
ඕනෑම සති අන්තයක අසල ඇති සාප්පු සංකීර්ණයට යන අපට සාප්පු සවාරියේ යෙදෙන මෙනොනයිට්වරුන් නිතර දක්නට ලැබෙන දසුනකි. ඔවුන් පැමිණෙන්නේ කණ්ඩායම් වශයෙනි. සියලු දෙනාම හැඳ සිටින්නේ එක හා සමාන ඉතා පැරණි යුරෝපියානු ඇඳුමකි. බොහෝවිට ඒ සෑම ඇඳුමක්ම එකම වර්ණයෙන් යුක්තය. පිරිමින් දිගු කලිසමකින් සහ කොටු සහිත රෙද්දකින් නිමවූ අත්දිග කමිසයකින් සැරසී සිටිති. සෑම කෙනෙක්ම වයස බේදයකින් තොරව කලිසම රඳවා ගැනීමට වයසක යුරෝපියානු පිරිමින් භාවිත කරන අන්දමේ කලිසමේ ඉදිරිපස සිට කර හරහා ගොස් නැවත කලිසමේ පිටුපසට සවිවන පටි දෙකක් දෙපසින් පැලඳ සිටිති. කාන්තාවන් දිගු සායකින් සහ වැලමිට තෙක් දිගු හැට්ටයකින් සැරසී හිසට හෙද නිලධාරිනියෝ පලඳින ආකාරයේ හිස් වැසුමක් පැලඳ සිටිති. කාන්තාවෝ සියලු දෙනාද බොහෝවිට එකම වර්ණයකින් යුතු ඇඳුම් ඇඳ සිටිති.
මෙනනයිට්වරු 16 වන සියවසේදී රෙපරමාදු ප්‍රතිසංස්කරණයේදී රෝමානු කතෝලික පල්ලියෙන් වෙන් වූ විට පිහිටුවන ලද ආගමික-සංස්කෘතික කණ්ඩායමකි. ඔවුන් කැනඩාවට සංක්‍රමණය වන්නේ18 වන සියවසේ අග භාගයේදීය. ඔවුන් බොහෝදෙනෙක් මුලින් ඔන්ටාරියෝ ප්‍රාන්තයෙහි දකුණු ප්‍රදේශයන්හි හි පදිංචි වූහ. අද වන විට මෙනනයිට්වරු ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් කැනඩාවේ ජිවත්වන අතර ඉන් අඩකට වඩා වැඩි පිරිසක් ජීවත් වන්නේ ප්‍රධාන වශයෙන් විනිපෙග් නගරයට ආසන්න ග්‍රාමීය ප්‍රදේශවලය.
මේ අය අතර සමහරුන් ක්‍රමක්‍රමයෙන් නාගරිකයන් බවට පත්වී ඇති අතර බහුතරයක් තවමත් සිය සාම්ප්‍රදායික ක්‍රමයටම ජීවත් වෙති. ඕල්ඩ් ඕඩර් අමිෂ් සහ ඕල්ඩ් ඕඩර් මෙනනයිට් යනුවෙන් හඳුන්වන මෙම කණ්ඩායම් තවමත් සියලු තාක්‍ෂණයෙන් බැහැරව සම්ප්‍රදායිකව ජීවත් වෙති. සාමූහික නිවෙස්වල ජිවත්වන මෙම පිරිස ප්‍රධාන වශයෙන් රැකියා ලෙස කෘෂිකර්මාන්තය, සත්ව පාලනය සහ වඩු කර්මාන්තය තුළින් ස්වයංපෝෂිතව ජිවත් වෙති. මොවුන්ගේ නිවෙස්වල විදුලිය නැත; ආලෝකය ලබා දෙන්නේ තෙලින් දැවෙන පහන් මගිනි. නිවෙස් උණුසුම් වන්නේ කැලයෙන් අහුලාගත් දර මගිනි. ගමන් බිමන් යන්නේ තවමත් අශ්ව කරත්තයෙනි. අති සංකීර්ණ පාරිභෝගිකවාදී දිවිපැවත්මක් සහිත සමාජ තමන් ඉදිරියේ පෙනිපෙනී තිබියදී මේ ජනතාව තවමත් ඉතා සරල ලෙස ජීවත් වෙති.
එවැනි එක් කණ්ඩායමකි; ඇල්බටා ප්‍රාන්තයේ හුටෙරියානු සහෝදරත්වය මගින් පාලනය කෙරෙන විල්සන් කොලනිය (Hutterian Brethren of Wilson Colony). ඔවුහු සාමුහිකව ස්වයංපෝෂිතව ජිවත්වුණද සමහර අවශ්‍යතා සඳහා සම්ප්‍රදායෙන් මිදී කටයුතු කරති. එහෙත් සමහර අවස්ථාවලදී ඔවුන්ගේ ආගමික චාරිත්‍ර වාරිත්‍ර සහ නවීන සමාජයෙන් ලබන සේවා අතර ගැටුම් ඇති වේ. මේ එවැනි අවස්ථාවකි.
හුටෙරියානු සහෝදරත්වය විවිධ වාණිජ කටයුතු කරගෙන යන ග්‍රාමීය, වාර්ගික ජීවන රටාවක් පවත්වාගෙන යන කණ්ඩායමකි. ඔවුන්ගේ අවංක ආගමික විශ්වාස වන්නේ දෙවන විධානය (second commandment) මගින් කැමැත්තෙන් ඔවුන්ගේ ඡායාරූපය ලබා ගැනීම තහනම් කර ඇති බවයි. එසේ හෙයින් පළාතේ පවතින රියදුරු බලපත්‍රය සඳහා ජායාරූපය ලබා දීම ඔවුන් සිය ආගමික හේතුන් මත විරුද්ධ විය. ඒ වෙනුවට ඔවුන් යෝජනා කළේ කිසිදු ඡායාරූපයක් නොගන්නා ලෙසත් “හඳුනාගැනීමේ අරමුණු සඳහා භාවිතා නොකළ යුතු” ලෙස සඳහන් කර ඡායාරූප නොවන රියදුරු බලපත්‍රයක් ඔවුන්ට ලබා දෙන ලෙසත්ය. පළාත සමඟ එකඟතාවකට පැමිණීමට නොහැකි වූ විල්සන් ජනපදයේ සාමාජිකයන් තම ආගමික නිදහස අසාධාරණ ලෙස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් රියදුරු බලපත්‍රයට ජායාරූප ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ රෙගුලාසියේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කළහ.
නඩුවේදී ඔවුන්ගේ තර්කය වුණේ රියදුරු බලපත්‍රය සඳහා ඡායාරූප අවශ්‍යතාවන් අනිවාර්ය කිරීමේ හේතුවෙන් සිය සාමාජිකයන්ට රියදුරු බලපත්‍ර ලබා ගත නොහැකි නම්, ඔවුන්ගේ වාර්ගික සහ ආගමික ජීවන රටාවේ පැවැත්මට තර්ජනයක් වනු ඇති බවය. එමඟින් කැනේඩියානු අයිතිවාසිකම් සහ නිදහස පිළිබඳ ප්‍රඥාප්තියෙහි (Charter of Rights)ඇති ආගමික නිදහස යන ප්‍රඥප්තිය උල්ලංඝනය වන බවට ඔවුහු සාක්ෂි ඉදිරිපත් කළහ. ඒ අනුව පළාත් අභියාචනාධිකරණයේදී රියදුරු බලපත්‍රය සඳහා ජයාරූපය අනිවාර්ය කිරීමෙන් ආගමික නිදහස උල්ලංඝනය කිරීම යුක්ති සහගත නොවන බවට තීන්දු කෙරිණි. ඉක්බිතිව නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කෙරිණි. (Alberta v. Hutterian Brethren of Wilson Colony, 2009 SCC 37, [2009] 2 S.C.R. 567)
කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය එම ගැටලුව දුටුවේ වෙනත් ආකාරයකිනි. ශ්‍රේෂ්ඨාධිකරණයට අනුව රියදුරු බලපත්‍රයෙහි අයිතිකරුගේ ඡායාරූපය ඉවත් කිරීමෙන් වන්නේ බලපත්‍ර පද්ධතියේ පැවැත්ම අවදානමට ලක්වීමටයි, එය බහුතරයකගේ අයහපතට හේතුවකි. ඊට අමතරව එය අනන්‍යතාව හා සම්බන්ධ වංචාවන්ගේ ඉහළ යෑමටද හේතුවක් විය හැකිය. රියදුරු බලපත්‍ර හා සම්බන්ධ අනන්‍යතා සොරකම් පිළිබඳ ගැටලුව විසඳීම සඳහා අයිතිකරුගේ ජායාරූපය එක් කිරීම රජය ගත් සාධාරණ පියවරකි. හිමිකම් ඉල්ලන්නන් විසින් යෝජනා කරන ලද විකල්පය රජයේ පරමාර්ථය සැලකිය යුතු ලෙස අඩපණ කරනු ඇති අතර එබැවින් එය සලකා බැලීම සුදුසු නොවේ. දත්ත බැංකුවේ බලපත්‍රයක් දරන්නාගේ ඡායාරූපයක් නොමැතිව, දරන්නාගේ අනන්‍යතාව සොරකම් කර වංචනික අරමුණු සඳහා භාවිත කිරීමේ අවදානම සැලකිය යුතු ලෙස වැඩි වනු ඇත. බලපත්‍ර ලබා ගැනීමට අපේක්ෂා කරන ආගමික කොලනියේ සාමාජිකයන්ගේ ආගමේ නිදහසට ඇති අහිතකර බලපෑමට වඩා, ජායාරූපය අනිවාර්ය කිරීමෙන් ඔවුනට ලැබෙන ප්‍රතිලාභ වඩා වැඩිය. එමෙන්ම විකල්ප ප්‍රවාහන ක්‍රමවලට අවතීර්ණ වීම ආගමික ඉගැන්වීම්වල තහනම් කර ඇතිබවට බවට කිසිදු සාක්ෂියක් නොමැත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය එය විය.
ගරු කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ආගමික විශ්වාසයක් හා සම්බන්ධ ඉතා සංවේදී කරුණකදී ක්‍රියාත්මක වූ ආකාරය විමසා බැලීම මෙහිදී අපට ඉතා වැදගත්ය. විශේෂයෙන් මහා ව්‍යසනයක් අබිමුව භුමදානයද ආදාහනයද යන විවාදයක පැටලී සිටින අපේ රටේ බොහෝදෙනෙකුට කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මෙම කණ්ඩායමේ ගැටලුව විසඳූ ආකාරය අධ්‍යයනය ඉතා වැදගත් වනු ඇත. දැන් සෑම සති අන්තයකම වාගේ මෙනනයිට් ආගමික නිකායේ සාමාජිකයෝ බස්රථයක් කුලියට ගෙන නගරයට පැමිණ ඔවුනට අවශ්‍ය දෑ කරගෙන නැවත සිය කොලනිය වෙත යාම සිදුකරති. ඔවුහු පුද්ගලිකව ජායාරූප සහිත රියදුරු බලපත්‍ර ලබාගත්තේ නැති වුණත් එසේ ඇති රියදුරකුගේ සේවාවන් ලබාගෙන ඔවුන්ගේ කටයුතු ඉටුකර ගනිති.
ඔබේ අදහස් යොමු කරන්න: [email protected]