
‘බතට කන්න බැරි බතලේගල කන්ද
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
හූනට කන්න බැරි හුන්නස් ගිරි කන්ද
මෙකඳු තුනට නායක සමනොළ කන්ද‘
බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පවිත්‍ර වූ සමනොළ කන්ද පිළිබඳව ගැයුණු ජන කවිවලින් ශ්‍රී පාදය පිහිටුවා ඇති සමනොළ කන්ද හඳුන්වා ඇති එක් කවියකි ඒ. සෑම වසරකම උඳුවප් පොහොය දිනෙන් ආරම්භ වන සිරිපා සමය ඊ ළඟ වසරේ වෙසක් පුන් පොහෝ දිනෙන් අවසන් වෙයි. වෙනත් වසරවල මෙන් නොව මෙවර සිරිපා වන්දනා සමයේදී සෞඛ්‍යාරක්ෂිතව සිරිපා කරුණා කරන්නට සිදුව ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙංගමුවේ ධම්මදින්න නා හිමියෝ පවසති.
උන් වහන්සේ පවසන්නේ පැල්මඩුල්ල, ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සධාතික කරඬුව සමන්දේව ප්‍රතිමාව හා දේවාභරණ උඳුවප් පොහෝ දිනට පෙර සිරිපා මළුවට වැඩම කිරීමෙන් පසුව මෙවර සිරිපා සමය ආරම්භ වන බවයි.
ඒ අනුව දෙසැම්බර් 27 වැනිදා පස්වරුවේ ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයෙන් බැහැරට ගනු ලබන ප්‍රතිමාව හා දේවාභරණ ආගමික වතාවත්වලින් පසුව 28 වැනිදා පෙරහරින් ශ්‍රී පාද මළුව දක්වා වැඩම කරවනු ලබන බවත් එයින් පසුව සිරිපා වන්දනාව ඇරැඹෙන බවත් උන් වහන්සේ පැවසූහ. එහෙත් වෙනදා මෙන් පෙරහර අතරමඟ කිසිදු ස්ථානයක වන්දනාව පිණිස නතර නොකරනු ලබන බවත් උන් වහන්සේ පෙන්වා දෙති.
මෙවර විශේෂ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව සිරිපා වන්දනාව පවත්වනු ලබන හෙයින් සිරිපා වන්දනාවට සහභාගි වන සියලු දෙනා පළමුව තමන් පදිංචි ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහතිකයක් ලබා ගත යුතුමය. එම සහතිකය නොමැතිව වන්දනා කරන්නට හැකියාවක් නොමැති බවත් උන් වහන්සේ පැවසූහ.
මෙය හුදෙක්ම සෞඛ්‍ය අංශ විසින් වන්දනාකරුවන්ගේ ආරක්ෂාව පිණිස ගත් තීරණයක් බවත් වන්දනාකරුවන් අපහසුතාවට පත් කිරීමට ගත් තීරණයක් නොවන බව පෙන්වා දෙන ධම්මදින්න හිමියෝ ඒ බව වන්දනාකරුවන් අවබෝධ කර ගැනීම ඉතාම වැදගත් බවද පැවසූහ.
පසුගිය දෙසැම්බර් 8 වැනිදා මෙවර සිරිපා වන්දනාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි. එම සාකච්ඡාවට ධම්මදින්න නාහිමියන්ට අමතරව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ රත්නපුර දිසාපතිනි මාලනී ලොකුපෝතාගම ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශවල නිලධාරීහුද සහභාගි වූහ. වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් මෙන්ම අනෙක් සියලු සෞඛ්‍ය කටයුතු සපයා දෙන්නට එහිදී තීරණය කෙරිණි.
මේ සම්බන්ධයෙන් සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුවගෙන් අපි විමසීමක් කෙළෙමු.
‘මෙවර සිරිපා වන්දනාව වෙනදාට වඩා විශේෂත්වයක් ගන්නේ සෞඛ්‍යාරක්ෂිත නීති රීති දැඩිවම ක්‍රියාත්මක කළ යුතු නිසයි. විශේෂයෙන්ම මාර්ග 4න් පැමිණෙන සියලුම බැතිමතුන් අනිවාර්යෙන්ම සෞඛ්‍ය අංශ ලබා දෙන ක්‍රමවේද පිළිපැදිය යුතුයි. එමෙන්ම ඔවුන්ට වෙනදා මෙන් එක් රොක්ව තැන් තැන්වල දිගු කාලයක් සිටින්නට බැහැ. හැකි ඉක්මනින් වන්දනා කර ආපසු පැමිණිය යුතු වෙනවා. සීත ගඟුලේ ස්නානය වැනි කටයුතු කරන්නට අවසර නැහැ. එමෙන්ම අතර මඟ විඩා නිවා ගැනීම පිණිස රැදී සිටීමත් සෞඛ්‍ය අංශ උපදෙස් අනුවම කළ යුතුයි. මළුව තුළ වන්දනාව පිණිස එකවර 200කට පමණයි රැදී සිටින්නට අවසර හිමිවන්නේ. සිරිපා මළුව තුළ රැදී සිටින්නට කිසිවකුට අවසර නැහැ. වෙනදා මෙන් ඉර සේවය බලන්නට හැකියාවක් නැහැ.
වන්දනාකරුවන් නිරතරුවම භාවිත කරන මහගිරිදඹ අත්වැට වැනි ස්ථාන විනාඩි 30කට වරක් විෂබීජ හරණයට ලක් කරනවා. එමෙන්ම කිසිදු අයකුට මෙවර දන්සල් ලබා දෙන්නට අපි අවසර ලබා දී නැහැ. ජනතාවටත් පවසන්නට ඇත්තේ හැකි සෑම විටම නිවෙසින් ගෙන එන දේ පමණක් ආහාර පාන ලෙස භාවිත කරන ලෙසයි.
සිරිපා වන්දනාවේ නිසි ගරුත්වය රැකගෙන තමන්ගේසෞඛ්‍යයත් රැකගෙන කටයුතු කිරීම මෙහිදී ඉතාම වැදගත් වෙනවා.‘‘
රත්නපුර දිසාපතිනී මාලනී ලොකුපෝතාගමද පැවසුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහතික පිටපත් දෙකක් රැගෙන ආ යුතු බවයි. එයින් එක් සහතිකයක් තමන් ගමන් ගන්නා මාර්ගයේ අදාළ ආරක්ෂක අංශ විසින් ලබා ගන්නා බව ඇය පෙන්වා දුන්නාය.
‘‘මෙවර දේව ප්‍රතිමා පෙරහරට රථ පෙළපාළි වගේම නැටුම් ආදී කිසිවක් යොදා ගන්නේ නැහැ. දේව ප්‍රතිමා රැගත් රථයත්, තුන් සරණය සඡ්ඣායනා කරන හිමිවරුන් වැඩම කරන රථයත් ආරක්ෂාව පිණිස ආරක්ෂක අංශ ගමන් කරන රථයත් ප්‍රාදේශීය ලේකම්වරුන් ගමන් කරන රථයත් පමණයි ගමන් කරන්නේ, පෙරහරට පූජා වට්ටි තබන්න පඬුරු දැමීම් ආදිය කිරීමට අවස්ථාවක් නැහැ.
සිරිපා මළුවේ නවාතැන් ගන්නට අවසර හිමිවන්නේ තේවාවන්ට සම්බන්ධ වන අයට පමණයි. වන්දනාකරුවන් වැඩිවශයෙන් පරිහරණය කරන අත්වැට ආදිය නිරතුරු විෂබීජහරණය කරන්න පළාත්පාලන ආයතනවලට දැනුම් දී තිබෙනවා. ඒ වගේම පළාත් ආයුර්වේද අංශවලින් නොමිලේම දේශීය ආයුර්වේද පහසුකම් සැපයීමට කටයුතු කරනවා.
විශේෂයෙන්ම වන්දනාකරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා සති අන්තයේ පැමිණීමෙන් වළකින්න කියා. අධික තදබදයක් ඇති වුණොත් එයින් වන්දනාකරුවන් අපහසුතාවට පත් වන්නට පුළුවන්. මළුවේ එකවර 200කට පමණක් සිටින්නට අවසර ලැබෙන නිසා මළුවේ සිටින අය පහළට බසින තුරු සෙසු අයට ඉහළට කරුණා කිරීමට නොහැකි වනවා.
එසේම සියලුම වන්දනාකරුවන් අනිවාර්යෙන්ම මුඛ ආවරණ කිහිපයක්, අත් පිරිසිදු කිරීමට අවශ්‍ය දේ මෙන්ම ප්‍රාදේශීය ලේකම් සහතික රැගෙන ඒම අනිවාර්යෙන්ම සිදු කළ යුතු වෙනවා.
දැනට බල පවත්වන ක්‍රමවේදයයි මේ. එහෙත් රටේ කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය අනුව මේ නිර්ණායක වෙනස් කරන්න ඉඩ තිබෙනවා. කොහොමත් වන්දනා ගමන් ආඥා පනත යටතේ මෙන්ම මහජනතාවගේ සෞඛ්‍ය රැක දීම උදෙසා අවශ්‍ය උපදෙස් ගැසට් කිරීමට කටයුතු යොදනු ලබයි. ‘‘
එළැඹෙන උඳුවප් පොහෝ දිනෙන් පසුව ප්‍රධාන මාර්ග 4න් (හැටන් - නල්ලතන්නිය පාර, පලාබද්දල රජ මාවත, කුරුවිට එරත්න මාර්ගය, බළන්ගොඩ මාර්ගය) ඕනෑම මාර්ගයකින් වන්දනාකරුවන්ට සිරිපා වන්දනාව පිණිස පැමිණිය හැකිය. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම්ද සැපයීමට කටයුතු කරමින් තිබේ. එහෙත් මෙවර වන්දනාකරුවන්ගේ ගමනට වඩා බලපොරොත්තුවන්නේ වර්ෂ 1752 සිට පවත්වාගෙන ආ පුදසිරිත් එලෙසින්ම පැවැත්වීම බව පෙන්වා දිය යුතුයි. ඒ පුද සිරිත් අනිවාර්යෙන්ම මැයි මාසයේ සිරිපා වන්දනා සමය අවසන් වන තුරු සිදු කිරීමට විහාරාධිපති හිමියන් විසින් කටයුතු කර තිබේ.
වන්දනාකරුවන් වෙනදා මෙන් නොව මෙවර අනිවාර්යෙන්ම රැගෙන ආ යුතු දේ ගැන මෙහිදී අවධානය යොමු කළ යුතුමයි. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්ගේ සහතිකය (පිටපත් දෙකකින්), මුඛ ආවරණ කිහිපයක් හා අත්සේදීම් විෂබීජකාරක (සැනිටයිසර්) රැගෙන ඒම අනිවාර්ය වනු ඇත. මෙවර සිරිපා වන්දනාව කළ යුත්තේ ලෝකය පුරා ව්‍යාප්තව පවතින කොවිඩ් 19 රෝගය සමඟ බැවින් ඒ අවබෝධයෙන් වන්දනාවට සහභාගි වීම කළ යුතුමය.