
වෙළෙඳපොළේ ඇතුළත දර්ශනයක්
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් විසින් මෑතකදී විවෘත කරන ලද පෑලියගොඩ නව මැනිං වෙළඳපළේ ඉතිහාස කථාව මින් වසර 100 තරම් දිගු ඉතිහාසයකට දිවයයි. පිටකොටුව ‘මැනිං‘ මාර්කට් නම් ජනතා වෙළඳසල වර්ෂ 1918 - 1925 යුගයේ ගාමිණී හුළුගල්ල මහතා විසින් ආරම්භ කළේ පිටකොටුව කච්චේරිය අසල බෝධිරාජ මාවතේ මහජන බැංකුව අසලය. ඒ මැනිං ආණ්ඩුකාරවරයාගේ පාලන කාලයේදීය. 1970 වසරේදී මැනිං වෙළඳපොළ ඔරුගොඩවත්ත ප්‍රදේශයට ගෙන යාමට අරමුණක් විය. එහෙත් එවකට ජනාධිපති ආර්. ප්‍රේමදාසයන් පිටකොටුව ඕල්කට් මාවතේ මැනින් මාකට්ටුව ස්ථාපිත කරන ලදි.
“කච්චේරි පාර මාකට්“ නමින් හැඳින්වූ මේ වෙළඳපොළ පසුව “මැනිං ෆ්‍රෙඩ් මාර්කට්“ නම් විය. පසු කලෙක මෙය “නිව් මාර්කට්“ නමින් හැඳින්වුවත් “මැනිං මාර්කට්“ යන නාමය මිනිසුන්ට අමතක නොවීය.
බ්‍රිතාන්‍ය කොලණි යුගයේදී සීනි ගබඩා සංකීර්ණයක් මෙන්ම තොග හා සිල්ලර වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ද ප්‍රකට විය. මුදල් හුවමාරු මධ්‍යස්ථානයක්, ඇඳුම්, පොත්, ලිපිද්‍රව්‍ය හා අනෙකුත් භාණ්ඩ සැපයුම්කරුවන් හා ගැනුම්කරුවන්ගේ තොග හා සිල්ලර අලෙවි මධ්‍යස්ථානයක් ද විය.
මෙහි පළමු පියවර වශයෙන් කොළඹ මත්ස්‍ය වෙළඳපොළ පෑලියගොඩ ස්ථාපනය කිරීමට වසර 2011 දී එවකට පැවති ආණ්ඩුව කටයුතු කළේය. වත්මන් ජනාධිපති එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙය ක්‍රියාවට නැගුණි.මීට අවුරුදු 10 ට පෙර රාත්‍රී 3 ට ආරම්භ වූ මැනිං තොග වෙළඳාම පසුවදා රාත්‍රී 10 දක්වා පැවැත්වුණි. මෑතක් වන විට පාන්දර 4 සිට දවල් 12 දක්වා මැනිං තොග වෙළඳාම පැවතුණි. පිටකොටුව ප්‍රදේශයේ ජනගහනය අධික වීමත්, ක්‍රම ක්‍රමයෙන් කඩසාප්පු වැඩිවීමත් නිසා රථවාහන තදබදය ද උග්‍ර විය. මෙම රථවාහන තදබදය අවම කිරීම උදෙසාත් නගරය තුළ විවිධාංගිකරණ සංවර්ධනයක් ඇතිකරලීමේ අරමුණින් පිටකොටුව කොටුව ප්‍රදේශය තුළ පිහිටි වෙළඳපොළ කීපයක් කොළඹින් පිටට ගෙනයෑමට සැලසුම් සැකසුණි.
මත්ස්‍ය වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යන අවස්ථාවේදී කොළඹ මැනිං වෙළඳ සංකීර්ණය ද පෑලියගොඩට ගෙන යෑමට තීරණය කරමින් එහි ඉදිකිරීම් කටයුතු 2013 වසරේදී ආරම්භ විය. මහින්ද රාජපක්ෂයන්ගේ පාලන යුගයේදී ඇරඹුණු මෙහි ඉදිකිරීම් කටයුතු පසුගිය යහපාලන යුගයේදී සම්පූර්ණයෙන්ම බිඳ වැටුණි.
පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේ ඉක්මන් අවශ්‍යතාව හඳුනාගත් පසු 2017 වසරේ නැවත මෙහි ඉදිකිරීම් ඇරඹුණි. මෙහි ඉදිකිරීම් සැලසුම් කෙරුණේ Central Engineering Consultancy Bureau (ceeb) ආයතනය මගිනි. සියලුම ඉදිකිරීම් සිදු කෙරුණේ පසුගිය දශක 3 ක් පුරා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන, විනෝදාස්වාද ක්ෂේත්‍රයේ, විශාල වාණිජ අංශවල ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉදිකිරීම් රැසක් සිදු කළ මාගා ආයතනය මගිනි.
පිටකොටුවේ අක්කර 2 පමණක් විහිදී තිබුණු මැනින් වෙළඳසල පෑලියගොඩ අක්කර 13.5 ක් පුරා වපසරියක පැතිර පවතී. රුපියල් බිලියන 6.5 (කෝටි 650) මුදලක් ඉදිකිරීම් නිම කිරීමට වැයවී ඇත.
ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ සංකීර්ණය වන මෙය අසල ලංකාවේ සෑම අංශයක්ම සිසාරා දිව යන අධිවේගී මාර්ග පද්ධතියේ හොඳම මර්මස්ථාන පිහිටා ඇත. පෑලියගොඩ පිවිසුම ලංකාවේ සෑම ප්‍රදේශයකටම කොළඹට භාණ්ඩ ප්‍රවාහනය කරගැනීමේ පහසුව ඇතිවන පරිදි සකසා තිබීම විශේෂත්වයකි. වරාය අධිවේගී මාර්ගය, ගුවන් තොටුපොළ අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය, උතුරු අධිවේගී මාර්ගය ඇතුළු අධිවේගී මාර්ග සමඟ පෑලියගොඩ හුවමාරුව සම්බන්ධ වීම හේතුවෙන් තොග බඩු ප්‍රවාහනය පහසුවෙන් රට පුරා සිදු කළ හැකි වන අතර මේ නිසා කොළඹ නගරයේ සහ අනෙකුත් මාර්ගවල වාහන තදබදය අවම වීමට යම් බලපෑමක් සිදුකරනු ලබයි.
පෑලියගොඩ නව වෙළඳ සංකීර්ණය පරිසර හිතකාමී විවෘත ප්‍රදේශ කිහිපයකින් යුක්තය. ස්වාභාවික ආලෝකය උපරිමයෙන් ලැබෙන පරිදි සකසා ඇත. ඊට අමතරව ආලෝකය ලබාගැනීම සඳහා සුවිශාල ලයිට් හා සෝලර් ලයිට් උඩු මහලේ සකසා ඇත. උඩු මහලේ උඩම කොටසට ස්වාභාවික හිරු එළිය මැනෙවින් ලැබේ.
මෙය මහල් හතරකින් යුක්ත වන අතර තුන්වන තට්ටුව දක්වාම එළවළු ලොරි ගෙන යෑමට හැකියාව ඇත. මෙම වෙළඳ සංකීර්ණයේ විශේෂත්වය වන්නේ ද භාණ්ඩ පැටවීමට හා බෑමට පහසුවන පරිදි විශාල වක්‍ර වූ තට්ටු දෙකක් වෙන්වීමයි. කාලීන අවශ්‍යතා සපුරාලමින් ලංකාවේ සම්පත් ප්‍රයෝජනයට ගෙන මෙම වෙළඳ සංකීර්ණය ඉදිකර ඇත. වර්ග අඩි 450,000 බිම් ප්‍රමාණයක් ආවරණය කරයි. මෙම වෙළඳ සංකීර්ණය බ්ලොක් (කොටස්) දෙකකින් සමන්විත වන අතර ඒ දෙක යා කෙරෙන්නේ පාලමක් මගිනි.
පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණය කඩසාප්පු 1192 න් සමන්විත වන අතර වාහන 600 නවතා තැබිය හැකි තරම් විශාල වපසරියකින් යුක්තය. සේවකයන්ට විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා (cool room) රෙස්ටුරන්ට්, නවාතැන් කාමර, කැෆටේරියා විවෘත විවේක ප්‍රදේශ ආදී සියලුම පහසුකම්වලින් සමන්විත වේ.
හොඳ ප්‍රවේශ පහසුකම් සේම, අපද්‍රව්‍ය හා ජල කළමනාකරණය ද මැනවින් පවත්වාගෙන යෑමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසා ඇත. කාලසටහනකට අනුව අතිරේක ආරක්ෂාව ද තර කර ඇත. සංවර්ධිත රටක නිර්ණායක මේ යැයි පසක් කරමින් අති නවීන පහසුකම්වලින් සමන්විතව ඉදිකර තිබෙන පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණය පසුගියදා නාගරික සංවර්ධන නිවාස ඇමති හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් අතින් ජනතා අයිතියට පැවරිණි.
පෑලියගොඩ නව මැනිං වෙළඳෙපාළ හා එහි යටිතල පහසුකම් ආශ්‍රිතව දහස් ගණනකට රැකියා දොරටු විවර වනු ඇත. මෙතෙක් කලක් පිටකොටුව මැනිං වෙළඳ සංකීර්ණය පැවැතියේ අපිරිසිදුව හා ජනාධිකවය. වැසි දිනට එය එකම අපායකි. අගනගරයෙන් මඳක් දුරස් වුවද දැන් පාරිභෝගික ජනතාවට පිරිසිදු, සෞඛ්‍යාරක්ෂිත පරිසරයක සිට නැවුම් එළවළු, පලතුරු මෙන්ම තවත් බොහෝ පහසුකම් එකම වහලක් යටින් මිලදී ගත හැකිය. දිවයින පුරා දිවෙන අධිවේගී හුවමාරු මඟින් පහසුවෙන් හා කඩිනමින් එළවළු, පලතුරු හා වෙනත් භාණ්ඩ තොග කොළඹට ළඟාවීමටත්, කොළඹින් පිට පළාත්වලට භාණ්ඩ යැවීමටත් පහසුවනු ඇත. එමඟින් ලංකාවේ ව්‍යාපාර කටයුතු එකම විශ්ව ගම්මානයක් ලෙසට සමීප කෙරෙනු ඇත.