
අපට නිදහස ලැබී වසර 72ක් ගත වුවත් තවදුරටත් විසඳා ගත නොහැකි වූ ආර්ථික ගැටලු රැසක් පවතින බව අපි පිළිගත යුතු කරුණකි. දිළිඳුකම තවමත් විසඳා ගත නොහැකි ප්‍රධාන ගැටලුවකි. එමෙන්ම දිළිඳු බව බොහෝ දුරට කේන්ද්‍රගත වී පවතිනුයේ ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශවලයි. නමුත් නාගරික ප්‍රදේශවල දිළිඳු ජනයාට ඇති යම් සහනදායි ක්‍රමවේද ග්‍රාමීය ජනතාවට නොමැති වීම ප්‍රධාන හේතුවකි. විවිධ හේතු සාධක නිසා ග්‍රාමීය ජනයාගේ දිළිඳුකම තවදුරටත් පවතී.
අපේ රටේ පවුල් ලක්ෂ 16ක් පමණ සමෘද්ධි සහනාධාර ලබමින් සිටී. ඔවුන් දවසකට රුපියල් 200ටත් වඩා අඩුවෙන් ආදායම උපයා ගන්නා පිරිසකි. මේ පවුල් ලක්ෂ 16 අතරේ මිලියන 6.04 අඩු ආදායම් ලබන ජන කණ්ඩායම්ද අන්තර්ගතයි.
ඒ අනුව රටේ ජනගහනය මිලියන විසි එකක් නම් ජනගහනයෙන් හතරින් එකක් පමණ කිසිවෙකුගේ අනුග්‍රහයක් නොමැතිව ජීවිකාව කරගෙන යා නොහැකි පිරිසකි. එසේ වූයේ ඇයිද යන කරුණ සලකා බැලීමේදී ඒ සඳහා ඉතිහාසගත කරුණු රාශියක් පදනම්ව ඇති බව පෙනේ.
යටත් විජිතයක් ලෙස පවතින කාලයේ අපේ ඉඩම් අයිතිය, ජීවන රටාව , ජිවන වෘත්තිය , ආදායම් මාර්ග, මේ සියල්ලම වෙනසකට භාජනය විය . සමහර කර්මාන්ත ව්‍යාපාර හරහා සමස්ත සමාජ පද්ධතියම කිසියම් කම්පනයකට ලක් කෙරිණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ග්‍රාමිය ණයගැති භාවය, ඉඩම් හිඟය, ආදායම් මාර්ගවල විෂමතාව, කුසගින්න , මන්ද පෝෂණය, තාක්ෂණය ගමට නොයෑම උගත් තරුණයන් අතර විරැකියාව වැනි කල් පවත්නා ප්‍රශ්න ඇති විය. මේ ගැටලුවලට පිළිතුරු සෙවීමට විවිධ සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය. වියළි කලාපයේ ඉඩම් බෙදා දීම්, සහල් ලබා දිම, ආදායම් අඩු ජනතාව වෙනුවෙන් මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කිරිම, ගම් උදාව, ජනසවිය, සමෘද්ධි ලෙස විවිධ සහන ක්‍රමවේදයන් දිළිඳු කම පිටුදැකීමට අනුගමනය කළ ක්‍රියාමාර්ග අතර විය.
ඉලක්ක කරා යන්නට බැරිවුණා
නිවාස දස ලක්ෂ වැඩපිළිවෙළ වැනි බහු විධ ක්‍රම අනුගමනය කිරිම ආරම්භ කරන ලදි. මේ දිළිඳුකම තුරන් කිරිමට විවිධ වැඩපිළිවෙළ අනුගමනය කරන ලද නමුත් එකම ක්‍රියාමාර්ගයකින් හෝ අපේක්ෂා කරන ලද ස්වභාවික දිළිඳුකම තුරන් කිරීමට හෝ ඉලක්කය කරා යාමට නොහැකි විය.
ඒ නිසා පොදු ජන පෙරමුණ ආරම්භ කරන ලද අවස්ථාවේදී එහි සංකල්පීය නායකයා වන බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කෙළේ ගොඩනඟන ලද පෙරමුණ හරහා රටේ ජනතා ප්‍රශ්නවලට ඉලක්ක ගත පිළිතුරු සැපැයීම සඳහා අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කළ යුතු බවයි. මේ ක්‍රියාවලිය කිසිවෙකුටත් මෙතෙක් කළ නොහැකි දෙයක් විය. මූලික වශයෙන් ජනතාවගේ ප්‍රශ්න හඳුනාගෙන ඉන් අනතුරුව ඒ සඳහා පිළිතුරු සැපැයීම මේ සංකල්පයේ මූලික අරමුණයි.
විශාල කලකිරීමක් නැත්නම් ඉච්ඡා භංගත්වයක් තරුණයන් තුළ පවතී. එය තුරන් කිරිම මෙහි අරමුණයි. එමෙන්ම හඳුනාගත් අනෙක් කරුණ නම් මේ රටේ ආර්ථික සමෘද්ධිය ඇති කරලීමයි . මේ ආර්ථිකය පණ ගන්වනු ලබන්නේ කෙසේද කියන ගැටලුව මෙහිදී මතුවෙයි . වත්මන් ජනාධිපතිවරයා රටේ ආර්ථිකය භාරගන්නා විට මේ රටේ අකලට මැලවුණ ගහක් සේ ආර්ථිකය සහ සියලු ක්ෂේත්‍ර කඩාවැටී තිබිණි. රටේ පැවැති සියලු සාරය උරාගෙන බී හමාරව තිබිණි. එසේ හෙයින් තවදුරටත් එය ස්වාධීනව පැවැතීමට නොහැකි විය. ඒනිසා විශාල බදු සහනයක් ව්‍යාපාරිකයන්ට ලබා දීම සිදුකරනු ලැබිණි. ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර ආයතනයකින්වත් සහන ලබාගත නොහැකි තත්ත්වයක් උද්ගත වි තිබිණි.
ආර්ථිකය නැවත ගොඩනැඟීමක් පුනර්ජීවනයක් ඇති කළ යුතු ව තිබිණි. මේ ගැටලුවලට අමතරව දේශපාලන වශයෙන් රට ස්ථාවර විය යුතු බවත් මේ රටේ පාර්ලිමේන්තුව තුළ බලය තීරණාත්මක ලෙස තහවුරු විය යුතු බවත් හඳුනාගත් තවත් කාරණාවකි. ඒ අනුව තුනෙන් දෙකක බලය තීරණාත්මක ලෙස තහවුරු කර ගැනීමට සිදු විය.
ඒ අනුව පසුගිය මැතිවරණයට පෙරම හඳුනාගෙන තිබුණු කරුණු එකිනෙක සලකා බැලූ විට මේ රටේ ඉලක්ක ගත සංවර්ධනයක් කරා යෑමට නම් විද්‍යානුකූල ප්‍රවිෂ්ටයක් අවැසි වියයුතු බව ඉතා පැහැදිලි වී තිබූ කරුණකි. එහි දී ‘ගම සමඟ පිළිසඳර‘ ලෙස වැඩසටහනක් ආරම්භ කිරිමෙන් මේ වැඩපිළිවෙළ මැතිවරණයට පෙර සිටම හඳුනාගෙන ඒ අනුව ඉදිරි සැලැසුම් සකස් කර තිබිණි. ගමට යෑමෙන් අනතුරුව ප්‍රභූන්, සමාජ සේවකයන් , ස්වාමීන් වහන්සේ, වැඩිහිටියන් , තරුණ තරුණියන්, සහ බිම් මට්ටමේ දේශපාලනික නායකත්වයන් සියල්ල එකට එකතු කරමින් යම් පිළිසඳරක් ගොඩනඟන ලදී.
දත්ත පද්ධතියක්
එහිදි විශාල දත්ත පද්ධතියක් රැස් කරගැනීමට හැකි විය. ඒ දත්ත විශ්ලේෂණය කරමින් වත්මන් ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයේදී ‘සෞභාග්‍යයේ දැක්ම‘ නම් වූ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඒ කරුණු අන්තර්ගත කරන ලදි. ඒ තොරතුරු රටේ ජනතාව හිතන පතන ආකාරයට ලබාගන්නා ජනතාවගේ ඉල්ලීම් වීම සුවිශේෂි කරුණකි. ‘සෞභාග්‍යයේ දැක්ම‘ වැඩ සටහනේ අන්තර්ගත විය යුතු කරුණු අනුව ජනාධිපතිවරයාට අවශ්‍ය වී තිබුණේ ප්‍රායෝගික තලයේදි මේ ‘සෞභාග්‍යයේ දැක්ම‘ වැඩසටහන ක්‍රියාත්මක කිරිමයි. ජනාධිපතිවරණයේදි විශාල ජනවරමකින් එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුග්‍රහය ජනතාවගෙන් හිමි විය. ඒ අනුව 2021 අය- වැය ඉදිරිපත් කිරීමේදී ‘ගම සමඟ පිළිසඳර ‘ ව්‍යාපෘතිය සඳහා මුදල් ප්‍රතිපාදන විශාල වශයෙන් වෙන් කරන ලදි. එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබන වැඩ සටහන 'වැඩ සමඟ යළි ගමට ' යන නමින් නම් කෙරිණි. බොහෝ අවස්ථාවලදී දේශපාලනයේදී සිදු නොවන දේශපාලඥයන් පොරොන්දු වූ දේ රැගෙන ගමට යාම සිදුවිය. ගමට යෑමෙන් පසු පෙරළා ඒ සඳහා ප්‍රතිචාර ජනතාවගෙන් ලබාගෙන ග්‍රාමිය ජනතාවට ගම ගොඩනැඟීමට අවැසි දේ තීන්දු කිරීමේ අවකාශය ලබා දීම මෙහිදි සිදු වෙයි.
බැසිල් රාජපක්ෂයන් විසින් ‘වැඩ සමඟ යළි ගමට‘ මූලික සාකච්ජාවන්ගෙන් අනතුරුව දේශපාලන නායකයන්, රජයේ නිලධාරීන් එකට එකතුකර දැනුම්වත් කිරිම් සිදු කරනු ලබයි. ඒ අනුව පසුගිය 21 සහ 22 දින දෙකෙහි මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා වන වැඩපිළිවෙළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ආරම්භ කරන ලදි. දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරි කොට්ඨාසයකින්ම මේ සම්බන්ධයෙන් පිළිසඳරට සහභාගි වූ ජන කොට්ඨාස සමඟ එකතු වී මේ වැඩපිළිවෙළ පිළිබඳව නැවත සාකච්ජා කරනු ඇත. මේ වැඩසටහන නම් කරන්නේ ‘ඔබේ අදහස ඇසුරින් ඔබේම මවුබිම ගොඩනඟමු ‘යනුවෙනි. ජනාධිපති මැතිවරණයේදි ජනමූල ප්‍රතිපත්ති සම්පාදනය කරමින් එහි ප්‍රතිඵලය ලෙස ‘සෞභාග්‍යයේ දැක්ම ‘ ඉදිරිපත් කරන ලදි. ඉන් අනතුරුව 2021 අය වැය යෝජනාවලියෙන් මේ වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට ප්‍රවිෂ්ටයක් ලබා ගන්නා ලදී. එමෙන්ම මෙවර අයවැයෙන් විශාල මුදල් ප්‍රතිපාදනයක් එනම් මසකට බිලියනයක් පමණ ප්‍රතිපාදනයක් වෙන් කරන ලදී.
ග්‍රාම සංවර්ධන වැඩපිළිවෙළ
මේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති යෝජනා සහ අපේක්ෂා කරන ග්‍රාම සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ළමා සහ මාතෘ සායන, ග්‍රාමීය රෝහල්, වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන නවීකරණ කිරීම, ග්‍රාම සේවා වසමකම ප්‍රමිතිගත පෙර පාසලක්, ( පුර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන) සංවර්ධනය කිරීම සිදු වනු ඇත.
ජාතික පාසල් සංඛ්‍යාව දාහක් දක්වා වැඩි කිරීම, සෑම පාසලකටම පානීය ජලය, වැසිකිළි පහසුකම්, ගුරු නිවාස පහසුකම් , අධිවේගි අන්තර් ජාල පහසුකම් සැපයීම මේ හරහා සිදු කෙරේ.
ග්‍රාමීය තරුණ තරුණියන්ට අලුත් ව්‍යාපාරයන් ආරම්භ කිරීමට අවස්ථාව ලබා දීමත්, මහජන ක්‍රිඩාංගණ සහ පාසල් ක්‍රිඩාංගණයක් නවීකරණය, කුඩා කර්මාන්ත ශාලා පහසුකම් සැපියීම මෙන්ම පුරන් කුඹුරු අස්වැද්දීම, කුඩා කිරිගොවීන් දියුණු කිරිම, කාබනික පොහොර වැඩි දියුණු කිරීම, ගොවින්ට අලුත් කෘෂිකර්ම දැනුම ලබා දීම, පොහොර ගබඩා ඇතිකීරිම්, වැව් අමුණු ප්‍රතිසංස්කරණය, අලි වැට නැවත ඉදිකිරීම්, පැල්පත් නිවාස වතු නිවාස ඉඩම් හිමිකම් ඔප්පු ලබාදීම, වැනි ගමක් තුළ දියුණු කිරිමට සහ අදාළ සියලු පහසුකම් වැඩි දියුණු කිරිමට අපේක්ෂා කරනු ලබයි.
ව්‍යාපෘතිය ගැන ප්‍රාදේශීය සංවර්ධන කමිටු කැඳවා ඒ කමිටුවල සාමාජිකයන් දැනුම්වත් භාවයක් ඇති කිරිමද සිදු වෙයි. එය පුළුල් දැනුමක් අවබෝධයක් ඇති කර ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් සිදු කරනු ලබයි. ග්‍රාමිය කමිටු පළාත්පාලන ආයතන නිලධාරීන් කෘෂි පර්යේෂණ නිලධාරීන් ආර්ථික සංවර්ධන නිලධාරින් ආදි සංවිධාන කමිටු ප්‍රධානින් එයට එකතු වෙයි.
ඉදිරි අනාගතය වෙනුවෙන් ගමට කළ යුතු දේ පිළිබඳව පොදු ස්ථානයක රැස් වී ප්‍රාදේශීය වශයෙන් අංග සම්පූර්ණ ප්‍රජා සහභාගිත්වයෙන් සාකච්ඡාද පැවැත්වේ.
ලේඛනගත කිරීම් පැහැදිලිව පෝරමයක පිරවිය යුතුයි. සියල්ල එකවර කළ නොහැකි නිසා ඉදිරි වසර කිහිපයෙහි කළ හැකි යෝජනා තෝරාගෙන ව්‍යාපෘතින් අනුව එම යෝජනා ක්‍රියාවට නැංවීම සිදුකරනු ලබයි. එහිදී ප්‍රමුඛතා හඳුනා ගැනීමෙන් පසුව වැඩිපුරම අවධානය යොමු කරන ලද කරුණු මූලිකව ඉටු කෙරේ.
ජනතා යෝජනා ක්‍රියාවට නැංවීම
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් මේවන විටත් ඉදිරිපත් කර ඇති යෝජනා සැලකිල්ලට ගැනීමද සිදු කරනු ලබයි. එනම් 'ගම සමඟ පිළිසඳරට' පෙර හඳුනාගත් යෝජනා සහ ප්‍රජාමූල සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද ඒ යෝජනා ක්‍රියාවට නැංවීමට ප්‍රජාවගේ සහාය ලබාගත හැකි කොටසක් නිම කර නැති අංග සම්පුර්ණ නොවූ යෝජනා ස්වභාවික ආපදාවන්ට ලක් වූ දේවල් ජීවන උපාය ව්‍යාපෘතින් පෞද්ගලික මට්ටමේ යෝජනාවලින් කෙබඳු ව්‍යාපෘතින්ද කඩිනමින් කළ යුතු වන්නේ කියන කාරණාව මෙහිදි පැහැදිලිවෙයි. සෑම ගමකට ම එක් ව්‍යපෘතියක් හිමි විය යුතුයි. සියලු විෂය ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි තෝරාගැනීම් සිදුවිය යුතුයි . ආයතනවලින් ව්‍යාපෘතින් ඉදිරිපත් කිරිමේදී ඔවුන් සතු පහසුකම් පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. සමාජයේ සියලු ජනකොටස්වලට විවිධත්වයට මේ පහසුකම් හිමිවිය යුතුයි. එහිදි මේ යෝජනාව සම්බන්ධිකරණ කමිටුව වෙත ගෙන එන ලදි. සෑම ග්‍රාම සේවා නිලධාරි කොට්ඨාසයකටම ගෙන එන ලද යෝජනා ප්‍රඟුණ කරන අතර අදාළ ආයතන වල නිලධාරීන් හඳුනා ගැනීම විවිධ ශීර්ෂයන් යටතේ ලේඛනගත කිරිම සිදුකරනු ලබයි.
ජනාධිපති කාර්ය සාධක බළකාය සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව තුළ ප්‍රමුඛගත කරන යෝජනා ඉදිරිපත් කරනු ලබයි. හඳුනාගත් යෝජනා එක් එක් අමාත්‍යාංශ වෙත යොමු කරනු ලබයි. අනතුරුව ග්‍රාමසේවා වසමට අයත් යෝජනාවලට අයත් ජනාධිපති කාර්ය සාධක බළකාය මේ යෝජනා කඩිනමින් ක්‍රියාවට නැංවීමට කටයුතු කරනු ලැබිම සිදුවෙයි. මේ ක්‍රමවේදය දිගින් දිගටම ග්‍රාමිය ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නඟින තුරු ක්‍රියාත්මක වෙයි. ඉදිරි වසර පහක කාලයක් තුළ ග්‍රාමීය ජනතාවගේ දරිද්‍රතාව මුළුමනින්ම තුරන් කිරීම මෙහි අරමුණයි. 70 දශකයේ විසඳා ගත නොහැකි ප්‍රශ්නයක් වූ ග්‍රාමීය ජනතාවගේ දිළිඳුකම තුරන් කිරීමට කඩිනම් ක්‍රමවේදයක් සහ උපායමාර්ගික ක්‍රියාමාර්ගයක් මේ මඟින් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කෙරෙයි.