අලුත් අවුරුද්දේ හැමටම නැවුම් කිරි | සිළුමිණ

අලුත් අවුරුද්දේ හැමටම නැවුම් කිරි

- රු.කෝටි 557ක් අපේම ගොවියන්ට
- ගොවියන්ට කිරි ලීටරයකට දෙන මුදල රු.120ට වඩා වැඩි කරයි

මෙරටට ගෙන්වන ඇතැම් කිරිපිටිවල ශරීරයට අහිතකර වස විස රැසක් අන්තර්ගතයි. විශේෂයෙන් පිටරටවලින් ගෙනෙන සමහර ළදරු කිරිපිටිවල කටුපොල්වල තෙල් කවලම් කර ඇති බව පැහැදිලිව ඔප්පු වී තිබෙනවා. ඒ අනුව ඒ කිරි ළදරුවන්ට ලබා දුනහොත් විවිධ අසාත්මිකතා ඇතිවෙන්න පුළුවන්. 

ඊට අමතරව පිටරටින් ගෙනෙන සමහර කිරිපිටිවල ඩී.සී.ඩී. හා වේ ප්‍රෝටීන වැනි ශරීරයට අහිතකර රසායන අඩංගු බව පරීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා. ඒ අනුව අපි පිටරටින් ගෙනෙන කිරිපිටිවලට වඩා අපේ නැවුම් දේශීය කිරි පාවිච්චියට යොමු විය යුතුයි.

මේ සුවිශේෂි අදහස් පවසන්නේ ළමා රෝග ස්නායු ශල්‍ය විශේෂඥ හා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතායි.

මේ අනුව අපි දැන් කළ යුත්තේ මෙරට දේශීය කිරි නිපැයුම වැඩි දියුණු කිරීමට කටයුතු කිරීමයි. මේ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ‘කිරෙන් සපිරි රටක්’ බිහි කිරීමට ප්‍රබල උත්සාහයක යෙදේ.

ඒ සඳහා දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරාලීමට රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ සහ කුඩා පරිමාණ ගොවීන්ගේ එකතුවෙන් කෙටි හා දිගුකාලීන සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරින්ට හා නිලධාරින්ට උපදෙස් දී ඇත.

තෘණ වගාව කිරි ගවයන් බෝ කිරීම හා රටේ පශු සම්පත් පර්යේෂණ වැඩිදියුණු කිරීම මගින් මෙම ඉලක්ක සාර්ථක කළ යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කර තිබේ.

මේ අනුව ගමේ ජනතාවට මෙන්ම කොළඹ, මහනුවර, මාතර, කුරුණෑගල, ගාල්ල, රත්නපුර වැනි නාගරික ප්‍රදේශවල ජනතාවට දියර කිරි පහසු මිලට ලබාදීමටත් දේශීය කිරි ගොවියාට අතහිත දීමටත් රජය කටයුතු කරයි. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදි ද පැවැත්විණි.

මෙරට වාර්ෂික කිරි අවශ්‍යතාවෙන් දේශීයව නිෂ්පාදනය කරනු ලබන්නේ 40%කට අඩු ප්‍රමාණයකි. පෝෂ්‍යදායක නැවුම් දියර කිරි පානය සඳහා ඇති අවස්ථාව මේ නිසා ජනතාවට අහිමි වී තිබේ. ඉදිරි දශකය තුළ දියර කිරි නිෂ්පාදනය නැංවීමට පියවර ගන්නා බව “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනාධිපතිතුමා ප්‍රතිඥා දී තිබේ.

රටේ විවිධ ප්‍රදේශවලට ගැළපෙන අලුත් කිරි ගව ප්‍රභේද හඳුන්වාදීමට අවශ්‍ය පර්යේෂණ පුළුල් කිරීමට රජය අපේක්ෂා කරයි.

සමස්ත දියර කිරි නිෂ්පාදනයෙන් 85%ක් කුඩා පරිමාණ කිරි ගොවින් විසින් සපයනු ලැබේ. ඔවුන් ශක්තිමත් කර ප්‍රතිශතය වැඩි කිරීමට පියවර ගත යුතු යැයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ පවසයි.

ෙම් අවුරුද්ෙද් මුල් මාස තුන අැතුළත මහා පරිමාණ කිරි ෙගාවිපළ අාරම්භ කිරීම සඳහා ජනවසම හා මහා පරිමාණ වැවිලි සමාගම් සතු ඉඩම් ඉක්මනින් ලබාදීමට පියවර ගන්නා ෙලසද බැසිල් රාජපක්ෂයන් පවසයි.

දේශීය ආයෝජකයන් දිරි ගැන්වීම මගින් මෙරට දියර කිරි අවශ්‍යතාව දේශීයව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය සැලසුම් කරන බවද ඒ මහතා පවසයි. ඉදිරි වසර කිහිපයේ මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා කිරි නිෂ්පාදනය සඳහා එක්වන නව ආයෝජකයන්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට ද රජය සූදානම් වෙයි.

දේශීය කිරි නිෂ්පාදන අවශ්‍යතාවෙන් 85%කට වැඩි ප්‍රමාණයක් කුඩා පරිමාණ සහ මධ්‍යම පරිමාණයේ දේශීය කිරි ගොවිපළ මගින් නිපදවන අතර, මෙම කිරි නිෂ්පාදකයන්ට අමතර නව කිරි නිෂ්පාදකයන් බිහි කිරීම ද මෙම වැඩපිළිවෙළ මගින් රජය අපේක්ෂා කරයි. කිරි ගොවිපළ පවත්වා ගෙන යෑමට ඉඩම් පහසුකම් ඇති ආයෝජකයන් සඳහා ප්‍රමුඛතාව ලබාදෙන අතර මේ වන විටත් වැවිලි සමාගම් 9ක් ඊට එකඟතාව පළ කර තිබේ.

මෙම වැඩපිළිවෙළට එක් වන ආයෝජකයන්ට ආයෝජන මණ්ඩලය ඔස්සේ සහන සහ දිරිගැන්වීම් කෙරෙන අතර මේ යටතේ සිසිල් දේශගුණික ප්‍රදේශවලින් හා වියළි දේශගුණික ප්‍රදේශවලින් සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය කෙරෙන බඩඉරිඟු සහ තෘණ වර්ග වගා කිරීමට රජයේ ඉඩම් ලබා දීමට ද නියමිතය.

කිරි නිෂ්පාදන වර්ධනය අරමුණු කොට ගෙන වතු සමාගම් 15ක් දායක කර ගනිමින් කිරි ගවයන් 15,000ක් ඇති කිරීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වන කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසන්නේ ඉදිරි වසර 03 ඇතුළත ශ්‍රී ලංකාව කිරි වලින් ස්වයං පෝෂිත කරන බවත් විදේශ රටවලින් කිරිපිටි ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට පියවර ගන්නා බවත්ය.

“අපේ රටේ කිරි ගන්න එළගවයන් ඉන්නේ දෙලක්ෂ පනස්දහසයි. රටේ කිරි නිෂ්පාදනයෙන් අප විසින් සිදු කරන්නේ 35%යි. අනිත් ඔක්කොම පිටරටින් ගේන්නේ. එක දවසකට ඇමරිකානු මිලියන 01ක කිරිපිටි විදේශ රටවලින් ගේනවා. අපි මිල්කෝ සමාගම සමඟ එකතු වෙලා ගවගාල ආධාර, අවශ්‍ය කෑම ටික තණකොළ ටික ඇතුළු සියලු දේ ලබා දීලා කිරි නිෂ්පාදනය වැඩි කරන්න කටයුතු කරනවා”.

ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව කිරිවලින් ස්වයං පෝෂිත රටක් අවුරුදු 3ක් ඇතුළත බිහි කරන්න. ඒ අනුව මේ රටට කිරි ආනයනය කිරීම 2023 වනවිට සම්පූර්ණයෙන්ම නතර කරන්න අපි කටයුතු කරනවා. නවසීලන්තයේ වැඩිම කිරිපිටි ආනයනය කරන රට තමයි ශ්‍රී ලංකාව යැයි ඇමතිවරයා පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වන පශු සම්පත් ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් මහතා පැවසුවේ මෙරට කිරි දෙනුන්ගෙන් වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගැනීමට අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බවයි.

ඒ අනුව අපි මුලින්ම කිරි ගොවීන්ව දැනුම්වත් කරනවා. අපේ ර‍ෙට් සමහර දෙනුන්ගෙන් කිරි ලීටර් 10 - 20 ක් ගන්නවා. ඒත් අපේ රටේ කිරි දෙනුන්ගෙන් ලැබෙන සාමාන්‍ය කිරි ප්‍රමාණය ලීටර් 2.89 යි.

මේ කිරි දෙනුන්ට කෑම බීම පුන්නක්කු දේ වැඩි කරලා මේ කිරි ගොවීන්ගෙන් අඩු ගණනේ දිනකට කිරි ලීටර් 5 - 6ක් ගන්න අපි ගොවි ජනතාව උනන්දු කරනවා. දිනකට අපේ රටේ කිරි ඉල්ලුමෙන් අපේ රටේ ඉන්න දෙනුන්ගෙන් සපයාගන්න පුළුවන් සියයට 40ක් පමණයි. ඒ ප්‍රමාණය ගොවියන්ට නවීන දැනුම ලබාදීම හා ඒ කිරි දෙනුන්ට ආහාර තණකොළ පුන්නක්කු ආදිය වැඩිපුර දීම මගින් සියයට 60 - 70 දක්වා වැඩි කිරීමට අපි කටයුතු කරනවා. රාජ්‍ය ඇමතිවරයා පවසයි. 

දැනට අපේ රටට කිරි ගෙන්වීමට වසරකට රුපියල් බිලියන කෝටි 557ක් වැය වෙනවා. ඒ මුදල මෙරට කිරි ගොවීන් ලක්ෂ 3ක ප්‍රමාණයට ලබාදීමයි අපේ අරමුණ. ඒ සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරින් උදවු කරන බවත් එමගින් ගොවීන්ට නව තාක්ෂණය හා උපදෙස් සමඟ ණය පහසුකම් පවා ලබාදෙන බවත් ඇමතිවරයා පවසයි.

ඊට අමතරව මෙරට දියර කිරි නිපැයුම් වැඩි කිරීම සඳහා මිල්කෝ ආයතනය හා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මගින් අඩු මිලට දියර කිරි පැකට් පාසල්වලට හා සමූපකාරවලට ලබාදීමට කටයුතු කෙරෙන බවත් රාජ්‍ය ඇමැතිවරයා පවසයි. දැනට රාජ්‍ය හා පෞද්ගලික ආයතන මගින් කිරි ගොවීන්ට කිරි ලීටරයකට රුපියල් 80 - 120 මුදලක් ගෙවන බවත් ඉදිරියේදි ඒ මුදල තවත් වැඩි කිරීමට අපේක්ෂිත බවත් පිටරටින් කිරි ගෙන්වීම ළඟදීම නවත්වා දමන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වන ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ (NLDB) සභාපති මහාචාර්ය මංජුල පී. සුමිත් මාගමගේ මහතා පවසන්නේ මෙරට කිරි නිපැයුම වැඩි කිරීමට දෙනුන් අභිජනනය කිරීමට තාක්ෂණය හා ජීව විද්‍යාත්මක ක්‍රම අනුගමනය කරන බවයි. ඒ අනුව වැඩිපුර ගැහැනු සතුන් ඇති කිරීමට “ලිංග නිර්මිත ශුක්‍රානු” සකස් කිරීම හා කලල බද්ධය වැනි ක්‍රම දියුණු කිරීමට කටයුතු කරන බවත් සභාපතිවරයා පවසයි.

අපේ රටේ වසරකට කෘත්‍රිම සිංචන 243000ක් සිදුවෙනවා. ඉන් පැටව් 70,000ක් බිහිවෙනවා. ඉන් 35,000ක් පිරිමි. 35,000ක් ගැහැනු. මේ තත්ත්වය වෙනස් කර වැඩිපුර ගැහැනු සතුන් ලබා ගැනීමට අප කටයුතු කරනවා.

අපේ රටේ ගවයන් ලක්ෂ 12ක් ඉන්නවා. ඉන් ලක්ෂ 6ක් ගැහැනු සතුන්. ඉන් කිරි ගන්න පුළුවන් ලක්ෂ 2.5 කින් විතරයි. මේ කිරි ගන්න පුළුවන් පැටවු ඉන්න සතුන්ගේ උපරිම කිරි ප්‍රමාණයක් ලබා ගැනීමට අලුත් තාක්ෂණික ක්‍රම අනුගමනය කිරීමට ගොවීන්ව දැනුම්වත් කරනවා.

අපේ ගොවිපළ 35ක කිරි හරක් 12,000ක් විතර ඉන්නවා. අද අපේ රටට දෙනුන් අභිජනනය කිරීමට පිටරටින් නුමුහුන් සතුන් ගෙන්විය යුතුයි. ඒ සඳහා අපි ඉදිරියට කටයුතු කරනවා.

ඊට අමතරව අඩු මිලට දියර කිරි ලබාදීමට වැඩපිළිවෙළක් අප ආයතනය හා මිල්කෝ ආයතනය මගින් සිදු කරනවා යැයි සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨ හිටපු පීඨාධිපති හා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල මානමගේ මහතා පවසයි.

එමගින් ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අපේ රටට අවශ්‍ය කිරි අපේ රටේම නිපදවා කිරිපිටි සඳහා වසරකට එතෙර යන කෝටි 557ක විදේශ විනිමය ප්‍රමාණය මෙරට කිරි ගොවීන් වෙත ලබාදීමට රජය දැන් සියලු කටයුතු සූදානම් කර ඇත. අප කළ යුත්තේ ඒ වැඩපිළිවෙළට හා ඊට දායක වන අයට සහාය දැක්වීම පමණි. එවිට අපට “කිරෙන් සපිරි රටක්” ලැබෙනු ඇත.

Comments