2020 වසරේ සාගර වීරවරිය වූ ලංකාවේ විද්‍යාඥවරිය | සිළුමිණ

2020 වසරේ සාගර වීරවරිය වූ ලංකාවේ විද්‍යාඥවරිය

විශිෂ්ට ගැහැනිය යළිත් වරක් විශ්ව සම්භාවනාවට ලක් වී සිටින්නීය. ලෝකයම මහා උවදුරක ගිලී උකටලීව සිටිද්දී මේ අරුම සම්පන්න ගැහැනිය ජාතියට දිනා දෙන බලාපොරොත්තුවේ ප්‍රමාණය අසීමිත බව ලියා තැබිය යුතුමය.

ආචාර්ය ආශා ද වොස්... ඇය 2020 වසරේ ලොව ‘සමුද්‍ර වීරයා‘ නැතිනම් සාගර වීරවරිය ලෙස නම් කරනු ලැබුවේ සාගර ගවේෂණය පිළිබඳ කැපවූ ලොව ප්‍රධානම සඟරාවක් වන ScubaDiving විසිනි. එහෙත් මෙරටට ඇය වීරවරියක් වූයේ මීට බොහෝ කලිනි. ඒ, පසුගිය වසර 40 තුළ ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් අධ්‍යාපනය හදාළ දීප්තිමත්ම ශිෂ්‍යාවන් 20 දෙනා අතරට මේ ලාංකේය ගැහැනිය නම් කරනු ලැබීමෙනි. ඒ අනුව ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඡායාරූපයක් ප්‍රදර්ශනය වන පළමු ශ්‍රී ලාංකේය කාන්තාව වන්නේ ආචාර්ය ආශා ද වොස් ය.

වර්ෂ 2018 දී බී.බී.සී.ය මඟින් ලෝකයට වඩාත් බලපෑම් කළ හැකි කාන්තාවන් 100 දෙනා තේරීමේදී ඔවුහු රටවල් 60ක, වයස අවුරුදු 15ත් 94ත් දක්වා වූ වයස් ඛාණ්ඩවල ප්‍රභල කාන්තා චරිත දස දහස් ගණනක් සොයා ගියහ. එසේ තෝරාගත් ලෝකයේ විශිෂ්ටම කාන්තාවන් 100 දෙනා අතරට ආශා ද වොස් ඇතුළත් වූවාය.

2020 වසරේ සාගර වීරවරිය ලෙස ලෝකය විසින් ඔටුනු පලඳන්නේ මේ ලාංකේය ගැහැනිය යි. ඇය සාගර ක්ෂීරපායින් පිළිබඳ ආචාර්ය උපාධියක් ලද ප්‍රථම ශ්‍රී ලාංකේය පුරවැසියා ය. ලෝකයම හඳුනන කීර්තිධර ලාංකේය සාගර විද්‍යාඥවරියයි. ගර්හාව හා බිඳ දැමීම ලෝක යථාර්ථය වූ පරිසරයක වීරත්වයෙන් පිදුම් ලැබීම විරල අත්දැකීමකි. ආචාර්ය ආශා ද වොස් ඒ අත්දැකීම අප හා බෙදා ගත්තේ මෙලෙසිනි.

“පසුගිය දිනක ScubaDiving සඟරාව මාව සම්බන්ධ කරගත්තා. ඔවුන් මා හා සම්බන්ධ වුණේ මා 2020 වසරේ ‘සාගර වීරයා‘ ලෙස තෝරගෙන තියෙනවා කියන පණිවුඩය මට කියන්න. එය ඇසෙන මුල්ම අවස්ථාවේ මට විශ්වාස කරන්න බැරි වුණා. ඔබට සිතා ගන්න පුළුවන් ද... ඇත්තටම මම ඒ ආරංචියෙන් කම්පනයට පත් වුණා. මොකද ඔවුන් මේ තෝරා ගැනීම කරන්නෙ ලොව පුරා විසිරී සිටින කීර්තිමත්, විශ්මයජනක ප්‍රතිභාවන් පෙන්නුම් කරන දහස් ගණන් සාගර විද්‍යාඥයන් හා වෘත්තිකයන් අතරින්. ඔවුන් සියල්ල අතරින් මාව ‘සාගර වීරයා‘ ලෙස තෝරා ගැනීම ඇත්තටම විශාල ගෞරවයක්. මෙය මා ආදරය කරන මගේ ජීවිත පරමාර්ථ හැඩ ගසන ලද විෂය පථය. එම ක්ෂේත්‍රය තුළ මේ ආකාරයෙන් සම්මානිත වීම අතිශය නිහතමානීව විඳගන්නවා”

වැදගත්ම දේ මේ සම්භාවනාවට පත් වීම ඇය විසින් ග්‍රහණය කරගන්නා ආකාරය සහ එම කීර්තිය හා ප්‍රශංසාව කළමනාකරණය කරගන්නා ආකාරය ය.

“ මට ලැබෙන මේ සෑම පිළිගැනීමක්ම විශාල ගෞරවයක්. නමුත් ඒ කිසිම තැනක් මා නතර කරන ස්ථානයක් නම් නොවෙයි. මගේ ගමන මැරතන් තරගයක් වගේ. එය බෙහෙවින්ම දිගු මාර්ගයක්. මම එහි ඇවිත් තිබෙන්නේ ටික දුරයි. තවත් බොහෝ දුර යා යුතුව තිබෙනවා. එම ගමනේදී ලැබෙන දිරිමත් කිරීම් තමයි මේ ප්‍රකාශ වෙන්නේ. ඒ හැම ප්‍රකාශනයක්ම මට සිහි කරන්නෙ මම හරි දේ කරන බව. එයින් මගේ රටට ගෞරවයක් දෙන බවට මා තුළ නිහතමානී ආඩම්බරයක් ඇති කරනවා.“

නුදුරු අතීතයේ දී ඇය අන්තර්ජාතික තලයේ සම්භවනාවට ලක් වූ අයුරු පිළිබඳ අප විමසා සිටියේ එය රටක් ලෙස අප උත්කර්ෂයෙන් යුතුව සැමරිය යුතු මතකයක් බැවිනි.

“ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධ මා ඉගෙන ගත් ලින්කන් විද්‍යාලයට ශිෂ්‍යාවන් බඳවා ගැනීම ආරම්භ වෙලා අවුරුදු 40ක් පිරීම සැමරීමට පාලනාධිකාරිය තීරණය කර තිබුණා, එහි ඉගෙන ගත් ශිෂ්‍යාවන් 20 දෙනකුගේ ඡායාරූප එල්ලා තබන්න ඊට මාවත් යෝජනා වෙලා තිබුණා. ඔක්ස්ෆර්ඩ් කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක වන ලොව පැරණිතම විශ්වවිද්‍යාලය. එය මම කළ කැපවීම්වලට ලැබුණු ගෞරවයක්. එයින් මා තෘප්තිමත් වෙන්නෙ ශ්‍රී ලංකාවට ලෝකයේ යම් ගෞරවයක් ලබා දෙන්න මට හැකි වීම නිසයි”

“ වර්ෂ 2018 දී ලොව බලගතුම හා ප්‍රබල කාන්තා චරිත 100ක් බී.බී.සී.යෙන් තේරුවා. ඒ සිය දෙනාගෙන් එක් අයෙක් විදිහට ඔවුන් මාව නම් කළා. එය විශාල ප්‍රවේශයක්. ඔවුන් මාව තෝරාගෙන නම් කරන්නේ ලොව පුරා සෑම ක්ෂේත්‍රයකම සිටින සියලුම කාන්තාවන් අතරින්. ඒ තෝරා ගැනීම මා අතිශයින්ම සතුටට පත් කළ බව සැබෑවක්. හැබැයි එයින් මගේ ජීවිතේ බොහෝ සෙයින් වෙනස් කළේ නෑ. මා දන්නවා අපේ සාගරය හා පෘථිවිය වෙනුවෙන් මා බලාපොරොත්තු වන සාධනීය බලපෑම කරන්න, ඒ අරමුණු සාක්ෂාත් කරගන්න මා තවත් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු බව. ඒ කටයුත්තේදී මේ සම්මානිත ප්‍රකාශන මගේ රටට ලොකු පිළිගැනීමක් ලබා දෙනවා. ඒ වගේම මා වැඩ කරන ආකාරය දකින කෙනකුට ආත්ම විශ්වාසයක් ඇති කරනවා අප ඉදිරියේ ඇති මේ අභියෝග ජය ගත හැකි බවට.”

ඇය ගෙවා ආ වෘත්තීය ජීවිතයේ සෑම වසරක්ම පාහේ ඇය යන මඟ ඔසවා තැබූ පිය ගැටපෙළක් වැනිය. ලොවම නැවතුණු, අපේක්ෂා සුන් වුණු මේ උවදුරු සමයේ ඇය සිය වෘත්තීය ජීවිතයේ නොමැකෙන ප්‍රභාවත් ලකුණු තැබුවාය.

“මගෙ ජීවිතයේ සෑම වසරක්ම අනෙක් අවුරුදුවලට වඩා විශේෂිත බව කිව යුතුයි. හැම අවුරුද්දකම ගොඩක් දේවල් අධ්‍යයනය කරමින් ඒ දැනුම වර්ධනය කරමින් වඩා වැඩි බලපෑමක් ඇති කරන්න මට පුළුවන් වුණා. එයින් කියවෙන දෙයක් තමයි මේ අවුරුද්ද පැහැදිලිවම මගෙ ජීවිතේ කිසිදා අමතක නොවන වසරක් බව. මේ වසර ලෝකයටම අතිශය දුෂ්කර වසරක්. අවිනිශ්චිතතාව, කනස්සල්ල පිරුණු වසරක්. නමුත් මේ වසර මට ලබා දුන් දෙයට මම අතිශයින් කෘතඥ වෙනවා. මගේ ජීවිතය සහ මගෙ වැඩ ගැන මෙනෙහි කිරීමට මට කාලය ලැබුණා. දෙයක් යහපත්ව කරන්නෙ කොහොමද කියලා හිතන්න අවස්ථාව ලැබුණා. නැවතී ජීවිතය දෙස බලන්න අවස්ථාව ලැබුණා.

මේ අමුතු අවුරුද්ද ඇතුළෙ මට සම්මාන හතරක් දිනාගන්න හැකි වීම ගැන අතිශයින්ම ස්තුතිවන්ත වෙනවා. මම ඒ සම්මානවලින් කිසිම විශේෂ දෙයක් බලාපොරොත්තු වුණේ නෑ. නමුත් ඒ සියල්ල මට යළි යළිත් සිහි කැඳවමින් ඇත්තේ දැඩි කැපවීමකින් හා උද්‍යෝගයකින් වැඩ කිරීම වැදගත් බවයි.. “

මේ දිරිය ගැහැනිය ඒ සියල්ල අතර ජීවිතය කළමනාකරණය කරගන්නා ආකාරය අපූරුය. 

ආචාර්ය ආශා ද වොස් පාසල් අධ්‍යාපනය ලබන්නේ කොළඹ කාන්තා විද්‍යාලයෙනි. පළමු උපාධිය ලබා ගන්නේ ස්කොට්ලන්තයේ ශාන්ත ඇන්ඩෘ සරසවියෙනි (University Of St. Andrews). එංගලන්තයෙ ඔක්ෆර්ඩ් සරසවියට (University Of Oxford) ඇතුළත්ව ඇය සිය ප්‍රථම පශ්චාත් උපාධිය ලබා ගන්නේ ඉන් අනතුරුවය. අනතුරුව ඇය සිය ආචාර්ය උපාධිය ලබා ගන්නේ බටහිර ඕස්ට්‍රේලියානු සරසවියෙනි. (University Of Western Australia). ඇය සාගර විද්‍යාඥවරියක් ලෙස ලෝකයට පිවිසෙන්නේ මේ ශාස්ත්‍රීය පසුබිම තුළය.

ආචාර්ය ආශා ද වොස් ලෝක ඇගැයීමට ලක් වන්නේ සාගර ක්ෂීරපායින් පිළිබඳ කළ පර්යේෂණ සම්බන්ධයෙනි. ඇයගේ ප්‍රධාන පර්යේෂණ ක්ෂේත්‍රය වූයේ උතුරු ඉන්දියානු සාගරයේ නිල් තල්මසුන්ය. ඇය නිල් තල්මසුන් පිළිබඳ දශකයකට ආසන්න කාලයක් පර්යේෂණ කටයුතුවල නිරත වූවාය. උතුරු ඉන්දියානු සාගර කලාපයේ නිල් තල්මසුන් පිළිබඳ දිගුකාලීන පර්යේෂණවල පුරෝගාමියා වුණේ ද ඇය ය.

අනතුරුව සාගර ක්ෂීරපායීන් පිළිබඳ පර්යේණ කරන බර සාර සාගර විද්‍යාඥ වෘත්තීය සහිතව ලංකාවට එන ආචාර්ය ආශා ද වොස් සාගර විද්‍යා පර්යේෂණ ආයතනයක් ආරම්භ කළාය. ලංකාවේ ඇති වුණු එවැනි මුල්ම ආයතනය එයය. ඒ, Oceanswell ය.

සාගර සංරක්ෂණ, පර්යේෂණ සහ අධ්‍යාපනය සඳහා ඇති ලංකාවේ පළමු ආයතනය වූ Oceanswell ඇය විසින් වර්ෂ 2017 දී ආරම්භ කරන්නේ ඊළඟ පරම්පරාව වෙනුවෙනි. ඇය සිය ආයතනය බිහි කිරීමේ අරමුණ ලෙස කීවේ සාගරය සම්බන්ධ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පර්යේෂණ කරන අනාගත සාගර වීරයන් පෝෂණය කිරීමය.

ඒ විශිෂ්ට කාන්තාව 2020 වසරේ ලෝකයේ සාගර වීරවරිය ලෙස නම් කර ඇත්තේය. වීරයන් ඉබේ බිහිවන්නේ නැත. වීරයෙක් නිර්මාණය වන්නේ ලොවට විවර වූ අනුපමේය දයාද්‍ර දැක්මක් සහිත චින්තන ධාරාවක් තුළය. මීට සුළු කලෙකට පෙර ඇය අපට මෙසේ කියා තිබුණාය.

“ මා විසින් ආරම්භ කළ මේ ශාස්ත්‍රීය කටයුතු කිසිම දෙයක් මා මැරුණු පසු අවසන් විය යුතු නැහැ. එහෙම වුණොත් මම ජීවත් වෙලා හිටපු කාලයම නිරපරාද නාස්තියක් වේවි. ඒ නිසාම මගේ දැනුම, ඉගැන්වීම, පුහුණුවෙන් කෙනෙක් සන්නද්ධ කිරීම වගේම අන් අයට අවස්ථාව ලබා දීම මට ඇදහිය නොහැකි තරම් වැදගත්.”

ඒ වීරයන් ලෝකය ගැන සිතන හැටිය. ඊට නොබෝ දිනෙකට පසු ඇය 2020 වසරේ ‘සාගර වීරවරිය’ වූවාය.

ඡායාරූප - Spencer Lowell 
Oceanswell

Comments