ජීවිත 31,229ක් බිලිගත් සුනාමියට වසර 16යි | සිළුමිණ

ජීවිත 31,229ක් බිලිගත් සුනාමියට වසර 16යි

2004 දෙසැම්බර් 25 වැනිදා ලක්ෂ ගණනකගේ සිත් අවුළුවාලමින්, මුළු සේසතම මුහුදට සෝදා දැමූ සුනාමියට මේ නත්තල් දා වසර 16ක් පූර්ණය වේ. සුනාමියෙන් ජීවිත 31,229ක් අහිමි වූ අතර, අතුරුදන් වූ සංඛ්‍යාව 4,100කි. 516,150ක් අවතැන් වූ අතර, 275,000කගේ රැකියා අහිමි විය. ධීවර බෝට්ටු 16,479ක් ඇතුළු කෝටි ගණනක් වටිනා පොදු දේපළ ද නිවාස 250,000ක්ද මහ මුහුදට ගසා ගෙන ගියේය. ජීවිත කාලයක් පුරා හරි හම්බ කරගත් දෑ පමණක් නොව පවුල් පිටින්ම අහිමි වීම් ද, සිය ආදරණීයයන් අහිමි වීම්ද කවර කලෙකවත් පූර්ණය කරගත නොහැකි සේ ගැඹුරු තුවාල හදවතේ ඉතිරි කළේය.

ඉදිරි සුනාමියකදී ජීවිත දේපළ රැකගැනීමට 2004 සුනාමියෙන් උගත් පාඩම් වැදගත්ය. ඊළඟ සුනාමියට අප සූදානම්ද යන්න අතිශය වැදගත් කරුණකි. 2004 සුනාමිය සම්බන්ධයෙන් බොහෝ පරිසර විද්‍යාඥයන් ප්‍රකාශ කළේ වෙරළබඩ කඩොලාන පද්ධතිය තිබුණේ නම් සිදුවන විනාශය අවම විය හැකි බවයි. මුහුද ආසන්නයේ ගොඩනැගිලි ඉදිකිරීම, ගංගා වැව් ආදියේ පතුල හාරා වැලිගැනීම, මුහුදුබඩ ගොඩබිම් හාරා වැලි ගැනීම, හිරිගල් කොරල්පර කැඩීම, විශාල වශයෙන් කැලෑ එළි කිරීම, සුනාමි ව්‍යසනයෙන් වන හානිය ප්‍රබල වීමට දැඩිව බලපා තිබුණි.

පරිසරය ආරක්ෂා කිරීම සඳහා අප රටේ තිබෙන නීති ප්‍රමාණවත්ද යන්න සුනාමියට වසර 16 ක් සපිරෙන මේ මොහොතේ සිතා බැලිය යුතුය.

සුනාමි තත්ත්වයක් ඇති වීමට බලපාන ප්‍රධානතම කරුණු 04 ක් ඇත. සාගර පතුලේ ඇතිවන භූමි කම්පාවක්, විශාල වශයෙන් සිදුවන නාය යෑමක්, මුහුද යට ගිනිකඳු පිපිරීමකින් ඇතිවන ලාවා නිකුත් වීමක් හෝ උල්කාපාත හෝ හිමකඳු සාගරයට කඩා වැටීමකින් සුනාමී තත්ත්වයක් ඇතිවිය හැකිය. සුනාමි තත්ත්වයන් වැඩි වශයෙන් ඇති වී ඇත්තේ මුහුද යට ඇතිවන භූමිකම්පා හේතුවෙනි. 1958 දී ඇලස්කාවේ ලිතියාවේ කඳු නාය යෑමකින් සුනාමි තත්ත්වයක් ඇති වී තිබේ. මෙයට වසර කෝට් 10 කට පමණ පෙර දැවැන්ත ග්‍රාහකයක් කඩාවැටීමෙන් ඩයිනෝසරයන් වැනසුණ බවද විද්‍යාඥයන්ගේ මතයයි.

පෘථිවියට පිටතින් ඇත්තේ ශිලා ගෝලයයි. (Lithosphere) ශිලා ගෝලය සෑදී ඇත්තේ භූ තැටි (Tectonic Plates) කීපයකිනි. අප අයත්වන භූ තැටිය, ඉන්දු - ඕස්ට්‍රේලියානු භූ තැටිය මෙන්ම ඉන්දු තලය යනුවෙන්ද හඳුන්වයි. මෙම භූ තැටිය, ශිලා ගෝලයට යටින් ඇති ද්‍රව්‍ය මත පාවෙමින් තිබේ. භූ තැටි නොනැවතී එකිනෙක ගැටීම, ළංවීම, ඈත් වීම මෙන්ම ලිස්සා යෑමද සිදුවිය හැකිය. මෙවන් භූ චලන පෘථිවියේ පෘෂ්ඨය හා සංවහන ප්‍රවාහය හරහා සිදුවෙතැයි සැලකිය හැකිය.

භූ තැටි චලනය සෑම විටම සිදුවන්නේ ඉතා අඩු වේගයකිනි. එය බොහෝ විට වසරකට සෙන්ටි මීටර් 01 ක පමණ ප්‍රමාණයකි. මේ ආකාරයෙන් භූ තැටි එකිනෙක ගැටීම හෝ ලිස්සා යෑම හේතුවෙන් සුනාමී තරංග ඇති විය හැකිය. සාමාන්‍ය මුහුදු තරංගයක් ඇති වූ විටකදී එහි තරංග දෙකක් අතර දුර (තරංග ආයාමය) මීටර් 80 - 120 ත් අතර වේ. නමුත් සුනාමී මුහුදු තරංගයකදී මෙම දුර කිලෝ මීටර් 180 - 250 ක් පමණ විය හැකිය. ගැඹුරු මුහුදේ ගමන් කරන මුහුදු යාත්‍රාවකට සුනාමි තරංගයක බලපෑම නොදැනෙන්නේ මේ නිසාය. නමුත් සාමාන්‍ය මුහුදු තරංගයකට වඩා සුනාමි මුහුදු තරංගයක වේගය බොහෝ සෙයින් වැඩිය. එය ඇතැම් විට පැයට කිලෝ මීටර් 800 ක් 900 ක් පමණ විය හැකිය.

සුනාමි තරංගයක වේගය බොහෝ විට තීරණය වන්නේ මුහුදු පතුලේ ස්වභාවය අනුවය. මුහුදු පතුලේ බෑවුම වැඩිවන විට තරංගයේ වේගය ද වැඩිය. බෑවුම අඩු අවස්ථාවලදී සුනාමී රළ ගමන් කරන්නේ සෙමින්ය. එවන් අවස්ථාවල වෙරළබඩ ජනයාට රට තුළට දිව යෑමට අවස්ථාව උදා වේ. මුහුදු පතුලේ බෑවුම වැඩි ස්ථානයන්හි සුනාමි රළ වේගයෙන් වෙරළට කඩාවදින නිසා සිදුවන විනාශයද අතිමහත්ය. පළමු සුනාමි තරංගය වෙරළට කඩාවැදී ඊළඟ තරංගය පැමිණීමට පෙර මුහුදු ජලය පසුබෑම හෙවත් ආපසු ගලා යෑම සිදු වේ. මෙසේ සිදුවන්නේ සුනාමි තරංග දෙකක් අතර දුර ඉතා අධික නිසාය. එයට හේතුවන්නේ සුනාමි තරංගයේ නිම්න කොටසයි. ගොඩබිම දෙසට පළමුව පැමිණෙන සුනාමි තරංගය නිම්නයක් නම් වෙරළාශ්‍රිත ජලය අඩුවී දියේ ගිලී පවතින ප්‍රදේශ නිරාවරණය විය හැකිය. එවිට වෙරළ ආසන්නයේ සිටින අයකුට මුහුද පසුපසට ගමන් කරන අයුරු දැකිය හැකිය. වෙරළ ආශ්‍රිත මුහුදු පතුල නොගැඹුරු නම් මෙසේ මුහුද පසුපසට යෑම මීටර් සියගණනක් විය හැකිය. එවිට වෙරළ ආසන්නයේ ජනයා කළ යුතු වන්නේ උස්බිම් ප්‍රදේශයකට පලා යෑම හෝ උස ගොඩනැගිල්ලක ඉහළම මාලයට නැඟීමයි. නමුත් වෙරළාසන්න ජනතාව කුතූහලයෙන් මුහුදට පැමිණ මාළු, ජලජ පැළෑටි හා වෙනත් දෑ එකතු කරමින් සිටී. සුනාමි තරංගයේ ශීර්ෂ කොටස හේතුවෙන් ඊළඟට පැමිණෙන විශාල ජලකඳ පිළිබඳව අවබෝධයක් නැති මෙම ජනතාව මේ නිසාම විශාල වශයෙන් සුනාමියේ ගොදුරු බවට පත් වේ.

1755.11.01 දින පෘතුගාලයේ ලිස්බන් වල ඇතිවූ උසින් මීටර් 10 ක් වූ සුනාමියක් හේතුවෙන් මිනිසුන් 30,000 ක් මියගොස් තිබේ. 1883.08.06 දින ඉන්දුනීසියාවේ ඇතිවූ උසින් මීටර් 35 ක් වූ සුනාමියෙන් මිනිසුන් 36,000 ක්ද 1896.07.15 දින මීටර් 29 ක් උසින් ජපානයේ ඇතිවූ සුනාමියෙන් මිනිසුන් 27,000 ක්ද මියගොස් ඇත. 1933.03.12 දින ජපානයේ ඇති වූ සුනාමියෙන් පුද්ගලයන් 300 ක්ද මියගොස් ඇත. එම සුනාමිය උසින් මිටර් 20 කි. 1946.04.01 දින උසින් මීටර් 15 කින් යුතුව ඇලස්කාවේ ඇතිවු සුනාමියෙන් මිනිසුන් 179 දෙනෙක්ද, 1960.03.22 දින චිලියේ උසින් මීටර් 8.4 කින් යුතුව ඇතිවු සුනාමියෙන් මිනිසුන් 1250 ක්ද, 1996.07.12 දින උසින් අඩි 12 කින් යුතුව පැපුවානිව්ගිනියාවේ ඇතිවූ සුනාමියෙන් මිනිසුන් 3000 ක්ද මියගොස් තිබේ. මෙයට අමතරව 1929.11.18 නවසීලන්තය, 1952.11.04 රුසියාව, 1958.07.09 රුසියාව, 1974.03.24 ඇලස්කාව, 1976.08.16 පිලිපීනය, 1992.09.01 නිකරගුවාව, යන රටවලද පෙරකී තරමේ ජීවිතහානී සිදුනොවූ සුනාමි තත්ත්වයන් ඇතිවී තිබේ.

ඉන්දු තලය උඩින් බුරුම තලය ලිස්සා යෑම හේතුවෙන් 2004 වසරේ සුනාමි තත්ත්වය ඇති වී තිබේ. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් අසල මෙම භූමිකම්පාව ඇතිවී තිබේ. මේ ලිස්සා යෑමේදී භූතලය මීටර් 30 ක් පමණ ඉහළට එසවී ඇත. එයින් පෘථිවිය සිය කක්ෂය වටා භ්‍රමණය වීමටද ප්‍රබල බලපෑමක් ඇතිව තිබේ. මේ බැව් තහවුරු වී ඇත්තේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලය මගින් කරන ලද අධ්‍යයනයකිනි. මේ හේතුවෙන් පෘථිවිය අඟහරු ග්‍රහයා දෙසට මඳක් තල්ලු වී ගොස් ඇත. ඒ නිසාම පෘතුවිය කක්ෂය වටා භ්‍රමණය වීමට ගතවන කාලය මයික්‍රෝ තත්පර 03 කින් වෙනස් වී ඇත. මේ නිසා පෘථිවිය කාලගුණික වෙනස්කම් රැසකට මුහුණ පා තිබේ. සුමාත්‍රා දූපත්ද මීටර් 100 කින් නිරිත දිගට තල්ලු වී තිබේ. කොරල්පර ඇතුළු වෙරළ පාරිසරික පද්ධති රැසක් වෙනස් වී ඇත. සුනාමි තත්ත්වයන් 80 % ක්ම ඇති වන්නේ පැසිෆික් සාගරයේය. කෙසේ වෙතත් රට මැද විශාල ජල ඝනත්වයක් සහිත විලක වුවත් සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකිය.

2004 සුනාමියෙන් රටවල් 11 කට හානි සිදුව තිබේ. මෙය රිව්ටර් මාර්පකයේ 9.3 ක් ලෙසින් සටහන් විය. මෙයින් වැඩිම ජීවිත හානි සිදුවූයේ ඉන්දුනීසියාවටය. එම රටේ මිනිසුන් 2,37,071 ක් මියගිය අතර 1,13,937 ක් අතුරුදන් විය. දෙවැනි වැඩිම විනාශය සිදුවූයේ ශ්‍රී ලංකාවටය. ලංකාවේ මිනිසුන් 30,957 ක් මියගිය අතර 4698 ක් අතුරුදන් විය. ඉන්දියාවේ මියගිය සංඛ්‍යාව 16389 කි. එහි 5554 ක් අතුරුදන් වී තිබේ. තායිලන්තයේ 5393 ක් මියගිය අතර 2994 ක් අතුරුදන් විය. මාලදිවයිනේ 82 නෙක් මියගොස් 26 දෙනෙක් අතුරුදන් වූ අතර මැලේසියාවේ 68 දෙනෙකු මියගොස් තිබේ. මියන්මාරයේ 61දෙනෙක්ද, බංගලාදේශයේ 02 නෙක්ද, කෙන්යාවේ 01 අයෙක්ද මියගොස් තිබේ. සියලු රටවල්හි අතුරුදන් වූ ප්‍රමාණය 1,27,209 ක් වන අතර ඉතා සුළු පිරිසක් හැර මෙයින් බහුතරයද ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි සිතිය හැකිය. කුඩා දරුවන් යම් ප්‍රමාණයක් වෙනත් පුද්ගලයන් අතට පත්ව හැදී වැඩෙන්නටද පුළුවන.

මෙයින් ශ්‍රි ලංකාවේ අම්පාර, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි මිනිසුන් 30,957ක් මියගොස් 4698 ක් අතුරුදන් විය. තුවාල ලැබූ පිරිස 21,441 කි. ළමයින් 3954 කට මව හෝ පියා අහිමි වූ අතර ළමුන් 979 කට මව හා පියා යන දෙදෙනාම අහිමි විය. සුනාමියෙන් දිවයින පුරා නිවාස 41,000 ක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර 29,500 ක් නිවාස අර්ධ වශයෙන් හානියට පත්විය. අවතැන් වූ සංඛ්‍යාව 80,000 ක් විය. පාසැල් 152 ක් හා පාලම් 10 ක් විනාශයට පත්විය. දුම්රිය මාර්ගයේ කිලෝ මීටර් 160 ක් විනාශ වූ අතර කිලෝ මීටර් 7000 ක් පමණ විදුලි රැහැන් විනාශයට පත්විය. මෙම විදුලි රැහැන් වල වටිනාකම රුපියක් බිලියන 12 කි. ඔරු, බෝට්ටු 15300 ක් විනාශයට පත්වූ අතර විනාශ වූ මාදැල් වල වටිනාකම රුපියල් දස ලක්ෂ ගණනකි. සුනාමි ව්‍යසනය හේතුවෙන් රුපියල් 5000/- රජයේ දීමනාව පමණක් 2,34,000 කට ලබාදී ඇත. ධීවර, සංචාරක මෙන්ම වෙරළ ආශ්‍රිත සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත රැසක් විනාශයට පත් වූ අතර එහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 25 කට අධිකය.

බෞද්ධ විහාරස්ථාන 79 ක් විනාශයට පත්විය. ඒ ගාල්ල 32 ක්, මාතර 22ක්, හම්බන්තොට 14 ක්, කළුතර 05 ක්, කොළඹ 03 ක්, ගම්පහ 01 ක් හා ත්‍රිකුණාමලයේ 02 ක් වශයෙනි. මෙයින් වැඩිම විහාරස්ථාන සංඛ්‍යාවක් විනාශයට පත්ව තිබුණේ ගාල්ල දිස්ත්‍රික්කයේය. එයින් විහාරස්ථාන 14 ක් බළපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ය. මුස්ලිම් පල්ලි, ක්‍රිස්තියානි දේවස්ථාන, සුරුවම්, කෝව්ල් හා හින්දු දේවස්ථානද විශාල වශයෙන් විනාශයට පත්විය.

සුනාමී ව්‍යසනයෙන් එකම ස්ථානයේ විශාල පිරිසක් මියගියේ ගාල්ල, පැරෑලියේදීය. ඒ කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියේ සිටි මගීන්ය. පෙ.ව 6.55 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළ අංක 8050 දුම්රියේ ගමන් කළ පිරිස නිශ්චිතවම කිව නොහැකි බව එකල දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. නමුත් එහි ප්‍රවේශපත්‍ර ලබාගත් මගීන් 1700 ක් පමණද ප්‍රවේශපත්‍ර ලබා නොගත් මගීන් නොදන්නා ප්‍රමාණයක්ද සිට තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ මතය විය. මෙයින් දුම්රිය මැදිරි 08 ක සිටි මගීන් 1700 කට අධික ප්‍රමාණයක් මියගොස් තිබූ අතර 100 කට පමණ තුවාල සිදුවිය. යම් පිරිසක් දිවිගලවා ගැනීමටද සමත්ව ඇත. දුම්රිය එදින පෙ.ව. 9.30 පමණ වන විට තෙල්වත්ත, පැරෑලිය අසල ප්‍රදේශයේ ගමන් කරමින් තිබියදී අනතුරට ලක්විය. මුහුදු රළ මීටර් 7.5 ක් 08 ක් පමණ උසින් යුක්තව පැමිණ වේගයෙන් දුම්රියේ ගැටී ඇත. දුම්රියේ එම් - 02 වර්ගයේ අශ්වබල 1425 කින් යුත් එන්ජිමත් මැදිරිත් විසිවී තිබුණේ ගිනිපෙට්ටි මෙනි.

මෙම දුම්රියේ දුම්රිය නියාමකවරයා ලෙස එදින කටයුතු කරන ලද්දේ කරුණාතිලක වනිගරත්නය. ඔහු දිවිගලවා ගැනීමට සමත් විය. පළමු රළ පහර දුම්රියේ ගැටී ඒ වටා ගිය බවත් දෙවන රළ පහරට සම්පූර්ණයෙන්ම දුම්රිය විනාශ වූ බවත් ඔහු ප්‍රකාශ කර තිබුණි. ලෝක ඉතිහාසයේ දුම්රියක් හා සම්බන්ධ අනතුරකදී වැඩිම පිරිසක් මිනිසුන් මියගොස් ඇත්තේ මෙම දුම්රිය අනතුරෙනි. එය 2004 ශ්‍රී ලංකා සුනාමි දුම්රිය ව්‍යසනය නමින් හඳුන්වයි. මෙම දුම්රිය අනතුරු වර්ගය නම්කර ඇත්තේ සුනාමි රළ දුම්රියක ගැටීම යනුවෙනි. මීට පෙර දුම්රියක් හා සම්බන්ධව වැඩිම මරණ ගණන වාර්තා වී ඇත්තේ 1981 ජුනි 06 දින ඉන්දියාවේ සිදුවූ බිහාර දුම්රිය අනතුරයි. මෙම අනතුරින් මියගිය ගණන 800 කි. වසර 16ක් ගෙවී ගියද සුනාමියෙන් තුවාල වූ හදවත් ඒ වේදනාවෙන් තවමත් පුපුරු ගසන්නේය. ඒ තුවාල සුව වෙන තුවාල නොවේ. කෙසේ වුවද දැන් කළ හැක්කේ එවැන්නක් යළි ඇතිවුවහොත් එය වළක්වා ගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීම උදෙසා දැනුම්වත් වීමය. මේ ලිපියයේ ලා අරමුණ වූයේ එයයි.

ජයකාන්ත ලියනගේ - බළපිටිය

Comments