බෙදාහදා ගැනීමේ අවශ්‍යතාව | සිළුමිණ

බෙදාහදා ගැනීමේ අවශ්‍යතාව

පාවුලෝ කොයියෝගේ Confessions of a pilgrims By Juan Ariyas නම් කෘතියේ සිංහල පරිවර්තනය වන ' පාවුලෝ කොයියෝගේ: ජීවිත වන්දනාවක සටහන්' නම් කෘතිය (මෙය සිංහලට නඟා ඇත්තේ අප ප්‍රවීණ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ ය) මම කියවමින් සිටින්නෙමි. මේ දීර්ඝ සාකච්ඡාවේදී කොයියෝ ඔහුගේ ආත්මය හෙළිදරවු කරමින් ජීවිතයේ වේදනාකාරී අනාවරණ රැසක් පවසා තිබේ. බොහෝ ලේඛකයන් පාඨකයා ආලෝකය වෙත කැඳවාගෙන යන්නේ නිරයේ පතුලේ ජීවත් වෙමින් යැයි කෆ්කා කී කතාවක් මම මීට පෙර ඔබට කියා ඇත්තෙමි. පාවුලෝ කොයියෝ ද වැටෙන්නේ කෆ්කාගේ ගොඩට ම ය.

ඔහු නව කෘතියකට මෙහෙයවන නිර්මාණශීලි ක්‍රියාවලිය කුමක්දැයි Juan Ariyas නඟන ප්‍රශ්නයකට මෙවන් පිළිතුරක් දෙයි. ඒ පිළිතුර නිර්මාණකරණයේදී අපට වස්තුබීජ හමුවන කුතූහලාත්මක, ආගන්තුක ස්වරූපයත්, ඒ සඳහා වන පූර්ව සූදානමක් පිළිබඳවත් යම් ආකාරයක මඟ පෙන්වීමක් කරයි.

'පොත් අත්සන් තැබීම සඳහා දවස් කිහිපයක් මම ජපානයේ ගතකර නැවත පැමිණියා පමණයි. මුවන් එළවීම සඳහා තිබෙන භාණ්ඩයක් මම දුටුවෙමි. එය මගේ නිර්මාණ ක්‍රියාවලිය පිළිබඳ ව සිතන්නට මට මඟ පෑදුවේය. ඉහත කී භාණ්ඩය සිදුරක් සහිත උණ ලීයකි; එහි වතුර පිරෙයි. උණ ලීයෙහි සම්පූර්ණයෙන් වතුර පිරුණු විට , ජලය පිටතට කිසිවක වැදී මුවන් බියපත් ව දුවන්නට සලසන මහ හඬක් නඟයි. එය මට සංකේතයක් විය. මන්ද අපගේ සිත් අදහස්වලින් පිරුණු පසුව අපට ඒවා බෙදා හදා ගැනීමට අවශ්‍ය වෙයි. අපට එය ආදරය හෝ ජීවිතය නියෝජනය කිරීමේ අවශ්‍යතාව ලෙස හැඳින්විය හැකිය. එහෙත් හැබෑව නම් අප කිසිවක් උද්‍යෝගයෙන් කරන විට, අප එය කරන්නේ බෙදාහදා ගැනීමේ අවශ්‍යතාව මඟින් අප පොලඹවන බැවිනි'

එමෙන්ම කොයියෝ මෙසේද කියයි.

'එක පොතක සිට අනෙක් පොත දක්වා වන විරාමයේදී වසර දෙකක් මා කිසිවක් ම කරන්නේ නැත. සටහන් තබා ගත්නේ නැත. එහෙත් මම ජීවිතය විඳිමි. එක් තැනකදී, මා තුළ ඇති කිසිවක් මාව තෙරපීමකට ලක් කරයි. වහාම මට ලිවීමේ අවශ්‍යතාව ඇතිවයි. හැමවිටම අදහස් ලබා ගැනීමට විවෘත විය යුතුයි. අනතුරුව ඒ අදහස් මෝරන්නට ඉඩ දිය යුුතුයි. එය හරියට දියව යෑම හා කැටි ගැසීම සම්පිණ්ඩනය කරන සුසංයෝග රසායන සූත්‍රයක්. ඉදින් ඔබට දිය කර හැරීම හා කැටි කර ගැනීමට සිදු‍ වේ. එය හදවතේ ක්‍රියාකාරීත්වය වගේ ය.

පාඨකයන් ලේඛකයන්ගෙන් බොහෝවිට අසන ප්‍රශ්නයකට පිළිතුරක් කොයියෝගේ මේ පිළිතුරේ ගැබ් වෙයි. පාඨකයන් නිරන්තරයෙන් අසන ප්‍රශ්නයක් වන්නේ ඔවුන් සිය ප්‍රබන්ධය සඳහා කරුණු එක්රැස් කර ගන්නේ කෙසේද කියා ය. ප්‍රබන්ධයක් රචනා කිරීමේදී කරුණු එක්රැස් කිරීමක් හෝ ඒවා සටහන් ලෙස තබා ගැනීමේ පුරුද්දක් ඇති ලේඛකයන් ඔබට හමුවී තිබේද? ශාස්ත්‍රීය හෝ විද්‍යාත්මක පර්යේෂණ ගණයට ගැනෙන කෘති සඳහා එසේ අවශ්‍ය ය. යම් යම් අවබෝධ ලබා ගැනීම සඳහා අවශ්‍ය වන කරුණු සොයන ලේඛකයන් හමු වී ඇතත් ප්‍රබන්ධයේදී ඒවා විශ්වසනීයත්වය ගොඩනැ‍ඟෙන යටි පෙළ කතාව විනා ප්‍රබන්ධයේ කලාත්මක පක්ෂයට බලපෑම් කරන්නේ නැත. මේ ගැන කරන ලද විමසුමකදී වරක් දොස්තයෙව්ස්කි පවසා ඇත්තේ තමාගේ නිර්මාණවලට බලපෑම් කරන්නේ 'ජීවිතය ගොඩනංවන පුංචි සිරා බිරා' කියා ය.

මා මෙසේ කීවොත් ඔබ එකඟ වෙනවාද?

ලේඛකයන්, නිර්මාණකරුවන් අප වැනිම සාමාන්‍ය පුද්ගලයෝ වෙති. ඔහු හෝ ඇය ජීවිතය වෙනම හදාරන්නේ නැත. අප මෙන්ම ඔවුහු ද ජීවිතය ගෙවමින් සිටිති. දුකේදී දුක් වෙති; සතුටේදී සතුටු වෙති; තරහ ගනිති; සිනාවෙති; අවට සිටින්නන් සමඟ විනෝද වෙති. එහෙත් ඔවුහු අපට වඩා එක් තැනකදී වෙනස් වෙති. ඒ මේ සියල්ල ම විඳිනාතරේ අධික සංවේදී බව නිසාම අපට වඩා ඔවුහු ඒ සංවේදනා ඇතුළත ජීවත් වෙති. ඔවුහු මේ සංවේදනා කෙදිනක හෝ වැදගත් වේ යැයි සිතා එ්වා සටහන් කර නොතබති. නමුත් නිර්මාණකරණයේ නිමග්න වෙද්දී ඔහුට ඒවා සිහිපත් වෙයි; අනායාසයෙන් ඒවා අත්දැකීම් කොට පොදු පාඨකයාගේ අත්දැකීම් බවට පත් කරති.

තමන්ගේ සිත කෙතරම් ඇදගත් අත්දැකීමක් වුව කෘත්‍රිම ලෙස නිර්මාණයකට ඔබ්බන්නට ගන්නා උත්සාහය අබියස ලේඛනයේ නිර්මාණ ප්‍රභාව වියැකී යයි. සෑම විටම සිදු වන්නේ නිර්මාණකරුවාට අවශ්‍ය විටදී, නියම තැනදී ඒ අත්දැකීම් නිරායාසයෙන් ගලා ඒමයි. ඔබ යම් ආකාරයක හෝ නිර්මාණයක යෙදෙන්නෙක් නම් ඔබට මේ අත්දැකීම ඇති. ' ලියාගෙන යද්දී මට ඒ හැඟීම් කො‍හෙන් ආවද දන්නේ නැහැ. මම ඒවා ගැන සිතමින් සිටියෙත් නෑ' වැනි හැඟීම් ඔබට දැනී තිබෙනවද? ඒ කවදා හෝ ඔබ අත්විඳි දෑ ය; ඒවා එකතු වී අවශ්‍ය වේලාවට ගැළපේ.

බොහෝ ලේඛකයන් තමන් ලියන්නට යන දෑ ගැන කටු සටහන් සකස් කරති. බොහෝ වේලාවට ඒවා බැලූ බැල්මට වැදගත්කමක් නැති වචන සමූහයක් වීමට ඉඩ ඇත. එහෙත් ඒවා ලේඛකයාගේ මනසේ තැන්පත් වූ ඒවා ය. කිසියම්ම හෝ ආකාරයක සූදානමක් නැතිව ලියන්නට හැකි ලේඛකයෝ ඉඳහිට පහළ වෙති. පුෂ්කින්, ගෝර්කි එවැන්නන් ය. නිර්මාණ කෞශල්‍යයෙන් අතිශයින් පොහොසත් ඔවුන්ට සිතිවිල්ලක්, සිද්ධියක් නොනවතින සිතිවිලි පරම්පරාවක් බවට පත් කළ හැකිය. කෙසේවුවත් ලේඛකයා ලේඛනයේ යෙදෙන්නේ සිතා මතා පුටුවක්, මේසයක් හදන්නාක් මෙන් සියලු ම ද්‍රව්‍ය එක්රැස් කරගෙන නම් නොවේ. ජීවන පරිඥානය ලේඛනයට වැදගත් යැයි කියන්නේ ඒ නිසා ය.

Comments