‍රය අවසන්ව තිබූ හෙයින් අත්අඩංගුවට පත්වන විට ඔහු වෙනත් රටකට පැන යාමටද තැත් කරමින් සිටි බවකි. කෙසේ හෝ රතු නිවේදන නිකුත් කර සිටි අපරාධකාරයන් අතරින් අත්අඩංගුවට පත් පළමු අපරාධකාරයා ධර්මසිරි වේ.

රත්මලාන, මොරටුව, ගල්කිස්ස ප්‍රදේශයේ කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම්, කොල්ලකෑම් ඇතුළු බොහෝ පාතාල ක්‍රියාවන්හි නිරත වන ප්‍රබල පාතාල කණ්ඩායම් දෙකෙහි එක් පාර්ශ්වයක් වන දැනට ප්‍රංශයේ සිටින බවට සැල වන සිංහාර අමල් සමින්ද සිල්වා හෙවත් කුඩු අංජුගේ ප්‍රධානතම ගෝලයා වන ධර්මසිරි පිළිබඳව මුලින්ම කරළියට ආවේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා, රන්ජන් සිල්වා ඝාතනය කිරීමත් සමඟිනි.

රත්මලාන, ඥානේන්ද්‍ර මාවතේ විසූ 62 හැවිරිදි රන්ජන් සිල්වා පොදුජන පෙරමුණෙහි හිටපු දෙහිවල - ගල්කිස්ස නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකි. ඔහු සහ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා සාවිත්‍ර ද සිල්වා එම ප්‍රදේශයේ කුඩු අංජුලාගේ කල්ලිය සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව කටයුතු කිරීම නිසා කිපුණු කුඩු අංජු විසින් ඩුබායි සිට මෙහෙයවා ධර්මසිරි ඇතුළු තිදෙනෙක් යොදවා 2018 මැයි 24 දා රාත්‍රී 7ට පමණ රන්ජන් සිල්වා දුම්රිය මාර්ගය අද්දර සිය නිවෙස ඉදිරිපිට සිටියදී වෙඩි තබා ඝාතනය කළේය. එදින ඔහුගේ ප්‍රත්‍රයා සාවිත්‍රද අපරාධකාරයන්ගේ ඉලක්කයක් වුවත් ඔහු අනූනවයෙන් බේරී තිබුණේ අසල කඩයකට ගොස් සිටි හෙයිනි.

එම ඝාතනයට එක්වූ කොණ්ඩ ජනියා සහ සුද්දා නමැත්තන් දින කීපයක් තුළ පොලිසියට කොටු වෙද්දී ඝාතනය මෙහෙයවූ ප්‍රධානියා වූ ධර්මසිරි, අංජුගේ වෑයමෙන් ඝාතනයෙන් දින දෙකකට පසු හොර රහසේම ඩුබායි වෙත පලා ගොස් තිබුණේය.

අනතුරුව ධර්මසිරි ඩුබායි සිට අංජු ලබාදෙන සියලු නියෝග මෙහෙයවමින් මෙරට සිටින ගෝලයන් හරහා සියලු පාතාල අපරාධ ක්‍රියා සිදු කළහ. එලෙස කොවිඩ් වසංගත සමයේ අංජුගේ වැඩිමහල් සහෝදරයා වන රත්මලානේ පාතාල නායකයෙක්ව සිටි සිංහාර සුරේෂ් අසංක ද සිල්වා හෙවත් ලන්සියා ඝාතනයෙන් පසු ඔහුගේ නමින් පිහිටුවා තිබෙන අනුස්මරණ පදනමින් කොවිඩ් ආධාර බෙදාදීමට යැයි පවසමින් රුපියල් ලක්ෂ පහක මුදලක් ඉල්ලමින් එය ලබා නොදුන් නිසාවෙන් මොරටුව, සොයිසාපුර හෝටලයට ප්‍රහාරය එල්ල කළ බව ධර්මසිරිගේ තර්ජනවලින්ම කියැවිණි. 

38 හැවිරිදි පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ අයෙක් වන ධර්මසිරි කලක් ඇඟලුම් කර්මාන්ත ශාලාවක තත්ත්ව පාලකවරයෙක් ලෙස රැකියාව කරමින් සිටියදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමත් සමඟ අපරාධ ලෝකයට පිවිස ඇත්තෙ කුඩා කාලයේම දැන හඳුනාගත් ලන්සියාට එක්වෙමිනි. මුල් කාලයේ ධර්මසිරි වාහන කුලියට දීම්ද සිදුකර තිබිණි. ලන්සියා 2016 ජුනි මස 23 වැනිදා මහර අධිකරණය අසලදී ඔහුගේ විරුද්ධ පාර්ශ්වය වූ ගොනාකෝවිලේ රොහාගේ පාර්ශ්වයෙන් ඝාතනය වීමෙන් පසු කලක් නිහඬව සිටි ධර්මසිරි නැවතත් ලන්සියාගේ සහෝදරයා වන කුඩු අංජු මැලේසියාවට පැන සිය සහෝදරයාගේ ගෝලයන් එකතු කරගෙන අපරාධ ක්‍රියාවන්ට අත ගැසීමත් සමඟ ධර්මසිරිද අපරාධ ක්‍රියාවන්ට එක්විණි.

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න විසින් පසුගිය කාලයේ ධර්මසිරිගේ ඍජු මැදිහත් වීමෙන් සිදුකර ඇති ප්‍රධානතම අපරාධ ක්‍රියාවන් කීපයක් පිළිබඳව අධිකරණයට වාර්තාකර තිබිණි. 2020 මැයි 19 සහ 29 දෙදින සොයිසාපුර මහගෙදර හෙවත් ලක්මැදුර හෝටලයට තියුණු ආයුධවලින් පහරදීම, හිටපු නාගරික මන්ත්‍රී රන්ජන් සිල්වා ඝාතනයට අමතරව ඔහු විසින් සිදුකළ ප්‍රධානතම අපරාධ අතර 2018 මාර්තු 08 වැනිදා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වාට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීම, 2018 දෙසැම්බර් 05 දා පොද්දලගේ උදාර සඳරුවන් නොහොත් 'උදාර' නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට සැලැසුම් කිරීම, 2019 ජනවාරි 10 වැනිදා සුමුදු සෙනෙවිරත්න නොහොත් 'කුමාර' නැමැත්තා පිළියන්දලදී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම. 2019 සැප්තැම්බර් 02 වැනිදා ගල්කිස්සේ මහේෂ් උදය කුමාර ඩයස් රත්වත්තේ තියුණු ආයුධවලින් ඇණ ඝාතනය කිරීම. එම වසරේදීම ගල්කිස්සේදී ටී56 ගිනිඅවි දෙකක් සහ කඩු පිහි මන්නා රැගෙනවිත් චන්දන තිලකරත්න නොහොත් 'එයාර්ෆෝෂ් සම්පත්'ගේ නිවසට පැමිණ තර්ජනය කිරීම, 2020 මාර්තු 11 වැනිදා ගල්කිස්ස සිංහාරගේ විශාඛා දිල්රුක්ෂි නමැත්තියගේ නිවසේ දොර කඩා ඇතුළු වී සිංහාරගේ දමිතා සිල්වා නමැත්තියව තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදුකිරීමට සැලැසුම් කිරීම, 2020 පෙබරවාරි 06 දා රාත්‍රියේදී මොරටුවේ නිවෙසේ විසූ සාලිය විජේසිංහ පැහැරගෙන ගොස් කපා කොටා මනුෂ්‍ය ඝාතනය සැලැසුම් කිරීම ආදිය සැලැකේ. ඊට අමතරව පසුගිය මැයි 22 වැනිදා රත්මලාන ජයසුමනාරාම ප්‍රදේශයේ පදිංචි ප්‍රභාත් චතුරංග නමැත්තෙක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්වීමෙන් පසු හෙළිවූ බෝකුන්දර මූල්‍ය ආයතනයක පවත්වාගෙන ගොස් තිබූ රුපියල් ලක්ෂ 4900ක ප්‍රමාණයක් සංසරණය වූ ගිණුම පිටුපසද සිට ඇත්තේ ධර්මසිරි සහ අංජුය. ඒ ඔවුන් දෙදෙනා විසින් විදේශයේ සිට මෙරට තුළ සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් බවටද හෙළි විණි.

බොහෝ විට නුදුරේදීම මෙරටට පිටුවහල් කිරීමට ඉඩ ඇති බවට සැල වන අබුඩාබි පොලිස් අත්අඩංගුවේ පසුවන ධර්මසිරි පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසන්නෙ අබුඩාබි පොලිස් අත්අඩංගුවේ පසුවන ධර්මසිරි නමැත්තා නුදුරේදීම මෙරටට ගෙන්වා ගැනීමට අන්තර්ජාතික පොලිසියේ මෙරට ශාඛාව හරහා ඉල්ලීම් සිදුකරන බවත් ඒ සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්ද කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවයි.

මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය විසින් රටින් පලා ගොස් සිටින මෙරට ප්‍රබල ගණයේ තවත් අපරාධකාරයන් 11 දෙනෙකුට පමණ රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන් වේ. එම පිරිස නම් සුරංග හෙවත් වැල්ලේ සුරංග, පරණමානගේ චමින්ද හෙවත් කළු සාගර, සුරසිංහ ආරච්චිගේ ගිහාන් ෆොන්සේකා, සෝමු සුප්පයියා හෙවත් යොගූ, කෙනඩි ෆර්ඩිනැන්ඩ් හෙවත් බුම්මා, සිංහාර අමල් සමින්ද සිල්වා හෙවත් රත්මලානෙ අංජු නැතිනම් කුඩු අංජු, රාජපක්ෂ ආරච්චිගේ දිනුක මධුෂාන්, නල්ලපෙරුම තන්ත්‍රිගේ දනුක රොෂාන් හෙවත් කෙසෙල්වත්තේ දිනුක, ජගමුණි සුජීව ද සොයිසා හෙවත් කොස්ගොඩ සුජී, බාලචන්ද්‍ර පුෂ්පරාජ් හෙවත් පූකුඩුකන්නා සහ සෙල්වරාජ් ධනේෂන් හෙවත් ධනේෂන් නැමැත්තන් වේ. ඊට අමතරව පසුගියදා ඉන්දියාවේදී මියගිය බවට සැලවුණු චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා හට ද රතු නිවේදන නිකුත් කර තිබිණි.

මේ වන විට රජය ගෙන යන අපරාධ මැඬලීමේ සාර්ථක වැඩපිළිවෙළ නිසාවෙන් අපරාධකාරයන්ට රටෙන් පිටමංවද නිදහසේ සිටිය නොහැකි බව ධර්මසිරිව කොටුකර ගැනීමෙන් පැහැදිලි වේ.

Comments