
- රජයට රුපියල් කෝටි 118 ක පාඩුවක්
- වැඩිපුර ආසනික් කැඩ්මියම් අඩංගු පෝර ටොන් 43000 ක් අපේ ගොවි බිම්වලට
රටට පරිසරයට ෙගාවි ජනතාවට ලොකු තර්ජනයක්
- මහාචාර්ය හේමන්ති රණසිංහ
වංචාවට සම්බන්ධ අයට විරුද්ධව විනයානුකූල පියවර ගත්තා
- අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල
වකුගඩු, පිළිකා නිල් දරු උපත් සමඟ ලෙඩ වැඩිවේවි
- ගොවි නායක කවුඩුල්ලේ ජයතිස්ස
පසුගිය යහපාලන සමයේ අවස්ථා 34 කදී බාල විස සහිත පොහොර වර්ග 7 ක පොහොර මෙට්‍රික් ටොන් 43000 ක් අපේ රටේ ගොවි ජනතාවට ලබාදී මෙරට කෘෂිකර්මයත් ගොවි ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයත් විනාශ කර ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ අලුත්ම විගණනයකින් හෙළිවී තිබේ.
මෙහිදී සිදුකර ඇත්තේ භාවිතයට නුසුදුසු නියමිත ප්‍රමාණයට වඩා බැරලෝහ ඇතුළු රසායන ද්‍රව්‍ය අඩංගු පොහොර තොග මෙරටට ගෙනැවිත් ජාතික පොහොර ලේකම් කාර්යාලය හරහාම ගොවීන් අතට පත් කිරීමයි. මෙහිදී එම පෝර පිළිබඳව නිවැරැදි රසායනාගාර වාර්තා ඉවත්කර ව්‍යාජ වාර්තා ඇතුළත් කිරීමට ද පියවර ගෙන ඇතැයි විගණකාධිපති වාර්තාවේ දක්වා ඇත.
වස විස පෝර වර්ග නිසා අපේ රටේ ගොවියාට පිළිකා හා වකුගඩු රෝග බහුලව ඇතිවිය හැකි බව අපේ රටේ වෛද්‍ය විශේෂඥයන් පැවසුවේ මීට වසර 10 – 15 කට පෙර සිටය.
අපේ රටේ දිස්ත්‍රික් 5 ක් පුරා පැතිර යමින් පවතින මාරාන්තික වකුගඩු රෝගය නිසා දැනට පුද්ගලයන් 25000 ක් මියගොස් ඇත. ඊට අමතරව අලුත්ම සංඛ්‍යා ලේඛන අනුව දැනට අපේ රටේ වකුගඩු රෝගීන් 150000 පමණ සිටිති.
මේ පිළිබඳව පර්යේෂණ කළ දැනට ඖෂධ නියාමනය, ඖෂධ නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහාචාර්ය නලින්ද සිල්වා කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක ඇතුළු විද්වත් කමිටුවේ අදහස අනුව මේ තරම් අපේ රටේ රෝගීන් වකුගඩු රෝගයට ලක්වෙන්නේ අපේ රටට ගෙන්වන ආසනික්, ක්‍රෝමියම්, ඊයම්, කැඩ්මියම් වැනි බැර ලෝහ අඩංගු බාල පොහොර වර්ග නිසාය. මේ පිළිබඳව රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දුන්නේ මීට වසර 10 – 15 ක සිටය.
අලුත් පර්යේෂණ අනුව උතුරු මැද හා ඌව පළාත්වල පදිංචි වයස අවුරුදු 17 – 70 අතර පුද්ගලයන්ගේ සියයට 15 ක් ම මේ මාරාන්තික නිදන්ගත වකුගඩු අකර්මන්‍ය රෝගය (CKDU) ට ගොදුරු වෙති. තත්ත්වය එසේ තිබියදී වස විස අඩංගු ප්‍රමිතියෙන් තොර පෝර මෙට්‍රික් ටොන් 43000 ක් මෙරටට ගෙන්වීම අපේ රටත් අපේ පරිසරයත් අපේ ගොවි පරපුරත් ලෙඩ කරන වංචා සහගත ක්‍රියාවලියක් බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාරිසරික හා වන විද්‍යා මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය පවසන්නීය. මෙවැනි ක්‍රියා නිසා පසේ සංයුතියේ සාරවත් බව අඩුවෙන බව ද ඇය පැවසුවාය.
අලුත් තොරතුරු අනුව මේ පොහොර වංචාව 2017 - 2019 වසරවලදී සිදුවී තිබේ. මේ පෝර මගඩිය නිසා රජයට රුපියල් කෝටි 107 ක් අහිමි වී ඇති අතර මෙරටට පොහොර ආනයනය කරන සමාගම් 11 ක් හා පොහොර ලේකම් කාර්යාලීය සමහර නිලධාරීන් ඊට හවුල් ය.
මෙම විගණන වාර්තාවට අනුව ජාතික පොහොර ලේකම් කාර්යාලය 2018 – 2019 වසරවලද මෙම පෝර තොග ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත. ජාතික පොහොර ලේකම් කාර්යාලය මෙවැනි වස විස සහිත පොහොර තොග රටට මුදා හැරීම නොකළ යුතු බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහු පවසති. ඒ අනුව ඒ බාල පොහොර විනාශ කිරීමේ වගකීම ජාතික පොහොර ලේකම් කාර්යාලය පැහැර හැර ඇති බව ද විගණන වාර්තාව පවසයි.
ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ලිපිකරුවන් හා අධීක්ෂණ නිලධාරීන් මෙහිදී සිදු කර ඇත්තේ මෙම පොහොර තොගයට අදාළ නිවැරැදි රසායානාගාර වාර්තා ඉවත් කර ඒ වෙනුවට ව්‍යාජ ඒවා ඇතුළත් කිරීමය.
ඒ සමඟම ප්‍රමුඛ පෙළේ පෞද්ගලික ආයතන 9 ක් හා පොහොර ලේකම් කාර්යාලයේ එවක සිටි නිලධාරීන් මෙම රටම වනසන ක්‍රියාව කර ඇතැයි විගණන වාර්තාව අනුව පෙන්වා දෙයි.
මේ විගණන වාර්තාව අනුව මේ පොහොර තොගය ගොවීන් අතර බෙදා දීමට හඳුන්වා දුන් මිල සූත්‍ර ක්‍රමවේදයේ අක්‍රමිකතා රැසක් පවතින බව හෙළි වී තිබේ. ඒ අනුව මෙලෙස ප්‍රමිතියෙන් තොර වස විස ඇති පොහොර ගෙන්වූ සමාගම් 11 ට විශේෂ ප්‍රමුඛතාවක් දීමෙන් රුපියල් කෝටි 100 ක අමතර මුදලක් එම සමාගම් වෙත වැඩිපුර ලබාදීම පරීක්ෂණ කළ යුතු කටයුත්තක් බව ද විගණකාධිපතිවරයා පෙන්වා දෙයි.
විශේෂයෙන් මෙහි පුමුඛතම වැරැද්ද වන්නේ 2014 පසු ඉදිරිපත් කළ ප්‍රමිති සංශෝධන අනුව මෙරටට ගෙන්වීම තහනම් කළ අඩු ප්‍රමිතියේ ට්‍රිපර් සුපර් පොස්පේට් ඉහළ ප්‍රමිතියක් ඇතැයි පෙන්වා මෙම පෝර මගඩියේදී මෙරටට ගෙන්වා ඒවා අවස්ථා 34 කදී ගොවි පරපුරට ලබාදීමයි.
ඊයම්, ක්‍රෝමියම්, ආසනික්, කැඩ්මියම් සහ රසදිය ඇතුළු බැර ලෝහ හා අනෙකුත් රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය ඉක්මවා ගිය භාවිතයට නුසුදුසු මේ පොහොර තොග රටේ ගොවියන් වෙත ලබාදීමට අදාළ සමාගම් කටයුතු කර ඇත්තේ පොහොර ලේකම් කාර්යාලයේදීමය.
මේ අඩු ප්‍රමිතියේ පොහොර ලබාදී ඇති ආනයන සමාගම්වලට රජයේ සහනාධාර ලෙස මුදලින් රුපියල් කෝටි 100 ට වඩා ගෙවීමට සිදුවී තිබේ.
ඊට අමතරව මෙම සමාගම් භාවිතයට නුසුදුසු නමුත් ගොවීන්ට ලබාදුන් හා ප්‍රමිතිය අඩු එම පෝර තොග සඳහා රුපියල් කෝටි 18 ක් සහනාධාර ද රජයෙන් ඉල්ලා ඇත. මේ අනුව වංචාවක් ද කර තවත් මුදල් ද ඉල්ලන මේ ක්‍රියාදාමයට නිලධාරීන් ද සහය දක්වා ඇති බව පෙනේ.
මේ පිළිබඳව අදහස් දක්වන උතුරු මැද පළාත් සැලසුම් සංසදයේ කැඳවුම්කරු ගොවිනායක කවුඩුල්ලේ එම්.කේ. ජයතිස්ස මහතා පැවසුවේ මෙවැනි බැර ලෝහ අඩංගු මෙවැනි පොහොර වර්ග වැඩිදුර භාවිත කිරීම නිසා වකුගඩු ආබාධ, පිළිකා, නිල් දරු උපත් හා අඩු බර උපත් ආදී බෝ නොවන රෝග 7 ක් ඇතිවන බවයි.
අපේ රටේ කෘෂිකර්මය කරන දරු පරපුරට හරි කෘෂිකර්ම අධ්‍යයනයක් ලබා දෙන්නේ නැහැ. මේ නිසා ඒ අය රසායනික පෝර වැඩිපුර දැම්මොත් අස්වැන්න වැඩියි කියලා හිතනවා. රට ඇතුළතට බාල, බැරලෝහ අඩංගු පෝර ආපු නිසා ගොවි පරපුරට ලොකු අනතුරක්. අපි කළ යුත්තේ අපේ පොළොව සුවපත් කරන කෘෂිකර්මයක්. නමුත් ඔය වස විස ඇති පෝර දැම්මාම පොළොව විනාශ වෙනවා. අද රටට අවශ්‍ය කාබනික කෘෂිකාර්මික ක්‍රමයක්. මේකට ඔය රසායනික පෝර අවශ්‍ය නැහැ. ඕනෑ කෙනෙකුට රසායනික පෝර නැතිව වවන හැටි අපිට කියා දෙන්න පුළුවන්.
කෙසේ වුවත් මෙවැනි බාල පොහොර අපේ රටට නිකුත් කිරීම ජාතික අපරාධයක්. මේ නිසා අපේ මේ පරිසරයට ගොවි ජනතාවට ලොකු අනතුරක් වෙන්න පුළුවන්. මේ වංචාකරුවන්ට දැඩි දඬුවම් දිය යුතුයි. දැන් රජය කළ යුත්තේ මේ බාල පොහොර බෙදා හැරිය ප්‍රදේශ පිළිබඳව වහාම ගොවි ජනතාව දැනුම්වත් කිරීමයි” ජයතිස්ස මහතා පවසයි.
මේ පිළිබඳව අදහස් දක්වන පොහොර නිෂ්පාදන හා සැපයුම් රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් හා හිටපු ජාතික පොහොර ලේකම් අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල මහතා පැවසුවේ මේ වංචාව පිළිබඳව 2019 අග භාගයේදී පරීක්ෂණයක් කර ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂවරු තිදෙනෙක් හා සංවර්ධන නිලධාරිවරු දෙදෙනෙක් වැඩ තහනම් කර ඇති බවයි. ඔවුන්ට අදාළ චෝදනා පත්‍ර ළඟදීම ඉදිරිපත් කරන බව ද ඔහු කියයි.
2014 දී පමණ පිටරටින් ගෙනා පෝරවල විශේෂයෙන් ට්‍රිපල් සුපර් ෆොස්පේට්වල ප්‍රමිතිය ඉහළ මට්ටමට දැම්මා. එහි අරමුණ වකුගඩු රෝගයට හා පිළිකා රෝගවලට අහිතකර බැර ලෝහ අඩංගු පොහොර මෙරටට ගෙන්වීම වැළැක්වීමයි.
නමුත් 2017 – 19 වසරවලදී මේ පිළිබඳව කළ රසායනික පරීක්ෂණ වාර්තා වැරදියට යළි සකස් කර මේ පොහොර මගඩිය සිදු කර තිබෙනවා.
නමුත් දැන් යළි ඒවා සිදුවීම අවහිර කිරීමට අප කටයුතු කර අවසන්. මා පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලෙස සිටින විට මේ මගඩිය ගැන වංචාව පිළිබඳව පූර්ණ පරීක්ෂණ සිදු කළා. වැරදි කළ නිලධාරීන් ප්‍රධාන කාර්යාලයේ වෙනත් ස්ථානවලට මාරු කර වැඩ තහනම් කළා.
යළිත් එවැනි වැරැද්දක් සිදු නොවීමට අප අමාත්‍යාංශ මට්ටමින් සියලු වැඩ කටයුතු කර තිබෙනවා. මෙරටට ගෙන්වන පෝර පිළිබඳ එතෙර හා මෙතෙර පරීක්ෂණාගාර වාර්තා අපි දැන් විද්‍යුත් තැපැල් මාර්ගයෙන් ලබාගත්තා. ඒ වාර්තා සත්‍යදැයි යළි පසුවිමසීම් ද කරනවා.
කෘෂිකර්ම ඇමැතිවරයාගේත්, පොහොර නිෂ්පාදන කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති තුමාගේත් උපදෙස් මත අප ඉදිරියට මෙවැනි පොහොර මගඩි සිදු කිරීමට කිසිම නිලධාරියකුට අවස්ථාව දෙන්නේ නැහැ. එමෙන් ම අපේ රටේ ජනතාවට වස විස පෝර අපේ රටට ගෙන්වීමට කිසිම විටක අනුමැතිය දෙන්නේත් නැහැ” යැයි ගම්මන්පිල මහතා පවසයි.