
සොබා දහම වූ කලී සැබැවින්ම චමත්කාරජනකය. විටෙක එය සිතා ගැනිමට හෝ අපහසු අයුරින් රුදුය. මිනිසා විසින් සොබාදහමට ලබා දුන්දේ යළි ආපසු ලබාදෙන මේ සොබාදහම පිළිබඳ කවි ගී ලියැවුණු වාර අනන්තය.
මානව ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ලෙස සොබාදහම රුදුරු වූ අවස්ථා අපට ඕනෑ තරම් අත්විඳිය හැක්කේය. එකී සොබාදහමට වින කරන්නන් අල්ප වශයෙන් වුවත් සොබාදහමේ ප්‍රතිචාර වැරදි කළවුන්ට පමණක් නොව සෙසු සියල්ලන්ටම පොදුය.
එකී පොදු න්‍යායට ආප්තෝපදේශ සපයන ලෝක උරුම නකලස් වන පෙත පිළිබඳව ලියැවුණු බොහෝ දේ අතරේ මානව ක්‍රියාකාරකම් හමුවේ වේදනාකාරිව පසු බැස සිටි ඕ සනසන්නට නොව ඈට හතුරුකම් කරන්නට තරම් සැහැසි මිනිසුන්ගේ ක්‍රියාකාරකම් පසුගිය සමයේ නකල්ස් පරිසර පද්ධතියෙන් වාර්තා විය.
වනසතුන් දඩයම, ආවේණික ශාක ගලවා හෝ රැගෙන යෑමෙන් සිදුකරන විනාශ, ගිනි තැබිම්, ජලමූලාශ්‍රය වලට සිදුකරන විනාශ ඒ අතර ප්‍රධාන නැනක් ගන්නා ලදී. එකී කාරණා යම් තරමකට හෝ නැවතීමට සමත් වූවේ සොබාදහම විසින්ම මිනිසාට ලබා දුන් දඬුවමක් වූ කොරෝනා වයිරසය යැයි කිවහොත් එය නිවැරදිය.
ලංකාවේ කොරෝනා ව්‍යසන තත්ත්ව සමඟ සංචාරක සීමා නකලස් වන පෙතෙටද යොමු විය. අවාරේ සිරිපා යන්නා සේ නකල්ස් වන පෙත හරහා අද වන විට ගමන් කරනුයේ ලග්ගල නගරයට හෝ නකල්ස් පරිසර පද්ධතියට ආසන්නයේ පිහිටි ගම්මානවල වැසියන් පමණි.
රාජකාරි කටයුත්තකට හැරුණ විට රජයේ වාහනයක් දෙකක් දවසට කිහිප වරක් නකල්ස් වන පෙත හරහා ගමන් කරනු දැකිය හැකිය. එයද පරිසරයේ නිරන්තරව මේ දිනවල ඇසෙන කුරුලු කූජනයන්ගේ හඬ පරයා යන්නට ශක්තියක් නැති අයුරිනි. සෝබමාන නකල්ස් වන පෙතට සංචාරක සීමා පැනවූ සමයක සොබාදහම විසින්ම යළි ප්‍රකෘති තත්ත්වයට ගෙන ඇති ස්වභාවික පරිසරය විඳින්නට පසුගිය දිනෙක අපට අවස්ථාව හිමි විය.
එහි සැබෑ සුන්දරත්වය සිළුමිණ පාඨක ඔබ වෙත ගෙන එන්නේ එකී සුන්දරත්වය හා බැඳුණ පරිසරයේ වැදගත්කම මෙන්ම සොබාදහමට ප්‍රේමකරන පිරිසක් යළි මේ ලක බිහිවනු දැකීමේ අරමුණිනි. නකල්ස් වන භූමිය තෙත් හා වියළි කලාපයට මායිම්ව පිහිටා තිබීම හේතුකොටගෙන වනාන්තරය තුළ පුළුල් කාලගුණික පරාසයක් දැකිය හැකිය. එකිනෙකා පරයමින් නැඟී සිටින්නා වූ මෙහි ශිඛර මීටර 1900 ක් (අඩි 6000) පමණ උසකට විහිදෙයි. නිරිත හා ඊසාන දිග මෝසම්වල වර්ෂාපතනයන්ගෙන් පෝෂණය වන හෙයින් මහවැලි ජලපෝෂක ප්‍රදේශයක් ලෙසින් ද ඉතා වැදගත් තැනක් ගැනීමට නකලස් කඳු පන්තිය සමත්වී තිබේ.
දුම්බරට පිවිසුම් මං කිහිපයකි. එකක් මහනුවර, මහියංගනය මාර්ගයේ හුන්නස්ගිරිය හන්දියෙන් මල්වත්ත හරහා හැරී මීමුරේ ඔස්සේ ද තවත් පසෙකින් කොළඹ, මාතලේ, රත්තොට හරහා ඉලුක්කුඹුර මාර්ගයෙන් ද කොළඹ - නුවර මාර්ගයේ තෙල්දෙණිය, රන්ගල බඹරැල්ල ඔස්සේ ද දුම්බර වන පෙතට පිවිසිය හැකිය. ඡායාරූ සිත්තරකුට නම්, කැමරා ඇසෙහි සටහන් කරගන්නට සොඳුරු දසුන් මෙහි බොහෝය.
සිත්තරකුට තෙලිතුඬින් සිත්තම් කරන්නට ඇවැසි වූ මනස්කාන්ත දසුන් මෙහි සුලබ ය. පාරිසරික විද්වතුන්ට නම් මෙහි අධ්‍යයනය කරන්නට දෑ ඊටත් වඩා විශාලය. සුවිශේෂී වූ ශාක හා සත්ත්ව විවිධත්වයකින් සමන්විත මේ භූමිය සොබාදහමින් අපට දායාද වූ මිහිපිට සුරලොවක් යැයි කීම අතිශෝක්තියක් නොවන්නේය.
උඩවැඩියා, වන රාජ, කඳුලැස්ස, බිනර , බෝවිටියා ආදී මල්වර්ග ද මීවන ද නකල්ස් හි දුලබ දසුන්ය. දිවියා, ගෝනා, වැලි මුවා, කොළ දිවියා, වල් ඌරා වැනියවුන් ද ශ්‍රී ලංකාවට ආවේණික වූ රිලවුන්, කොළ වඳුරන් ආදීන් ද දඬු ලේන්නු ද මෙය තමන්ගේ කරගෙන වාසය කරති. දුම්බර වන පෙතට මායිම් පිහිටි ගම්මාන වල අදටත් ජීවත් වන ගැමියන් සිය සාම්ප්‍රදායික ක්‍රම ඔස්සේ වගා කටයුතු ආරම්භ කර තිබේ.
වර්ෂා සමයත් සමඟ සෝබමාන වන නකලස් වන පෙතට වින කරන්නේ වෙන කවුරුත් නොව දේශීය සංචාරකයන්ම වීම අප ලද අභාග්‍ය සම්පන්න තත්ත්වයකි. එනිසාම කිසිදු හිතක් පපුවක් නොමැතිව කැළි කසළ බැහැර කිරීම, ප්ලාස්ටික් වැනි නොදිරන අපද්‍රව්‍ය බැහැර කිරිම ආදියෙන් පොහොසත් මේ සංචාරකයන් විසින් සිදුකරනු ලබන බොහෝ අශීලාචාර ක්‍රියා අද වන විට නකල්ස් වන භූමියෙන් වාර්තා වන්නේ අල්ප වශයෙනි. ඊට හේතුව වී ඇත්තේ කොරෝනා ව්‍යසනය හේතුවෙන් පනවා ඇති සංචාරක සීමා ය.
මෙම තත්ත්වය තවත් බොහෝ කලක් පවතී යැයි කිව නොහැකි වුවත් මේ වනවිට සොබාදහම් ක්‍රියාවලීන්ට මිනිසා විසින් ලබාදී ඇති විරාමය හේතුවෙන්ම මේ වන විට නකල්ස් වන භූමියේ අපුරු සුන්දරත්වයක් දක්නට ලැබෙයි.
එයට කදිම උදාහරණයක් සපයන්නේ අප නකල්ස් වන භුමියේ සැරි සරද්දී හමුවූ දුම්බර අං කටුස්සා නිසාය. වඩාත් ශබ්ද පවතින ස්ථාන වලින් ඈත් වී හුදෙකලාව විසීමට කැමැත්තක් දක්වන මේ දුම්බරට පමණක් ආවේණික කටුසු විශේෂයක් වන දුම්බර අං කටුස්සා (Ceratophora tennentii) මේ වනවිට හොඳින් හිරු රශ්මිය පතිත වන දිනවල දී එළිමහනේ දී දැකගත හැකිය.
සෝබමාන තුරුලියෙන් හැඩවී හෙට පිළිබඳ අදහසක් අපට කියා දෙන නකල්ස් වන පෙතේ සුන්දරත්වය විඳීම සඳහා මෙරට මෙන්ම විදේශීය සංචාරකයන්ට තවත් බොහෝ කලක් ගතවනු ඇත. ඒ ලැබෙන සුළු කාලයේ දී පවා නකල්ස් වන පෙතේ අසිරිය තවමත් දැකගත හැකිය. කුඩා ප්‍රමාණයේ දිය ඇළි වල සිට අතිශය සියුම් දිය කදුරුවල ගෑවී හිනැහෙන කදුලැස්ස (Drosera indica) නිල් මොණරැස්ස (utricularia reticulate) හීං බෝවිටියා (osbeckia octandra) ශාක ද මේ දිනවල නකල්ස් වන වියන තුළ ආඩම්බරයෙන් හිනැහෙන්නේය.
විවිධ සංචාරකයන් විසින් ගලවාගෙන යැමේ තර්ජනයන්ට ලක්ව ඇති මේ හීං බෝවිටියා ශාකය ඉතා සුන්දර මල් රැසක් පිරිවරා සෝබමානව නකල්ස් පරිසර පද්ධතියට අපුර්වත්වයක් එක්කර තිබේ. එක්වරම මීදුමෙන් වැසි යන නකලස් වන පෙතට වඩාත් දුමින් බරවීම හේතුවෙන් ‘දුම්බර ‘ලෙසත් බට ශාකවලින් ගහන වීම හේතුවෙන් ‘බටදඬුමානා කඳුවැටිය‘ ලෙසිනුත් මේ නකල්ස් පරිසර පද්ධතිය හඳුන්වනු ලබයි.
වර්තමානයේ සුවිසල් වාරි ව්‍යාපෘතියක් වූ හා කඩිනම් මහවැලි මහ සැලැස්මේ අවසන් වාරි වික්‍රමය වන මොරගහකන්ද කළුගග වාරි ව්‍යාපෘති වලට ජලය සැපයෙන්නේ ද මේ සුන්දර නකල්ස් වන වියන මතිනි. අදටත් දියෙන් පිරී පවතින මොරගහකන්ද ජලාශයේ ජල පෝෂක ප්‍රදේශය වන නකල්ස් වන වියන ආරක්ෂා කර ගැනීම සඳහා බොහෝ විද්වතුන් මෙන්ම පරිසර සංවිධාන ද කෙතරම් හඬක් නැඟුව ද ඒවා තඹයකුදු මායිම් නොකරන නරුමයන් විසින් කලකට පෙර නකලස් වන පෙතට සිදුකර ඇති ව්‍යසන ඉතා බරපතළය. කෙසේ නමුත් සොබාදහම අපට කියා දුන් අපූරු පාඩම වන්නේ සොබාදහමට වින කටින විට ඇය එයට ප්‍රතිචාර දක්වන අයුරු ඉතා රුදුරු වන බවය.
එසේ නොවන්නට ලොව පුරා ලක්ෂ ගණනක් කොවිඩි ආසාදිතයන් බිහිවන්නේ නැත. මානව වර්ගයා විසින්ම මානව වර්ගයා විනාශ කර ගැනීම නම් වූ මේ ව්‍යසනය හේතුවෙන් මිනිසුන් එක්තැන් වූ අතර වන සතුන් මෙන්ම තුරුලිය ඔවුනොවුන්ගේ එදිනෙදා චර්යාවන්ට අනුගත වූවාය. මල් පිපිපෙන සමයන්හි මල් පිපුණත් ඒවා සොරුන්ට හසුවීම හේතුවෙන් වෙනදා නකල්ස් හි වන මල් දැකිය හැකි වූයේ ඇතැම් අවස්ථාවලදී දින කිහිපයකට පමණී.
අද වන විට නේක තුරුලිය මත වන මල් පිපී හිනැහෙන්නේය. වන සතුන් නිදහසේ ඔබ මොබ ඇවිද යන්නේය. මිනිසුන් ගමන්ගත් මාර්ග ඝන වූ කොළ රොඩු වලින් වැසී ගොස්ය. ක්ෂුද්‍ර ජීවීන් විසින් එම ශාක පත්‍ර පොළවේ කුඩා කුඩා කොටස්වලට කඩා වැසි ජලයේ දියකර ශාක වලට යළි පොහොරක් ලෙස ලබා දෙන්නේය. ඒ සොබාදහම් ක්‍රියාවලියයි. මඳ වැසි මෙන්ම විටෙන් විට නැඟෙන මීදුම් නකල්ස් වන පෙතේ සුන්දරත්වය තව තවත් වැඩිකර තිබේ.
තොරතෝන්චියක් නැතිව වැයෙන රැහැයි හඬ බිඳලන්නේ ඉදහිට හෝ අත්තක සිට කෑ ගසන පක්ෂියෙක් හෝ අත්තකින් අත්තකට පනින වඳුරෙක් හෝ රිලවකු නිසාවෙනි. පරිසරයේ නිරාමිස සුවය සොයා යන මහා යතිවරයාණන් වහන්සේලා බවුන් වඩනා මේ වන පෙත තුළ බාහිරින් දැකිය නොහැකි සැබෑ අපූර්වත්වයක් දැකගත හැකිය. එය කිසිවකු විසින් කෘත්‍රිමව ඇති කළ නිර්මාණයක් නොවන අතර සොබාදම් මාතාවම සකල විද සත්වයා වෙනුවෙන් නිමැවූ අපූර්වත්වයකි.
එය විඳින්නට හැක්කේ ඇය පිළිබවඳ මනා දයානුකම්පාවකින් හෙබි මානව විශේෂයකට පමණක් බැව් මෙහිලා කිව යුතුය. වන සතුන් හෙවත් තිරිසනුන් කිසිවිටෙක නොදිරන අපද්‍රව්‍ය පරිසරයට බැහැර කරන්නෙ නැත. ඔවුන් විසින් අනිසි භාවිතයන් ද සිදු කරන්නේ ද නැත.
ඒ සියල්ල සිදු කරන්නේ උසස් බුද්ධියකින් හෙබි කකුල් දෙකේ මානවයාම වීම කෙතරම් කනගාටුදායක ද? එහි ප්‍රතිඵලයක් වශයෙන්ම නකලස් වන භූමිය දෙපළුකර හොටල් ඉදිකරන්නේ ද, වන වියන විනාශ කරන්නේ ද, නැතිනම් වන සතකුට හානි පමුණුවන්නේ ද තිරිසනුන්ටත් වඩා අන්න පිරිසක් බව නකලස් වන පෙතේ අස්සක් මුල්ලක් නෑර ගමන් කරන්නකුට වැටහෙන කාරණාවකි.
මානව සංහතියේ තිර පැවැත්ම සඳහා ජාතියට බත සපයන රජරට ගොවියාට දියවර නිකුත්වන මේ සොබාදහමේ සොඳුරු තක්සලාවට වින කටින්නේ ඒ කිසිවක් නොදන්නා අමනයන් විසිනි. අධි සංවේදි පරිසර පද්ධතියක අති ධාවනයෙන් යුතු වඩාත් හඬ නඟන යතුරු පැදි පැද යන්නෙත්, අධි ශබ්ද තරංග උපයෝගි කර ගනිමින් සංගීතය මුුසු වූ නර්තන ඉදිරිපත් කරන තරුණ පිරිස් පසුගිය සමයේ නකල්ස් කඳු මුඳුනේ දක්නට ලැබිණි.
අධි සංවේදී පරිසර පද්ධතියක් වන නකල්ස් වන පෙතේ මෙවැනි ක්‍රියා පාලන කරන්නට යම් යාන්ත්‍රණයක අවශ්‍යතාව පැන නඟීන්නේ මෙවැනි අවස්ථාවලදීය. අවසන් වශයෙන් මේ වැකිය පමණන් සටහන් කර නකලස් වන පෙතේ අසිරියෙන් සමුගනිමි.
දුම්බරට එන්න ! ඔබේ පා සටහන් පමණක් මෙහි තබා යන්න !!!!