‘බේබි ෆාම්’ ලොක්කා කපෝතියි! | Page 2 | සිළුමිණ

‘බේබි ෆාම්’ ලොක්කා කපෝතියි!

- මාතලේ පුද්ගලයෙක්; ජාවාරම මොරටුවේ
- දැඩි කොන්දේසි මත අධිකරණයෙන් ඇප

සීඑස්සීඑන් හෙවත් CSC නේෂන් ලංකා ආයතනය සමාජයීය පරිවර්තනයක් සඳහා වූ ජාතික ආයතනය ලෙස පෙනී සිටිමින් අන්තර්ජාල වෙබ් අඩවියක් ද, ෆේස්බුක් පිටුවක් ද පවත්වාගෙන යමින් පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කරමින් තිබුණේය. ඒ, ඔබේ දරුවා නැති කරන්න එපා... අපට දෙන්න... නූපන් දරුවන්ට පණ දෙන්න අපි ලෑස්තියි... දරුවන් අවශ්‍ය නම් අපිට කියන්න... ආදී පණිවිඩ පුළුල් ලෙස අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කරමින් දුරකථන අංකද සඳහන් කරමින් වෙබ් අඩවි, ෆේස්බුක්වලට අමතරව යූ ටියුබ් වීඩියෝද මුදා හරිමින් තිබූ නිසාවෙනි.

එම ආයතනය පවත්වාගෙන ගියේ 47 හැවිරිදි මංජුල ලසන්ත උක්වත්ත නමැති පුද්ගලයෙකි. Suwadesh Manjula Lasantha Ukwaththa නමින් ෆේස්බුක් ගිණුමක්ද පවත්වාගෙන ගිය ඔහු ඒ තුළද නිතර පළ කළේ කුඩා බිලිඳුන් වඩා ගනිමින්, සිප ගනිමින් සිටින ඡායාරූපයි. ඔහු එලෙස කුඩා කිරිකැටියන් ප්‍රදර්ශනය කරමින් බොහෝ සේ එවැනි ඡායාරූප පළ කරමින් එකී කිරිකැටියන් ලෝකයට ප්‍රදර්ශනය කළේ කුමක් අරභයාද යන්න හෙළි වන්නෙ ඔහු විසින් සිදුකර ඇති කූට ජාවාරමේ සුල-මුල අනාවරණය වීමත් සමඟිනි.

මාතලේ, උකුවෙල ප්‍රදේශයේ අයෙක් වන එකී පුද්ගලයා මාතලේ ප්‍රසිද්ධ පාසලකින් අධ්‍යාපනය ලබා කොළඹට විත් සමාජයීය පරිවර්තනයක් සඳහා යැයි ආයතනයක් පවත්වාගෙන ගොස් තිබුණේ මොරටුව ප්‍රදේශය කේන්ද්‍ර කරගෙනයි. 

පසුගිය කාලයේ මෙකී ජාවාර‍මා පවත්වා ගෙන ගිය ආයතනයෙන් සිදුකරන නූපන් දරුවන්ට මෙලොව එළිය දැකීමට ඉඩහසර විවර කිරීම පිළිබඳව ඇතැම් මාධ්‍යයන් ද පුළුල් ප්‍රචාරයක් දී තිබුණේ එහි නියම සත්‍ය වැටහීමකින් තොරව නොවන බව මේ වන විට හෙළි වන කරුණුවලින් ගම්‍ය වේ.

පසුගිය දිනවල මෙකී පුද්ගලයා සිය ආයතනය මඟින් සිදුකරමින් තිබූ නූපන් දරුවන්ට මෙලොව එළිය දැකීමට යැයි ලෝකයට පෙන්වමින් සිදුකරන ලද දියුණු රටවල 'බේබි ෆාම්' නමින් හඳුන්වන ගර්භාෂ ජාවාරම පිළිබඳව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට බොහෝ තොරතුරු ලැබෙමින් තිබිණි.

පසුගිය මාස හයක පමණ කාලයක සිට ඔහු විසින් සිදුකරමින් තිබූ එම ජාවාරම කොටුකර ගැනීමට පොලිසිය කීප අවස්ථාවකදීම ප්‍රයත්න දැරුවත් මෙකී පුද්ගලයා සූක්ෂ්ම ආකාරයෙන් ඒ සෑම අවස්ථාවකින්ම පලා ගොස් තිබිණි.

එහෙත් පසුගිය 21 වැනිදා රාත්‍රියේ මංජුල ලසන්ත මාතලේ, උකුවෙලදී ඔහුගේ නිවෙසේ සිටියදී පොලිසිය සිදුකළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස කොටුකර ගැනීමට සමත් විය. ඒත් සමඟ ඔහු විසින් මොරටුව, කල්දෙමුල්ල, දහම් මාවතේ නිවෙසක සහ ඊට නුදුරු සී. පී. ද සිල්වා මාවතේ නිවෙසක මෙකී ජාවාරම පවත්වාගෙන ගොස් තිබූ ස්ථානද පොලිසිය වටලනු ලැබීය.

එම ස්ථානයන්හි නොයෙක් ලෙස ගැබ් ගැනීම් සිදුවූ කාන්තාවන් රඳවා තබාගෙන දරුවන් බිහි කිරීමෙන් පසු විකිණීමේ කූට ජාවාරම සිදුකරගෙන ගොස් ඇත්තෙ වසරකට ආසන්න කාලයක සිටයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පැවැසුවේ වෙනත් රටවල එම ජාවාරම හඳුන්වන්නෙ බේබි ෆාම් යනුවෙන් බවයි. එසේම එය මෙරට අපරාධ නීතියේ දණ්ඩ නීති සංග්‍රහයේ 360 වැනි වගන්තිය යටතේ මිනිස් ජාවාරම යටතේ වරදක් බවයි.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරිගේ ප්‍රධානත්වයෙන් වැටලීම සිදුකරන මොහොත වන විට එම නිවෙස්හි ගැබිනි මවුවරුන් 12 දෙනෙකුද ඉන් පස්දෙනෙකුගේ දරුවන් ඒ වන විටත් ලක්ෂ ගණනක මුදලකට තුන්වන පාර්ශ්වයකට විකුණා තිබූ බව පොලිසිය අනාවරණය කරගැනිණි.

එසේම තවත් මවුවරුන් තිදෙනෙකු සිය කිරිකැටියන් සමඟද එම ස්ථානයේ සිටියාය. ඊට අමතරව තවත් ගැබිනි මාතාවන් 12 දෙනෙකුද එම ස්ථානවල රඳවාගෙන සිටියදී පොලිසියට හමුවී තිබුණාය.

කාන්තාවන් සිය පෙම්වතාගෙන් හෝ වෙනත් කිසිවකුගෙන් හෝ අනාචාරයේ යාමෙන් කුස තුළට කලලයක් පැමිණි පසු කිරිකැටියකු මෙලොව එළිය බිහි කිරීමට සූදානම් වෙද්දී ඇතැම් දෙනා මෙකී ආයතනයට පැමිණ ඇත්තෙ සිය දෙමාපියන්ද සමඟින් බවට සැල වේ. එහෙත් සමාජයට වසන්ව මාස ගණනාවක් එම ස්ථානයේ රැඳි සිටිමින් කිරිකැටියකු මෙලොවට බිහි කිරීමෙන් පසු එම කාන්තාවන් නැවතත් සමාජයට පිවිස තිබුණේ කිසිවක් සිදු නොවූ විලසිනි. එහෙත් තම කුසෙන් උපන් බිලිඳාට වූයේ කුමක්ද යන්න ඒ කිසිවෙක් පසුව අවදානයක් නොකරන බවයි.

ජාවාරමේ ප්‍රධානියා වන ලසන්ත විසින් එලෙස තම ආයතනයට පැමිණෙන කාන්තාවන් එම ස්ථානයේ රඳවාගෙන දරු ප්‍රසූතියෙන් පසු කිරිකැටියා වෙනත් පාර්ශ්වයකට විකිණීමට ගිවිසුම් අත්සන් කරමින් ලක්ෂ ගණනින් මුදල් උපයා ඇති බවකි. එහෙත් මෙරට නීතිය අනුව එලෙස දරුවකු වෙනත් පාර්ශ්වයකට ලබා දෙනවා නම් දිසා අධිකරණයක් මඟින් කුල වද්දා ගැනීමේ ආඥා පනත ප්‍රකාරව සිදු කිරීම කළ යුතු බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.

අත්අඩංගුවට පත් උක්වත්ත ආරච්චිලාගේ සදේශ් මංජුල නමැති සැකකරු පසුගිය 22 වැනිදා මොරටුව අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී මහේස්ත්‍රාත්වරයා සැකකරුව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරිණි.

සැකකරුට විදෙස් ගමන් තහනමක්ද පැනවූ අතර සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසටත් සිය ආයතන වෙත නව ගර්භණි මවුවරුන් ඇතුළත් කර නොගන්නා ලෙසටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. එසේම සෑම මසකම මුල් ඉරු දින ළමා හා කාන්තා කාර්යාංශයේ පෙනී සිටින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය ලබන 4 වැනිදා කැඳවීමට නියම කළේය.

සැකකරු විසින් මෙකී ජාවාරම හරහා කිරිකැටියන් 50කට ආසන්න සංඛ්‍යාවක් රුපියල් එක්ලක්ෂ පනස්දහසේ සිට ලක්ෂ දෙක ඉක්මවන මිල ගණන්වලට විකුණා ඇති බවට සැලවේ. එහිදී දරුවන් රැගෙන ගිය අය අතර ප්‍රභූ පුද්ගලයන් බොහෝ දෙනෙකු සිටින බවටත් හෙළි වේ. ජාවාරම්කරු විසින් කිරිකැටියකු මෙලොව එළිය දුටු සැණින් ඡායාරූප ගෙන ෆේස්බුක් ඇතුළු අන්තර්ජාල මාධ්‍යයන්හි පළ කරමින් ගැනුම්කරුවන් සොයා ගන්නා බවයි. එහිදී දරුවන් ලබා ගැනීමට පැමිණෙන අයවලුන් පිළිබඳව කිසිදු ලෙසකින් සොයා බැලීමක් හෝ නොකරන බවටත් අනතුරුව දරුවන්ට අත්වන්නෙ කෙබඳු ඉරණමක්ද යන්නත් කිසිවෙක් නොදනී. 

ඇතැමෙක් ජාවාරම කරගෙන ගිය මොරටුවේ නිවෙස් වෙත ගොස් අයදුම්පත්‍ර පුරවමින් නීතිඥ ගාස්තු ලෙස රුපියල් පනස්දහසකට අධික මුදලක් දී දරුවන් ලබා ගනිද්දී තවත් සමහරෙක් දුරකථන ඔස්සේ සම්බන්ධ වෙමින් දරුවන් ලබාගෙන ඇත.

'දරුවන් නැති කරන්න එපා... නූපන් දරුවන්ට පණ දෙන්න අපි ලෑස්තියි... දරුවන් අවශ්‍ය නම් අපිට කියන්න..." ආදි පාඨ යොදා ගනිමින් ෆේස්බුක් ඇතුළු යූ ටියුබ් සමාජ මාධ්‍යයන්ට වීඩියෝ ඇතුළු ඡායාරූප මුදාහරින මෙකී පුද්ගලයා පුන පුනා සිය සමාජ මාධ්‍යයන් ඔස්සේ පවසන්නේ ගබ්සා කරගැනීමට ගිය නූපන් කලලයන්ට තමා පණ දුන් බවයි. මෙකී ආයතනය පවත්වාගෙන ගොස් ඇති ලසන්ත විසින් කිසි විටෙකවත් කාන්තාවන්ට නොයෙක් ලෙස ගැබ් ගැනීම් හෝ එවැනි සිදුවීම්වලට එරෙහි පියවරක් නොගැනීමත් අඩුම තරමේ උපත් පාලන ක්‍රමවේද ගැන හෝ දැනුම්වත් කරන බවට කිසිම හෝඩුවාවක් ඔහුගේ සමාජ මාධ්‍ය හෝ වෙබ් අඩවිවලින් දක්නට නැත. එම කාන්තාවන් අනාචාරයෙන් හෝ කුමනාකාරයකින් හෝ ගැබ් ගැනීමක් සිදුව ඔහු හමුවට පමුණුවා ගැනීම මෙකී කූට ජාවාරමාගේ එකම උපක්‍රමය වී තිබේ.

වාර්තා වන ආකාරයට මෙකී පුද්ගලයා දරුවන් තුන්වන පාර්ශ්වයකට විකිණීමෙන් ලැබූ ලක්ෂ ගණන් වන මුදලින් දරුවා මෙලොවට බිහිකළ මවුවරුන්ටද නිසි පරිදි මුදල් හෝ ලබා දී නැති බවටයි. තවද එම ස්ථානයේ රඳවා හුන් ඇතැම් ගැබිනි කාන්තාවන් මෙකී පුද්ගලයා විසින් ඔහුගේ ආවතේව කටයුතු වලටද යොදාගෙන ඇති බවත් ඇතැම් කරුණු ප්‍රසිද්ධ මාධ්‍යයේද සඳහන් කළ නොහැක.

කූට අන්දමින් සමාජය මුළාවේ දමමින් විශ්වකීර්ති දේශමාන්‍ය ගෞරව නාමද හිමිකරගෙන ඇති මෙකී සැකකරුගේ වංචාවට රැවටී ඇතැම් ගිහි පැවිදි බොහෝ දෙනෙකුද ඔහු සිදුකරන්නෙ සමාජ සත්කාරයක් ලෙස දකිමින් ලක්ෂ ගණනින් පරිත්‍යාගද කිරීමට පෙලඹී ඇත.

එහෙත් අනාචාරයේ හෝ කිසියම් ආකාරයකින් කාන්තාවකගේ කුසට කලලයක් පැමිණ කිරි කැටියකු මෙලොව එළිය දුටුවහොත් එකී බිලිඳා තමනට හදා-වඩා ගැනීමට නොහැකි නම් සිදුවිය යුතු නිසි කාර්යභාරය පිළිබඳව මෙරට නීති රාමුවෙන් බොහෝ ප්‍රතිපාදන තිබේ. එලෙස කිරිකැටියන් මෙලොවට බිහිකොට තුන්වන පාර්ශ්වයකට බාර දීමට ඉදිරිපත් වන මවුවරුන් මෙන්ම කූට ලෙස ලක්ෂ ගණන් මුදල් වැය කරමින් කිරිකැටියන් මිලට ගැනීමට ඉදිරිපත් වන අයවලුන්ද රටේ පවතින නීති රාමුව පිළිබඳව නොදන්නවා යැයි සිතිය නොහැකිය. ඒ මෙරට නිසි නීති ක්‍රමවේද ඔස්සේ එලෙස මවුවරුන්ගෙන් ලබාගත් දහස් සංඛ්‍යාත දරුදැරියන් පිරිසක් තුන්වන පාර්ශ්වයන් ඇසුරේ මේ වන විට හැදී වැඩෙන හෙයිනි.

එසේ මීට වසර 20කට 30කට පෙර දී මෙරට දහස් ගණනක් බිලිඳුන් නීත්‍යානුකූලව විදෙස් ජාතිකයන් ද රැගෙන ගොස් හදාවඩා ගැනීම් සිදුවිණි. වර්තමානයේ උස්මහත් වී සිටින එම දූ දරුවන් සිය සැබෑ මවුවරුන් දැක ගැනීමට මෙරටට පැමිණිම ද සුලබය. එම නිසා මෙලෙස සිදුවන ගර්භාෂ ජාවාරම පිළිබඳව රටේ ජනතාවද මීට වඩා දැනුම්වත්ව සිටිය යුතු සේම එවැනි අපරාධකාරයන්ට දැඩි දඬුවම් පමුණුවීමද වගකිවයුතු පාර්ශ්වවල පරම වගකීමක් ද වේ.

Comments