ඔන් ලයින් අධ්‍යාපනය කොයිබටද? | Page 4 | සිළුමිණ

ඔන් ලයින් අධ්‍යාපනය කොයිබටද?

කොවිඩ් 19 ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ඒ හරහා අධ්‍යාපනය හදාරන දරුදැරියන්ටද දැඩි බලපෑමක් එල්ල විය. අධ්‍යාපන පද්ධතියම කඩා වැටිණි. දරුවෝ නිවෙස්වලට කොටු වූහ. ක්‍රිඩා හෝ වෙනත් සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් වල නියැළී සිටි දරුදැරියන්ට ඒ කිසිවක් කිරීමේ අවකාශ ඇහිරුණි. එහෙත් වැඩි කාලයක් ගත වීමට පෙර විශ්වවිද්‍යාල සහ පාසල්වල මාර්ගගත අධ්‍යාපන ක්‍රමය හෙවත් ‘ඔන්ලයින්‘ අධ්‍යාපනය ක්‍රමවේදය ආරම්භ විය.

මේ ආගන්තුක අභියෝගය භාරගනිමින් ඔන්ලයින් අධ්‍යාපනයට මෙරට දරුවන් මෙන්ම ගුරුවරුද හුරුපුරුදු විය. කොවිඩ් 19 සමඟ පැමිණි ඔන්ලයින් අධ්‍යපනය නිසා දරුවෝ අන්තර්ජාලයේ සැරිසැරිමටත් ඉහළ තාක්ෂණික උපාංග හා සේවා භාවිතයටත් සමාජ මාධ්‍ය හරහා දැනුම ලබාගැනිමටත් පෙලඹුණහ. ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා තාක්ෂණය අන්තර්ජාලය සහ ඔන්ලයින් අධ්‍යාපනය අතර දැවැන්ත සබැඳියාවක් ඇතිවිය. මේ අධ්‍යාපන ක්‍රියාවලිය මෙරටට ආගන්තුක වුවද අන්තර්ජාතික වශයෙන් දියුණු රටවලට එය නව ක්‍රමවේදයක් නොවේ. අනපේක්ෂිතව පැමිණි ඔන්ලයින් අධ්‍යාපනයේ සාධනීය ලක්ෂණ සහ අඳුරු පැතිකඩ රැසකි. අපේ රටේ මේ වනවිට තොරතුරු තාක්ෂණය පිළිබඳ ඇති සාක්ෂරතාවය 40%වඩා අඩු මට්ටමක පවතී. එසේම දැනුම තිබියදීත් තාක්ෂණික මෙවලම් සපයා ගත නොහැකි දරුවෝද වෙති. සියලු පහසුකම් තිබියදීත් අන්තර්ජාලය අවභාවිත කිරීමට පෙලෙඹෙන දරුවෝද වෙති. සියලු දුෂ්කරතා හමුවේ සියල්ල විඳ දරාගනිමින් කෙසේ හෝ අකුරු කරන දරුවෝද වෙති. මේ සාධනීය සහ අඳුරු පැතිකඩ යන ද්විත්වය සම්බන්ධයෙන් නොයෙක් පාර්ශ්වයන් විසින් මතවාද ගොඩනඟා තිබේ.

 

ඔන්ලයින් ආධාරකයක් පමණයි...

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි

ඔන්ලයින් ක්‍රමවේදය සමස්ත ප්‍රධාන අධ්‍යාපන ක්‍රියාවලිය බවට පත් කර ගන්නේ නැතුව ඉගෙනුම් ආධාරකයක් පමණක් බවට පත්කර ගත යුතුයි ඔන්ලයින් ක්‍රමය එක් වරම අසාර්ථක හෝ සාර්ථකයි කියා කියන්න බැහැ. විශාල අඩුපාඩු තියෙනවා. විශේෂයෙන් ආවරණ කලාපවලින් බැහැර දරුවන් ඉන්නවා. වඩාත් ගැටලුව වන්නේ ගුණාත්මක භාවය සම්බන්ධයෙනුයි. අපේ අධ්‍යපන ක්‍රියාවලිය ඇතුළේ කිසිදු වැඩපිළිවෙළකින් තොරවයි කරගෙන යන්නේ. ඔන්ලයින් උගන්වන ලෝකෙ දියුණු රටවල් තියෙනවා.

 

ඒ රටවල්වල දුරස්ථ අධ්‍යාපනය ලබා දෙනවා. ඔන්ලයින් ක්‍රියාවලිය අපේ රටේ අවිධිමත් ලෙස ලබා දෙන දෙයක් නොවෙයි. ඒ දෙක දෙකක්. අපේ රටේ එය ගුණාත්මකභාවයකින් යුතුව ලබා දෙන්න නොහැකි වී තියෙනවා. විශ්වවිද්‍යාලවල උගන්වන්න බැරි ප්‍රායෝගික ක්‍රියාකාරකම් තියන අධ්‍යාපන ක්‍රියාවලින් තියනවා. ඒ නිසා මේ ක්‍රමවේදය ඉගෙනුම් ආධාරකයක් පමණක් බවට පත් කරගන්න කියලා අපි කියන්නේ ඒකයි.

අපි යෝජනා කරන්නේ විධිමත් ආකාරයට විශ්වවිද්‍යාල පද්ධතිය හා පාසල් පද්ධතිය යථා තත්ත්වයට පත්කරන්න කියලයි.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සකස් කළ යුතුයි. විශේෂයෙන් පාසල්වල සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නොමැති වුවහොත් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වගේ ශිෂ්‍ය ගැටලු මතුවිය හැකියි. ඒ අයට දැනටත් සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළක් නැති නිසා ගැටලු මතුවී තිබෙනවා . පාසල් විවෘත කළ තැබුවත් ඇතැම් පළාත්වල අවදානමකයි දරුවන් ඉන්නේ විශේෂයෙන් වසංගත තත්ත්වයක් යටතේ අධ්‍යාපනයට සෞඛ්‍යයට ප්‍රතිපාදන වැඩි කර ළමයින්ගේ සෞඛ්‍ය පහසුකම් වැඩි කරන්න කියලත් අපි ඉල්ලා සිටිනවා.

 

ඔන්ලයින්: ලෝකයට අලුත් දෙයක් නෙමෙයි...

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ අංශ ප්‍රධානී - ICT  ආචාර්ය නාලක ලංකාසේන

අන්තර්ජාල අධ්‍යයන කටයුතු කරන ලෝකයේ දියුණු රටවල් තරම්ම අධ්‍යාපන අංශයේ දියුණු නොවුවත් ආරම්භයට වඩා දියුණු තත්ත්වයක් අද වන විට අප රටේත් පවතිනවා. අපේ දරුවන්ට ඒ සම්බන්ධයෙන් අදාළ පහසුකම් අඩුයි . දියුණු රටවලට සාපේක්ෂව පහසුකම් අඩුවුවත් මේ කොවිඩ් 19 තත්ත්වයත් සමඟ ලෝකයේ අනෙක් රටවල් මෙන්ම ලංකාවටත් මේ අන්තර්ජාලය හරහා අධ්‍යයන කටයුතු කිරිමේ අවකාශය පැමිණ තියෙනවා. මෙහිදි අපිට කොවිඩ් 19ත් සමඟ අධ්‍යාපන ක්‍රියාවලිය සිදුකරන්නේ කෙසේද කියන කරුණ මතු වුණා. කෝවිඩ් එක්ක අපි එක් තැනකට හිරවී සිටිනවාද ලෝකයත් සමඟ ඉදිරියට යනවාද කියන පැනයේදී අපි කෙසේ හෝ ඉදිරියට යායුතුයි යන්න තහවුරු වුණා.

 

අපි ගන්නා ක්‍රියාදාමයන් සියයට සියයක් සාර්ථක නැති වෙන්න පුළුවන්. මේ කොවිඩ් ආරම්භයේ ඔන්ලයින් අධ්‍යාපනයට වඩා අද අපි ඉදිරියෙන් සිටිනවා. ඇතැම් අවස්ථාවලදි එක දිගටම අන්තර්ජාල හරහා කටයුතු කරමින් යන අවස්ථාවලදී පහසුකම් සංඥා පහසුකම් බිඳෙන අවස්ථාත් තියෙනවා. මැතකදි කළ සමීක්ෂණයකට අනුව 90%ක් අන්තර්ජාල සබඳතා සංඥා පහසුකම් ඇති අතර 10%ක් පමණ පිරිසට ගැටලු තියෙනවා. එවැනි බොහෝ අවස්ථාවලදි එම පාඩම් නැවත ලබා ගැනීමට අන්තර් ජාලයට විඩියෝ පට මුදා හරිනවා. දරුවන්ට කෙසේ හෝ පාඩම්වලට සහභාගිවීමේ අවස්ථාවක් උදාකර දි තියනවා. ආරම්භක කාලයට දත්ත පහසුකම් සඳහා විශාල මුදලක් වැය වුවත් මේ වන විට සේවා පහසුකම් සපයන ආයතන කිහිපයක් ඒ සඳහා සහන පැකේජයන් ලබාදී තියෙනවා. සියලු පාර්ශ්ව මේ සම්බන්ධයෙන් යම් අනුගතවීමක් සිදුවෙමින් පවතිනවා. විශ්වවිද්‍යාලවලත් ජංගම දුරකතනයන් භාවිත කරමින් මේ අධ්‍යයන කටයුතු කරන සිසුන් සිටිනවා. එහෙත් විභාග පවත්වන අවස්ථාවලදී දුරකතනයෙන් විභාග ලිවිමේ ගැටලු පවතිනවා, සියලු සිසුන්ට කොවිඩ් 19 තිබුණත් නැතත් මේ ඔන්ලයින් ක්‍රමවේදයන් ඉදිරියේදි අනිවාර්යෙන් භාවිත කරන්නට සිදුවෙයි. රටක් ලෙස ඉදිරියට යන්නට මේ මෙවලම් පහසුකම් නැති දරුවන්ට මෙවලම් ලබා ගැනීමට යම් ක්‍රමවේදයක් ඇති කළ යුතුයි. අකමැත්තෙන් හෝ අපි මේ ක්‍රමයත් එක්ක ඉදිරියට යා යුතු වෙනවා.

අන්තර්ජාලය සඳහා භාවිතකරන ලැප්ටොප්, ටැබ්, සහ ජංගම දුරකතනයේ නරක පැත්ත පමණයි අපි කාලයක් තිස්සේ කතා කළේ. එහි සාධනීය ලක්ෂණ අපි අද දකිනවා. අද විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන අලුත් පිරිසගේ විශාල නැඹුරුවක් සහ ක්‍රියාශිලිත්වයක් මේ ඔන්ලයින් අධ්‍යාපනය කෙරෙහි පවතිනවා. ඒ නිසා ඉදිරියට යන ලෝකයත් සමඟ යෑම සඳහා නවපරපුර මේ සඳහා ඇති නැඹුරුව සහ අනුගතවීම ඉතාමත් වැදගත්.

 

 

අපේ සිසුන් ජය ලබා තිබෙනවා...

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර

සමාජානුයෝජන ක්‍රියාවලියක් තියනවා ඒ මගිනුයි දරුවෙක් සමාජයට හුරුකරනු ලබන්නේ. මිතුරු සමාජය, ක්‍රිඩා, සෞන්දර්යය දෙමාපියන් ගුරුවරුන් සමඟ ඇසුරු කරන හැටි සංවිධානාත්මක පාසල් පද්ධතිය තුළ හැසිරෙන ආකාරය දැනුම කුසලතා වර්ධනය කරගත යුතුයි. එය නිදහසේ කළ යුතුයි. අපේ රට දියුණු වෙමින් පවතින රටක්.

 

සකලවිධ දුපතේම පහසුකම් නැහැ. කඳුපල්ලම් තියන ප්‍රදේශ තියෙනවා. ඒ නිසා තාක්ෂණික ගැටලු ඇතිවෙන්න පුළුවන් ආර්ථික අරගලයක ඉන්න මිනිස්සු ඉන්නවා. දෙමාපියන් දරුවන්ට කන්න දෙන්න අරගල කරනවා. කොළඹ ජනප්‍රිය පාසල්වල නම් දිළිඳු පවුල්වලින් එන දරුවන්ට නම් පාසල තුළින් හෝ අවශ්‍ය මෙවලම් ලබා දෙනවා. නමුත් ඒ කිසිදු පහසුකමක් නැති ගම්වල දරුවන් ඉන්නවා. සම්පුර්ණයෙන් වසා දැමූ ප්‍රදේශවල දරුවන්ට කිසිදු දෙයක් කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියනවා.

මේ සියලු ක්‍රියාදාමයන් අතර තවත් දරුවන් ඉන්නවා අවශ්‍ය මෙවලම් කෙසේ හෝ සපයාගෙන අධ්‍යයන කටයුතු කරන. ඔවුන් අන්තර්ජාල සේවා පහසුකම් සපයන ස්ථාන කරා ගොස් හෝ අවශ්‍ය කටයුතු කර ගන්නවා.

එහෙත් තාක්ෂණික මෙවලම් නෙමෙයි ප්‍රශ්න පත්‍රයක ජායා පිටපතක් ලබා ගන්න නොහැකි දරුවන් පවා සමාජයේ ඉන්නවා. ඒවගේම විශ්වවිද්‍යාල පද්ධතිය ගත්විට ඒ තුළ මේ වනවිට සාර්ථකව ඔන්ලයින් ක්‍රමවේදයන් අනුව අධ්‍යයන කටයුතු කරමින් පවතිනවා. එසේම විභාග පැවැත්වීමද සිදුවෙනවා. මේ නව ක්‍රමවේදයන් ජයග්‍රහණය කරන්නට අපේ දරුවන් සමත් වී තියෙනවා කිව්වොත් එය නිවැරැදියි.

 

 

සාර්ථක අසාර්ථකභාවය ඇත්තේ තාක්ෂණික මෙවලම් මතයි...

කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එස්. එන්. කීර්තිරත්න

ලෝකයේ ඉතා දියුණු රටවල හොඳ අධ්‍යාපන ක්‍රමවේදයක් ලෙස අන්තර්ජාල අධ්‍යාපන ක්‍රමය භාවිත කරමින් පවතිනවා, ඒ රටවල් තාක්ෂණය අතින් දියුණු සේම තාක්ෂණය භාවිතය පිළිබඳව ස්වාධින විනයානුකූල ක්‍රමවේදයන් ගොඩනංවා ගෙන තියෙනවා. මේ වන විට අපේ රටේ පාසල් පද්ධතිය තුළ ප්‍රධාන පෙළේ පාසල් වල ඉතාමත් හොඳින් මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරගෙන යනවා . ඒවගේම මෙහි තවත් පැතිකඩක් තියෙනවා. එනම් ගුරුවරුන්ගේ දක්ෂතාවය සහ තාක්ෂණික හැකියාව, තාක්ෂණික මෙවලම් වල ඇති පහසුකම් අනුවයි මෙහි සාර්ථක අසාර්ථක භාවය රඳා පවතින්නේ. ගුරුවරුන්ගේ මෙන්ම දරුවන්ද තාක්ෂණික මෙවලම් සහ අන්තර්ජාල සංඥා පද්ධතීන්වල ඇති අපහසුතාවයන් නිසා ගැටලු ඇති වී තියෙනවා.

 

කොළඹ ප්‍රසිද්ධ පාසල්වලට ශිෂ්‍යත්වධාරීන් ලෙස වසරකට විශාල සංඛ්‍යාවක් දරුවන් ඇතුළත් වෙනවා. හැම ශ්‍රේණියකම හරි අඩක් ඉන්නවා. මේ සමහර දරුවන්ට තාක්ෂණික මෙවලම් අන්තර්ජාල සඳහා අවශ්‍ය ඩේටා පහසුකම් නැහැ. අන්තර්ජාල සබඳතා සංඥා පහසුකම් නැහැ. දිර්ඝකාලින මේ තත්ත්වයන් පැවැතිය හොත් මේ ක්‍රමවේදයෙන් ඉදිරියට යායුතු වනවා. ඒ නිසා මුල් අවධියෙදී තියන අපහසුතාවයන් මැඬ පවත්වා ගනිමින් ඉදිරියට යා යුතුවෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පවා මේ පහසුකම් නැති අවස්ථා තියනවා. එමෙන් ම පහසුකම් තිබියදිත් සමහර දරුවන් උපායශිලීව ගුරුවරන් සහ දෙමාපියන් නොමඟ යවමින් වෙනත් වෙබි අඩවි සඳහා යොමු වූ අවස්ථා තියනවා. පහසුකම් අවභාවිත කරන දරුවන් සංඛාව ශිඝ්‍රයෙන් ඉහළ ගොස් තියෙනවා.

වත්මන් සමාජයේ දෙමාපියන් නිවසේ සිටියත් දරුවන් සහ දෙමාපියන් අතර ආදරණීය සම්බන්ධතාවයන් බිඳ වැටිම් වැඩිවී තියෙනවා . ඒ වගේම මේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු කරන ලංකාවේ ගුරුවරු කාලසටහනකට හුරුවූ පිරිසක්. දරුවන් ඉදිරිපිට වාඩිවෙලා උගැන්වූ ක්‍රමවේදයක් අනුගමනය කරපු පිරිසක්. ඒ අනුව සවන් දෙන, අවධානය දෙන දරුවන් පිළිබඳව හොද අධ්‍යයනයකට යෙදෙමිනුයි ගුරුවරු ක්‍රියා කළේ. මේ ක්‍රමවේදය හරහා දරුවන් සහ ගුරුවරුන් අතර ප්‍රායෝගික සම්බන්ධතාවයන් නැති නිසා දරුවන් විනය අතින් කඩාවැටිමක් වීමට ඉඩ තියනවා.

 

සෞඛ්‍යයට බලපෑම් වෙන්න පුළුවන්...

මනෝ වෛද්‍ය, විශේෂඥ සහ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය, නීල් ප්‍රනාන්දු

කොවිඩ් 19 වසංගතය නිසා පාසල් වසා දැමිණි. ඒ නිසා අන්තර්ජාලය හරහා මෙරට දරුවන්ට අධ්‍යාපන කටයුතු කරන්නට සිදුව තිබෙනවා. ඒ නිසා වැඩි කාල අවකාශයක් දරුදැරියෝ අන්තර්ජාලය භාවිත කිරීම නිසා ඒ සඳහා ඇබ්බැහි වීමක් සිදුවී තියෙනවා. අධ්‍යයන කටයුතුවලින් පසුවත් අන්තර්ජාලයේ රැදි සිටීමට දරුවන් හුරුවී තියෙනවා. දරුවන් නිවසේ සිටින නමුත් වැඩිහිටියන් රැකියාවල නිරතවීම නිසා නිවැරැදි අධීක්ෂණයක් නොමැති වීම මෙන්ම වැඩිහිටියන් නිවසේ සිටියත් ඇතැම්විට අන්තර්ජාලය සහ නවීන තාක්ෂණය සම්බන්ධයෙන් නිසි දැනුමක් නොවීමත් ප්‍රධාන ගැටලුවක් වෙනවා.

දරුවන් හුදකලාව අධ්‍යයන කටයුතු කරන අතර පුද්ගල දුරස්ථභාවය නිසා සම වයස් කණ්ඩායම්වලින් දුරස්වීම නිසා අධ්‍යයන කටයුතුවලින් පසුවත් අන්තර්ජාලයට ඇබ්බැහි වී තියෙනවා එවැනි ඇබ්බැහි වූ දරුවෙකු විශේෂ ලක්ෂණ පෙන්නුම් කරනවා. නිතර අන්තර්ජාලය පිළිබඳව සිතමින් ඒ සඳහා අවධානය යොමුකරන කාලය සිමා කිරීමට කොතෙක් උත්සාහ කළත් පාලනය කරගත නොහැකිව සිටිනවා. මේ කාලය සීමාකළහොත් මනස නොසන්සුන් තත්ත්වයට පත් වී නිතර කෝප වන තත්ත්වයට පත්වෙනවා. දෙමාපියන් සමඟ ගැටුම් ඇති කරගන්නා අවස්ථාද වනවා.

අන්තර්ජාලට ඇබ්බැහි වීම නිසා අවසානයේ දී අධ්‍යාපනය, සමාජ ක්‍රියාකාරකම් සහ එදිනෙදා කටයුතු සහ සමාජ සබඳතා අහිමි කරගන්නවා. ප්‍රධාන සතුටු වීම, වින්දනය උදෙසා එකම ක්‍රමය අන්තර්ජාලය භාවිතය බවට පත්වනවා. අන්තර්ජාලයේ දරුවන් රැදි සිටින නිසා මානසිකව මෙන් ම කායිකවද ශාරිරික ව්‍යායාම අඩුවිම නිසා ශාරිරික සෞඛ්‍යයට බලපෑම් ඇතිවනවා. ස්ථූලතාවය, බෝ නොවන රෝගවලට ඇති ඉඩ කඩ වැඩිවිම ද සිදුවනවා. විශේෂයෙන් අන්තර්ජාලයේ වැඩි වෙලාවක් රැදි සිටින දරුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරිම වැනි දේ මඟින් දරුවන් මේ වන විට සමවයස් කණ්ඩායම්වලින් අන්තර්ජාලයේ හිංසනයනට ලක්ව තිබෙනවා.

නින්ද නොයාම සහ නිදි මැරීම නිසා නින්දට අදාළ රෝග ඇතිවීම වැනි තත්ත්වයක් ඇති වීමේ ප්‍රවණතාවය වැඩිවී තියෙනවා.

 

 

යළි සවන්දීමට හැකි නිසා මෙය හොඳ අධ්‍යාපන ක්‍රමයක්...

විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ මහාචාර්ය නලීන් අබේසේකර

ඔන්ලයින් අධ්‍යයනයෙන් අපිට බැහැර වෙන්න බැරි තත්ත්වයක් මේ වනවිට ඇතිවෙලා තියෙනවා. අපේ ජිවිතේ අනුවර්තනීය යුගයක් ඇතිවෙමින් පවතිනවා. කෙසේ වෙතත් අපේ රටේ මේ වනවිට තොරතුරු තාක්ෂණය පිළිබඳ ඇති සාක්ෂරතාවය 40% වඩා අඩු මට්ටමක පවතින්නේ. මේ සංඛ්‍යාව සියයට පනහක් පමණ කොළඹ ආශ්‍රිත වුවත් ග්‍රාමිය මට්ටමින් එය තවත් අඩු අගයක් ගන්‍නවා. ඇතැම් ප්‍රදේශවල ප්‍රතිශතයක් ලෙස ඉතා අඩුමට්ටමක පවතිනවා. මේ ඔන්ලයින් ක්‍රමවේදයේ විශාල ගැටලු තියනවා. ඇතැම් දෙමාපියන්ට යටිතල පහසුකම් ලබාදීමට නොහැකි සේම ඇතැම් විට රුපියල් සියයක ඩේටා කාඩ්පතක් ලබා ගැනීමට පවා නොහැකි දෙමාපියන් සිටිනවා.

 

ස්මාට් ජංගම දුරකතනයක් නොමැති දරුවන් ද විශාල ලෙසින් සිටිනවා. අපේ රටේ ආයතනික සමාජ සත්කාර විශාල වශයෙන් සිදු කරන අවස්ථා පවතිනවා. එම සමාජ සත්කාර ක්‍රමවේදයන් යම් පමණකට හෝ වෙනස් කරලා අඩුම තරමින් ප්‍රාදේශිය ලේකම් කාර්යාල හරහා මේ අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් මෙවැනි මෙවලමක් සපයාගත නොහැකි දරුවන් වෙනුවෙන් යම් කිසි වැඩපිළිවෙළක් සකස් කරන්නේ නම් එය අගය කළයුතුයි.

අඩු ආදායම්ලාභී දරුවන්ට අඩුතරමින් ඩේටා පහසුකම් ලබා දෙන ක්‍රමවේදයන් හෝ සකස් කළ යුතුයි. ඇතැම් පාසල්වල සහ අධ්‍යාපන ආයතනවල මේ හා සම්බන්ධ ක්‍රමවේදයන් නැති වීම නිසා එය ඇති කළ යුතුයි. මනෝ විද්‍යාත්මක වශයෙන් බැලූ විට ඕනෑම තාක්ෂණික මෙවලමක් සමඟ ජීවත් වනවිට දරුවන්ගේ ශරීර සෞඛ්‍යයට මෙන්ම මානසිකත්වයට අහිතකරයි.

දරුවන් යාන්ත්‍රික වීම නිසා මානුෂික ගුණාංගවලින් තොර දරුවන් බිහි වන තත්ත්වයක් ඇති වෙනවා. රටට ජාතියට ආදරය කරන මානුෂික සහ සෞන්දර්ය යන පාර්ශ්වවලින් මිදුණු දරුවන් බිහිවීමේ ප්‍රවණතාවයක් ඇති විය හැකියි. මේ සම්බන්ධයෙන් විශාල කථිකාවක් රට තුළ ඇතිවිය යුතුයි. ඔන්ලයින් ක්‍රමවේදයන් විධිමත් කිරීමෙන් එහි ක්‍රමවේදයේ සාධනීය ලක්ෂණ ද විශාල ලෙස මතු කරගත හැකියි.

 

 

එකම තැන නිසා අතුරුආබාධ වැඩි වෙන්න පුළුවන්...

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ මනෝ විශේෂඥ වෛද්‍ය කපිල රණසිංහ

පාඩම් උගැන්වීමට අමතරව තර්ක විතර්ක සාකච්ජා කිරීම ගුරුවරු - දරුවන් අතර අන්තර් සබඳතා සන්නිවේදනයේ අන්තර් සබඳතා, සංකල්ප වර්ධනය, ඥානය වර්ධනය වීම පන්තියක් තුළ ඇතිවෙනවා.

අධ්‍යාපනය පැතිකඩ රැසක් තියෙනවා ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලැබීමෙන් බොහෝ වෙලාවට දැනුම පමණයි ලැබෙන්නේ. එමෙන්ම එක් ඩිජිටල් තිරයක් මත දිගු කාලයක් ගත කිරිම නිසා සමහර විටෙක දරුවන්ගේ අවධානය බිඳී යාමට ඉඩ තියෙනවා. දරුවන් දෙමාපියන් නොදැනුවත්වම තාක්ෂණික මෙවලම්වලට ඇබ්බැහි වෙනවා. ඉතා ශීඝ්‍රයෙන්ම දරුවන් වෙනත් දේවල්වලට හුරුවෙමින් පවතිනවා. මෙවැනි දැනුම් සම්භාරයක් තුළ ලැබෙන අධ්‍යාපන ක්‍රමය යනු දැනුමක් පමණයි.

විශේෂයෙන් ජීවන කුසලතා පරිපාලනය කරගැනීම, සැලසුම් කිරීම, ඉදිරියට යෑම මුදල් පරිහරණය අධ්‍යාපනික අංශයෙන් ඉදිරියට යාම වැනි දේ ස්වාධිනව කරගැනිමට යි අධ්‍යාපනය ක්‍රමය සකස් විය යුතුවන්නේ. මේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ දරුවන්ට ස්වාධීනව සිතීමේ හැකියාව බටහිර දියුණු රටවල දරුවන්ට වගේ නොහැකි වි තියෙනවා. මේ ඔන්ලයින් ක්‍රමය හරහා ඒකාකාරිත්වය නිසා අන්තර් ක්‍රියාවලීන් සිදුවෙන්නේ නැහැ සමාජශීලිත්වය ගැන අවධානයක් ඇතිවෙන්නේ නැහැ සමහර දරුවන්ට අධ්‍යාපනයක් හැදැරීමක් සිදුවන්නේම නැහැ.

ඇතැම් දරුවන් ඔන්ලයින් ඉන්නා අතරතුරම වෙනත් වේබ් අඩවි විඩියෝ ක්‍රිඩා වැනි දේ සඳහා යොමුවෙනවා. ඒ නිසා පසුගාමි අධ්‍යාපන ක්‍රමය තවත් පසුගාමී වෙනවා. දැනුම මූලික කටපාඩම් අධ්‍යාපනය ක්‍රමවේදයකින් කිසිදු වැදගත්කමක් නැහැ. අපේ අධ්‍යාපන ක්‍රමය පසුගාමී අධ්‍යාපන ක්‍රමවේදයක් ලෙසයි අධ්‍යාපන විශේෂඥයන් දකින්නේ. මේ ඔන්ලයින් ක්‍රමවේදය තාවකාලික පැලැස්තරයක්. මෙහි අතුරු ආබාධ කොතරම්ද කියලා පසුකාලීනව තමයි සොයගැනීමට හැකිවෙන්නේ. එකම තැන දරුවෙක් දවසේ වැඩිවෙලාවක් රැදි සිටිම තුළ අලස බවට පත්වීමත් අධික ස්ථුල භාවය, දියවැඩියාව, අධික රුධිර පිඩනය, විශාදය වැනි රෝග ඇතිවෙනවා. දරුවෙකු තිරයක් දෙස එක දිගට බලාගෙන සිටීම තුළ ඇස්වලත් ගැටලු ඇතිවිය හැකියි.

Comments