ඇප දුන්නද මව්බිම අහිමි බංග්ලාදේශ අඩස්සියේ සිටින ධීවරයෝ | Page 2 | සිළුමිණ

ඇප දුන්නද මව්බිම අහිමි බංග්ලාදේශ අඩස්සියේ සිටින ධීවරයෝ

ශ්‍රී ලාංකික ධීවරයෝ බංගලාදේශ ආරක්ෂක අත්අඩංගුවේ

මක් කොනක් නොපෙනන මහ සයුර සමඟ ඔට්ටුවෙමින් ධිවර රක්ෂාවේ නිරත ධිවරයන්ගේ ජිවිතවල ඇතුළාන්තය එතරම් සුන්දර නැත. කොටින්ම කිවහොත් ධීවරයා මහ මුහුද සමඟ හරි හරියට ඔට්ටු වෙමින් තම දරු පවුලේ බඩවියත රැකගැනීම සඳහා දැඩි අරගලයක නිරත වෙයි. ධීවර කාර්මිකයෝ මහ මුහුදේදී නොයෙකුත් අනතුරුවලට ද ලක්වෙති. එහෙත් අප මේ කියන්නට යන්නේ මුහුදු සිමාව උල්ලංඝනය කිරිම නිසා දැනට මාස 11කට ආසන්න කාලයක් තිස්සේ බංගලිදේශයේ හිරවී සිටින ධිවර කාර්මිකයන් පිරිසක් ගැනය.

මෙකී ධිවර කාර්මිකයන් ජනවාරි මස 23 වැනි දින දින අම්බලන්ගොඩ, ත්‍රිකුණාමලය හා බේරුවල යන වරායවලින් බහුදින යාත්‍රා 04කින් රැකියාව සඳහා පිටත්ව යනු ලැබීය. අම්බලන්ගොඩ ධිවර වරායෙන් එක් බහුදින යාත්‍රාවක් පිටත්ව ගොස් තිබුණි. ත්‍රිකුණාමලය වරායෙන් බහුදින යාත්‍රා 02ක් පිටත්ව ගොස් තිබු අතර බේරුවල වරායෙන්ද එක් බහුදින යාත්‍රාවක් පිටත්ව යනු ලැබිණි. එක් බහුදින යාත්‍රාවක ධිවර කාර්මිකයන් 06 දෙනා බැගින් මුහුදු රක්ෂාව සඳහා මහ සයුර වෙත පිටත්ව යනු ලැබීය. බංගලිදේශ මුහුදු සීමාව උල්ලංඝනය කිරීම නිසා පෙබරවාරි මස 18 වැනිදින මොවුන් බංගලිදේශ නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගනු ලැබීය. 23 වැනි දින ධිවර කාර්මිකයන් 24 දෙන එරට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කොට තිබේ. මාස හතක පමණ කාලයක් නොයෙකුත් දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් මෙම ධීවරයන් පිරිසට බංගලිදේශයේ බන්ධනාගාරයක් තුළ ළැඟීමට සිදු වුහ. මාස හතකින් පසු මොවුන්ට ඇප ලැබී ඇති අතර මේ වනතෙක් ධිවරයන් පිරිස මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර නැති බවට ධීවරයන්ගේ පවුල්වල ඥාතීන් චෝදනා කරති. ධීවරයන් මෙරටට ගෙන්වා දීම අද නොවේ හෙට යන කියමනට අනුව එය බාලගිරිදෝෂයක් බවට පත්ව ඇති බව ධිවරයන්ගේ පවුල්වල ඥාතීන් පවසති. 

මෙම ධීවර කාර්මිකයන් 24 දෙනා අම්බලන්ගොඩ තෙල්වත්ත කහව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති. බංගලිදේශයේ රඳවාගෙන සිටින මෙම ධීවර කාර්මිකයන් 24 දෙනා මෙරටට ගෙන්වා දෙන ලෙස ධිවර කාර්මිකයන්ගේ අඹුදරුවන් වගකිවයුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටියද එය බීරිඅලින්ට වීනා වැයීමක් බඳු කටයුත්තක් බවට පත්ව ඇත. මෙම තත්ත්වය නිසා මෙම ධීවර කාර්මිකයන්ගේ පවුල්වල අඹුදරුවන් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති. තම සැමියා දරුවා ඥාතියා, යළි නිවසට එනතෙක් ධිවරයන්ගේ පවුල්වල ඥාතීන් ඇඟිලි ගනිමින් බලා සිටිති. මෙකී ධිවරයන්ගේ බිරින්දෑවරු දුක වේදනාව හිතේ තද කරගෙන කඳුළු බොමින් ජිවත් වෙති. දරුවන් තම පියා එනතෙක් දැස් දල්වාගෙන මහමුහුද දෙස බලා හුල්ලති.

තෙල්වත්ත දලුවත්තමුල්ලේ පදිංචි ඩි.එච් දිපාල් නැමති ධිවර කාර්මිකයාගේ බිරිඳ වන ඒ ඩි දිලුලි මෙසේ කීවාය.

මට දරුවන් දෙන්නෙක් ඉන්නවා. මහත්තයා සමඟ ධීවර කාර්මිකයන් 06 දෙනෙකු මෙම වර්ෂයේ ජනවාරි මස 23 වැනි දින වාසනා 03 බහුදින යාත්‍රාවෙන් මුහුදු රක්ෂාවේ ගියා. පෙබරවාරි 18 වැනි දින කතා කරලා කිව්වා, මුහුදු සීමාව උල්ලංඝනය කිරීම නිසා බංගලිදේශ නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන රැගෙන යනවා කියලා. ඊට පස්සේ මාස 05ක් යනකම් කිසිදු තොරතුරක් අහන්න ලැබුණේ නැහැ. පස්සේ ධීවර බෝට්ටු 04 මුදලාලිලා බංගලිදේශයට ගිහින් මේ අය නිදහස් කරගත්තා. ඊට පස්සේ තමයි කතා කළේ. අලුත් අවුරුද්දේ ජනවාරි මස 23 වැනිදාට අවුරුද්දකුත් වෙනවා.එත් මේ අය ගෙන්වා ගැනීමට කිසිදු වැඩපිළිවෙළක් නැහැ. ජනාධිපතිතුමාටත් කිවා. මේ පළාතේ ඇමතිවරුන්ටත් කිව්වා. ධිවර ඇමතිතුමාටත් කිව්වා, එත් උත්තරයක් නැහැ. අපි පදිංචි වෙලා ඉන්නේ බදු නිවසක; බදුකුලිය වසරකින් ගෙව්වේ නැහැ. දැන් ඒ නිවසින් යන්න කියනවා; දරු දෙදෙනාත් සමග; අපි අසරණවෙලා ඉන්නේ. මෙම 24 දෙනා මෙරටට ගෙන්වා දෙන ලෙස බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා ඇය හැඩු කඳුළින් යුතුව කිවාය.

එල් චරිත් ශෂින් දිල්ෂාන් වාසනා 03 බෝට්ටුවේ ස්කිපර්වරයාය. ඔහුගේ මව වන කේ. ඩි. සුනීතා අපිට කිව්වේ මෙවැනි කතාවකි.

බංගලිදේශයේ තානාපති කාර්යාලය මගින් ලබා දුන් නිවෙසක තමයි මෙම 24 දෙනා ඉන්නේ. පුතා අපිට කතා කරනවා. කවදා ලංකාවට එවාවිද කියලා දන්නේ නැහැ කියලා තමයි පුතා කියන්නේ. ඒ අය ගොඩක් අසරණ වෙලා ඉන්නේ අද එවනවා හෙට එවනවා කියලා කියනවා. පුතා එනකම් අපි ඇඟිලි ගනිමින් ඉන්නවා සුනීතා කීවාය.

එස් එච් නන්දනි (51) සිය සැමියා වන එන් එච් වජිර චින්තක කුමාර (53) එන තෙක් මගබලාගෙන සිටින්නීය.

මහත්තයා දුරකථනයෙන් කතා කරනවා.එවන දිනයක් කියන්න බැහැ කියලා තමයි මහත්තයා කියන්නේ. මානසික වශයෙන් මහත්තයා ඇතුළු මේ අය පිඩනයකට ලක්වෙලා ඉන්නේ කටුනායකට ඇවිත් ඇමතුමක් දෙන්නම් කියලා තමයි මහත්තයා කියන්නේ. තානාපති කාර්යාලයෙන් කියන දේවල් පවා දැන් මහත්තයලා විශ්වාස කරන්නේ නැහැ.

කේ. සුජිවා ද මුහුදු රක්ෂාවේ ගිය තම සැමියා වන ජනත් කළුගල යළි නිවසට එනතෙක් කඳුළු බොමින් සිටින්නීය.

මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ලොකු දරුවා විශ්වවිද්‍යාල සිසුවෙක් අනික් පුතා උසස් පෙළ හදාරනවා. අපිට වෙනත් කිසිදු ආදායමක් නැහැ. මහත්තයා මුහුදු රක්ෂාවේ ගිහින් ඉපයු ආදායමෙන් තමයි ජිවත් වුණේ නැහැ. දැන් කිසිම ආදායම් මාර්ගයක් නැති නිසා කොහු අඹරලා තමයි ජිවිතය ගැට ගසාගන්නේ. මහත්තයා ත්‍රිකුණාමල වරායෙන් තමයි මුහුදු ගියේ. නිතරම ඔහු කතා කරනවා; නමුත් එවන දවසක් ගැන කියන්නේ නැහැ. වෙනත් බෝට්ටුවක් තෙල් ඉවරවෙලා තිබිලා තියෙනවා. ඒ බෝට්ටුවට තෙල් දෙන්න ගිහින් බංගලිදේශ මුහුදු සිමාව පසු කළා කියලා තමයි මහත්තයලා අත්අඩංගුවට ගෙන තියෙන්නේ.

අම්බලන්ගොඩ පදිංචි ආශා තරංගනි මෙසේ කීවාය.

මගේ බෑනා ත්‍රිකුණාමල වරායෙන් මුහුදු ගියේ. බෑනාට අවුරුද්දකුත් මාස 07ක දරුවෙක් ඉන්නවා. බෑනා මුහුදු රක්ෂාවේ යන විට දරුවාට මාස 07යි. දැන් අවුරුද්දක් ද වෙන්න යනවා.

රජය මඟින් ධිවරයන් 24 දෙනාම මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගුවන් ටිකට්පත් සඳහා මුදල් ඒ රටට යවලා තියෙන්නේ. නමුත් බංගලිදේශයේ අඩුපාඩුවක් නිසා තමයි මේ අය මෙරටට එවීම ප්‍රමාද වෙලා කියලා කියන්නේ. අපි යන්න ඕන හැමතැනටම ගියා. ධීවර ඇමතිතුමා හමුවෙලා දුක්ගැනවිලි ඉදිරිපත් කළා. ඇමතිතුමා කිවේ ධීවරයින් පිරිස ඉක්මන්ට මෙරටට ගෙන්වා දෙනවා කියලා. එත් තවම මෙරටට එවන පාටක් නැහැ. අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ අය මෙරටට ඉක්මනින් ගෙන්වා දෙන්න කියලා.

දැනට බංගලිදේශයේ රඳවාගෙන සිටින චරිත් ශෂින් දිල්ෂාන් නැමති ධිවර කාර්මිකයා වටස්ඇප් තාක්ෂණය ඔස්සේ අප සමඟ සම්බන්ධ වෙමින් මෙසේ කීවේය.

‍ බංගලිදේශ මුහුදු සීමාව උල්ලංඝනය කළා කියලා පෙබරවාරි මස 18 වැනි දින අපි බංගලිදේශ නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත්තා. 23 වැනි දින බංගලිදේශයේ පොලිසියට බාර දුන්නා. එරට අධිකරණය වෙත ඉදිරිපත් කළා. 07 21 වැනි දින මේ රටේ මහත්තයෙක් ඇප තියලා අපිව නිදහස් කරගත්තා.

24 දෙනාම එක නිවසක ඉන්නවා බන්ධනාගාරයෙන් නිදහස් වෙලා දැනට මාස 05ක් වෙනවා.එත් අපිට තවම මෙරටට එන්න විදියක් නැතිවෙලා. බංගලිදේශ තානාපති කාර්යාලය එක එක කතා කියනවා. අද යවනවා; හෙට යවනවා කියලා කියනවා. අපි ගැන හොයන්න කවුරුවත් නැහැ. කෑම බීම, ආහාර තානාපති කාර්යාලය මගින් ලබා දෙනවා. අපි ලංකාවට ගෙන්නන්න කියලා තමයි බලධාරින්ගෙන් ඉල්ලන්නේ ඔහු කීවේය.

ටී. මංජුල ද සිල්වා දැනට බංගලිදේශයේ රඳවා සිටින ධිවර කාර්මිකයෙකි. ඔහු අප සමඟ වටස්ඇප් තාක්ෂණය සමඟ සම්බන්ධ වෙමින් මෙසේ කීවේය.

අපි දැනට මාස 11ක් තිස්සේ බංගලිදේශයට වෙලා දුක් විඳිනවා. අපි බන්ධනාගාරයෙන් නිදහස් වෙලා ඉන්නේ ඇයි අපි ගෙන්වා ගන්නේ නැත්තේ. මට මිට මාසයකුත් දින 10කට පෙර පීසීආර් පරික්ෂණයක් කරලා කොරෝනා ආසාදන වූ බව කිව්වා. නමුත් මට කිසිදු ලෙඩක් තිබුණේ නැහැ. අඩුම තරමින් බලන්නවත් ආවේ නැහැ. කිසිදු ප්‍රතිකාරයක් කළේ නැහැ.

තානාපති කාර්යාලය මගින් කියනවා බදාදා ප්ලයිට් එකක් තියෙනවා; යවනවා කියලා. ඔය වගේ බදාදා දින කිහිපයක් ඔය කතාව කිව්වා. නමුත් බදාදා තියෙන් ප්ල්යිට් වලින් වෙන අය නම් ලංකාවට එවනවා. අපි රැගෙන එන්නේ නැහැ.

මේ ගැන කියන්න අලුතෙන් ආපු තනාපතිතුමා හමුවෙන්න දෙන්නෙත් නැහැ. මුල් මාස කිහිපයේ යාළුවෝ පවුලේ අය මුදල් එවලා තිබුණා කෑම බීම සඳහා. තානාපති කාර්යාලය මගින් හාල්, කෑම බීම ගෙනවිත් දෙනවා. අපේ බෝට්ටු රාජසන්තක වුණා කියලා කියනවා. නමුත් අපේ බෝට්ටු අලුුත් වැඩියා කරගෙන බංගලිදේශයේ ධීවරයන් රැකියාව කරනවා. අපිට බෝට්ටු වැඩක් නැහැ. අප මෙරටට ගෙන්වා දෙන ලෙස තමයි ඉල්ලා සිටින්නේ යැයි මංජුල ද සිල්වා කිවේය.

Comments